Skip to content

පටුනට යන්න

24වෙනි පාඩම

ලොව පුරා අපි කරන වැඩවලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?

ලොව පුරා අපි කරන වැඩවලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?

නේපාලය

ටෝගො

බ්‍රිතාන්‍යය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය හා සඟරා, පොත් පත් මිලියන ගාණක් මුද්‍රණය කරලා කිසිම අය කිරීමක් නැතුව මිනිසුන්ට ලබා දෙනවා. අපි නමස්කාර මධ්‍යස්ථාන, ශාඛා කාර්යාල ඉදි කරලා ඒවා නඩත්තු කරනවා. බෙතෙල් සේවකයන් හා මිෂනාරි සේවකයන් දහස් ගාණකගේ මූලික අවශ්‍යතාවන් අපි ඉටු කරනවා. විපත්තිවලට අපේ සහෝදරයන් මුහුණ දුන්නාම ඒ අයට අපි උදව් කරනවා. ඒ හැම දෙයක්ම කරන්න අපිට සල්ලි කොහෙන්ද?

අපි දායක මුදලක්වත් දහයෙන් කොටසක්වත් මාස් කාසිවත් එකතු කරන්නේ නැහැ. ශුභාරංචිය දේශනා කරන වැඩේට ලොකු මුදලක් වැය වුණාට අපි ඒකට කාගෙන්වත් සල්ලි ඉල්ලන්නේ නැහැ. මීට අවුරුදු 100කට කලින් පළ වුණු මුරටැඹ සඟරාවේ දෙවෙනි කලාපයේ තිබුණේ අපේ වැඩේට යෙහෝවා දෙවිගේ උපකාර ලැබෙන නිසා අපි කවදාවත් ඒ වැඩේ කරන්න මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ කියලයි. ඒකේ තිබුණු විදිහට අපි මේ වෙනකම් මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලලා නැහැ. ඉදිරියට ඉල්ලන්නෙත් නැහැ.—මතෙව් 10:8.

අපේ වැඩවලට සල්ලි ලැබෙන්නේ කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින්. බයිබලේ තියෙන දේවල් පැහැදිලි කරලා දෙන්න අපි දරන උත්සාහය හුඟක් අය අගය කරනවා. ඒ වගේ අය අපි කරන වැඩේ වෙනුවෙන් කැමැත්තෙන්ම සල්ලි පරිත්‍යාග කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් එයාලගේ සල්ලි, කාලය, ශ්‍රමය හා වෙනත් වටිනා දේවල් ශුභාරංචිය දේශනා කරන වැඩේ වෙනුවෙන් කැමැත්තෙන්ම දෙනවා. (1 ලේකම් 29:9) අපේ හැම නමස්කාර මධ්‍යස්ථානයකම, සමුළු පවත්වන සථානවල සම්මාදම් පෙට්ටි තියෙනවා. ඕනම කෙනෙක්ට ඒ පෙට්ටිවලට කැමති මුදලක් සම්මාදම් කරන්න පුළුවන්. jw.org අපේ වෙබ් අඩවිය හරහාත් සම්මාදම් කරන්න පුළුවන්. සම්මාදම් කරන්නේ පොහොසත් අය විතරයි කියලා හිතන්න එපා. යේසුස්ගේ කාලේ දේවමාලිගාවේ මුදල් බඳුන්වලට පොඩි වටිනාකමක් තිබුණු කාසි දෙකක් දාපු වැන්දඹුව වගේ අදත් ඒ තරම් වත්පොහොසත් නැති සාමාන්‍ය අයත් සම්මාදම් දානවා. (ලූක් 21:1-4) ඒ නිසා ඕනම කෙනෙක්ට කැමති ගාණක් තීරණය කරලා ඒක නොකඩවා දෙන්න සැලසුම් කරන්න පුළුවන්.—1 කොරින්ති 16:2; 2 කොරින්ති 9:7.

පොළොව පුරාම ශුභාරංචිය දේශනා කරන එක තමයි යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඒ නිසා දෙවිව “ගෞරවයට පත් කරන්න” කැමැත්තෙන් ඉන්න අයගේ හිත් දෙවි පොලඹවනවා ඒ වැඩේ වෙනුවෙන් තමන් ළඟ තියෙන “වටිනා දේවල්” පරිත්‍යාග කරන්න.—හිතෝපදේශ 3:9.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

  • කැමැත්තෙන් දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද?