Skip to content

පටුනට යන්න

19වෙනි පාඩම

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?

දාසයා උගන්වන දේවලින් අපි ප්‍රයෝජන ලබනවා

යේසුස් ඔහුගේ මරණයට ටික දවසකට කලින් පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ කියන ගෝලයන් එක්ක අවසාන කාලය අඳුනගන්න පුළුවන් විදිහ ගැන කතා කළා. ඒ වෙලාවේ යේසුස් මේ වැදගත් ප්‍රශ්නය ඇහුවා. “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” (මතෙව් 24:3, 45; මාක් 13:3, 4) යේසුස් ඒ ප්‍රශ්නය ඇහුවේ “ස්වාමියා” හැටියට ඔහු, අවසාන කාලේ පොළොවේ ඉන්න ඔහුගේ අනුගාමිකයන්ව නොකඩවා දෙවිගේ වචනයෙන් පෝෂණය කරන්න දාසයෙක්ව පත් කරනවා කියලා පෙන්නන්නයි. ඒ දාසයා කවුද?

දාසයා කියන්නේ දෙවිගේ බලයෙන් අභිෂේක කරලා තියෙන යේසුස්ගේ අනුගාමිකයන් ටිකදෙනෙක්ටයි. ‘විශ්වාසවන්ත දාසයා’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විදිහට හඳුන්වන්න පුළුවන්. දාසයා යේසුස්ගේ අනුගාමිකයන්ට ‘නියම වේලාවට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දෙනවා.’ (ලූක් 12:42) යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ විශ්වාසවන්ත දාසයා බයිබලේ තියෙන දේවල් කලට වෙලාවට අපිට පැහැදිලි කරලා දෙන නිසයි.

දාසයා යෙහෝවා දෙවිගේ ගෘහය බලා කියා ගන්නවා. (1 තිමෝති 3:15) පොළොව මත තියෙන යෙහෝවා දෙවිගේ සංවිධානය බලා කියා ගන්න වගකීම යේසුස් භාර දීලා තියෙන්නේ විශ්වාසවන්ත දාසයාටයි. ඒකට ශුභාරංචිය දේශනා කරන වැඩේ අධීක්ෂණය කරන එක, සංවිධානයට අයිති සම්පත් බලා කියා ගන්න එක, දෙවිගේ සෙනඟට උගන්වන එක අයිතියි. අපි සේවයේ ගිහින් බෙදා දෙන පොත් පත් මාර්ගයෙන්, රැස්වීම් හා සමුළුවලින් අපිට අවශ්‍ය මඟ පෙන්වීම් නියම වේලාවට දාසයා දෙනවා.

යේසුස් පත් කරපු දාසයා විශ්වාසවන්තයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ දාසයා දේවල් කරන්නේ බයිබලේ තියෙන සත්‍ය තොරතුරුවලට එකඟවයි. ශුභාරංචිය දේශනා කරන්න භාර දීලා තියෙන වැඩෙත් ඒ අය විශ්වාසවන්තව ඉටු කරනවා. (ක්‍රියා 10:42) ඒ වගේම දාසයා නුවණ ඇතුව වැඩ කරනවා කියලත් කියන්න පුළුවන්. මොකද එයාලට යේසුස් භාර දීලා තියෙන හැම දෙයක්ම එයාලා හොඳින් බලාගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරට එකතු වෙන සෙනඟ දිහා බලද්දී දෙවිගේ ආශීර්වාදය දාසයාට තියෙනවා කියලා හොඳින්ම පැහැදිලියි.—යෙසායා 60:22; 65:13.

  • යේසුස්ගේ අනුගාමිකයන්ව දෙවිගේ වචනයෙන් පෝෂණය කරන්න යේසුස් පත් කරපු දාසයා කවුද?

  • දාසයා විශ්වාසවන්තව හා නුවණ ඇතුව වැඩ කරනවා කියලා කියන්න පුළුවන් ඇයි?