Skip to content

පටුනට යන්න

12වෙනි පාඩම

දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපි හැමෝටම දන්වන්නේ කොහොමද?

දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපි හැමෝටම දන්වන්නේ කොහොමද?

ස්පාඤ්ඤය

බෙලෝරුසියාව

හොං කොං

පේරු

මිය යන්න ටික දවසකට කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ට මේ වගේ දෙයක් කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) යේසුස් පොළොවේ ඉද්දී ඒ ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. අද අපිත් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියලා දෙන්නේ යේසුස් ඒක කරපු විදිහටමයි.—ලූක් 8:1.

අපි මිනිසුන්ගේ ගෙවල්වලටම ගිහින් ශුභාරංචිය කියනවා. ගෙවල්වලටම ගිහිල්ලා දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට කියන්න යේසුස් ඔහුගේ ගෝලයන්ව පුහුණු කළා. (මතෙව් 10:11-13; ක්‍රියා 5:42; 20:20) කිසි පිළිවෙළක් නැතුව තැනින් තැන ගිහින් ශුභාරංචිය දේශනා කරනවා වෙනුවට ඒ අයට වෙන වෙනම ප්‍රදේශ භාර දුන්නා. (මතෙව් 10:5, 6; 2 කොරින්ති 10:13) අද අපිත් ශුභාරංචිය දේශනා කරන්නේ ඒ විදිහටයි. සාක්ෂිකරුවන්ගේ හැම සභාවකටම එක එක ප්‍රදේශ භාර දීලා තියෙනවා. ඒ සැලැස්ම නිසා යේසුස් කිව්ව විදිහට ශුභාරංචිය “ජනයාට දේශනා කර ඒ ගැන සම්පූර්ණ සාක්ෂියක් දරන්න” පුළුවන් වෙලා තියෙනවා.—ක්‍රියා 10:42.

අපි මිනිසුන් ගැවසෙන ඕනෙම තැනකට ගිහින් ශුභාරංචිය කියනවා. යේසුස් පොළොවේ ඉද්දී මිනිසුන් ගැවසෙන තැන්වලදී ඒ කියන්නේ මුහුදු වෙරළෙදී, පොදු ළිං ළඟදී මුණගැහුණු අයට ශුභාරංචිය කිව්වා. (මාක් 4:1; යොහන් 4:5-15) ඒ වගේ අපිත් පාරෙදී, මාකට් එකේදී, මඟ තොටේදී මුණගැහෙන අයට අපේ පණිවිඩය කියනවා. ඒ වගේම අපි ටෙලිෆෝන් එකෙනුත් ශුභාරංචිය කියනවා. අපේ නෑදෑයන්ටත් ගෙවල් අවට ඉන්න අයටත් ඉස්කෝලේ අයටත් වැඩපොළේ අයටත් පුළුවන් හැම වෙලාවකම ශුභාරංචිය කියන්න අපි උත්සාහ කරනවා. ලොව පුරා ඉන්න මිලියන ගාණක් මිනිසුන්ට “ගැලවීම පිළිබඳ ශුභාරංචිය” ගැන දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.—ගීතාවලිය 96:2.

දේවරාජ්‍යය ගැන, ඒකෙන් ලැබෙන ආශීර්වාද ගැන ඔයා දැනගත්ත ශුභාරංචිය ඉස්සෙල්ලාම කියන්න කැමති කාටද? පුළුවන් තරම් ඉක්මනට ඒ වටිනා ශුභාරංචිය හැම කෙනෙක්ටම කියන්න.

  • අපි හැමෝටම කියන්න ඕන “ශුභාරංචිය” මොකද්ද?

  • යේසුස් කරපු විදිහටම අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?