Skip to content

පටුනට යන්න

තුන්වෙනි පරිච්ඡේදය

‘ධර්මිෂ්ඨ සියලුදෙනාගේම පියා’

‘ධර්මිෂ්ඨ සියලුදෙනාගේම පියා’

1, 2. ආබ්‍රම් ජීවත් වෙන්නේ නෝවාගේ කාලයට වඩා හාත්පසින්ම වෙනස් කාලයක කියා පවසන්න පුළුවන් ඇයි? සිදු වෙමින් තිබුණු දේවල් ගැන ආබ්‍රම්ට හැඟුණේ කොහොමද?

ආබ්‍රම්ගේ නිජබිම වුණේ ඌර් දේශයයි. * එහි තිබෙන දැවැන්ත දේවාලයෙන් නැඟෙන දුමක් ඔහු දකිනවා. එහි සිටින පූජකයන් පූජා ඔප්පු කරන්නේ සඳු දෙවියාටයි. ඒ දේවල් හෙළා දකින ආබ්‍රම් දිගු සුසුමක් හෙළමින් නැවතත් තමන්ගේ නිවස වෙතට පිය නඟනවා. ඒ අතරතුරේදී ඌර් දේශය පුරාම බොරු නමස්කාරය කොතරම් පැතිරී තිබෙනවාද කියා ඔහු කල්පනා කරන්න ඇති.

2 ආබ්‍රම් ඉපදුණේ නෝවා මිය ගොස් වසර දෙකකට පසුවයි. ජලගැල්මෙන් තම පවුලේ අයගේ ජීවිත බේරාගැනීමට හැකි වීම ගැන ස්තුති කරමින් නෝවා යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කළා. එවිට දෙවි දේදුන්නක් පෙනෙන්න සැලැස්සුවා. (උත්. 8:20; 9:12-14) ඒ කාලයේදී මිහිපිට තිබුණේ සැබෑ දෙවිට කළ නමස්කාරය පමණයි. නමුත් දැන් තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ වෙද්දී නෝවාගේ සිට පරම්පරා දසයක් පමණ පැවත ඇවිත් තිබෙනවා. බොරු නමස්කාරය දසත පැතිරී තිබෙන නිසා සැබෑ දෙවිගේ සේවකයන් සිටින්නේ අතළොස්සක් පමණයි. ආබ්‍රම්ගේ පියා වූ ටේරාත් බොරු නමස්කාරයේ යෙදුණා. සමහරවිට ඔහු බොරු දේවතාවන්ගේ පිළිම පවා සාදන්න ඇති.—යොෂු. 24:2.

දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය සම්බන්ධයෙන් ආබ්‍රම් කැපීපෙනෙන ආදර්ශයක්

3. ආබ්‍රම් අනික් අයට වඩා වෙනස් ජීවිතයක් ගත කළා කියා පවසන්න පුළුවන් ඇයි? ඒ ගැන සොයා බැලීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

3 එවැනි වාතාවරණයක හැදී වැඩුණු ආබ්‍රම් ගත කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක්. ඔහු දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව ක්‍රියා කළා. පසු කාලයකදී පාවුල් පවා ඔහුව “ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” ලෙස හැඳින්වූයේ ඒ නිසයි. (රෝම 4:11 කියවන්න.) ආබ්‍රම්ට දෙවි කෙරෙහි එතරම් විශ්වාසයක් ගොඩනඟාගැනීමට පුළුවන් වුණේ කොහොමද කියලා අපි බලමු. අපිටත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් වර්ධනය කරගැනීමට ඒ තොරතුරු උපකාරවත් වෙයි.

ජලගැල්මෙන් පසුව

4, 5. ආබ්‍රම් යෙහෝවා දෙවි ගැන දැනගන්න ඇත්තේ කාගෙන්ද? එසේ වුණා කියා සිතන්න පුළුවන් ඇයි?

4 ආබ්‍රම් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඇත්තේ කොහොමද? ඒ කාලයේදීත් යෙහෝවා දෙවිට නමස්කාර කළ සේවකයන් සිටියේ අතළොස්සක් පමණයි. ෂෙම් ඒ අතරින් කෙනෙක්. ඔහු නෝවාගේ පුතුන් තිදෙනා අතරින් වැඩිමලා නොවුණත් ඔහුගේ නම මුලින්ම සඳහන් කරනවා. ඊට හේතුව ඔහුට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබීමයි. * ජලගැල්මෙන් පසුව නෝවා යෙහෝවා දෙවිව “ෂෙම්ගේ දෙවි” ලෙස ඇමතුවා. (උත්. 9:26) ඇත්තෙන්ම ෂෙම්ට යෙහෝවා දෙවි කෙරෙහිත් සැබෑ නමස්කාරය කෙරෙහිත් තිබුණේ ගැඹුරු ගෞරවයක්.

5 ආබ්‍රම් ෂෙම්ව දැන සිටින්න ඇද්ද? ඔව්, එසේ වුණා කියා සිතන්න පුළුවන්. ආබ්‍රම් පුංචි කොලුගැටයෙක්ව සිටියදී පුරාණයේ සිදු වූ දේවල් සියැසින්ම දුටු තම මුතුන්මිත්තෙක් වූ ෂෙම් ගැන ඔහුට ආරංචි වෙන්න ඇති. ජලගැල්මට කලින් දුෂ්ටකම දසත පැතිරී තිබුණු අයුරු, ජලගැල්මෙන් දුෂ්ටකමට නිමාවක් ලැබුණු අයුරු, ඉන්පසුව පොළොව පුරාම ජනයා නැවතත් ව්‍යාප්ත වූ අයුරු මෙන්ම දෙවිට විරුද්ධ වෙමින් නිම්රොද් බාබෙල් කොත ගොඩනඟන අයුරුත් ෂෙම් සියැසින්ම දැක තිබුණා. ඔහු ඒ දුෂ්ට ක්‍රියාවට කිසිසේත් හවුල් වුණේ නැහැ. ඒ නිසා එම කොත ඉදිකරන්නන්ගේ භාෂාව දෙවි වියවුල් කළ අවස්ථාවේදී එය ෂෙම්ටවත් ඔහුගේ පවුලේ අයටවත් බලපෑවේ නැහැ. ඔවුන් දිගටම කතා කළේ ඔවුන්ගේ මුල් භාෂාවමයි. ආබ්‍රම් එම පරම්පරාවෙන් පැවත එන කෙනෙක්. ආබ්‍රම්ට ෂෙම් ගැන ලොකු ගෞරවයක් තිබුණා. ෂෙම් මිය ගියේ ආබ්‍රම් ඉපදී සෑහෙන්න කාලයකට පසුව නිසා ආබ්‍රම් ඔහුගෙන් යෙහෝවා දෙවි ගැන බොහෝ දේවල් ඉගෙනගන්න ඇති.

ඌර් දේශයේ සිදු වෙන බොරු නමස්කාරය ආබ්‍රම් හෙළා දැක්කා

6. (අ) ආබ්‍රම් ජලගැල්මෙන් වටිනා පාඩමක් ඉගෙනගෙන තිබුණා කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) ආබ්‍රම් හා සාරයි ගත කළේ මොන වගේ ජීවිතයක්ද?

6 ආබ්‍රම් නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් වටිනා පාඩමක් ඉගෙනගෙන තිබුණා. නෝවා මෙන් දිගටම දෙවි සමඟ ගමන් කිරීමට ඔහු තම උපරිමය කළා. ඌර් දේශයේ සිටි බොහෝ අය ඇතුළු තමන්ගේ පවුලේ සාමාජිකයන් පවා බොරු දෙවිවරුන්ට නමස්කාර කළත් ඔහු දිගටම ඒ දේවල් ප්‍රතික්ෂේප කළේ ඒ නිසයි. පසු කාලයකදී ඔහු සාරයි සමඟ විවාහ වුණා. ඇය රූමත් බවිනුත් යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු නොසැලෙන විශ්වාසය අතිනුත් කැපීපෙනුණු යුවතියක්. * ඔවුන්ට දරුවන් සිටියේ නැතත් යෙහෝවා දෙවිට දිගටම සේවය කළ ඔවුන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළා කියා සිතන්න පුළුවන්. ආබ්‍රම්ගේ ඥාති පුත්‍රයෙක් වූ ලොත් හැදී වැඩුණෙත් ඔවුන් සමඟයි.

7. යේසුස්ගේ අනුගාමිකයන්ට ආබ්‍රම්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

7 මුළු ඌර් නගරය පුරාම බොරු නමස්කාරය පැතිරී තිබුණත් ආබ්‍රම් ඒ දේවලට අල්පමාත්‍රයකින්වත් හවුල් වුණේ නැහැ. ඔහුගේ බිරිඳ වූ සාරයිද ඒ දේවලට කිසිසේත් හවුල් වුණේ නැහැ. එලෙස ඔවුන් ඒ සමාජයේ අයට සමාන නොවී සිටියා. අපිටත් දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයක් තිබෙනවා නම් එවැනි ආකල්පයක් තියෙන්න ඕනේ. ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙන්න’ කියා යේසුස් පවා තම අනුගාමිකයන්ට පැවසුවා. (යොහන් 15:19 කියවන්න.) යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔබ ගෙන තිබෙන තීරණය නිසා ඔබේම පවුලේ අය හෝ මේ සමාජයේ සිටින අය ඔබව කොන් කරනවා නම් ඔබ තනි වී නැති බව මතක තබාගන්න. ඔබත් කරමින් සිටින්නේ දිගටම දෙවි සමඟ ගමන් කළ ආබ්‍රම් හා සාරයිගේ ආදර්ශ අනුකරණය කිරීමයි.

“ඔබේ දේශයෙන් පිට වී යන්න”

8, 9. (අ) ආබ්‍රම්ට මුහුණ දීමට සිදු වූ කිසිදා අමතක නොවන සිද්ධිය කුමක්ද? (ආ) ආබ්‍රම්ට දෙවි පැවසුවේ මොන පණිවිඩයද?

8 දිනක් ආබ්‍රම්ට කිසිදා අමතක නොවන දෙයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔහුට යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඔහුට එම පණිවිඩය ලැබුණේ කොහොමද කියා බයිබලයේ සඳහන් වී නැහැ. එහි සඳහන් වෙන්නේ “තේජවත් දෙවි” ඔහුට දර්ශනය වුණා කියායි. (ක්‍රියා 7:2, 3 කියවන්න.) සමහරවිට දේවදූතයෙක් ඔහුට දර්ශනය වෙන්න ඇති. එමගින් විශ්වයේ අධිපති දෙවිගේ තේජසින් බිඳක් ඔහුට එම අවස්ථාවේදී දැකගන්න ලැබෙනවා. ඔහුට ඒ ගැන කොහොම හැඟෙන්න ඇද්ද! තම දේශය පුරා ව්‍යාප්ත වී තිබුණු බොරු දෙවිවරුන්ගේ රූපවලට වඩා සැබෑ දෙවි මොන තරම් වෙනස්ද කියා ඔහුට හැඟෙන්න ඇති.

9 යෙහෝවා දෙවි ඔහුට පැවසුවේ මොනවාද? “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්ව අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න” කියා දෙවි ඔහුට පැවසුවා. නමුත් ඔවුන් යා යුත්තේ මොන දේශයටද කියා දෙවි පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ යා යුතු දේශය පෙන්වන්නම් කියායි. ඊට කීකරු වීමට නම් ආබ්‍රම්ට තම නෑදෑයන්ගෙන් හා ඔහු හැදී වැඩුණු දේශයෙන් සමුගැනීමට සිදු වෙනවා. ඒ කාලයේදී පවුලේ අය අතර තිබුණේ ඉතාමත් කිට්ටු බැඳීමක්. ඒ නිසා ඒ අයගෙන් වෙන් වී යෑමට සිදු වීම කෙනෙකුට තම ජීවිතයේ ලැබිය හැකි තිත්තම අද්දැකීමක් වුණා.

10. ආබ්‍රම්ට හා සාරයිට ඌර් නගරයෙන් සමුගැනීම සඳහා බොහෝ දේ කැප කරන්න සිදු වෙන්න ඇත්තේ ඇයි?

10 ආබ්‍රම් හැදී වැඩුණු ඌර් නගරය ඉතාමත් සමෘද්ධිමත් එකක්. (“ ආබ්‍රම් හා සාරයි සමු දුන් නගරය” නමැති කොටුව බලන්න.) මෙතෙක් ලැබී තිබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින්ද ඔප්පු වී තිබෙන්නේ එහි තිබුණු නිවෙස් බොහෝ කාමරවලින් යුත් ජල නළ පහසුකම් හා වැසිකිලි පද්ධතිවලින් සමන්විත වූ බවයි. ආබ්‍රම්ට වෙනත් ප්‍රදේශයකට යන්න කියා දෙවි පවසද්දී ඔහු හා සාරයි තරුණ වයස පසු කර සිටියා. සමහරවිට ආබ්‍රම් 70වන වියේත් සාරයි 60වන වියේත් ඉන්න ඇති. සාමාන්‍යයෙන් තමන්ගේ බිරිඳට සැප පහසු ජීවිතයක් ලබා දෙන්න ඕනෑම ස්වාමිපුරුෂයෙක් කැමතියි. ආබ්‍රම්ටත් ඒ ආසාව තියෙන්න ඇති. ඔවුන්ට දෙවිගෙන් ලැබී තිබෙන පැවරුම ගැනත් මුහුණ දීමට සිදු විය හැකි අභියෝග ගැනත් ඔවුන් දෙදෙනා කතාබහ වූ බවට සැකයක් නැහැ. තමන්ට ලැබී තිබෙන්නේ අභියෝගාත්මක පැවරුමක් වුණත් ඒ සඳහා තම බිරිඳගේ නොමද සහය ලැබීම ගැන ආබ්‍රම් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! තමන් ගෙවමින් සිටි සැප පහසු ජීවිතයෙන් සමුගෙන යෑමට ඇයත් කැමති වෙනවා.

11, 12. (අ) ඌර් නගරයෙන් පිට වීමට කලින් ගන්න තිබුණු තීරණ මොනවාද? (ආ) ගමන ඇරඹූ දිනයේ හිමිදිරි උදෑසන සිදු වුණේ මොනවාද?

11 ආබ්‍රම්ටත් සාරයිටත් බොහෝ දේවල් ගැන තීරණ ගැනීමට සිදු වෙනවා. නන්නාඳුනන මිනිසුන් සිටින පළාතකට යද්දී රැගෙන යන්නේ මොනවාද, නිවසේ තබා යන්නේ මොනවාද, නිවසේ සිටින අනිකුත් අයට කරන්නේ මොනවාද කියාත් විශේෂයෙන්ම මහලු වියේ පසු වන තම පියා වූ ටේරාව මේ ගමන සඳහා රැගෙන යනවාද නැද්ද කියාත් ඔවුන්ට තීරණය කිරීමට සිදු වෙනවා. අවසානයේදී ඔහුවත් මේ ගමනට හවුල් කරගැනීමට ඔවුන් තීරණය කරනවා. වාර්තාවේ සඳහන් වෙන්නේ ටේරා පවුලේ අය සමඟ මේ ගමන ගිය බවයි. ඔහු ස්වකැමැත්තෙන්ම ඒ ගමන ගිය බව ඉන් පැහැදිලි වෙනවා. පෙනෙන විදිහට ඒ වෙද්දී ඔහු බොරු නමස්කාරයෙන් ඉවත් වී තිබුණා කියා සිතන්න පුළුවන්. ආබ්‍රම්ගේ නිවසේ සිටි ලොත්ද මේ ගමනට හවුල් වෙනවා.—උත්. 11:31.

12 දැන් ගමන යෑම සඳහා නියමිත දිනය උදා වෙලා. හිමිදිරි උදයේම නගරයේ පවුර අසල බඩු පටවා සිටින බූරුවන්ව හා ඔටුවන්ව පෙළගසා තිබෙනවා. * ගමනට අවශ්‍ය අනිකුත් සෑම දෙයක්ම සූදානම් කරගත් ආබ්‍රම්ගේ නිවැසියන්ද දැන් ගමනට සූදානම්. ඔවුන් බලා සිටින්නේ පිටත් වීම සඳහා ආබ්‍රම්ගෙන් සංඥාවක් ලැබෙන තුරුයි. ඔහුගෙන් සංඥාව ලැබුණු සැණින් තවලම ගමන අරඹනවා.

13. දෙවිගේ සේවකයන් ආබ්‍රම්ගේ හා සාරයිගේ ආදර්ශය අනුකරණය කර තිබෙන්නේ කොහොමද?

