Skip to content

පටුනට යන්න

17වෙනි පාඩම

චාරිකා සේවකයන් අපි වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද?

චාරිකා සේවකයන් අපි වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද?

මලාවි

සේවා කණ්ඩායමක්

දේවසේවයේදී

වැඩිමහල්ලන් එක්ක රැස්වීමක්

බානබස් හා පාවුල් සංචාරක සේවකයන් විදිහට සභාවන්වලට ගිහින් කරපු සේවය ගැන බයිබලේ සඳහන් වෙනවා. සහෝදර සහෝදරියන් ගැන අවංක ආදරයක් තිබුණු නිසා තමයි එයාලා ඒ විදිහට සභාවන්වලට ගියේ. ශුභාරංචිය දේශනා කරපු ප්‍රදේශවල හිටිය අයව ආපහු ගිහින් බලන්න පාවුල්ට ලොකු ආසාවක් තිබුණා කියලා බයිබලේ තියෙනවා. ඒ නිසා එයා කිලෝමීටර් සිය ගාණක් දුර ගෙවාගෙන ගිහින් එයාලව හම්බ වෙලා, ඒ අයව දිරිගැන්නුවා. (ක්‍රියා 15:36) අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඉන්න සංචාරක සේවකයනුත් සභාවන්වලට ගිහින් ඒ අයව දිරිගන්වලා, එයාලගේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න හුඟක් කැමතියි.

එයාලා අපිව දිරිගන්වනවා. චාරිකා සේවකයෙක් සාමාන්‍යයෙන් සභා 20ක් විතර බලාගන්නවා. එක් එක් චාරිකා සේවකයා බලාගන්න සභාවන් කීපයටම කියන්නේ ‘චාරිකාවක්’ කියලයි. චාරිකා සේවකයෙක් හැම අවුරුද්දකම එයාගේ චාරිකාවේ තියෙන හැම සභාවක්ම දෙපාරක් බලන්න යනවා. එහෙම ගියාම ඒ සභාවේ අයත් එක්ක එයා සතියක් සේවය කරනවා. චාරිකා සේවකයන්ගෙන් අපිට ගොඩක් වටිනා දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාලා විවාහ වෙලා ඉන්නවා නම් එයාලගේ භාර්යාවන්ගෙනුත් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. සභාවල ඉන්න බාල මහලු හැම කෙනෙක්වම හොඳට අඳුනගෙන එයාලත් එක්ක සේවයේ යන්න, බයිබල් පාඩම්වලට යන්න චාරිකා සේවකයන් ගොඩක් කැමතියි. එයාලා වැඩිමහල්ලන් එක්ක සමහර අයව පෞද්ගලිකව බලන්න ගිහින් එයාලව දිරිගන්වනවා. සභාවේදී වගේම සමුළුවලදී එයාලා දෙන කතාවලින් අපිට ලැබෙන්නේ ලොකු දිරිගැන්වීමක්.—ක්‍රියා 15:35.

එයාලා අපි ගැන සැලකිලිමත්. චාරිකා සේවකයන් හැම සභාවකම ඉන්න අය ගැන හුඟක් සැලකිලිමත් නිසා යෙහෝවා දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය රැකගන්න එයාලා ගොඩක් උදව් කරනවා. එයාලා සභාවන්වලට ආවාම වැඩිමහල්ලන්ට හා සහායක සේවකයන්ට ඒ අයගේ වගකීම් හොඳට කරන්න පුළුවන් විදිහ ගැන කියලා දෙනවා. ඒ වගේම සභාවේ ඉන්න පුරෝගාමීන්වත් හම්බ වෙලා එයාලගේ සේවය තවත් හොඳින් කරන්න පුළුවන් විදිහ ගැන මඟ පෙන්වීම් දෙනවා. සභාවට අලුතින් එන අය එක්ක කතාබහ කරලා එයාලව අඳුනගන්නත් චාරිකා සේවකයන් කැමතියි. චාරිකා සේවකයන් එයාලගේ කාලය, ශ්‍රමය අපි වෙනුවෙන් කැප කරන්නේ කැමැත්තෙන්මයි. (2 කොරින්ති 8:23) එයාලගේ විශ්වාසය හා දෙවිට තියෙන ළැදිකම අපි ආදර්ශයට ගන්න එක ගොඩක් වටිනවා.—හෙබ්‍රෙව් 13:7.

  • චාරිකා සේවකයන් සභාවල ඉන්න අයව බලන්න යන්නේ ඇයි?

  • එයාලා සභාවට එන එකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද?