Skip to content

පටුනට යන්න

විසිඑක්වෙනි පරිච්ඡේදය

බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්

බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්

1-3. පේතෘස් ගමන යෑමට කලින් සිදු වුණේ මොනවාද? ගමන අතරතුරේදී ඔහුට අද්දකින්න සිදු වුණේ මොනවාද?

පේතෘස් ඔහුගේ මිත්‍රයන් සමඟ ඔරුවක නැඟී ගලීල මුහුදේ යාත්‍රා කරමින් සිටින්නේ මුළු පළාතම අඳුරෙන් වෙළී තිබෙන මොහොතකයි. බලාපොරොත්තු නොවූ ලෙස හැමූ සැඩ සුළඟ නිසා රළ පහරත් එන්න එන්නම දරුණු වෙලා. උස්ව නැඟී එන රළ ඔරු බඳේ වැදෙද්දී එහි ගමන් කරන සියලුදෙනාම තෙතබරිත වෙනවා. මේ තත්වය හමුවේ නොනවත්වා හබල් ගසන පේතෘස් දැන් වෙහෙසින් හෙම්බත් වෙලා.

2 පේතෘස් හා ඔහුගේ මිතුරන් මේ ගමන යෑමට කලින් සිදු වුණේ මොනවාද කියා බලමු. එදින යේසුස් රොටි කිහිපයකින් සහ මසුන් කිහිපදෙනෙකුගෙන් විශාල සමූහයකට ආශ්චර්යවත් ලෙස කෑම සපයා දුන්නා. ඒ නිසා යේසුස්ව රජු ලෙස පත් කරන්න සෙනඟ උත්සාහ කළා. නමුත් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට යේසුස්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අනුගාමිකයන්ද ඒ දේවලට හවුල් වීම කොහෙත්ම සුදුසු නැති බව ඉගැන්වීමටත් ඔහුට අවශ්‍ය වුණා. තම ගෝලයන්ට එගොඩට යන්න කියා පැවසූ යේසුස් එතැනින් ඉවත් වී තනියම යාච්ඤා කිරීම සඳහා කන්දට නැඟ ගියා.—මාක් 6:35-45; යොහන් 6:14-17 කියවන්න.

3 පුරසඳ බැස යෑමට ආසන්නව තිබුණත් ඔවුන් තවමත් වැඩි දුරක් යාත්‍රා කර නැහැ. නොනවත්වා හමන සැඩ සුළඟ නිසාත් උස්ව නැඟෙන රළ පෙළේ හඬ නිසාත් ඔවුන් එකිනෙකා පවසන දේවල් ඇසෙන්නේ නැහැ. ඒ නිසා නිහඬව ගමන් කරන පේතෘස්ගේ මනසට බොහෝ සිතුවිලි ගලා එන්න ඇති.

පේතෘස් යේසුස්ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තිබුණත් තවත් බොහෝ දේ ඉගෙනගන්න තිබුණා

4. පේතෘස් අපට කදිම ආදර්ශයක් කියා පවසන්න පුළුවන් ඇයි?

4 මීට වසර දෙකකට පෙර යේසුස්ව මුණගැසුණු අවස්ථාවේ පටන් සිදු වූ දේවල් පේතෘස්ගේ මතකයට නැඟෙන්න ඇති. ඒ කාලය අතරතුරේදී ඔහු යේසුස්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. නමුත් තවත් බොහෝ දේ ඔහුට ඉගෙනගැනීමටත් තිබෙනවා. ඔහු යම් දේවල් දෙස බියෙනුත් සැකයෙනුත් බැලීමට පුරුදු වී සිටි නිසා එයින් ගොඩ ඒමට ඔහු දැරුවේ අපමණ වෙහෙසක්. ඇත්තටම ඔහු අප සැමට කදිම ආදර්ශයක්.

“අපට මෙසියස්ව හමු වුණා”

5, 6. පේතෘස්ගේ දවස ගෙවුණේ කොහොමද?

5 පේතෘස්ට යේසුස්ව මුණගැසුණු මුල් දිනය ඔහුගේ මතකයේ සැමදාමත් රැඳී තියෙන්න ඇති. ඔහුගේ සහෝදරයා වන අන්දෘ “අපට මෙසියස්ව හමු වුණා” කියා පැවසූ මොහොතේදී පේතෘස්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! එදා පටන් ඔහුගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු වුණා.—යොහ. 1:41.

6 පේතෘස් ජීවත් වුණේ ගලීල මුහුදට උතුරෙන් තිබුණු කපර්ණවුම නම් නගරයේ. ඔහු සහ ඔහුගේ සහෝදරයා වන අන්දෘ ධීවර කර්මාන්තයේ නියැලුණේ සෙබදීගේ පුත්‍රයන් වන යොහන් සහ යාකොබ් සමඟයි. පේතෘස් සහ ඔහුගේ බිරිඳ සමඟ ඔහුගේ සහෝදරයාත් නැන්දම්මාත් ජීවත් වුණා. මේ සියලුදෙනාගේ අවශ්‍යතා සපුරන්න පේතෘස් බොහෝ වෙහෙසක් දැරූ බව නිසැකයි. ධීවර කර්මාන්තයේ නියැලීම ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි. රාත්‍රිය පුරාම ඔරුවලින් ගොස් දැල් හෙළන්නත් මසුන් අසු වුණාම නැවතත් දැල් වෙරළට ඇදගෙන එන්නත් ඔවුන්ට සිදු වෙනවා. එලෙස ගෙනා මසුන්ව වෙන් කරන්නත් විකුණන්නත් දැල පිරිසිදු කර ඉරී තිබෙන තැන් පිළිසකර කරන්නත් සිදු වන නිසා ඔවුන්ට දිවා කාලයේදීවත් විවේකයක් ලැබෙන්නේ නැහැ.

7. පේතෘස්ට යේසුස් ගැන දැනගන්න ලැබුණේ මොනවාද? එය එතරම් ප්‍රීතියට හේතුවක් වුණේ ඇයි?

7 අන්දෘ, යොහන් බව්තීස්තගේ ගෝලයෙක් කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා අන්දෘ පවසන සෑම දෙයකටම පේතෘස් උනන්දුවෙන් සවන් දෙන්න ඇති. දවසක් යේසුස්ව දුටු යොහන් බව්තීස්ත “මේ සිටින්නේ දෙවිගේ බැටළු පැටවා” කියා පැවසුවා. එය ඇසුණු සැණින් අන්දෘ යේසුස්ගේ පසුපස ගියා. ඉන්පසු තමන්ට ගැලවුම්කරුව හමු වුණු බව අන්දෘ පේතෘස්ට පැවසුවේ ඉතාමත් උද්‍යෝගයකින්. (යොහ. 1:35-40) මිනිසුන්ව ගලවාගැනීමට ගැලවුම්කරුවෙකුව එවන බවට දෙවි ඊට අවුරුදු 4,000කට පමණ කලින් පොරොන්දු වී තිබුණා. (උත්. 3:15) ඒ ගැලවුම්කරුව හමු වීම ගැන අන්දෘට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ගැලවුම්කරු ගැන දැනගන්න ලැබුණු සැණින් පේතෘස්ද ඔහුව හමු වීමට ගියා.

8. පේතෘස් යන නම යේසුස් ඔහුට දැමුවේ ඇයි? බොහෝ අය ඒ නම ගැන ප්‍රශ්න කරන්නේ ඇයි?

8 පේතෘස්ට යේසුස්ව මුණගැසෙන්න කලින් ඔහුව හැඳින්වූයේ සීමොන් ලෙසයි. නමුත් යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ඔබ යොහන්ගේ පුත් සීමොන් නේද? මෙතැන් පටන් ඔබව හඳුන්වන්නේ සීෆස් කියායි.” (ග්‍රීක බසින් සීෆස් යනු පේතෘස්ය.) (යොහ. 1:42) සීෆස් යන නමේ අර්ථය වෙන්නේ පර්වතය යන්නයි. යේසුස් ඔහුට එවැනි නමක් දැමුවේ පේතෘස් අනාගතයේදී ශක්තිමත්ව සිටිමින් යේසුස්ගේ අනුගාමිකයන්ව ශක්තිමත් කරන බව ඔහු තේරුම්ගෙන සිටි නිසයි. නමුත් තමන්ට එවැනි දෙයක් කරන්න පුළුවන් වෙයි කියා පේතෘස් සිතුවේ නැහැ. අදටත් සුවිශේෂ පොත් කියවන ඇතැම් අය පේතෘස් එවැනි කෙනෙක් කියා සිතන්නේ නැහැ. පේතෘස් ගැන බයිබලයේ සඳහන් වාර්තාව කියවන සමහර අයට සිතෙන්නේ ඔහු විශ්වාසය තැබිය නොහැකි ඉක්මනින්ම වෙනස් වෙන කෙනෙක් කියායි.

9. යෙහෝවා දෙවි සහ යේසුස් වැඩි අවධානයක් දෙන්නේ මොනවාටද? ඔවුන් අපව පුහුණු කරද්දී අපි කැමැත්තෙන්ම ඉඩහැරිය යුත්තේ ඇයි?

9 පේතෘස් තුළ යම් අඩුපාඩු තිබුණු බව ඇත්තයි. යේසුස්ද ඒ බව හොඳින්ම දැනගෙන සිටියා. තමන්ගේ පියා වූ යෙහෝවා දෙවි හා සමානව යේසුස්ද වැඩි අවධානයක් දුන්නේ මිනිසුන්ගේ හොඳ ගතිගුණවලටයි. යේසුස්ට අවශ්‍ය වුණේ පේතෘස් තුළ තිබුණු යහපත් ගතිගුණ තවත් වර්ධනය කරගැනීමට ඔහුට උපකාර කරන්නයි. සමහර අවස්ථාවලදී අප තුළ කිසිම යහපතක් නැහැ කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවි සහ යේසුස් අප තුළ තිබෙන යහපත් ගතිගුණ හොඳින්ම දකින බව මතක තබා ගනිමු. ඒ නිසා පේතෘස්ට උපකාර කළා හා සමානව යහපත් ගතිගුණ වර්ධනය කරගන්න යෙහෝවා දෙවි සහ යේසුස් අපිව පුහුණු කරද්දී ඊට කැමැත්තෙන්ම ඉඩ දෙමු.1 යොහන් 3:19, 20 කියවන්න.

“භය වෙන්න එපා”

10. යේසුස් සමඟ සේවය කළ කාලයේදී පේතෘස් අද්දුටු දේවල් මොනවාද? ඔහු නැවතත් හැරී ගියේ මොනවාටද?

10 යේසුස් දේශනා සේවයේ යද්දී පේතෘස්ද ඔහු සමඟ හවුල් වෙන්න ඇති. කානා නුවර පැවැත්වූ විවාහ උත්සවයකදී යේසුස් වතුර වයින් බවට පත් කරමින් සිදු කළ ඔහුගේ මුල්ම ආශ්චර්යයත් ඔහු දකින්න ඇති. ඒ වගේම දෙවිගේ රාජ්‍යය මගින් අනාගතයේදී කිරීමට යන දේවල් සම්බන්ධයෙන් යේසුස් පැවසූ පණිවිඩය ගැනත් ඔහු හොඳින්ම දැන සිටියා. නමුත් ඔහු නැවතත් ධීවර කටයුතු සඳහා හැරී ගියා. ඉන් මාස කිහිපයකට පසුව ඔහුට යේසුස්ව මුණගැසුණු අවස්ථාවේදී දිගටම තමන් සමඟ සේවය කිරීමට පැමිණෙන්න කියා යේසුස් ඔහුට ආරාධනා කළා.

11, 12. (අ) යේසුස්ව හමු වූ අවස්ථාවේදී පේතෘස් හෙම්බත් වී සිටියේ ඇයි? (ආ) යේසුස්ට සවන් දෙමින් සිටි අවස්ථාවේදී පේතෘස් මොන වගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න ඇද්ද?

11 ඒ අවස්ථාව වන විට පේතෘස් මුළු රැයක් පුරාම මාළු ඇල්ලීමට ගත් වෙහෙසින් හෙම්බත් වී සිටියා. දක්ෂ ධීවරයෙකු වූ පේතෘස් මාළු අල්ලාගැනීමට හැකි සෑම උපායක්ම යොදමින් හැකි සෑම තැනකම දැල හෙළන්න ඇති. නමුත් ඔහු දැරූ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නැහැ. අවසානයේදී පතුලටම කිමිදිලා මාළු රංචු පිටින් ඉන්න තැන් සොයාගෙන උන්ව දැලට අසු කරගන්න ඇත්නම් කියා ඔහුට සිතෙන්න ඇති. එවැනි සිතුවිලිවලින් ඔහු තව තවත් කලකිරුණු බවට සැකයක් නැහැ. ඔහු මසුන් අල්ලන්න ගියේ විනෝදයක් ලබන්න නෙවෙයි. එය ඔහුගේ ජීවනෝපායයි. ඔහු මත තවත් පිරිසක් යැපුණා. යේසුස් ඔහුව මුණගැසීමට පැමිණෙන්නේ පේතෘස් වෙරළේ සිට දැල පිරිසිදු කරමින් සිටියදීයි.

යේසුස් දේවරාජ්‍යය ගැන උගන්වන දේවලට සවන් දෙන්න පේතෘස්ට තිබුණේ මහත් ආශාවක්

12 ඒ වන විට යේසුස්ගෙන් ඉගෙනගැනීමට මහත් ආශාවෙන් විශාල සමූහයක් ඔහු වටා එක් රොක් වී සිටියා. ඒ නිසා යේසුස් පේතෘස්ගේ ඔරුවට නැඟ ඔරුව වෙරළෙන් තරමක් ඈතට ගෙනියන්න කියා පේතෘස්ට පැවසුවා. පසුව ඔරුවේ සිටි යේසුස් රැස්ව සිටි සමූහයාට උගන්වන්න පටන්ගත්තා. සියලුදෙනාටම ඔහු පැවසූ දේවල් පැහැදිලිව අසන්න ලැබෙනවා. දේවරාජ්‍යය ගැන උගන්වන දේවලට සවන් දෙන්න මහත් ආශාවෙන් සිටි පේතෘස් මේ අවස්ථාවේදීත් යේසුස් පවසන සෑම දෙයකටම හොඳින් සවන් දුන්නා. දෙවිගේ රාජ්‍යය ගැන අන් අයට දැනුම් දෙන්න යේසුස් සමඟ හවුල් වීමට ඇත්නම් එය මොන තරම් වරප්‍රසාදයක්ද කියා පේතෘස් කල්පනා කරන්න ඇති. කොහොමවුණත් ධීවර රැකියාවේ නියැලෙන අතරතුරේදී ඔහුට ඒ දේ කරන්න හැකි වෙයිද? දිගටම පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්න ඔහුට හැකි වෙයිද? ඔහු එවන් ප්‍රශ්න ගැන සිතන්න ඇති.—ලූක් 5:1-3.

13, 14. යේසුස් කළ ආශ්චර්යය කුමක්ද? එය පේතෘස්ට බලපෑවේ කොහොමද?

13 යේසුස් උගන්වා අවසන් වූ පසුව “දැන් දියඹට ගොස් දැල් හෙළන්න” කියා පේතෘස්ට පැවසුවා. එසේ කිරීමෙන් පලක් වෙයිද කියා සැක කළ පේතෘස් යේසුස්ට පැවසුවේ “ගුරුතුමනි, රෑ තිස්සේම මාළු අල්ලන්න ගිය අපට එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වුණා. ඒත් ඔබ කියන නිසා මම දැල් හෙළන්නම්” කියායි. මාළුන් වැඩිපුර ගැවසෙන වේලාව ගැන හොඳින්ම දැන සිටි පේතෘස් තමන් පිරිසිදු කළ දැල මේ වතාවේදී මුහුදට හෙළන්න අදිමදි කළා. නමුත් යේසුස් පැවසූ නිසා ඔහු තම සගයන්ටද එන්න කියා සංඥා කරමින් දියඹට ගියා.—ලූක් 5:4, 5.

14 සිදු වුණේ පේතෘස් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ දෙයක්. දැල ඉරෙන තරමටම මාළු තොගයක් අසු වුණා. ඒ නිසා දැල ඇදගැනීමට උපකාර පතමින් පේතෘස් අනික් ඔරුවේ සිටින හවුල්කරුවන්ටත් එන්න කියා සංඥා කළා. ඔවුන්ට මොන තරම් මසුන් තොගයක් හසු වී තිබෙනවාද කියනවා නම් එහි බරට ඔරු දෙකම ගිලෙන්න පටන්ගත්තා. යේසුස් සිදු කළ අනිකුත් ආශ්චර්යයන් පේතෘස් දැක තිබුණත් ඒ අවස්ථාවේදී තමා වෙනුවෙන්ම යේසුස් කළ මේ ආශ්චර්යය ගැන පේතෘස් පුදුම වුණා. ඔහුට යම් භයක්ද දැනුණා. ඔහු යේසුස් ඉදිරියේ දණින් වැටී “ස්වාමීනි, මම පව්කාරයෙක්. ඔබ ළඟ සිටින්න තරම්වත් මම වටින කෙනෙක් නෙවෙයි” කියා පැවසුවා. පේතෘස්ට සිතුණේ එතරම් බලයක් තිබෙන කෙනෙකු සමඟ ඇසුරු කිරීමට තරම් තමන් වටින්නේ නැහැ කියායි.ලූක් 5:6-9 කියවන්න.

“ස්වාමීනි, මම පව්කාරයෙක්”

15. සැක කිරීමට හෝ බිය වීමට කිසිම පදනමක් නැති බව යේසුස් පේතෘස්ට කියා දුන්නේ කොහොමද?

15 ඒ අවස්ථාවේදී යේසුස් ඉතාමත් කාරුණිකව පේතෘස්ට මෙසේ පැවසුවා. “භය වෙන්න එපා. මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්වයි.” (ලූක් 5:10, 11) පේතෘස්ට භය වෙන්නවත් සැක කරන්නවත් කිසිම පදනමක් නැහැ. මුහුදට දැල හෙළන්න කියා යේසුස් පැවසූ අවස්ථාවේදී පේතෘස්ට යම් සැකයක් තිබුණත් එය මොන තරම් නිරර්ථකද කියා ඔප්පු වුණා. එසේනම් මේ වතාවේදී යේසුස් පවසන දේ ගැන සැක කිරීමට ඔහුට පදනමක් තිබෙනවාද? නැහැ. යේසුස් මිනිසුන්ට ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතයට බලපාන පණිවිඩයක් ගැනයි. අනික් අතට යේසුස් සේවය කරන්නේ ‘මුළු හදින්ම සමාව දීමට’ කැමති යෙහෝවා දෙවිටයි. (යෙසා. 55:7) පේතෘස්ගේ පවුලේ අයව බලාගැනීමට යෙහෝවා දෙවි උපකාර කරයිද කියා හෝ දෙවිගේ රාජ්‍යය ගැන පණිවිඩය ප්‍රකාශ කිරීමට දෙවි තමන්ට උපකාර කරයිද කියා හෝ ළත වෙන්න පේතෘස්ට කිසිම පදනමක් නැහැ.—මතෙ. 6:33.

16. පේතෘස්, යාකොබ් සහ යොහන් කළේ මොනවාද? එය ඔවුන් ගත් හොඳම තීරණය කියා පවසන්න පුළුවන් ඇයි?

16 පේතෘස් සමඟ යාකොබ් සහ යොහන්ද “ඔරු ගොඩට ඇද දමා සෑම දෙයක්ම අත්හැර ඔහු අනුව” යනවා. (ලූක් 5:11) පේතෘස්ට එවැනි තීරණයක් ගැනීමට හැකි වුණේ ඔහු යේසුස් කෙරෙහිත් යෙහෝවා දෙවි කෙරෙහිත් පූර්ණ විශ්වාසය තැබූ නිසයි. ඔහුගේ ජීවිත කාලයේදී ඔහු ගත් වැදගත්ම තීරණය වුණේ එයයි. අද සිටින බොහෝ ක්‍රිස්තියානීන්ද බිය සැක දුරු කරගෙන දෙවිට සේවය කිරීමට පෙලඹී තිබෙන්නේ පේතෘස්ට තිබුණා හා සමාන විශ්වාසයක් තිබෙන නිසයි. එවැනි අයව දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ.—ගීතා. 22:4, 5.

‘ඔබ තුළ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි?’

17. පේතෘස්ට යේසුස් ගැන තිබුණේ මොන වගේ මතකයන්ද?

17 පේතෘස්ට යේසුස්ව මුණගැසී දැන් වසර දෙකක් පමණ ගත වී තිබෙනවා. මෙම පරිච්ඡේදයේ මුලින් සඳහන් කළ ලෙස දැන් පේතෘස් සිටින්නේ ගලීල මුහුදේ ඔරුවෙයි. ඒ අවස්ථාවේදී ඔහු මොන වගේ දේවල් ගැන කල්පනා කළාද කියා අපි දන්නේ නැහැ. ඒ වන විට යේසුස් කළ බොහෝ දේවල් ඔහු දැක තිබෙන්න ඇති. යේසුස් ඔහුගේ නැන්දම්මාව සුව කළ ආකාරය, ඔහු පැවැත්වූ කන්ද උඩ දේශනය, ඔහු කළ තවත් ඉගැන්වීම් මෙන්ම බලවත් ක්‍රියා ගැනත් පේතෘස් කල්පනා කරන්න ඇති. ඒ සෑම දෙයක් නිසාම යේසුස් ගැලවුම්කරු බවට ඔහුට කිසිම සැකයක් තිබුණේ නැහැ. කාලයත් සමඟම බියෙන් සහ සැකෙන් යම් තාක් දුරකට ගොඩ එන්න පේතෘස් ඉගෙනගෙන තිබුණා. යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් වෙන්නත් ඔහුට අවස්ථාව ලැබුණා.

18, 19. (අ) ගලීල මුහුදේදී පේතෘස් දැක්කේ මොනවාද? (ආ) පේතෘස් කළ ඉල්ලීම යේසුස් ඉටු කළේ කොහොමද?

18 පාන්දර තුනට පමණ ඈතින් පෙනෙන ඡායාවක් නිසා හබල් ගැසීම නතර කරන පේතෘස් ගල් ගැසී ඒ දෙස බලා සිටිනවා. ඔහුට එලෙස පෙනෙන්නේ උස්ව නැඟෙන රළ මතට සඳ එළිය වැටීමෙන් ඇති වන ඡායාවක්ද? නැහැ. ඔහුට පෙනෙන්නේ මිනිසෙකුවයි. ඒ මිනිසා කෙමෙන් කෙමෙන් තමන් දෙසට පැමිණෙන අයුරු ඔහු දකිනවා. ඒ අවතාරයක් කියා සිතූ ඔවුන් බියෙන් බිරාන්ත වෙනවා. නමුත් ඔවුන්ගේ බිය සැක දුරු කරමින් “භය වෙන්න එපා. මේ මමයි” කියා යේසුස් පවසනවා.—මතෙ. 14:25-28.

19 එවිට පේතෘස් පැවසුවේ මෙයයි. “ස්වාමීනි, ඒ ඔබ නම් වතුර මත ඇවිදගෙන ඔබ ළඟට එන්න කියා මට පවසන්න.” ඒ අවස්ථාවේදී ඔහුට දැනෙන නිර්භීතකම නිසා යේසුස් මෙන් වතුර මත ඇවිදගෙන යෑමට ඔහුටත් අවශ්‍ය වෙනවා. එසේ කිරීමෙන් තමන්ට යේසුස් ගැන තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීමට හැකි වන බව ඔහු තේරුම්ගෙන සිටියා. වතුර මත ඇවිදගෙන එන්න කියා යේසුස් පැවසූ සැණින් දෙවතාවක් සිත සිතා ඉන්නවා වෙනුවට ඔහු ඔරුවෙන් බැස යේසුස් වෙත යන්නේ ඒ නිසයි. වතුර මත පය තබමින් ඉදිරියට යන ඔහුට දැනෙන්නේ තමන් ඝන පෘෂ්ඨයක් මත ඇවිදිනවා කියායි. ඒ ගැන ඔහුට මොන තරම් පුදුමයක් දැනෙන්න ඇද්ද!මතෙව් 14:29 කියවන්න.

‘කුණාටුව දැක ඔහු භය වුණා’

20. (අ) පේතෘස්ගේ අවධානය යොමු වුණේ මොනවාටද? ඔහුට සිදු වුණේ මොනවාද? (ආ) යේසුස් ඔහුට ඉගැන්වූ වටිනා පාඩම කුමක්ද?

20 පේතෘස් තුළ තිබුණු නිර්භීතකම නැති වී යන්න වැඩි වේලාවක් යන්නේ නැහැ. ඔහුට වතුර මත ඇවිදගෙන යෑමට බලය දුන්නේ යේසුස්. යේසුස් ඒ බලය ඔහුට ලබා දුන්නේ ඔහු යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ නිසයි. නමුත් දැන් ඔහු යේසුස් කෙරෙහි අවධානය දෙනවා වෙනුවට “කුණාටුව දැක භය” වෙනවා. උස්ව නැඟෙන රළ දකිද්දී තමන් ගිලෙයි කියා ඔහුට හැඟෙන්න ඇති. යේසුස් පර්වතය කියා හැඳින්වූ මේ මිනිසා දැන් බියට පත් වී සිටින නිසා යෙහෝවා දෙවි සහ යේසුස් කෙරෙහි තිබුණු විශ්වාසය යටපත් වී යනවා. ඒ නිසා ඔහු ගිලෙන්න පටන්ගන්නවා. ධීවරයෙක් වූ පේතෘස්ට දක්ෂ ලෙස පිහිනීමේ හැකියාව තිබුණත් “ස්වාමීනි, මාව බේරගන්න” කියා යේසුස්ගෙන් උපකාර ඉල්ලා කෑගසනවා. ඒ මොහොතේම තම අත දිගු කර ඔහුව අල්ලාගත් යේසුස් “ඔබේ විශ්වාසය දුර්වල වුණේ ඇයි? ඔබ තුළ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි” කියා අසමින් ඔහුට වටිනා පාඩමක් උගන්වනවා.—මතෙ. 14:30, 31.

21. සැකයට ඉඩ දීම හානිකර දෙයක් වෙන්නේ ඇයි? ඉන් වැළකී සිටීමට අපිට කරන්න පුළුවන් මොනවාද?

21 සැකයට ඉඩ දීම ඉතාමත් හානිකර දෙයක්. දිගින් දිගටම එයට ඉඩ දීමෙන් සිදු වෙන්නේ යෙහෝවා දෙවි කෙරෙහි අපිට තියෙන විශ්වාසය පලුදු වීම පමණයි. ඒ නිසා අපව බියට පත් කරන දේවල්, අධෛර්යය කරවන දේවල් සහ යෙහෝවා දෙවිගෙන් හා යේසුස්ගෙන් අපිව ඈත් කරන දේවල් ගැන දිගින් දිගටම සිතීමෙන් වළකිමු. ඒ දේවල් ගැන අවධානය දෙනවා වෙනුවට යෙහෝවා දෙවි සහ යේසුස් ගැනත් ඔවුන් මේ දක්වා අපි වෙනුවෙන් කර තිබෙන දේවල් ගැනත්, දැනටමත් කරමින් සිටින දේවල් ගැනත් සහ අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැනත් අවධානය දෙමු. එසේ කිරීමෙන් අනවශ්‍ය සැක ඇති වීමට ඉඩ නොදී සිටීමට අපට හැකි වෙනවා.

22. පේතෘස්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අනුකරණය කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

22 යේසුස්, පේතෘස් සමඟ ඔරුවට නැඟුණු සැණින් කුණාටුව නතර වී මුළු මුහුදම නිශ්චල වෙනවා. ඒ අවස්ථාවේදී පේතෘස් ඔරුවේ සිටි අනිකුත් අය සමඟ “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයායි” කියා යේසුස්ට පවසනවා. (මතෙ. 14:33) යේසුස් තමන් වෙනුවෙන් කළ දේ ගැන පේතෘස්ට ලොකු අගයක් දැනෙන්න ඇති. දැන් යෙහෝවා දෙවි සහ යේසුස් කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ දමන්න බියට සහ සැකයට තව දුරටත් ඉඩ නොදෙන්න පේතෘස් ඉගෙනගන්නවා. යේසුස් බලාපොරොත්තු වූ ලෙස ශක්තිමත්ව සිටිමින් සෙසු අනුගාමිකයන්ව ශක්තිමත් කරන කෙනෙක් බවට පත් වෙන්න පේතෘස්ට තවත් බොහෝ වෙනස්කම් කිරීමට සිදු වෙනවා. නමුත් ඔහු තම උත්සාහය අත්හැරියේ නැහැ. ඔබටත් එවැනි අධිෂ්ඨානයක් තිබෙනවාද? එසේනම් පේතෘස්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අනුකරණය කිරීමෙන් ඔබට බොහෝ ප්‍රයෝජන ලබන්න පුළුවන් වෙයි.