13 අද සිටින දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙකුත් ශුභාරංචිය දේශනා කිරීම සඳහා දුර ඈත පළාත්වලට යනවා. තවත් අය ඒ සඳහා අලුත් භාෂාවක් හෝ දේශනා කිරීම සඳහා තමන්ට යෝජනා කර තිබෙන නුහුරු නුපුරුදු අලුත් ක්‍රම අත්හදා බලනවා. එවන් දේ කිරීම සඳහා ඔවුන්ට යම් කැප කිරීම් කරන්න සිදු වෙනවා. එලෙස ආබ්‍රම් හා සාරයිගේ ආදර්ශය අනුකරණය කරන ඔවුන්ව අපි අගය කළ යුතු නැද්ද! අපිත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් එවන් කැප කිරීම් කරනවා නම් ඊටත් වඩා වැඩියෙන් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය අපිට නොමසුරුව ලැබෙනවා නිසැකයි.—හෙබ්‍රෙ. 6:10; 11:6.

යුප්‍රටීස් පසු කරමින්

14, 15. ඌර් සිට හාරාන් දක්වා පැමිණි ගමන ගැන විස්තර කරන්න. හාරාන්හි නතර වෙන්න ආබ්‍රම් තීරණය කරන්න ඇත්තේ ඇයි?

14 තවලමත් සමඟ යන ගමන අතරතුරේදී ආබ්‍රම් හා සාරයි විටෙක සතුන්ගේ පිටෙත් තවත් විටෙක ඇවිදගෙනත් යනවා. ඔවුන් කතාබහ කරන හඬ මැද්දෙන් සතුන්ගේ කරේ එල්ලා තිබෙන ගෙජ්ජිවල හඬත් අසන්න ලැබෙනවා. ගමන අතරතුරේදී මහලු වියේ පසු වන ටේරාට මේ ගමන පහසු කරවීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කරනවා. සුඛෝපභෝගී දිවියක් ගෙවූ මේ අයට කූඩාරම් ගැසීමට හුරුවක් තිබුණේ නැති වුණත් දැන්නම් ඔවුන් කූඩාරම් ගැසීමටත් ඒවා ගැලවීමටත් හොඳින් හුරු වී තිබෙනවා. එලෙස ඔවුන් දින ගණන් සති ගණන් යුප්‍රටීස් ගං ඉවුර දිගේ ගමන් කරනවා.

15 කිලෝමීටර් 960ක් ගෙවා තිබෙන ඔවුන් දැන් හාරාන් වෙත පැමිණ තිබෙනවා. එහි නිවෙස් සාදා තිබුණේ කේතුවක හැඩයටයි. ව්‍යාපාරිකයන් භාවිත කළ ප්‍රධාන පාරවල් වැටී තිබුණු මෙම නගරය ඉතාමත් සමෘද්ධිමත් එකක්. ආබ්‍රම් හා ඔහු සමඟ පැමිණි පිරිස එහි ටික කාලයකට පදිංචි වෙනවා. සමහරවිට ආබ්‍රම් එවැනි තීරණයක් ගන්න ඇත්තේ මහලු වියේ පසු වූ ටේරාට තවත් දුර යෑමට අපහසු නිසා වෙන්න ඇති.

16, 17. (අ) ආබ්‍රම් සතුටු වුණේ මොන ගිවිසුම ගැනද? (ආ) දෙවි හාරාන්හිදී ආබ්‍රම්ට ආශීර්වාද කළේ කොහොමද?

16 කාලය ගෙවී යද්දී 205වන වියේ පසු වූ ටේරා ජීවිතයෙන් සමු ගන්නවා. (උත්. 11:32) ඉන් වැඩි කාලයක් ගත වීමට කලින් ආබ්‍රම්ට නැවත වතාවක් දෙවිගේ හඬ ඇසෙනවා. දෙවි කලින් වතාවේදී ඔහුට පැවසූ පණිවිඩයට තවත් විස්තර ඇතුළත් කරමින් පවසන්නේ ඔහුගෙන් ‘මහත් ජාතියක් බිහි කරන’ බව හා පොළොවේ සියලු ජාතීන් ඔහු මාර්ගයෙන් ආශීර්වාද ලබන බවයි. (උත්පත්ති 12:2, 3 කියවන්න.) එලෙස දෙවි තමන් සමඟ ඇති කරගත් ගිවිසුම ගැන අසන්න ලැබීමෙන් මහත් සේ සතුටට පත් වෙන ආබ්‍රම් තම නිවැසියන් සමඟ යළිත් ගමන අරඹනවා.

