Skip to content

පටුනට යන්න

8වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් - හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න ප්‍රකාශන නිකුත් කරයි

ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් - හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න ප්‍රකාශන නිකුත් කරයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

විවිධ ජාතීන්, ගෝත්‍ර සහ භාෂාවලට අයිති එක් එක් කෙනාට ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් යෙහෝවා දෙවි අපිට දිගටම සපයනවා

1, 2. (අ) පළවෙනි සියවසේදී රෝම අධිරාජ්‍යය පුරාම ශුභාරංචිය ප්‍රචාරය වුණේ කොහොමද? (ආ) යෙහෝවා දෙවි අදටත් අපිට මඟ පෙන්වනවා කියලා කියන්න සාක්ෂි තියෙනවාද? (“ භාෂා 670කටත් වඩා වැඩි ගණනකින් ශුභාරංචිය” යන කොටුව බලන්න.)

 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී සිද්ධ වුණ දේ ඔබට මතකද? එදා යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිගේ බලය ලැබුණු නිසා ඒ අය විවිධ භාෂාවලින් ශුභාරංචිය ගැන කතා කරන්න පටන්ගත්තා. (ක්‍රියා 2:1-8, 12, 15-17 කියවන්න.) ගලීලයේ මිනිසුන් දක්ෂ විදිහට වෙනත් භාෂාවලින් ශුභාරංචිය ප්‍රකාශ කරනවා දකිද්දී යෙරුසලමට ඇවිත් හිටිය අය හුඟක් පුදුම වුණා. එදා යේසුස්ගේ අනුගාමිකයන් විවිධ භාෂාවලින් කතා කරපු නිසා කාලයක් යද්දී රෝම අධිරාජ්‍යය පුරාම ශුභාරංචිය පැතිරුණා.—කොලො. 1:23.

2 යේසුස්ගේ අනුගාමිකයන් කළා වගේ විවිධ භාෂාවලින් කතා කරන්න අපිට බැහැ. හැබැයි අද වෙද්දී භාෂා 670කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ශුභාරංචිය දැනුම් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. (ක්‍රියා 2:9-11) ඒ විදිහට විවිධ භාෂාවලින් හිතාගන්නවත් බැරි ප්‍රකාශන ප්‍රමාණයක් නිකුත් කරලා තියෙන නිසා පොළොවේ අස්සක් මුල්ලක් නෑරම ශුභාරංචිය පැතිරිලා තියෙනවා. a යෙහෝවා දෙවි යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න අපිට මඟ පෙන්වනවා කියලා හොඳින්ම පැහැදිලියි. (මතෙ. 28:19, 20) පහුගිය අවුරුදු 100 පුරාම ශුභාරංචිය දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ පාවිච්චි කරලා තියෙන දේවල් කිහිපයක් දැන් බලමු. ඒ ගැන බලද්දී එක් එක් පුද්ගලයා ගැන සැලකිලිමත් වෙන්නත් බයිබලයේ තියෙන දේවල් දක්ෂ විදිහට අනිත් අයට කියලා දෙන්නත් දෙවිගේ රාජ්‍යයේ රජු අපිව පුහුණු කරලා තියෙන විදිහ ගැන කල්පනා කරන්න.—2 තිමෝ. 2:2.

සත්‍යය නමැති බීජ වපුරන්න ඕන කරන දේවල් රජු ලබා දෙයි

3. ශුභාරංචිය ප්‍රචාරය කරන්න අපි විවිධ දේවල් පාවිච්චි කරන්නේ ඇයි?

3 යේසුස් “රාජ්‍යය පිළිබඳ පණිවිඩය” බීජයකට සමාන කළා. (මතෙ. 13:18, 19) සාමාන්‍යයෙන් බීජයක් පැළ කරන්න කලින් පස සකස් කරන්න ඕනේ. ඒක කරන්න විවිධ උපකරණ පාවිච්චි කරනවා. ඒ වගේ යෙහෝවා දෙවිගේ සෙනඟත් ශුභාරංචිය කියන බීජය මිනිසුන්ගේ හිත්වල පැළ කරන්න විවිධ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ අතරින් සමහර දේවල් පාවිච්චි කරලා තියෙන්නේ කෙටි කාලයකට විතරයි. හැබැයි පොත්, සඟරා වගේ දේවල් අපි අදටත් පාවිච්චි කරනවා. ඒ දේවල් නිසා මිනිසුන් ළඟටම ගිහින් ශුභාරංචිය කියන්න අපිට පුළුවන්. කලින් පරිච්ඡේදයෙන් දැනගත්ත විදිහට ඒ කාලේ ශුභාරංචිය දැනුම් දෙන්න පාවිච්චි කරපු ක්‍රමවලින් ලොකු සෙනඟකට ශුභාරංචිය ගැන කියන්න පුළුවන් වුණත් මිනිසුන් ළඟටම ගිහින් කතා කරන්න ඒ ක්‍රම උදව් වුණේ නැහැ. හැබැයි මිනිසුන් ළඟටම ගිහින් ශුභාරංචිය කියන්න උදව් වෙලා තියෙන සමහර දේවල් ගැන මේ පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.—ක්‍රියා 5:42; 17:2, 3.

කැනඩාවේ ටොරොන්ටෝවල තැටි වාදන යන්ත්‍ර සහ ශබ්ද විකාශන යන්ත්‍ර නිශ්පාදනය කරමින්

4, 5. තැටිගත කරපු දේශන සේවයේදී භාවිතා කළේ කොහොමද? ඒකෙන් කරන්න බැරි වුණේ මොකක්ද?

4 තැටිගත කරපු දේශන. 1930 ගණන්වල සහ 1940 ගණන්වල හිටිය අපේ සහෝදරයන් ගෙයින් ගෙට යද්දී තැටි වාදන යන්ත්‍රයක් අරන් ගිහින් බයිබල් දේශන ගෙවල්වල ඉන්න අයට අහන්න සැලැස්සුවා. ඒ දේශන විනාඩි පහකටත් වඩා අඩු කාලයකින් ඉවර වුණා. “ත්‍රිත්වය,” “ශුද්ධගිනිස්ථානය” සහ “රාජ්‍යය” වගේ එක එක මාතෘකාවලින් තැටි තිබුණා. ඒවා පාවිච්චි කරපු විදිහ ගැන 1930දී බව්තීස්ම වුණු එක්සත් ජනපදයේ සහෝදර ක්ලේටන් වුඩ්වර්ත් කිව්වේ මෙහෙමයි. “මම සේවයේ යද්දී වයින් කරන තැටි වාදන යන්ත්‍රයක් අරන් ගියා. පුංචි සූට්කේස් එකක් වගේ තමයි ඒක හදලා තිබුණේ. ගෙයක් ළඟට ගියාම මම තැටි වාදන යන්ත්‍රයේ පියන ඇරලා ඒකේ තිබුණු ආම් එක තැටිය අයිනෙන් තියනවා. ඊටපස්සේ මම ගෙදර බෙල් එක ගහනවා. කවුරු හරි කෙනෙක් ආවාම ‘මම ගෙනාපු විශේෂ පණිවිඩයට ඔයත් ඇහුම්කන් දෙන්න කැමතිද’ කියලා අහනවා. හුඟක් අය ඇහුම්කන් දුන්නා. හැබැයි සමහර අය නම් කැමති වුණේ නැහැ. තවත් අය හිතුවේ මං තැටි වාදන යන්ත්‍ර විකුණන කෙනෙක් කියලයි.”

1940 වෙද්දී දේශන 90කට වඩා තැටිගත කරලා තිබුණා

5 1940 වෙද්දී දේශන 90කට වඩා තැටිගත කරලා තිබුණා. ඒ වගේ තැටි මිලියනයකට වඩා තිබුණා. පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ජෝන් ඊ. බාර් බ්‍රිතාන්‍යයේ පුරෝගාමි සේවය කරපු කාලය ගැන මෙහෙම කියලා තියෙනවා. “1936 ඉඳන් 1945 වෙන කල් තැටි වාදන යන්ත්‍රය දේශනා සේවයේ යද්දී මට හුඟක් උදව් වුණා. ඒ කාලේ ඒක නැතුව දේශනා සේවයේ යන එක ගැන නම් මට හිතාගන්නවත් බැහැ. ඒකෙන් සහෝදර රදෆර්ඩ්ගේ කටහඬ ඇහෙන එක ලොකු දිරිගැන්වීමක් වුණා. ඒක අහගෙන ඉද්දී දැනෙන්නේ හරියට එයා අපි ළඟින් ඉඳන් කතා කරනවා වගෙයි. එත් තැටි වාදන යන්ත්‍රය පාවිච්චි කරලා සාක්ෂි දරද්දී මිනිසුන්ගේ හදවත්වලට කතා කරන්න නම් බැහැ.”

6, 7. (අ) සාක්ෂිපත් පාවිච්චි කරපු එකේ වාසි හා අවාසි මොනවාද? (ආ) සේවයේදී කියන්න ඕන දේ දෙවි අපිට දැන්නුවා කියලා කියන්න පුළුවන් ඇයි?

6 බයිබලයේ පණිවිඩය තිබුණු කාඩ්පත්. 1933 ඉඳන් සේවයේ යද්දී බයිබලයේ පණිවිඩය තිබුණු කාඩ්පත් ගෙනියන්න කියලා ප්‍රචාරකයන්ව දිරිගැන්නුවා. ඒවා හැඳින්නුවේ සාක්ෂිපත් (“ටෙස්ටමනි කාඩ්”) කියලයි. අපේ ක්ෂේත්‍ර සේවා වාර්තා කොළයේ ප්‍රමාණයට සමාන ඒ කාඩ්පතේ ශුභාරංචිය කෙටියෙන් සඳහන් වුණා. ඒ වගේම ගෙහිමියන්ට ගන්න පුළුවන් ප්‍රකාශන ගැනත් ඒකේ සඳහන් වුණා. ප්‍රචාරකයන්ට කරන්න තිබුණේ ගෙවල්වලට ගිහින් ඒ කාඩ්පත කියවන්න කියලා ආරාධනා කරන එක විතරයි. පෝටෝ රිකෝවලත් ආර්ජන්ටිනාවෙත් මිෂනාරි සේවය කරපු ලිලියන් කැමරූඩ් ඒ ගැන කියපු දේ බලන්න. “සාක්ෂිපතට මම හුඟක් කැමතියි. දේශනා සේවයේ ගිහින් කතා කරන්න අපි හැමෝම එක වගේ දක්ෂ නැහැනේ. සාක්ෂිපත පාවිච්චි කරපු එකෙන් මිනිසුන් අතරට යන්න හොඳ පුහුණුවක් මට ලැබුණා.”

සාක්ෂිපතක් (ඉතාලි භාෂාවෙන්)

7 1918දී බව්තීස්ම වුණු සහෝදර ඩේවිඩ් රූෂ් මෙහෙම කිව්වා. “හුඟක් අයට සාක්ෂිපත් ප්‍රයෝජනවත් වුණා. මොකද ගොඩක් අය හිතුවේ ඒ අය සේවයේ ගිහින් කතා කරන්න දක්ෂ නැහැ කියලයි.” ඒත් සාක්ෂිපත් පාවිච්චි කරන එකේ අවාසි පැති ගැන සහෝදර රූෂ් කිව්වේ මෙහෙමයි. “අපි මේ කාඩ්පත් දෙද්දී සමහර මිනිස්සු හිතුවා අපිට කතා කරන්න බැහැ කියලා. එහෙම හිතපු එකත් වැරදි නැහැ. මොකද ගෙවල්වලට ගිහින් කතා කරන්න අපිට ලොකු බයක් තිබුණා. හැබැයි ඒකෙන් මිනිසුන් ළඟටම ගිහින් ශුභාරංචිය කියන්න යෙහෝවා දෙවි අපිව ටිකෙන් ටික පුහුණු කළා. සේවයේදී බයිබල් පද පෙන්නලා කතා කරන්නත් දෙවි අපිව පුහුණු කළා. ඒක හරියට කියන්න ඕන දේ දෙවි අපිට දැන්නුවා වගෙයි. 1940 ගණන්වල ඉඳන් පටන්ගත්ත සේවා පාසැලෙන් තමයි ඒ පුහුණුව දෙන්න පටන්ගත්තේ.”—යෙරෙමියා 1:6-9 කියවන්න.

