Skip to content

පටුනට යන්න

10වෙනි පරිච්ඡේදය

සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න රජ උදව් කරයි

සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න රජ උදව් කරයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

යේසුස් තම අනුගාමිකයන්ට සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න උදව් කරපු හේතුව සහ පවිත්‍ර කරපු විදිහ

1-3. දේවමාලිගාව අපවිත්‍ර වෙලා තියෙන විදිහ දැක්කාම යේසුස් කළේ මොනවාද?

 යෙරුසලමේ තිබුණු දේවමාලිගාව ගැන යේසුස්ට ලොකු ගෞරවයක් තිබුණා. ඒ දේවමාලිගාව තමයි සැබෑ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වුණේ. ශුද්ධ දෙවි යෙහෝවාට කරන නමස්කාරය පවිත්‍රව තියෙන්න ඕනේ. හැබැයි ක්‍රි.ව. 33 නීසාන් 10වෙනිදා යේසුස් දේවමාලිගාවට එද්දී ඒක තිබුණේ හුඟක් අපවිත්‍ර තත්වයක. ඒ ගැන යේසුස්ට කොහොම හැඟෙන්න ඇද්ද කියලා මොහොතකට හිතන්න. එදා දේවමාලිගාව අපවිත්‍ර වෙලා තිබුණේ ඇයි?—මතෙව් 21:12, 13 කියවන්න.

2 දේවමාලිගාවේ වෙනත් ජාතීන්ට වෙන් කරලා තිබුණු මළුවේ හිටිය කූට වෙළෙන්දන් සහ මුදල් මාරු කරපු අය යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එතැනට ආපු සෙනඟගෙන් අසාධාරණ විදිහට සල්ලි ගත්තා. a ඒක දැක්කාම යේසුස් “විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි සියල්ලන්ව එතැනින් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ මේසද . . . බංකුද පෙරළා” දැම්මා. (නෙහෙමියා 13:7-9 බලන්න.) ඒ කූට වෙළෙන්දන් තම පියාණන්ගේ ගෘහය “කොල්ලකාරයන්ගේ ගුහාවක් කරනවා” කියලත් යේසුස් කිව්වා. දෙවිගේ මාලිගාව ගැනත් දෙවිට කරපු නමස්කාරය ගැනත් යේසුස්ට මොන තරම් ගෞරවයක් තිබුණාද කියලා ඒකෙන් පැහැදිලියි. දෙවිට කරන නමස්කාරය කිසිම හේතුවක් නිසා අපවිත්‍ර වෙනවාට යේසුස් කැමති වුණේ නැහැ.

3 එදා ඉඳන් සියවස් ගණනාවකට පස්සේ යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජ වුණාම ඔහු තවත් දේවමාලිගාවක් පවිත්‍ර කළා. ඒ මොන දේවමාලිගාවද?

“ලෙවීගේ පුත්‍රයන්ව” පවිත්‍ර කරයි

4, 5. (අ) 1914ත් 1919 මුල්භාගයත් අතර කාලයේදී අභිෂේක ලත් අයව පවිත්‍ර කරලා තියෙන්නේ කොහොමද? (ආ) එදායින් පස්සේ දෙවිගේ සෙනඟව පවිත්‍ර කරන එක නතර වුණාද? පැහැදිලි කරන්න.

4 1914දී යේසුස් රජ වුණාට පස්සේ ඔහුගේ පියාණන් එක්ක දෙවිගේ සංකේතවත් දේවමාලිගාව සෝදිසි කළා කියලා අපි 2වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. සංකේතවත් දේවමාලිගාවෙන් නියෝජනය වෙන්නේ දෙවිට නමස්කාර කරන්න ඇති කරලා තියෙන සැලැස්මයි. b සැබෑ නමස්කාරය සෝදිසි කරපු නිසා ක්‍රිස්තුස් තේරුම්ගත්තා “ලෙවීගේ පුත්‍රයන්” විදිහට හඳුන්වන අභිෂේක ලත් අයව පිරිසිදු කරලා පවිත්‍ර තත්වයකට ගේන්න ඕනෙ කියලා. (මලා. 3:1-3) රන්කරුවෙක් වගේ කටයුතු කරපු යෙහෝවා දෙවි 1914 ඉඳන් 1919 වෙන කල් තමන්ගේ සෙනඟට හුඟක් දුෂ්කරතා අද්දකින්න ඉඩහැරියා. ඒවාට මුහුණ දීපු අභිෂේක ලත් අය පවිත්‍ර වෙලා දෙවිගේ රාජ්‍යයේ රජු වෙනුවෙන් සේවය කරන්න සුදුසු තත්වයකට ආවා.

5 එදායින් පස්සේ දෙවිගේ සෙනඟව පවිත්‍ර කරන එක නතර වුණාද? නැහැ. දෙවි කැමති ඔහුගේ සෙනඟ හැමදාමත් සැබෑ නමස්කාරයේ හවුල් වෙනවා දකින්නයි. ඒ නිසා දෙවි දිගින් දිගටම රජු මාර්ගයෙන් ඔවුන්ව පවිත්‍ර කරනවා. රජ හැටියට යේසුස් තම සේවකයන්ව සදාචාරමය අතින් පවිත්‍ර කරලා තියෙන විදිහ ගැනත් සංවිධානය ඇතුළේ කරලා තියෙන සමහර වෙනස්කම් ගැනත් ඊළඟ පරිච්ඡේදවලින් දැනගන්න පුළුවන්. මේ පරිච්ඡේදයෙන් අපි බලමු යේසුස් සැබෑ නමස්කාරය පවිත්‍ර කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් යේසුස් කරලා තියෙන සමහර දේවල් අපිට පැහැදිලිවම පෙනුණත් සමහර දේවල් අපිට පේන්නේ නැහැ. ඒ දේවල් ගැන බලද්දී අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා.

“පවිත්‍රව සිටින්න”

6. යෙහෝවා දෙවි යුදෙව්වන්ට දීපු මඟ පෙන්වීම්වලින් අපේ නමස්කාරය පවිත්‍රව තියාගන්න පුළුවන් විදිහ ගැන පැහැදිලිවෙන්නේ මොනවාද?

6 නමස්කාරය පවිත්‍රව තියාගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ක්‍රි.පූ. හයවෙනි සියවසේදී බැබිලෝනියෙන් නිදහස් වුණු යුදෙව්වන්ට යෙහෝවා දෙවි දීපු මඟ පෙන්වීම්වලින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. (යෙසායා 52:11 කියවන්න.) යුදෙව්වන් යෙරුසලමට යන්නේ දේවමාලිගාව ගොඩනඟලා සැබෑ නමස්කාරය ආපහු පිහිටුවන්නයි. (එස්රා 1:2-4) ