Skip to content

පටුනට යන්න

2වෙනි පාඩම

අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්නේ ඇයි?

අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්නේ ඇයි?

නෝවා

ආබ්‍රහම් හා සාරා

මෝසෙස්

යේසුස් ක්‍රිස්තුස්

වර්ෂ 1931කට කලින් අපිට කිව්වේ ‘බයිබල් ශිෂ්‍යයන්’ කියලයි. ඒත් ඊටපස්සේ ඉඳන් අපිව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලයි. ඒ නම අපි අලුතෙන් දාගත්ත නමක් නෙමෙයි. මීට අවුරුදු 2,700කට කලින් සැබෑ දෙවිට නමස්කාර කරපු අයව හඳුන්වලා තියෙන්නෙත් “සාක්ෂිකරුවෝ” කියලයි. (යෙසායා 43:10-12) අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමෙන් හඳුන්වන්නේ ඇයි?

අපි නමස්කාර කරන දෙවි කවුද කියලා ඒකෙන් හැමෝම දැනගන්නවා. ශුද්ධ ලියවිල්ලේ පරණ අත්පිටපත්වල යෙහෝවා කියන දෙවිගේ නම 7,000 වාරයක් විතර තියෙනවා. ඒත් අද තියෙන ගොඩක් බයිබල් පරිවර්තනවලින් ඒ නම අයින් කරලා ‘දෙවියන්වහන්සේ,’ ‘ස්වාමීන්වහන්සේ’ කියලා දාලා තියෙනවා. ඒත් මෝසෙස් එක්ක සැබෑ දෙවි කතා කරපු වෙලාවේ තමන්ගේ නම යෙහෝවා කියලා හෙළි කළා. ඒ වගේම “සදහටම මගේ නාමය එයයි” කියලත් දෙවි කිව්වා. (නික්මයාම 3:15) ඒ නම නිසා ඔහු අනිත් දෙවිවරුන්ට වඩා කොච්චර වෙනස් දෙවි කෙනෙක්ද කියලා පැහැදිලි වුණා. දෙවිගේ නමෙන් අපිව හඳුන්වන එක ගැනත් ඒ නම අනිත් අයට දන්වන්න ලැබිලා තියෙන අවස්ථාව ගැනත් අපි හුඟක් සතුටු වෙනවා.

දෙවි වෙනුවෙන් අපි කරන දේ ඒ නමෙන් පැහැදිලි වෙනවා. ඈත අතීතයේ ඉඳලම යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඔහු ගැන සාක්ෂි දැරුවා. ඒ අයව බයිබලේ හඳුන්වලා තියෙන්නේ, ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ කියලයි. ඒ අයට ඇතුළත් වුණු පළමුවෙනි කෙනා ආබෙල්. ඊටපස්සේ නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, දාවිත් වගේ තව හුඟදෙනෙක් ඒ සමූහයට අයිති වුණා. (හෙබ්‍රෙව් 11:4–12:1) සාමාන්‍යයෙන් සාක්ෂිකරුවෙක් කියන්නේ නඩු විභාගයකදී කෙනෙක් වෙනුවෙන් පෙනී ඉඳලා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන කෙනාටයි. ඒ වගේ අපිත් යෙහෝවා දෙවි වෙනුවෙන් පෙනී ඉඳලා ඔහු ගැන සත්‍යය මිනිසුන්ට කියලා දෙනවා.

අපි ආදර්ශයට ගන්නේ යේසුස්වයි. බයිබලේ යේසුස්ව හඳුන්වන්නේ, “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” කියලයි. (එළිදරව් 3:14) ‘මම දෙවිගේ නාමය ප්‍රකාශ කළා’ කියලත් ‘සත්‍යය ගැන සාක්ෂි දරනවා’ කියලත් යේසුස්ම කිව්වා. (යොහන් 17:26; 18:37) ඒ නිසා යේසුස්ගේ සැබෑ අනුගාමිකයනුත් දෙවිගේ නාමය දරමින් දෙවි ගැන සත්‍යය හැමෝටම දන්වන්න ඕනේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි නිතරම උත්සාහ කරන්නේ ඒක කරන්නයි.

  • බයිබල් ශිෂ්‍යයන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමෙන් හඳුන්වන්න පටන්ගත්තේ ඇයි?

  • යෙහෝවා දෙවි ගැන සාක්ෂි දැරූ අය කොච්චර කාලයක් තිස්සේ පොළොවේ ඉඳලා තියෙනවාද?

  • යෙහෝවා දෙවිගේ ප්‍රධාන සාක්ෂිකරුවා කවුද?