8. ක්‍රිස්තුස් ලබා දෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න ඔබට පුළුවන් කොහොමද?

8 පොත්. 1914 ඉඳන් යෙහෝවා දෙවිගේ සෙනඟ බයිබලයේ තියෙන තොරතුරු සඳහන් පොත් 100කටත් වඩා වැඩියෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අතරින් සමහර පොත් ප්‍රකාශයට පත් කරලා තිබුණේ සේවයේ ගිහින් දක්ෂ විදිහට මිනිසුන්ට කතා කරන්න ප්‍රචාරකයන්ව පුහුණු කරන්නයි. අවුරුදු 70ක් විතර සේවයේ හවුල් වෙලා තියෙන ඩෙන්මාර්කයේ ඇනා ලාසන් කියපු දේ බලන්න. “සේවා පාසැලෙනුත් සමහර පොත්වලිනුත් දක්ෂ ප්‍රචාරකයන් වෙන්න යෙහෝවා දෙවි අපිව පුහුණු කරලා තියෙනවා. ඒ පාසැලේ පාවිච්චි කරපු පළවෙනි පොත මට තාමත් මතකයි. ඒ තමයි 1945දී ප්‍රකාශයට පත් කරපු ‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ට අත්වැලක්’ b කියන පොත. ඊටපස්සේ පාවිච්චි කළේ 1946දී ප්‍රකාශයට පත් කරපු ‘සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටිමු’ c කියන පොත. දැන් අපි පාවිච්චි කරන ‘දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු’ කියන පොත ප්‍රකාශයට පත් වුණේ 2001දියි.” ඒ විදිහට සේවා පාසැලෙන් සහ පොත් මාර්ගයෙන් යෙහෝවා දෙවි අපිට දේවසේවකයන් වෙන්න “සුදුසුකම්” දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. (2 කොරි. 3:5, 6) ඔබත් ඒ පාසැලේ ශිෂ්‍යයෙක්ද? සේවා රැස්වීමට යද්දී ඔබ ‘සේවා පාසැල්’ පොත අරන් ගිහින් පාසැල මෙහෙයවන සහෝදරයා ඒ පොතෙන් තොරතුරු කියනකොට ඒ පිටුවලට පෙරළලා බලනවාද? එහෙමනම් දක්ෂ ප්‍රචාරකයෙක් වෙන්න ක්‍රිස්තුස් ලබා දෙන පුහුණුවෙන් ඔබ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්න පුළුවන්.—2 කොරි. 9:6; 2 තිමෝ. 2:15.

9, 10. සත්‍යය නමැති බීජය පැළ කරන්නත් වතුර දාන්නත් අපේ පොත් උදව් වෙලා තියෙන්නේ කොහොමද?

9 බයිබලයේ තියෙන මූලික තොරතුරු තේරුම් කරලා දෙන්න යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානය මාර්ගයෙන් තවත් පොත් දීලා තියෙනවා. 1968දී (සිංහලෙන් 1972දී) ප්‍රකාශයට පත් කරපු ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ ඒ අතරින් එකක්. 1968 නොවැම්බර් මාසයේ ‘රාජ්‍ය සේවාවේ’ සඳහන් වුණු මේ දේ බලන්න. “‘සත්‍යය’ පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා. උදාහරණයකට අගෝස්තු මාසයේදී අපි ළඟ තිබුණු පිටපත් ප්‍රමාණයට වඩා පිටපත් මිලියන එකහමාරක් ඉල්ලුම් කළා. ඒ නිසා සැප්තැම්බර් මාසයේ ඉඳන් බෘක්ලින්වල තිබුණු කාර්යාලයේ රෑටත් වැඩ කරන්න පටන්ගත්තා.” 1982 වෙද්දී ඒ පොතේ පිටපත් මිලියන 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් භාෂා 116කින් නිකුත් කරලා තිබුණා. 1968 ඉඳන් 1982 වෙන කල් ගෙවුණු අවුරුදු 14දී මිලියනයකටත් වඩා වැඩිදෙනෙකුට ප්‍රචාරකයන් වෙන්න ඒ පොත උදව් වුණා. d

10 2005දී අපිට තවත් පොතක් ලැබුණා. ඒ තමයි ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත. මේ වෙද්දී ඒ පොතේ පිටපත් මිලියන 200ක් විතර භාෂා 256කින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ පොතෙන් අපිට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවාද? ඔව්. 2005ත් 2012ත් අතර ගෙවුණු අවුරුදු හත ඇතුළත මිලියන 1.2ක් ප්‍රචාරකයන් වෙලා තියෙනවා. ඒ කාලය අතරතුරේදී බයිබලය පාඩම් කරන අයගේ ගණන මිලියන 6 ඉඳන් මිලියන 8.7ක් වෙන කල් වැඩි වුණා. සත්‍යය නමැති බීජ පැළ කරන්නත් වතුර දාන්නත් යෙහෝවා දෙවි ආශීර්වාද කරලා තියෙනවා කියලා ඒ තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා.—1 කොරින්ති 3:6, 7 කියවන්න.

11, 12. ඡේදයේ සඳහන් බයිබල් පදවලට අනුව අපේ සඟරා මූලිකවම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ කා වෙනුවෙන්ද?

11 සඟරා. මුලින්ම ‘මුරටැඹ’ සඟරාව නිකුත් කළේ “කුඩා රැළ” විදිහට හඳුන්වන “ස්වර්ගයට යෑම සඳහා කැඳවීම” තියෙන අයට. (ලූක් 12:32; හෙබ්‍රෙ. 3:1) 1919 ඔක්තෝබර් 1වෙනිදා යෙහෝවා දෙවි තම සංවිධානය මාර්ගයෙන් තවත් ප්‍රකාශනයක් ලබා දුන්නා. මූලිකවම මහජනයා වෙනුවෙන් නිකුත් කරපු ඒ සඟරාව බයිබල් ශිෂ්‍යයන් අතරෙත් අනිත් අය අතරෙත් ප්‍රසිද්ධ වුණු නිසා ‘මුරටැඹ’ සඟරාවට වඩා වැඩි ඉල්ලුමක් ඒකට ලැබුණා. ඒ අලුත් සඟරාව මුලින්ම හැඳින්නුවේ ‘රන්වන් යුගය’ කියන නමින්. ඊටපස්සේ 1937 ඉඳන් ඒක ‘සැනසීම’ කියන නමින් හැඳින්නුවා. 1946 ඉඳන් තමයි ඒ සඟරාව ‘පිබිදෙව්!’ කියන නමින් හඳුන්වන්න පටන්ගත්තේ.

12 කාලයෙන් කාලයට ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල වෙනස්කම් වුණත් ඒ සඟරාවල අරමුණ නම් වෙනස් වුණේ නැහැ. එදා වගේම අදත් ඒ සඟරාවල අරමුණ, දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කරන එක සහ බයිබලය ගැන විශ්වාසයක් ඇති කරන එකයි. අද වෙද්දී පාඩම් කලාපය සහ පොදු කලාපය විදිහට ‘මුරටැඹ’ සඟරාවේ කලාප දෙකක්ම ප්‍රකාශයට පත් වෙනවා. පාඩම් කලාපය මූලිකවම ප්‍රකාශයට පත් කරන්නේ “මෙහෙකරුවන්” විදිහට හඳුන්වන “කුඩා රැළට” සහ “වෙනත් බැටළුවන්ට.” e (මතෙ. 24:45; යොහ. 10:16) පොදු කලාපය ප්‍රකාශයට පත් කරන්නේ සත්‍යය ගැන තවමත් දන්නේ නැති වුණත් බයිබලයටත් දෙවිටත් ගරු කරන අයට. (ක්‍රියා 13:16) ‘පිබිදෙව්!’ සඟරාව ප්‍රකාශයට පත් කරන්නේ සැබෑ දෙවි ගැනත් බයිබලය ගැනත් දන්නේ නැති අයට.—ක්‍රියා 17:22, 23.

13. අපේ සඟරා ගැන වැඩියෙන්ම ඔබේ හිත් ගත්තේ මොකක්ද? (“ ලෝක වාර්තා තියපු ප්‍රකාශන” යන වගුව සාකච්ඡා කරන්න.)

13 2014 පටන්ගද්දී ‘පිබිදෙව්!’ සඟරාවේ පිටපත් මිලියන 44ක් සහ ‘මුරටැඹ’ සඟරාවේ පිටපත් මිලියන 46ක් හැම මාසයකම ප්‍රකාශයට පත් වෙමින් තිබුණා. ඒ වගේම ‘පිබිදෙව්!’ සඟරාව භාෂා 100කට විතරත් ‘මුරටැඹ’ සඟරාව භාෂා 200කට වඩා වැඩි ගණනකටත් පරිවර්තනය වුණා. ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කරන්නෙත් වැඩියෙන්ම බෙදාහරින්නෙත් ඒ සඟරා දෙකයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද යේසුස් කලින්ම කියලා තිබුණා මුළු පොළොව පුරාම ශුභාරංචිය දේශනා කරනු ලබනවා කියලා. ඒ ශුභාරංචිය ගැන තමයි මේ සඟරාවල සඳහන් වෙන්නේ.—මතෙ. 24:14.

14. දෙවිගේ සෙනඟ මුද්‍රණය කරන්න පටන්ගත්තේ මොනවාද? ඒ ඇයි?

14 බයිබලය. 1896දී සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් අපේ සමිතිය හඳුන්වපු නමට බයිබලය කියන වචනයත් ඇතුළත් කළා. ඒ නිසා “සයන්ස් වොච් ටවර් ට්‍රැක්ට් සොසයිටි” විදිහට හඳුන්වපු අපේ සමිතියේ නම “වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි” විදිහට වෙනස් කළා. දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දැනුම් දෙන්න අපි මූලිකවම පාවිච්චි කරන්නේ බයිබලය නිසා ඒ නම සමිතියට හොඳින්ම ගැළපෙනවා. (ලූක් 24:27) ඒ නමින් සමිතිය ලියාපදිංචි කළාට පස්සේ දෙවිගේ සෙනඟ බයිබලයේ පිටපත් මුද්‍රණය කරන්න පටන්ගත්තා. උදාහරණයකට බෙන්ජමින් විල්සන් පරිවර්තනය කරපු ග්‍රීක ශුද්ධ ලියවිල්ල (“දි එම්ෆැටික් ඩයග්ලොට්”) 1926දී අපේ මුද්‍රණාලවල මුද්‍රණය කළා. 1942දී තවත් බයිබලයක (“කිං ජේම්ස් වර්ෂන්”) පිටපත් 7,00,000ක් මුද්‍රණය කරලා බෙදාහැරියා. අවුරුදු දෙකකට පස්සේ යෙහෝවා දෙවිගේ නම 6,823 වතාවක් සඳහන් වෙලා තිබුණු බයිබලයකුත් (“ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන්”) මුද්‍රණය කළා. 1950 වෙද්දී ඒකේ පිටපත් 2,50,000කටත් වඩා වැඩියෙන් බෙදාහැරලා තිබුණා.

15, 16. (අ) ‘නව ලොව පරිවර්තනය’ ගැන ඔබේ හිත් ගත්තේ මොකක්ද? (“ භාෂා වැඩි ගණනකින් බයිබලය පරිවර්තනය වෙයි” යන කොටුව සාකච්ඡා කරන්න.) (ආ) අපේ හිතට කතා කරන්න දෙවිගේ වචනයට ඉඩ දෙන්න පුළුවන් කොහොමද?

15 1950දී තමයි ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළේ. ඊටපස්සේ 1961දී ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ බයිබලයම ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ විදිහට ප්‍රකාශයට පත් කළා. මුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවිගේ නම තිබුණු හැම තැනකම ඒ පරිවර්තනයෙත් දෙවිගේ නම ඇතුළත් කරලා තිබුණා. ග්‍රීක ලියවිල්ලේ විතරක් දෙවිගේ නම 237 වතාවක් සඳහන් වුණා. ඒ නිසා ඒ පරිවර්තනයෙන් දෙවිගේ නම ගෞරවයට පත් වුණා. මේ වෙද්දී ඒ පරිවර්තනය කිහිප වතාවක්ම සංශෝධනය කරලා තියෙනවා. 2013දී තමයි ඒක අන්තිම වතාවට සංශෝධනය කළේ. එහෙම කළේ ඒකේ තොරතුරු නිවැරදි වගේම තවත් පැහැදිලි තත්වයකට ගේන්නයි. ඒ පරිවර්තනය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 121කින් පිටපත් මිලියන 201කටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

16 ‘නව ලොව පරිවර්තනය’ තමන්ගේම භාෂාවෙන් කියවන්න ලැබුණු එක ගැන සමහර අයට හැඟුණේ කොහොමද? නේපාලයේ ඉන්න කෙනෙක් ඒ ගැන කියපු දේ බලන්න. “කලින් බයිබලයේ තිබුණු දේවල් තේරුම්ගන්න ලේසි වුණේ නැහැ. ඒකේ හුඟක් තිබුණේ බර වචන. හැබැයි මේ පරිවර්තනයේ අපි කතා කරන භාෂාවෙන්ම හරිම සරල විදිහට තොරතුරු තියෙන නිසා ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන්.” සැන්ගො භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ ලැබුණාම අප්‍රිකාවේ ඉන්න කාන්තාවක් මෙහෙම කිව්වා. “මේක තමයි මගේ හිතට කතා කරන භාෂාව.” ඒක කියද්දී එයාගේ ඇස්වලින් සතුටු කඳුළු බේරුණා. අපිටත් පුළුවන් අපේ හිතට කතා කරන්න දෙවිගේ වචනයට ඉඩ දෙන්න. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි හැමදාමත් බයිබලය කියෙව්වොත් විතරයි.—ගීතා. 1:2; මතෙ. 22:36, 37.

ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් සහ පුහුණුව අගය කරමු

17. ශුභාරංචිය ප්‍රචාරය කරන්න ලැබිලා තියෙන දේවල් සහ ඒ දේ කරන්න ලැබෙන පුහුණුව අගය කරන්න ඔබට පුළුවන් කොහොමද? එහෙම කරද්දී ඔබට අද්දකින්න පුළුවන් වෙන්නේ මොනවාද?

17 අපේ රජු වන ක්‍රිස්තුස් ශුභාරංචිය දැනුම් දෙන්න අපිට දීලා තියෙන දේවල් සහ ඒ දේ කරන්න අපිට දෙන පුහුණුව ඔබ අගය කරනවාද? දෙවිගේ සංවිධානයෙන් ලැබෙන ප්‍රකාශන ඔබ කියවනවාද? අනිත් අයට උදව් කරන්න ඒ තොරතුරු පාවිච්චි කරනවාද? එහෙමනම් 1914 ඔක්තෝබර් 4වෙනිදා බව්තීස්ම වුණු සහෝදරී ඕපල් බෙට්ලර් වගේ ඔබටත් සතුටු වෙන්න පුළුවන්. එයා කිව්වේ මෙහෙමයි. “කාලයක් තිස්සේ මමයි මගේ මහත්තයයි [එඩ්වඩ්] දේශනා සේවයේදී තැටි වාදන යන්ත්‍ර වගේම සාක්ෂිපත් පාවිච්චි කළා. පොත්, සඟරා අරන් ගිහිල්ලත් අපි සාක්ෂි දැරුවා. ඒ විතරක් නෙවෙයි පුවරු එල්ලගෙන වීදිවල ගිහින් සාක්ෂි දරන්නත් දේශනා කරන්න සැලසුම් කරපු තවත් විශේෂ ක්‍රියාකාරකම්වලත් හවුල් වුණා. කාලයක් යද්දී නැවත බැලීම් කරන්නත් ඒ අයත් එක්ක බයිබල් පාඩම් කරන්නත් අපිව පුහුණු කළා. ඒ කාලේ හුඟක් වැඩ තිබුණත් අපි ඒ හැම දෙයක්ම කළේ හරිම සතුටින්.” යේසුස් කලින්ම කියලා තිබුණා ඔහුගේ සේවකයන් බීජ වපුරන්නත් අස්වැන්න කපන්නත් කඩිසරව හවුල් වෙනවා කියලා. ඒ වගේම ඔවුන් ඒ දේවල් සතුටින් කරනවා කියලත් යේසුස් කිව්වා. ඕපල් වගේ තවත් මිලියන ගණන් දෙනෙක් යේසුස් කියපු ඒ දේ මොන තරම් ඇත්තක්ද කියලා අද්දකිනවා.—යොහන් 4:35, 36 කියවන්න.

18. අපිට ලැබිලා තියෙන වරප්‍රසාදය මොකක්ද?

18 හුඟක් අය හිතන්නේ දෙවිගේ සෙනඟ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” කියලයි. (ක්‍රියා 4:13) හැබැයි මොහොතකට හිතන්න, මේ වෙද්දී ක්‍රිස්තුස් තමන්ගේ සේවකයන්ට මොන තරම් ප්‍රකාශන ප්‍රමාණයක් නිකුත් කරන්න උදව් කරලා තියෙනවාද කියලා. අපේ සමහර ප්‍රකාශන තරම් පරිවර්තනය කරපු සහ බෙදාහැරපු ප්‍රකාශන ලෝකයේ තවත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ දේවල් පාවිච්චි කරලා ශුභාරංචිය ගැන මිනිසුන්ට කියන්නත් ක්‍රිස්තුස් අපිව පුහුණු කරලා තියෙනවා. ක්‍රිස්තුස් එක්ක එකතු වෙලා සත්‍යය කියන බීජ වපුරන්නත් අස්වැන්න කපන්නත් අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද!

a ගෙවුණු අවුරුදු 10දී යෙහෝවා දෙවිගේ සෙනඟ ප්‍රකාශන බිලියන 20කටත් වඩා වැඩි ගණනක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකය පුරාම අන්තර්ජාලය පාවිච්චි කරන බිලියන 2.7කටත් වඩා වැඩිදෙනෙක්ට දැන් පුළුවන් jw.org කියන අපේ වෙබ් අඩවියෙනුත් ප්‍රයෝජන ගන්න.

b ඉංග්‍රීසියෙන්.

c ඉංග්‍රීසියෙන්.

d බයිබලය ගැන අනිත් අයට කියලා දෙන්න පාවිච්චි කරලා තියෙන ප්‍රකාශන කිහිපයක් බලන්න. 1921දී ‘දෙවිගේ වීණාව,’ 1946දී ‘දෙවි සැබෑ බව ඔප්පු වේවා!,’ 1982දී ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක,’ 1995දී ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම.’

e “මෙහෙකරුවන්” විදිහට හඳුන්වන්නේ කාවද කියලා දැනගන්න 2013 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 13වෙනි ඡේදය බලන්න.