17 ආබ්‍රම් හාරාන්වල සිටි කාලයේදී යෙහෝවා දෙවි ඔහුට බොහෝ සේ ආශීර්වාද කළ නිසා මේ වන විට ඔහු සතුව බොහෝ දේවල් තිබුණා. බයිබලයේ සඳහන් වෙන්නේ “හාරාන්හිදී එකතු කරගත් බඩු බාහිරාදියද දාසදාසීන්වද රැගෙන” ආබ්‍රම් තම ගමන ඇරඹූ බවයි. (උත්. 12:5) දෙවි පොරොන්දු වූ ලෙස ආබ්‍රම්ගෙන් ජාතියක් බිහි වීමට නම් ඔහුට ධන සම්පත් සහ දාසදාසීන් වුවමනා වුණා. යෙහෝවා දෙවි සෑම අවස්ථාවකදීම තම සේවකයන්ට ධන සම්පත් ලබා දෙමින් ආශීර්වාද කරන්නේ නැහැ. නමුත් මේ වතාවේදී දෙවි ආබ්‍රම්ට එලෙස ආශීර්වාද කළේ තමන් අරමුණු කළ දෙය ඉටු කිරීම සඳහායි.

ආබ්‍රම් හා සාරයි ඌර් දේශයෙන් පිට වී යනවා

18. (අ) දෙවිගේ සෙනඟට ඉතිහාසගත දිනයක් වුණේ කවදාද? (ආ) නීසාන් 14 සුවිශේෂී දිනයක් කියා පවසන්න තිබෙන තවත් හේතු මොනවාද? (“ බයිබල් ඉතිහාසයේ වැදගත් දිනයක්” නමැති කොටුව බලන්න.)

18 දින ගණනාවකින් පසුව ඔවුන් කර්කෙමිෂ් වෙතට පැමිණෙනවා. සාමාන්‍යයෙන් පුරාණයේ සිටි වෙළෙඳුන් යුප්‍රටීස් ගඟින් එගොඩ වුණේ මෙම ස්ථානයෙනුයි. ආබ්‍රම් ඇතුළු පිරිස ක්‍රිස්තු පූර්ව 1943දී එතැනින් එගොඩ වුණේ, පසු කාලයේදී නීසාන් ලෙස හැඳින්වූ මාසයේ 14වන දිනයේදීයි. (නික්. 12:40-43) දෙවි ආබ්‍රම් සමඟ කළ ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ එදා සිටයි. ඒ නිසා දෙවි තම සෙනඟ වෙනුවෙන් කළ දේවල් සම්බන්ධයෙන් එම දිනය ඉතිහාසගත දිනයක් වුණා. දෙවි ආබ්‍රම්ට දීමට පොරොන්දු වූ දේශය පිහිටා තිබුණේ කර්කෙමිෂ්හි සිට දකුණු දිසාවෙනුයි.

19. දෙවි ආබ්‍රම්ට දුන් පොරොන්දුව කුමක්ද? ඉන් ආබ්‍රම්ට සිහිගැන්වෙන්න ඇත්තේ කුමක්ද?

19 ආබ්‍රම් සහ ඔහු සමඟ පැමිණි අය ෂීකෙම්වල මොරේගේ විශාල ගස් අසල නතර වෙනවා. එහිදී නැවත වතාවක් ආබ්‍රම්ට දෙවිගේ හඬ ඇසෙනවා. මේ වතාවේදී දෙවි ආබ්‍රම්ට පොරොන්දු වෙන්නේ ඔහුගෙන් පැවතෙන්නන්ට එම දේශය ලබා දෙන බවයි. එය ඇසෙද්දී “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් මිනිස් වර්ගයාව ගලවාගන්න බවට දෙවි ඒදන් උයනේදී පැවසූ අනාවැකිය ආබ්‍රම්ට සිහි වෙන්න ඇති. (උත්. 3:15; 12:7) එසේ වුණා නම් දෙවි පැවසූ අනාවැකියේ ඉටු වීමට සුළු වශයෙන් හෝ තමන්ට දායක වීමට හැකි වුණා කියා ඔහුට සිතෙන්න ඇති.

20. දෙවි තමන්ට ලබා දුන් වරප්‍රසාදය ගැන ආබ්‍රම් දෙවිට ස්තුතිය පළ කළේ කොහොමද?

