Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් උගන්වපු දේවල්

1, 2. යේසුස්ගේ නියෝජිතයන් තුන්දෙනාට යෙහෝවා දෙවි කිව්වේ මොනවාද? ඔවුන් කළේ මොනවාද?

 යෙහෝවා දෙවිම කතා කරලා යම් දෙයක් කරන්න කියලා කිව්වොත් ඔබට ඒ ගැන කොහොම හැඟෙයිද? කරන්න කියපු දේ මොනවා වුණත් ඔබ හරිම සතුටින් ඒක කරයි. එහෙම නේද?

2 යේසුස්ගේ නියෝජිතයන් තුන්දෙනෙක් වුණු පේතෘස්, යාකොබ් සහ යොහන්ටත් යම් දෙයක් කරන්න කියලා දෙවිම කිව්වා. ඒක වුණේ ක්‍රි.ව. 32 පාස්කු උත්සවයෙන් ටික දවසකට පස්සේ. (මතෙව් 17:1-5 කියවන්න.) එදා ඒ තුන්දෙනා යේසුස් එක්ක “උස් කන්දකට” ගියා. ඒ වෙලාවේ ඒගොල්ලන් දැක්කා යේසුස් ස්වර්ගයේ රජ වෙලා ඉන්න විදිහ. ඒක දර්ශනයක් වුණත් පේතෘස්ගේ හිතට ඒක කොයි තරම් දැනුණාද කිව්වොත් කූඩාරම් තුනක් හදන්නද කියලා එයා යේසුස්ගෙන් ඇහුවා. එතකොටම වලාකුළකින් ඒ අයව වට වුණා. ඒ වෙලාවේ දෙවිම කතා කරලා කිව්වා මේ මගේ ප්‍රේමණීය පුතා, “මොහුට සවන් දෙන්න” කියලා. ටිකකට හිතන්න දෙවිගේම කටහඬ අහන්න ලැබෙන එක මොන තරම් වරප්‍රසාදයක්ද කියලා. දෙවි කියපු දේට කැමැත්තෙන්ම කීකරු වුණු ඒ අය යේසුස් උගන්වපු හැම දේටම සවන් දුන්නා. ඒ විතරක් නෙවෙයි එහෙම කරන්න අනිත් අයවත් දිරිගැන්නුවා.—ක්‍රියා 3:19-23; 4:18-20.

යේසුස් වැඩිපුරම කතා කළේ දෙවිගේ රාජ්‍යය ගැනයි

3. යේසුස්ට සවන් දෙන්න කියලා යෙහෝවා දෙවි අපිට කියන්නේ ඇයි? අපි හොඳින් හොයලා බලන්න ඕන මොන දේ ගැනද?

3 “මොහුට සවන් දෙන්න” කියලා එදා යේසුස් ගැන යෙහෝවා දෙවි කියපු දේ බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ අපේම ප්‍රයෝජනයට. (රෝම 15:4) ඇයි අපි එහෙම කියන්නේ? යේසුස් තමයි දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන ප්‍රධානම තැනැත්තා. (යොහ. 1:1, 14) අපි දැනගන්නවාට දෙවි කැමති දේවල් ගැන තමයි යේසුස් හැම වෙලාවෙම කතා කළේ. වෙන කිසිම දෙයකට වඩා යේසුස් වැඩියෙන්ම කතා කළේ දෙවිගේ රාජ්‍යය ගැන. ඒ රාජ්‍යයේ රජකම් කරන්න ක්‍රිස්තුස් එක්ක 1,44,000ක් හවුල් වෙනවා. යේසුස් වැඩිපුරම කතා කළේ දෙවිගේ රාජ්‍යය ගැන නිසා අපි ඒ ගැන හොඳින් හොයලා බලන එක හුඟක් වැදගත්. (එළි. 5:9, 10; 14:1-3; 20:6) යේසුස් වැඩිපුරම දෙවිගේ රාජ්‍යය ගැන කතා කළේ ඇයි කියලා දැන් අපි බලමු.

“මුවින් පිට වන්නේ . . . සිත තුළ පිරී ඇති දෙයයි”

4. දෙවිගේ රාජ්‍යය තමන්ට හුඟක් වටිනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

4 සාමාන්‍යයෙන් කෙනෙක් වැඩියෙන්ම කතා කරන්නේ තමන් හුඟක් කැමති දේවල් ගැන. “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි” කියලා යේසුස්ම කිව්වා. (මතෙ. 12:34) දැන් හිතන්න යේසුස් වැඩිපුරම කතා කළේ මොනවා ගැනද කියලා. මතෙව්, මාක්, ලූක් සහ යොහන් කියන සුවිශේෂ පොත් හතරේ සිය වතාවකට වඩා වැඩියෙන් දෙවිගේ රාජ්‍යය ගැන සඳහන් වෙනවා. ඒකෙන් වැඩි හරියක් තියෙන්නේ දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් කියපු දේවල්. යේසුස් ප්‍රකාශ කරපු ශුභාරංචියේ ප්‍රධාන තේමාව වුණෙත් දෙවිගේ රාජ්‍යය. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ලූක් 4:43) නැවත නැඟිටුණාට පස්සෙත් යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන ගෝලයන්ට කියලා දුන්නා. (ක්‍රියා 1:3) යේසුස්, දෙවිගේ රාජ්‍යය කොයි තරම් වටිනා දෙයක් විදිහට සැලකුවාද කියලා ඒ හැම දේකින්ම පැහැදිලි වෙනවා.

5-7. (අ) යෙහෝවා දෙවි තම රාජ්‍යය වටිනා දෙයක් හැටියට සලකනවා කියලා අපි දන්නේ කොහොමද? උදාහරණයකින් පැහැදිලි කරන්න. (ආ) දෙවිගේ රාජ්‍යය අපිටත් හුඟක් වටිනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

5 යෙහෝවා දෙවිත් තම රාජ්‍යය සලකන්නේ හුඟක් වටිනා දෙයක් හැටියට. ටිකකට හිතන්න, මිනිසුන්ට උගන්වන්න ඕන දේවල් ගැන දැනුම් දීලා යේසුස්ව මේ පොළොවට එව්වේ යෙහෝවා දෙවියි. (යොහ. 7:16; 12:49, 50) ඒ විතරක් නෙවෙයි යේසුස්ගේ ජීවිතය ගැන සහ දේවසේවය ගැන තොරතුරු සුවිශේෂ පොත්වල වාර්තා කරන්න මඟ පෙන්නුවෙත් යෙහෝවා දෙවියි. ඒත් ඒකෙන් කොහොමද යෙහෝවා දෙවි තම රාජ්‍යය වටිනා දෙයක් විදිහට සලකනවා කියලා ඔප්පු වෙන්නේ?

මමත් දෙවිගේ රාජ්‍යය හුඟක් වටිනා දෙයක් විදිහට සලකනවාද?’

6 මේ උදාහරණය බලන්න. පවුලේ අයගේ පින්තූර දාන්න ඔබ ඇල්බම් එකක් ගෙනාවොත් ඒකේ තියෙන්නේ පිටු සීමිත ගාණක් නිසා ඔබට තෝරන්න වෙනවා දාන්නේ මොන පින්තූරද කියලා. සුවිශේෂ පොත් හතරත් යේසුස් ගැන පැහැදිලි චිත්‍රයක් මවාගන්න උදව් වෙන ඇල්බම් එකක් වගේ. යේසුස් පොළොවේදී කියපු කරපු හැම දෙයක්ම යෙහෝවා දෙවි සුවිශේෂ පොත්වල ඇතුළත් කළේ නැහැ. (යොහ. 20:30; 21:25) ඒ වෙනුවට ඒ පොත්වල වාර්තා කරලා තියෙන්නේ යේසුස්ගේ දේවසේවයේ අරමුණ සහ යෙහෝවා දෙවිට වැඩියෙන්ම වටින්නේ මොනවාද කියලා තේරුම්ගන්න උදව් වෙන දේවල් විතරයි. (2 තිමෝ. 3:16, 17; 2 පේතෘ. 1:21) දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් උගන්වපු හුඟක් දේවල් සුවිශේෂ පොත්වල වාර්තා වෙලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ ඒ රාජ්‍යය දෙවිට හුඟක් වටිනවා කියලයි. ඇත්තටම යෙහෝවා දෙවි කැමති අපි හැමෝම දෙවිගේ රාජ්‍යය ගැන හොඳින් දැනගන්නවාටයි.

7 ‘මමත් දෙවිගේ රාජ්‍යය හුඟක් වටිනා දෙයක් විදිහට සලකනවාද?’ අපි එක් එක් කෙනා ඒ ගැන හිතන එක හුඟක් වැදගත්. ඇත්තටම අපි ඒ රාජ්‍යය වටිනා දෙයක් හැටියට සලකනවා නම් ඒ රාජ්‍යයේ වැදගත්කම ගැනත් ඒ රාජ්‍යයේ පැමිණීම ගැනත් යේසුස් කියපු දේවල් ගැන උනන්දුවෙන් හොයලා බලනවා.

රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගත්තාම සිද්ධ වෙන දේ

8. දෙවිගේ රාජ්‍යය කොයි තරම් වැදගත්ද කියලා යේසුස් කාවැද්දුවේ කොහොමද?

8 දෙවිගේ රාජ්‍යය කොයි තරම් වැදගත්ද කියලා යේසුස් ආදර්ශ යාච්ඤාවෙන් හරිම සරල විදිහට කාවැද්දුවා. ඔහු ඒ දේ කළේ ඒ රාජ්‍යයෙන් ඉටු වෙන්න යන දේවල් ගැන පැහැදිලි කිරීමෙන්. ඒ යාච්ඤාවට ඉල්ලීම් හතක් ඇතුළත්. ඒ හතෙන් මුල්ම ඉල්ලීම් තුන තමයි දෙවිගේ නාමය ශුද්ධ වීම, දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹීම සහ දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ ඉටු වීම. (මතෙව් 6:9, 10 කියවන්න.) එකිනෙකට සම්බන්ධ ඒ ඉල්ලීම් තුනම දෙවිගේ අරමුණට සම්බන්ධයි. මොකද දෙවි තමන්ගේ නාමයට වෙලා තියෙන කැළැල ඉවත් කරන්නෙත් ඔහුගේ කැමැත්ත ඉටු කරන්නෙත් තම රාජ්‍යය මාර්ගයෙනුයි.

9, 10. (අ) දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගත්තාම සිද්ධ වෙන්නේ මොනවාද? (ආ) ඔබ ආශාවෙන් බලන් ඉන්නේ බයිබලයේ සඳහන් මොන පොරොන්දුව ඉටු වෙන කල්ද?

9 “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා අපි හැමෝම යාච්ඤා කරනවා. ඒකෙන් අපි ඉල්ලන්නේ පොළොවේ පාලනය දෙවිගේ රාජ්‍යයට භාරගන්න කියලයි. දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගත්තාම සිද්ධ වෙන්නේ මොනවාද? මිනිස් ආණ්ඩු ඇතුළු දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. ධර්මිෂ්ඨකම රජයන අලුත් සමාජයක් බිහි වෙනවා. (දානි. 2:44; 2 පේතෘ. 3:13) මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. (ලූක් 23:43) මිය ගිය අය නැවත නැඟිටිනවා. (යොහ. 5:28, 29) දෙවිට කීකරු වෙන අයට පාපයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. (එළි. 21:3-5) ඒ හැම දෙයක්ම වුණාට පස්සේ දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ වගේ පොළොවෙත් ඉටු වෙනවා. අපි හැමෝම ආශාවෙන් බලන් ඉන්නේ ඒ හැම දෙයක්ම ඉටු වෙන කල් නේද? දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියලා යාච්ඤා කරන හැම අවස්ථාවකදීම ඇත්තටම අපි ඉල්ලන්නේ ඒ හැම පොරොන්දුවක්ම ඉටු වෙන්න කියලයි.

10 ආදර්ශ යාච්ඤාවෙන් ඉල්ලන දෙවිගේ රාජ්‍යය තාමත් පොළොවට ඇවිත් නැහැ. දැනටත් පොළොව පාලනය කරන්නේ මිනිස් ආණ්ඩු. ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් පොළොවේ නැහැ. හැබැයි දෙවිගේ රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවලයි තියෙන්නේ. ඒ ගැන වැඩි තොරතුරු ඊළඟ පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මුලින්ම අපි බලමු දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවන කාලය සහ ඒ රාජ්‍යය පොළොවට පැමිණෙන කාලය ගැන දැනගන්න යේසුස් කිව්වේ මොනවාද කියලා.

දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වේ කවදාද?

11. දෙවිගේ රාජ්‍යය පිහිටුවන කාලය ගැන යේසුස් කිව්වේ මොනවාද?

11 යේසුස්ගේ සමහර ගෝලයන් හිතුවේ දෙවිගේ රාජ්‍යය පළවෙනි සියවසේදීම පිහිටුවයි කියලයි. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියලා යේසුස් පැහැදිලි කළා. (ක්‍රියා 1:6) ඒක පැහැදිලි කරන්න යේසුස් කියපු උපමා දෙකක් අපි බලමු.

12. දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වේ පළවෙනි සියවසේ නෙවෙයි කියලා තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

12 තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව. (මතෙව් 13:24-30 කියවන්න.) ක්‍රි.ව. 31දී විතර යේසුස් කියපු ඒ උපමාවේ අර්ථය ගැන දැන් අපි බලමු. (මතෙ. 13:36-43) තිරිඟු විදිහට යේසුස් හැඳින්නුවේ “රාජ්‍යයේ පුත්‍රයන්” වන අභිෂේක ලත් අයව. යේසුස්ගේ මුල් අනුගාමිකයන් මැරුණාට පස්සේ සාතන් තිරිඟු අතරේ කිරිඳි වැපුරුවා. කිරිඳිවලින් අදහස් කළේ ක්‍රිස්තියානි කියලා කියාගන්නා අයව. යම් කාලයකට ඒ දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහැරියා. අන්තිමට අස්වැන්න කපන කාලයේදී ඒ කියන්නේ “පවතින මේ සමාජයේ අවසාන කාලය” පටන්ගත්තාම කිරිඳි උදුරලා මිටි බඳිනවා. ඊටපස්සේ තිරිඟු රැස් කරන්න පටන්ගන්නවා. අස්වැන්න කපන්න නම් තිරිඟු සහ කිරිඳි හොඳින් වැඩිලා තියෙන්න ඕනේ. අපි දැන් දන්නවා අස්වැන්න කපන්න පටන්ගත්තේ 1914දී කියලා. එහෙමනම් දෙවිගේ රාජ්‍යය පළවෙනි සියවසේදී පිහිටෙව්වා කියලා කියන්න බැහැ.

13. ස්වර්ගයට ගිය ගමන්ම තමන්ට රජකම ලැබෙන්නේ නැහැ කියලා යේසුස් පැහැදිලි කළේ කොහොමද?

13 මීනා පිළිබඳ උපමාව. (ලූක් 19:11-13 කියවන්න.) යේසුස් අන්තිම වතාවට යෙරුසලමට යන ගමන් තමයි ඒ උපමාව කිව්වේ. ඒ කියන්නේ ක්‍රි.ව. 33දියි. යේසුස් යෙරුසලමට ගිය ගමන්ම දෙවිගේ රාජ්‍යය පිහිටුවයි කියලා සමහර අය හිතුවා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරන්න යේසුස් ඒ උපමාව කිව්වා. ඒ උපමාවේ රජකම ලබාගන්න “දුර රටකට” ගිය “වංශවත් මිනිසාගෙන්” නියෝජනය වුණේ යේසුස්ව. a “දුර රටෙන්” නියෝජනය වුණේ ස්වර්ගය. එහෙදී තමයි යෙහෝවා දෙවි, යේසුස්ට රජකම ලබා දුන්නේ. තමන් ස්වර්ගයට ගිය ගමන්ම රජකම ලැබෙන්නේ නැහැ කියලත් නියමිත කාලය එන කල් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගෙන ඉන්න වෙනවා කියලත් යේසුස් දැනගෙන හිටියා. ඇත්තෙන්ම යේසුස් රජ වුණේ ස්වර්ගයට ගිහින් සියවස් ගණනාවකට පස්සෙයි.—ගීතා. 110:1, 2; මතෙ. 22:43, 44; හෙබ්‍රෙ. 10:12, 13.

දෙවිගේ රාජ්‍යය පැමිණෙන කාලය හඳුනාගන්නේ කොහොමද?

14. (අ) නියෝජිතයන් හතරදෙනා අහපු ප්‍රශ්නයට යේසුස් උත්තර දුන්නේ කොහොමද? (ආ) යේසුස් කියපු අනාවැකියේ ඉටු වීම ගැන හිතනකොට ඔහු පැමිණ සිටින කාලය සහ දෙවිගේ රාජ්‍යය ගැන අපිට පැහැදිලි වෙන්නේ මොනවාද?

14 යේසුස් මිය යන්න ටික දවසකට කලින් ඔහුගේ නියෝජිතයන් හතරදෙනෙක් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙ. 24:3; මාක් 13:4) සිද්ධීන් හුඟක් ඇතුළත් මතෙව් 24 සහ 25 පරිච්ඡේදවල තියෙන අනාවැකිය යේසුස් කිව්වේ ඒ අවස්ථාවේදියි. තමන් “පැමිණ සිටින කාලය” හඳුනාගන්න ලකුණක් විදිහට ලොව පුරා සිද්ධ වෙන සිද්ධීන් මාලාවක් ගැන ඔහු කිව්වා. ඒ අනාවැකිය 1914 ඉඳලා ඉටු වෙනවා කියලා කියන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. b ඒකෙන් අපිට පැහැදිලියි යේසුස් පැමිණ සිටින කාලය ආරම්භ වුණේ 1914දී කියලා. ඒ කියන්නේ දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වේත් ඒ වසරේදීමයි. දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවීමත් සමඟම ආරම්භ වුණු ක්‍රිස්තුස් “පැමිණ සිටින කාලය” අවසන් වෙන්නේ දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගත්තාමයි.

15, 16. “මේ පරම්පරාව” කියලා යේසුස් අදහස් කළේ කාවද?

15 දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද? ඒක සිද්ධ වෙන නිශ්චිත දවසක් ගැන යේසුස් කිව්වේ නැහැ. (මතෙ. 24:36) හැබැයි ඒක ළඟදීම සිද්ධ වෙනවා කියලා අපි දන්නවා. මොකද යේසුස් කිව්වා ලකුණක් හැටියට ඔහු දීපු අනාවැකිය ඉටු වෙනවා දකින කල් “මේ පරම්පරාව” පහව යන්නේ නැහැ කියලා. (මතෙව් 24:32-34 කියවන්න.) “මේ පරම්පරාව” කියලා යේසුස් කිව්වේ කවුරු ගැනද?

16 “මේ පරම්පරාව.” ඒ ගැන කතා කරද්දී යේසුස් අදහස් කළේ දෙවිව විශ්වාස කළේ නැති අයවද? නැහැ. ටිකකට හිතන්න මේ පරම්පරාව ගැන යේසුස් කියද්දී එතන හිටියේ කවුද කියලා. එතන හිටියේ වැඩි කාලයක් යන්න කලින් දෙවිගේ බලයෙන් අභිෂේක ලබන්න නියමිත වෙලා හිටිය ඔහුගේ අනුගාමිකයන් විතරයි. බයිබලයේ සඳහන් වෙන්නේ ඒ වෙලාවේදී ඔවුන් යේසුස්ව “තනිව හමු වී” කතා කළා කියලයි. (මතෙ. 24:3) දැන් අවට පද ගැනත් ටිකක් බලමු. “මේ පරම්පරාව” ගැන කතා කරන්න කලින් යේසුස් මෙහෙම කිව්වා. “දැන් අත්තික්කා ගස නිදසුනක් ලෙස ගෙන මේ කරුණ ඉගෙනගන්න. එහි අලුතින් වැඩුණු අත්තේ දලු ලියලන විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා. එලෙසම ඔබ මේ සියල්ල දකින විට ඔහු දොරකඩ අසලම සිටින බව දැනගන්න.” යේසුස් කියපු විදිහට ඔහු දීපු අනාවැකිය ඉටු වෙන විදිහ දකින්නෙත් ඒකේ වැදගත්කම හරියටම අවබෝධ කරගෙන යේසුස් “දොරකඩ අසලම සිටින බව” තේරුම්ගන්නෙත් ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන් විතරයි. එහෙමනම් “මේ පරම්පරාව” කියලා කියද්දී යේසුස් අදහස් කළේ ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ව කියලා පැහැදිලියි.

17. “පරම්පරාව” සහ “මේ සියල්ල” කියද්දී අදහස් කරන්නේ මොනවාද?

17 “මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසි ලෙසකින්වත් පහව යන්නේ නැහැ.” යේසුස් කියපු ඒ දේ තේරුම්ගන්න “මේ පරම්පරාව” සහ “මේ සියල්ල” කියන යෙදුම් දෙකේ තේරුම අපි අවබෝධ කරගමු. බයිබලයේ හුඟක් අවස්ථාවලදී “පරම්පරාව” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ යම් නිශ්චිත කාලයක් ඇතුළත ජීවත් වුණු විවිධ වයස්වල ඉන්න අය ගැන සඳහන් කරන්නයි. සාමාන්‍යයෙන් පරම්පරාවක් සදහටම පවතින්නේ නැහැ. (නික්. 1:6) “මේ සියල්ල” කියලා කියද්දී යේසුස් අදහස් කළේ මොනවාද? තමන් පැමිණ සිටින කාලයේදී ඉටු වෙනවා කියලා කියපු හැම දෙයක්ම ඔහු ඒකෙන් අදහස් කළා. ඒ කියන්නේ 1914 ඉඳන් “මහත් පීඩාව” අතරතුරේදී යේසුස්ගේ පැමිණ සිටින කාලය අවසන් වෙන කල් සිද්ධ වෙන දේවල් ගැනයි.—මතෙ. 24:21.

18, 19. “මේ පරම්පරාවට” අයිති වෙන්නේ කවුද? ඒ අනුව අපිට එන්න පුළුවන් නිගමනය මොකක්ද?

18 යේසුස් සඳහන් කරපු “මේ පරම්පරාවට” අයිති වෙන්නේ කවුද? කණ්ඩායම් දෙකකට අයත් අභිෂේක ලත් අය ඒකට ඇතුළත් වෙනවා. පළවෙනි කණ්ඩායමට අයිති වුණේ යේසුස් ලකුණක් හැටියට දීපු අනාවැකිය 1914දී ඉටු වෙන්න පටන්ගන්නවා දැකපු අභිෂේක ලත් අයයි. ඒ අය මැරෙන්න කලින් අභිෂේක ලබපු අනිත් අය තමයි දෙවෙනි කණ්ඩායමට අයිති වෙන්නේ. කණ්ඩායම් දෙකකට අයිති වුණත් ඒ අයව එක පරම්පරාවක් විදිහට හඳුන්වලා තියෙන්නේ යම් කාල සීමාවකදී ඒ දෙගොල්ලන්ම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් විදිහට ජීවත් වුණු නිසයි. c දෙවෙනි කණ්ඩායමට අයිති අයගෙන් කිහිපදෙනෙක්වත් මහත් පීඩාව ආරම්භ වෙන කල් ජීවතුන් අතර ඉඳියි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.

19 මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ මොනවාද? අද ලෝකේ පුරාම සිද්ධ වෙන දේවලින් හොඳින්ම පැහැදිලියි යේසුස් දැන් දෙවිගේ රාජ්‍යයේ රජ වෙලා ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි “මේ පරම්පරාව” විදිහට යේසුස් හඳුන්වපු අභිෂේක ලත් අයගෙන් කිහිපදෙනෙක් හරි මහත් පීඩාව වෙන කල් ජීවතුන් අතර ඉන්නවා කියලත් අපි දන්නවා. ඒ අය දැන් මහලු වියට පා නඟලා තියෙන නිසා තව වැඩි කාලයක් යන්න කලින් දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගනියි කියලා හිතන්න පුළුවන්. “දෙවිගේ රාජ්‍යය පැමිණේවා” කියලා අපි කරන යාච්ඤාව ඉටු වෙන විදිහ අපිට දැකගන්න ලැබුණොත් ඒක මොන තරම් ආශීර්වාදයක් වෙයිද!

20. මේ පොතෙන් ඉගෙනගන්න පුළුවන් මොන වගේ වැදගත් තොරතුරු ගැනද? ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරන්නේ මොනවා ගැනද?

20 යේසුස්ට “සවන් දෙන්න” කියලා යෙහෝවා දෙවි කියපු දේ කවදාවත් අමතක කරන්න එපා. දෙවි කියපු ඒ දේට කීකරු වෙන්න සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි කැමතියි. එහෙමනම් දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් උගන්වපු දේවල් උනන්දුවෙන් ඉගෙනගන්න එක මොන තරම් වැදගත්ද! දෙවිගේ රාජ්‍යය, දැනටමත් කරලා තියෙන දේවල් ගැනත් ඉදිරියේදී කරන්න යන දේවල් ගැනත් මේ පොතෙන් තවත් හුඟක් තොරතුරු දැනගන්න පුළුවන්. දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටවපු කාලයේදී පොළොවේ සිද්ධ වුණු ප්‍රීතිමත් දේවල් ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

a මේ උපමාව අහගෙන හිටිය අයට මහා හෙරොද් රජුගේ පුත් ආකෙලාවුස් ගැන මතක් වෙන්න ඇති. හෙරොද් රජගෙන් පස්සේ රජකම් කරන්න අයිතිය තිබුණේ ආකෙලාවුස්ට වුණත් එයාට සිද්ධ වුණා හුඟක් දුර රටක් වුණු රෝමයට ගිහින් ඔගස්ටස් සීසර්ගේ අනුමැතිය ලබාගන්න.

c 1914දී “දරුණු විපත්වල ආරම්භය” දැකපු අභිෂේක ලත් අය අතරේ හිටිය අන්තිම සාමාජිකයා මැරුණාට පස්සේ, අභිෂේක ලබන කිසිම කෙනෙක් යේසුස් සඳහන් කරපු “පරම්පරාවට” අයිති වෙන්නේ නැහැ.—මතෙ. 24:8.