Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ගැන රජ තොරතුරු හෙළි කරයි

දෙවිගේ රාජ්‍යය ගැන රජ තොරතුරු හෙළි කරයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවිගේ රාජ්‍යය ගැනත් එහි පාලකයන් සහ යටත්වැසියන් ගැනත් ඒ රාජ්‍යයට පෙන්වන්න ඕන පක්ෂපාතකම ගැනත් දෙවිගේ සෙනඟ තේරුම්ගත්ත විදිහ

1, 2. යේසුස්ව ප්‍රඥාවන්ත මඟ පෙන්වන්නෙකුට සමාන කරන්න පුළුවන් ඇයි?

 හිතන්න ඔබ තවත් කිහිපදෙනෙක් එක්ක ලස්සන නුවරක් බලන්න යනවා කියලා. ඒ නුවරේ තියෙන සමහර දේවල් දකිද්දී ඔබට පුදුම හිතෙනවා. ඔබ මීට කලින් කවදාවත් ඒ වගේ නුවරකට ගිහින් නැහැ. ඒ ගමනේදී ඔබට මඟ පෙන්වන්න ඒ නුවර ගැන හොඳට දන්න කෙනෙකුත් ඔබත් එක්ක ඉන්නවා. ඔහු කියන හැම දේකටම ඔබ හොඳින් අවධානය දෙනවා. සමහර අවස්ථාවලදී ඒ නුවරේ තියෙන දේවල් ගැන දැනගන්න තියෙන කුතුහලය නිසා ඔබ ප්‍රශ්න ඇහුවත් ඔහු ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ නැහැ. ඔහු ඒ ගැන පැහැදිලි කරන්නේ සුදුසුම වෙලාව ආවාමයි. ඒකෙන් ඔබ තේරුම්ගන්නවා ඔහු කොයි තරම් ප්‍රඥාවන්ත මඟ පෙන්වන්නෙක්ද කියලා.

2 “සැබෑ අත්තිවාරමක් ඇති නුවර” විදිහට බයිබලයේ හඳුන්වලා තියෙන දෙවිගේ රාජ්‍යය ගැන දැනගන්න අපි හුඟක් ආසයි. (හෙබ්‍රෙ. 11:10) ඒ නිසා අපිත් හරියට ලස්සන නුවරක් බලන්න යන කණ්ඩායමක් වගෙයි. ඒ ගමනේදී අපිට මඟ පෙන්වන කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි යේසුස්. ඔහු පොළොවේ හිටිය කාලෙදී දෙවිගේ රාජ්‍යය ගැන හොඳින් තේරුම්ගන්න ඔහුගේ අනුගාමිකයන්ට උදව් කළා. හැබැයි අනුගාමිකයන් ඒ ගැන අහපු හැම ප්‍රශ්නයකටම යේසුස් උත්තර දුන්නේ නැහැ. ඒ ඇයි? ඒකට හේතුව ඔහු පැහැදිලි කළේ මෙහෙමයි. “ඔබට කියන්න තව බොහෝ දේ මට තිබුණත් ඒවා දරාගන්න දැන් ඔබට බැහැ.” (යොහ. 16:12) යේසුස් ඉගැන්නුවේ ඔහුගේ ගෝලයන්ට තේරුම්ගන්න පුළුවන් කාරණා ගැන විතරයි. ඔහු කොයි තරම් ප්‍රඥාවන්ත මඟ පෙන්වන්නෙක්ද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

3, 4. (අ) යේසුස් දිගටම ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ට දෙවිගේ රාජ්‍යය ගැන ඉගැන්නුවේ කොහොමද? (ආ) අපි මේ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවාද?

3 යොහන් 16:12 සඳහන් වෙන දේ යේසුස් ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන්ට කිව්වේ ඔහු පොළොවේ ජීවත් වුණු අන්තිම රාත්‍රියේදියි. ඒත් යේසුස් මැරුණාට පස්සේ ඔහුගේ අනුගාමිකයන්ට දෙවිගේ රාජ්‍යය ගැන දැනගන්න ඔහු මඟ පෙන්වන්නේ කොහොමද? “ඔබට සත්‍යය එළිදරව් කරන දෙවිගේ බලය ලැබෙන විට සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට ඔබට මඟ පෙන්වීම් ලැබෙයි” කියලා යේසුස් කිව්වා. (යොහ. 16:13) ඒකෙන් අපිට තේරෙනවා සුදුසුම වෙලාව ආවාම යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන්ව දැනුවත් කරන්නේ දෙවිගේ බලය මාර්ගයෙන් කියලා.

4 දෙවිගේ බලය මාර්ගයෙන් සැබෑ ක්‍රිස්තියානීන් තේරුම්ගත්තේ මොනවාද? දෙවිගේ රාජ්‍යය පිහිටුවන්නේ කවදාද කියලා ඔවුන් තේරුම්ගත්තා. ඒ රාජ්‍යයේ පාලකයන් සහ යටත්වැසියන් ගැනත් ඒ අයට තියෙන බලාපොරොත්තුව ගැනත් ඔවුන් තේරුම්ගත්තා. ඒ වගේම ඒ රාජ්‍යයට මොන තරම් පක්ෂපාත වෙන්න ඕනෙද කියලත් ඔවුන් තේරුම්ගත්තා. ඒ පැති තුන ගැන අපිට මේ පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.

සුවිශේෂී වසර ගැන තේරුම්ගනියි

5, 6. (අ) දෙවිගේ රාජ්‍යය පිහිටුවන එක ගැනත් අස්වැන්න කපන කාලය ගැනත් බයිබල් ශිෂ්‍යයන් හිතාගෙන හිටියේ මොනවාද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන් සමහර දේවල් වැරදි විදිහට තේරුම් අරන් තිබුණු එකෙන් යේසුස් ඒ අයට මඟ පෙන්නුවේ නැහැ කියලා අදහස් වෙනවාද?

5 හුඟක් කාලෙකට කලින් ඉඳලම 1914 විශේෂ අවුරුද්දක් කියන එක බයිබල් ශිෂ්‍යයන් දැනුම් දුන්නා කියලා අපි 2වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. හැබැයි ඒ වෙනකොට ඒ අය හිතන් හිටියේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පටන්ගත්තේ 1874දී කියලයි. ඒ වගේම 1878දී යේසුස් ස්වර්ගයේ රජ වෙනවා කියලත් 1914දී දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියලත් ඒ අය හිතුවා. ඒ විතරක් නෙවෙයි අස්වැන්න කපන කාලය 1874න් පටන් අරන් 1914දී අවසන් වුණාම අභිෂේක ලත් අය ස්වර්ගයට යනවා කියලත් ඒ අය හිතුවා. බයිබල් ශිෂ්‍යයන් ඒ කාරණා ගැන වැරදි විදිහට තේරුම් අරන් තිබුණු එකෙන් අදහස් වෙනවාද යේසුස් දෙවිගේ බලයෙන් ඔවුන්ට මඟ පෙන්නුවේ නැහැ කියලා? එහෙම කියන්න බැහැ.

6 පළවෙනි ඡේදයේ සඳහන් වුණු නිදර්ශනය ගැන හිතන්න. ඒ ගමනට හවුල් වුණු අය ඒ නුවරේ සමහර දේවල් දැනගෙන හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ නුවර ගැන දැනගන්න තිබුණු කුතුහලය නිසා මඟ පෙන්වන කෙනාගෙන් එක එක ප්‍රශ්නත් ඇහුවා. ඒත් ඒකෙන් අදහස් වෙනවාද ඒ අයට මඟ පෙන්වපු කෙනා එයාගේ වැඩේ හරියට කළේ නැහැ කියලා? නැහැ. ඒ වගේ තමයි බයිබල් ශිෂ්‍යයන්ටත් දෙවිගේ අරමුණ ගැන දැනගන්න තිබුණු කුතුහලය නිසා දෙවිගේ බලයේ උපකාරයෙන් යම් දේවල් තේරුම් කරලා දෙන්න කලින් ඒ අය සමහර කාරණා ගැන වැරදි නිගමනවලට ආවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යේසුස් ඔවුන්ට මඟ පෙන්නුවේ නැහැ කියලා. මොකද යේසුස් ඔවුන්ට මඟ පෙන්වනවා කියලා හොඳින්ම පැහැදිලියි. ඒ නිසා යම් දේවල් පැහැදිලිව අවබෝධ කරගන්න මඟ පෙන්වීම් ලැබෙද්දී දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් නිහතමානීව ඒ දේවල් පිළිගන්නවා.—යාකො. 4:6.

7. දෙවිගේ සෙනඟ තේරුම්ගත්තේ මොන තොරතුරුද?

7 1919න් පස්සේ දෙවිගේ සේවකයන්ට දෙවිගේ රාජ්‍යය ගැන තවත් තොරතුරු ක්‍රමානුකූලව පැහැදිලි වුණා. (ගීතාවලිය 97:11 කියවන්න.) උදාහරණයකට 1925දී ‘මුරටැඹ’ සඟරාවක අලුත් ජාතියක උපත ගැන විස්තර කරපු ලිපියේ සඳහන් වුණු මේ තොරතුරු බලන්න. 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටුවලා තියෙනවා කියලා විශ්වාස කරන්න හොඳ පදනමක් බයිබලයේ තියෙනවා. ඒ රාජ්‍යය පිහිටුවලා තියෙන නිසා එළිදරව් 12වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන ස්ත්‍රිය පුතෙකු බිහි කරන දර්ශනය ඉටු වෙලා තියෙනවා. a පළවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී දෙවිගේ සෙනඟට හුඟක් පීඩා සහ විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න වුණේ ක්‍රිස්තුස් රජ වුණාට පස්සේ සාතන්ව පොළොවට හෙළා තියෙන නිසයි. “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන්” කටයුතු කරනවා.—එළි. 12:12.

8, 9. (අ) දෙවිගේ රාජ්‍යයේ වැදගත්කම ගැන කාවැද්දුවේ කොහොමද? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

8 දෙවිගේ රාජ්‍යයේ වැදගත්කම ගැන ඔහුගේ සෙනඟට අවබෝධ වුණේ මොකක්ද? යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපේ ජීවිත ගලවාගන්නවාට වඩා වැදගත් වෙන්නේ දෙවිගේ රාජ්‍යයයි කියලා 1928 ඉඳන් ‘මුරටැඹ’ සඟරාවල සඳහන් වෙන්න පටන්ගත්තා. ඒක මොන තරම් ඇත්තක්ද! යෙහෝවා දෙවි තමන්ගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්නෙත් මුළු විශ්වයම පාලනය කරන්න ඔහුට තියෙන අයිතිය තහවුරු කරන්නෙත් මිනිසුන් සම්බන්ධයෙන් ඔහුට තියෙන අරමුණ ඉටු කරන්නෙත් ඒ රාජ්‍යය යොදාගෙනයි.

9 යේසුස් එක්ක දෙවිගේ රාජ්‍යයේ රජවරු විදිහට වැඩ කරන්නේ කවුද? ඒ රාජ්‍යයේ යටත්වැසියන් කවුද? ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට කරන්න තියෙන වැඩ කොටස මොකක්ද?

අභිෂේක ලත් අයව එකතු කිරීම එනම් අස්වැන්න රැස් කිරීම

10. 1,44,000දෙනා ගැන දෙවිගේ සෙනඟ තේරුම් අරන් හිටියේ මොනවාද?

10 අභිෂේක ලත් 1,44,000දෙනා අනාගතයේදී දෙවිගේ රාජ්‍යයේ පාලකයන් විදිහට වැඩ කරන්න යේසුස් එක්ක එකතු වෙනවා කියලා 1914ට කලින් ඉඳලම සැබෑ ක්‍රිස්තියානීන් දැනගෙන හිටියා. b ඒ වගේම මුල් සියවසේ ඉඳලම අභිෂේක ලත් අයව එකතු කරන්න පටන්ගත්තා කියලත් ඒ අය තේරුම්ගත්තා.

11. පොළොවේදී තමන්ට පැවරිලා තියෙන වැඩ කොටස ගැන අභිෂේක ලත් අය අවබෝධ කරගත්තේ මොනවාද?

11 පොළොවේ ඉද්දී තමන්ට පැවරිලා තිබුණු වැඩ කොටස ගැන ක්‍රිස්තුස්ගේ මනාලිය වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය අභිෂේක ලත් අය තේරුම්ගත්තේ මොනවාද? යේසුස් දේශනා සේවයට වැඩි අවධානයක් දීලා තියෙනවා කියලත් ඒක අස්වැන්න කපන වැඩේට සමාන කරලා තියෙනවා කියලත් ඒ අය තේරුම්ගත්තා. (මතෙ. 9:37; යොහ. 4:35) අපි 2වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කරපු විදිහට ඉස්සර ඒ අයට තිබුණේ වෙනස් අදහසක්. ඒ අය හිතුවේ අස්වැන්න කපන කාලය අවුරුදු 40කින් අවසන් වෙනවාත් එක්කම අභිෂේක ලත් හැමෝම ස්වර්ගයට යනවා කියලයි. ඒත් අස්වැන්න කපන කාලය අවුරුදු 40කින් ඉවර වුණේ නැහැ. ඒ නිසා ඒක තේරුම්ගන්න දෙවිගේ උපකාරය ඕන වුණා. හැබැයි දැන් අපි දන්නවා අස්වැන්න කපන කාලය පටන්ගත්තේ 1914දී කියලා. ඒ අවුරුද්දේ ඉඳන් තමයි කිරිඳි සහ තිරිඟු ගැන උපමාවේ සඳහන් වෙලා තියෙන විදිහට ක්‍රිස්තියානියයි කියාගන්නා අය අතරින් අභිෂේක ලත් අයව වෙන් කරන්න පටන්ගත්තේ. ඒ කියන්නේ අභිෂේක ලත් අයව එකතු කරන වැඩේට වැඩි අවධානයක් දෙන්න ඕන කාලය උදා වුණා කියන එකයි.

1914දී අස්වැන්න කපන කාලය පටන්ගත්තා (11 ඡේදය බලන්න)

12, 13. යේසුස් කියපු උපමා දෙක අවසාන කාලයේදී ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

12 1919 ඉඳන් ක්‍රිස්තුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් දේශනා සේවය හුඟක් වැදගත් කියලා කාවද්දලා තියෙනවා. මුල් සියවසේදී තමයි ශුභාරංචිය දේශනා කරන පැවරුම ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට භාර දුන්නේ. (මතෙ. 28:19, 20) ඒ පැවරුම ඉටු කරන්න නම් ඒ අය කටයුතු කරන්න ඕනෙ කොහොමද කියලත් ඔහු පැහැදිලි කළා. උදාහරණයකට අවිවාහක තරුණියන් දහදෙනා ගැන කියපු උපමාවෙන් ඔහු පෙන්නුවා අභිෂේක ලත් අය සෝදිසියෙනුත් අවදියෙනුත් ඉන්න ඕනෙ කියලා. එහෙම හිටියොත් විතරයි ක්‍රිස්තුස්ගේ “මනාලිය” වෙන්න ඒ අයට පුළුවන් වෙන්නේ. (එළි. 21:2) ඒ වගේම තලෙන්ත ගැන කියපු උපමාවෙන් යේසුස් පෙන්නුවා අභිෂේක ලත් අයට භාර දීලා තියෙන දේශනා සේවය ඔවුන් කැපවීමෙන් සහ විශ්වාසවන්තව ඉටු කරන්න ඕනෙ කියලා.—මතෙ. 25:1-30.

13 යේසුස් කියපු විදිහටම අභිෂේක ලත් අය පහුගිය සියවස පුරාම සෝදිසියෙන් ඉඳලා කැපවීමෙන් වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙයි. දැන් බලමු අස්වැන්න රැස් කරන එකට අයිති වෙන්නේ 1,44,000දෙනාට අයිති ඉතුරු අයව එකතු කරන එක විතරද කියලා.

දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන්ව එක් රැස් කරයි

14, 15. 1917දී පළ වුණු පොතක සඳහන් වුණු කණ්ඩායම් හතරට අයිති වුණේ කාවද?

14 එළිදරව් 7:9-14 පදවල සඳහන් වෙන “මහත් සමූහය” කවුද කියලා දැනගන්න කාලයක් තිස්සේ ඉඳන් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ලොකු කුතුහලයක් තිබුණා. හැබැයි මහත් සමූහය කවුද කියලා ක්‍රිස්තුස් ඒ වෙද්දී හෙළි කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ අයට මහත් සමූහය ගැන තිබුණේ අද අපිට තියෙනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්.

15 “ස්වර්ගයට යන කණ්ඩායම් දෙකක් සහ පොළොවේ ඉන්න කණ්ඩායම් දෙකක්” ගැන 1917දී පළ වුණු පොතක සඳහන් වෙලා තිබුණා. ඒ පොතේ සඳහන් වුණු විදිහට පළවෙනි කණ්ඩායමට අයිති වුණේ යේසුස් එක්ක පාලනය කරන්න හවුල් වෙන 1,44,000දෙනා. දෙවෙනි කණ්ඩායමට අයිති වුණේ “මහත් සමූහය.” මහත් සමූහය විදිහට හැඳින්නුවේ පල්ලිවලට ගියත් ක්‍රිස්තුස්ව විශ්වාස කරපු අයවයි. ඒ අය ස්වර්ගයට ගියත් පළවෙනි කණ්ඩායමට අයිති අයට තරම් උසස් තත්වයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. තුන්වෙනි කණ්ඩායමට අයිති වුණේ පුරාණයේදී දෙවිට විශ්වාසවන්තව හිටිය ආබ්‍රහම්, මෝසෙස් වගේ අය. ඒ අය ජීවත් වෙන්නේ මේ පොළොවේ. හතරවෙනි කණ්ඩායමට අයිති වුණේ තුන්වෙනි කණ්ඩායමේ ඉන්න අයගේ පාලනය යටතේ පොළොවේ ජීවත් වෙන අය.

16. 1923දීත් 1932දීත් ක්‍රමානුකූලව දැනගන්න ලැබුණේ මොනවා ගැනද?

16 මහත් සමූහය ගැන සත්‍යය තේරුම්ගන්න දෙවිගේ සෙනඟට පුළුවන් වුණේ කොහොමද? සත්‍යය අවබෝධ කරගන්න දෙවිගේ බලය මාර්ගයෙන් යේසුස් ක්‍රමානුකූලව ඔවුන්ට මඟ පෙන්නුවා. උදාහරණයකට 1923 ‘මුරටැඹ’ සඟරාවක ස්වර්ගයට යන්න ආසාවක් නැති, ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ හැමදාටම මේ පොළොවේ ජීවත් වෙන කණ්ඩායමක් ඉන්නවා කියලා සඳහන් වුණා. ඒ වගේම 1932 ‘මුරටැඹ’ සඟරාවක යෝනාදාබ් (යෙහොනාදාබ්) ගැන සඳහන් වුණා. ඊශ්‍රායෙලයේ රජ හැටියට දෙවි අභිෂේක කරපු යේහුට ඊශ්‍රායෙල් දේශයෙන් බොරු නමස්කාරය නැති කරන්න යෝනාදාබ් උදව් කළා. (2 රාජා. 10:15-17) අදත් යෝනාදාබ් වගේ කණ්ඩායමක් පොළොවේ ඉන්නවා කියලත් යෙහෝවා දෙවි ඒ අයව “හර්–මගෙදොන් යුද්ධයෙන් ගලවගෙන” මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා කියලත් ඒ සඟරාවේ සඳහන් වුණා.

17. (අ) 1935දී පැහැදිලිවම දැනගන්න ලැබුණේ මොනවාද? (ආ) ඒ ගැන දෙවිගේ සෙනඟට හැඟුණේ කොහොමද? (“ හැමෝටම දැනුණේ ලොකු සහනයක්” යන කොටුව බලන්න.)

17 1935දී වොෂිංටන් ඩී.සී. නගරයේ පවත්වපු සමුළුවකදී තමයි මහත් සමූහය කවුද කියලා හරියටම පැහැදිලි කළේ. එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම ගැන යේසුස් කියපු උපමාවේ බැටළුවන් විදිහට හඳුන්වපු අය වගේ මහත් සමූහය කියන්නෙත් පොළොවේ ජීවත් වෙන කණ්ඩායමක්. (මතෙ. 25:33-40) මහත් සමූහයේ අය අයිති වෙන්නෙත් “වෙනත් බැටළුවන්” විදිහට යේසුස් හඳුන්වපු කණ්ඩායමටයි. (යොහ. 10:16) ඒ දේවල් පැහැදිලි කරපු සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ් “මේ පොළොවේ හැමදාමත් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය නැඟිටින්න පුළුවන්ද” කියලා ඇහුවාම සමුළුවට ඇවිත් හිටිය අයගෙන් භාගයකටත් වඩා නැඟිට්ටා. එතකොට ඔහු මෙහෙම කිව්වා. “බලන්න! මේ තමයි මහත් සමූහය.” තමන්ට තියෙන බලාපොරොත්තුව ගැන දැනගන්න ලැබුණ එක ගැන ඒ අය හුඟක් සතුටු වුණා.

18. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් දේශනා සේවයේදී වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තේ මොනවාටද? ප්‍රතිඵලය මොකක්ද?

18 මහත් සමූහය කියන්නේ කාටද කියලා තේරුම්ගන්න උදව් කළාට පස්සේ වෙන කවරදාකටත් වඩා වැඩියෙන් මහත් සමූහයට අයිති අයව එකතු කරන්න යේසුස් මඟ පෙන්නුවා. මුලදී මහත් සමූහයට අයිති අයගේ ලොකු වර්ධනයක් දකින්න තිබුණේ නැහැ. “පේන විදිහට ‘මහත් සමූහය’ මීට වඩා වර්ධනය වෙන එකක් නැහැ” කියලා සහෝදර රදෆර්ඩ් කිව්වේ ඒ නිසයි. හැබැයි අද මහත් සමූහයේ වර්ධනය දකිද්දී ඒ අයව එකතු කරන්න යෙහෝවා දෙවි මොන තරම් ආශීර්වාද කරලා තියෙනවාද කියලා හොඳින්ම පැහැදිලියි. දෙවිගේ බලයෙන් යේසුස් අභිෂේක ලත් අයට සහ “වෙනත් බැටළුවන්ට” මඟ පෙන්වන නිසා ඒ දෙගොල්ලන්ම “එක එඬේරෙක් යටතේ” ඉන්න “එක රැළක්” විදිහට කටයුතු කරනවා.

මහත් සමූහයට අයිති අයගේ ලොකු වර්ධනයක් වෙයි කියලා සහෝදර රදෆර්ඩ් දැනගෙන හිටියේ නැහැ (වමේ සිට දකුණට: නේතන් එච්. නොර්, ජෝසෆ් එෆ්. රදෆර්ඩ්, හේඩන් සී. කවිංටන්)

19. මහත් සමූහයට අයිති අයගේ ගණන වැඩි කරන්න අපිට හවුල් වෙන්න පුළුවන් කොහොමද?

19 අනාගතයේදී ක්‍රිස්තුස් සහ 1,44,000දෙනාගේ පාලනය යටතේ හුඟදෙනෙක් මේ පොළොවේ සදහටම ජීවත් වෙනවා. බයිබලයේ සඳහන් වෙලා තියෙන ඒ සත්‍යය තේරුම්ගන්න දෙවිගේ සෙනඟට ක්‍රිස්තුස් මඟ පෙන්වලා තියෙන විදිහ ගැන හිතද්දී අපිට මොන තරම් සතුටු වෙන්න පුළුවන්ද! ඒ ලස්සන බලාපොරොත්තුව ගැන අනිත් අයට කියන්න ලැබිලා තියෙන එක ඇත්තටම ලොකු වරප්‍රසාදයක්. ඒ නිසා අපි හැමෝම පුළුවන් උපරිමයෙන් සේවයේ හවුල් වෙමු. මහත් සමූහයට අයිති අයගේ ගණන තවත් වැඩි වෙද්දී යෙහෝවා දෙවිගේ නම මොන තරම් ගෞරවයට පත් වෙයිද!—ලූක් 10:2 කියවන්න.

මහත් සමූහයට අයිති අය එන්න එන්නම වැඩි වෙනවා

දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත වීම

20. සාතන්ගේ සංවිධානයට අයිති වෙන්නේ මොනවාද? දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අය කරන්න ඕනෙ මොනවාද?

20 දෙවිගේ රාජ්‍යය ගැන තියෙන අවබෝධය ටිකෙන් ටික වැඩි වෙද්දී දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත වෙන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා දෙවිගේ සෙනඟ තේරුම්ගත්තා. උදාහරණයකට 1922 ‘මුරටැඹ’ සඟරාවක සංවිධාන දෙකක් ගැන පැහැදිලි කරලා තිබුණා. ඒ තමයි යෙහෝවා දෙවිගේ සංවිධානය සහ සාතන්ගේ සංවිධානය. කූට ව්‍යාපාර, ආගම් සහ දේශපාලනය වගේ දේවලින් තමයි සාතන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ. ඒ නිසා සාතන්ගේ සංවිධානයට අයිති ඒ කිසිම දෙයක් නිසා දෙවිගේ රාජ්‍යයට පෙන්වන පක්ෂපාතකම නැති කරගන්න එක කොහෙත්ම සුදුසු නැහැ. (2 කොරි. 6:17) ඒ ඇයි?

21. (අ) කූට ව්‍යාපාර ගැන විශ්වාසවන්ත දාසයා දෙවිගේ සෙනඟට අනතුරු අඟවලා තියෙන්නේ කොහොමද? (ආ) 1963 ‘මුරටැඹ’ සඟරාවක “මහ බැබිලෝනිය” ගැන සඳහන් කරලා තිබුණේ මොනවාද?

21 අද තියෙන ව්‍යාපාර ලෝකයේ සිද්ධ වෙන කූට දේවල් ගැනත් ධන සම්පත් රැස් කරන්න උත්සාහ කරන එකේ තියෙන අනතුර ගැනත් විශ්වාසවන්ත දාසයා නිතර නිතර මතක් කරලා තියෙනවා. (මතෙ. 6:24) ඒ විතරක් නෙවෙයි සාතන්ගේ සංවිධානයට අයිති ආගම් ගැනත් පැහැදිලි කරලා දීලා තියෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානියයි කියාගන්න ආගම් විතරක් නෙවෙයි අසත්‍යය උගන්වන අනිත් හැම ආගමක්ම “මහ බැබිලෝනියට” අයිති වෙනවා කියලා 1963 ‘මුරටැඹ’ සඟරාවක පැහැදිලි කරලා තිබුණා. ප්‍රතිඵලයක් විදිහට ලෝකය පුරාම ඉන්න දෙවිගේ සෙනඟට අසත්‍යය උගන්වන ආගම්වලින් “පිටතට එන්න” පුළුවන් වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා අපිට මේ පොතේ 10වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.—එළි. 18:2, 4.

22. පළවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී දෙවිගේ සෙනඟ රෝම 13:1 සඳහන් දේ තේරුම් අරන් හිටියේ කොහොමද?

22 සාතන්ගේ සංවිධානයට අයිති දේශපාලනය ගැන කියන්න පුළුවන් මොනවාද? යුද්ධ සහ අරගලවලට ක්‍රිස්තියානීන්ට හවුල් වෙන්න පුළුවන්ද? මිනිසුන්ව මරන එක කොහෙත්ම සුදුසු නැහැ කියලා පළවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදීම බයිබල් ශිෂ්‍යයන් තේරුම් අරන් හිටියා. (මතෙ. 26:52) හැබැයි “උසස් බලධාරීන්ට” කීකරු වෙන්න කියලා රෝම 13:1 සඳහන් දේ ඒ අය තේරුම්ගත්තේ වැරදි විදිහට. උසස් බලධාරීන්ට කීකරු වෙන්න නම් යුධ ඇඳුම් ඇඳගෙන අවිආයුධ අරන් යුද්දෙට යන්න ඕනෙ කියලා ඒ අය හිතුවා. ඒත් සතුරෙක්ව මරන්න කියලා කිව්වාම ඒ අය කළේ අහසට වෙඩි තියෙන එක.

23, 24. දෙවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී දෙවිගේ සේවකයන් රෝම 13:1 තේරුම් අරන් හිටියේ කොහොමද? ඒ අය තවත් හොඳින් තේරුම්ගත්තේ මොනවාද?

23 සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනයට සහ යුද්ධයට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන එක සුදුසු නැහැ කියලා 1939 ‘මුරටැඹ’ සඟරාවක පැහැදිලිව සඳහන් වුණා. ඒ නිවැරදි අවබෝධය ලැබුණේ සුදුසුම වෙලාවේ කියලා කියන්න පුළුවන්. ඒ ඇයි? ඒ අවබෝධය නිසා දෙවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී මිනිස් ජීවිත නැති කිරීමේ වරදට කිසිම විදිහකින්වත් හවුල් නොවී ඉන්න දෙවිගේ සේවකයන්ට පුළුවන් වුණා. ඒත් 1929දී අපේ ප්‍රකාශනවල සඳහන් වුණේ රෝම 13:1 උසස් බලධාරීන් විදිහට සඳහන් කරලා තියෙන්නේ යෙහෝවා දෙවිව සහ යේසුස්ව කියලයි. ඒ නිසා ඒක නිවැරදිව අවබෝධ කරගන්න ඕන වුණා.