20 දෙවි ලබා දුන් එම කදිම වරප්‍රසාදය ආබ්‍රම් බෙහෙවින් අගය කරනවා. දෙවි ඔහුට ලබා දුන් ප්‍රදේශයේ ඒ වන විටත් කානානිවරුන් සිටි නිසා ඔහු කල්පනාකාරීව ක්‍රියා කරන්න ඇති. ඔහු මොරේගේ විශාල ගස් අසලත් පසුව බෙතෙල් නම් ස්ථානයෙත් පූජාසන ගොඩනඟමින් යෙහෝවා දෙවිට හද පිරි ස්තුතිය පළ කළා. සමහරවිට ඔහු තමන්ගෙන් පැවතෙන තැනැත්තා ගැන දෙවි තමන්ට පැවසූ දේ ගැන ඒ අවස්ථාවේදී සඳහන් කරන්න ඇති. ඔහු තමන්ගේ අසල්වැසියන්ටත් දෙවි ගැන කියා දෙන්න ඇති. (උත්පත්ති 12:7, 8 කියවන්න.) අනාගතයේදී ඔහුට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් ඌර් දේශයේ දමා ආ දේවල් ගැන ලත වෙනවා වෙනුවට ඔහු නිතරම සිතුවේ ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් ගැනයි. හෙබ්‍රෙව් 11:10හි සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.”

21. දේවරාජ්‍යය ගැන ආබ්‍රම් දැන සිටියාට වඩා වැඩියෙන් අපි දන්නේ මොනවාද? ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

21 ආබ්‍රම් බලා සිටි එම සංකේතාත්මක නුවර ගැන එනම් දෙවිගේ රාජ්‍යය ගැන අපි බොහෝ තොරතුරු දන්නවා. එම රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා තිබෙන බවත්, ළඟදීම එමගින් පොළොවේ සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බවත්, ආබ්‍රම්ට පොරොන්දු වූ එම තැනැත්තා යේසුස් බවත්, දැන් ඔහු එම රාජ්‍යයේ රජු වී සිටින බවත් අපි දන්නවා. අනාගතයේදී නැවත නැඟිටුවනු ලබන ආබ්‍රම්ට දෙවිගේ අරමුණ ඉටු වී තිබෙන අයුරු සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට හැකි වෙයි. එය දැකගන්නට ලැබීම අපිට මොන තරම් ප්‍රීතිමත් අද්දැකීමක් වෙයිද! දෙවි පවසා තිබෙන සෑම පොරොන්දුවක්ම ඉටු වෙන අයුරු දැකගන්න ඔබත් කැමතිද? එසේනම් ආබ්‍රම් මෙන් යම් කැප කිරීම් කිරීමටත් සෑම කාරණාවකදීම දෙවිට කීකරු වීමටත් දෙවි ලබා දෙන වරප්‍රසාද හද පිරි සතුටින් අගය කිරීමටත් හැකි උපරිමය කරන්න. ආබ්‍රම්ට තිබුණු විශ්වාසය ඔබ අනුකරණය කරනවා නම් “ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” වන ආබ්‍රම් ඔබගේත් පියා කියා පවසන්න පුළුවන්.

^ 1 ඡේ. ආබ්‍රම්ට “සමූහයකගේ පියා” යන අර්ථය ඇති ආබ්‍රහම් යන නම යෙහෝවා දෙවි ඔහුට දැමුවේ පසු කාලයකදීයි.—උත්. 17:5.

^ 4 ඡේ. ටේරාගේ වැඩිමල් පුතා ආබ්‍රම් නොවුණත් බොහෝ අවස්ථාවලදී ඔහුගේ නම මුලින්ම සඳහන් කර තිබෙනවා.

^ 6 ඡේ. සාරයිට “කුමාරිකාව” යන අර්ථය ඇති සාරා යන නම යෙහෝවා දෙවි ඇයට දැමුවේ පසු කාලයකදීයි.—උත්. 17:15.

^ 12 ඡේ. සමහර විශාරදයන් පවසන්නේ ඒ කාලයේදී ඔටුවන්ව නිවෙස්වල ඇති කළේ නැහැ කියායි. නමුත් එසේ පවසන්න සාක්ෂි නැහැ. බයිබලයේ ආබ්‍රම් සතුව තිබෙන අනිකුත් සතුන් ගැන සඳහන් කරන බොහෝ අවස්ථාවලදී ඔටුවන් ගැනත් සඳහන් වී තිබෙනවා.—උත්. 12:16; 24:35.