Skip to content

පටුනට යන්න

4වෙනි පාඩම

යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්

යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්

යෙප්තා යෙහෝවා දෙවිට පොරොන්දු වෙන්නේ මොකක්ද?

හැම අවුරුද්දකම යෙප්තාගේ දුවගේ යාළුවෝ එයාව බලන්න ගියා

පින්තූරේ ඉන්න මේ ගෑනු ළමයා කවුද කියලා ඔයා දන්නවද?— ඒ යෙප්තාගේ දුව. එයාගේ නම බයිබලයේ නැහැ. ඒත් එයා එයාගේ තාත්තාගෙත් යෙහෝවා දෙවිගෙත් හිත සතුටු කළා කියලා නම් අපි දන්නවා.

යෙප්තා හොඳ කෙනෙක්. එයා යෙහෝවා දෙවි ගැන එයාගේ දුවට හුඟක් දේවල් කියලා දුන්නා. යෙප්තා හුඟක් ශක්තිමත් වගේම හොඳ නායකයෙක් නිසා සතුරන් එක්ක යුද්ධ කරන්න යද්දී එයාට නායකයා වෙන්න කියලා ඊශ්‍රායෙල්වරු කිව්වා.

යුද්ධයෙන් දිනන්න උදව් කරන්න කියලා යෙප්තා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. උදව් කළොත් යුද්ධයෙන් දිනලා එද්දී එයාගේ ගෙදර ඉඳන් එයාව හම්බ වෙන්න ඉස්සෙල්ලම එන කෙනාව යෙහෝවා දෙවිට දෙනවා කියලා එයා පොරොන්දුවක් වුණා. ඒ කිව්වේ ඒ කෙනා ජීවත් වෙලා ඉන්න කල්ම යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමේ වැඩ කරන්න එයාව දෙනවා කියන එකයි. යෙප්තා යුද්ධයෙන් දිනලා ගෙදර එද්දී එයාව හම්බ වෙන්න ඉස්සෙල්ලම ආවේ කවුද කියලා ඔයා දන්නවද?—

එයාගේ දුව තමයි ආවේ. දැන් එයාගේ එකම දුවව ශුද්ධ කූඩාරමට යවන්න යෙප්තාට සිද්ධ වෙනවා. ඒ ගැන යෙප්තාට ලොකු දුකක් දැනුණත් එයා වුණු පොරොන්දුව ඉටු කරන්න ඕනේ. එයා දුකෙන් ඉද්දී දුව ඇවිත් එයාට මෙහෙම කිව්වා. ‘තාත්තේ, ඔයා යෙහෝවා දෙවිට පොරොන්දු වුණු විදිහටම කරන්න.’

කොච්චර අමාරු වුණත් තාත්තා පොරොන්දු වුණු දේ එයා කළා

යෙප්තාගේ දුවටත් හුඟක් දුකයි. ශුද්ධ කූඩාරමට ගිහින් වැඩ කරද්දී එයාට බඳින්නවත් දරුවෝ හදන්නවත් බැරි වෙනවා. ඒත් එයාට ඕන වුණේ කොහොමහරි එයාගේ තාත්තා පොරොන්දු වුණු දේ කරලා දෙවිව සතුටු කරන්න. අනිත් හැම දේටම වඩා දෙවිව සතුටු කරන එක වැදගත් කියලා එයා හිතුවා. ඒ නිසා එයා ගිහින් එයාගේ ජීවිතේ තියන කල්ම ශුද්ධ කූඩාරම ළඟ නතර වෙලා ඒකේ වැඩ කළා.

එයා කරපු දේ නිසා එයාගේ තාත්තායි යෙහෝවා දෙවියි හුඟක් සතුටු වුණා කියලා ඔයා හිතනවද?— ඒ දෙන්නාම හුඟක් සතුටු වුණා. ඔයාත් යෙහෝවා දෙවිට ආදරේ කරන, කියන දේ අහන ළමයෙක් වෙනවා නම් ඔයාටත් පුළුවන් යෙප්තාගේ දුව වගේ වෙන්න. එතකොට ඔයාගේ අම්මායි තාත්තායි වගේම යෙහෝවා දෙවිත් ගොඩක් සතුටු වෙයි.