24 දෙවිගේ බලයෙන් ලැබුණු මඟ පෙන්වීම නිසා රෝම 13:1-7 සඳහන් දේ හරියටම අවබෝධ කරගන්න ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට පුළුවන් වුණා. 1962 නොවැම්බර් 15 සහ දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවල ඒ ගැන පැහැදිලි කරලා තිබුණා. “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න” කියලා යේසුස් කියපු දෙයින් දෙවිගේ සෙනඟ තේරුම්ගත්තා උසස් බලධාරීන්ට යටත් වෙන්න ඕනෙ කොයි තරම් දුරකටද කියලා. (ලූක් 20:25) බයිබලයේ උසස් බලධාරීන් විදිහට හඳුන්වලා තියෙන පාලකයන්ට අපි යටත්ව හිටියත් යෙහෝවා දෙවි අකමැති දෙයක් කරන්න කියලා ඒ අය කිව්වොත් අපි ඒකට කීකරු වෙන්නේ නැහැ. මොකද “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.” (ක්‍රියා 5:29) දෙවිගේ සෙනඟ බයිබලයේ සඳහන් ඒ ප්‍රතිපත්තිය අදාළ කරගෙන තියෙන විදිහ ගැන මේ පොතේ 13 සහ 14 පරිච්ඡේදවලින් දැනගන්න පුළුවන්.

සදාකාල ජීවනය ගැන බයිබලයේ තියෙන පොරොන්දුව අනිත් අයට කියන්න ලැබිලා තියෙන එක වරප්‍රසාදයක්

25. දෙවිගේ රාජ්‍යය ගැන තේරුම්ගන්න දෙවිගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීම් ඔබ අගය කරන්නේ ඇයි?

25 පහුගිය සියවස පුරාම ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් දෙවිගේ රාජ්‍යය ගැන තේරුම් අරන් තියෙන දේවල් ගැන ටිකකට හිතන්න. දෙවිගේ රාජ්‍යය පිහිටෙව්වේ කවදාද කියලත් ඒ රාජ්‍යය කොයි තරම් වැදගත්ද කියලත් දැන් අපි දන්නවා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් අතරින් යම් පිරිසක් ස්වර්ගයට යනවා කියලත් අනිත් අය මේ පොළොවේ හැමදාටමත් ජීවත් වෙනවා කියලත් අපි දන්නවා. මිනිස් පාලකයන්ට කීකරු වෙන ගමන් දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව ඉන්න ඕනෙ කොහොමද කියලත් අපි දන්නවා. දැන් මේ ගැන හිතන්න. ‘ඒ දේවල් තේරුම්ගන්නත් ඒ ගැන පැහැදිලිව උගන්වන්නත් යේසුස් ක්‍රිස්තුස් විශ්වාසවන්ත දාසයාට මඟ පෙන්නුවේ නැත්නම් ඒ වටිනා තොරතුරු ගැන දැනගන්න අපිට පුළුවන් වෙයිද?’ ක්‍රිස්තුස් දෙවිගේ බලයෙන් ඒ විදිහට අපිට මඟ පෙන්වන එක මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!

a කලින් හිතන් හිටියේ ඒ දර්ශනයෙන් අදහස් වෙන්නේ රෝමයේ බොරු නමස්කාරය සහ කතෝලික සභාව අතර ඇති වෙන යුද්ධයක් ගැන කියලයි

b 1914 වෙද්දී සැබෑ ක්‍රිස්තියානීන් වෙලා හිටිය යුදෙව්වන් තමයි 1,44,000දෙනාට අයිති වෙන්නේ කියලා 1880 ජූනි ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා. හැබැයි ඒ අවුරුද්දේම තවත් සඟරාවක ඒ අදහස නිවැරදි කරලා අද අපි විශ්වාස කරන අදහසට හුඟක් දුරට සමාන අදහසක් සඳහන් කරලා තිබුණා.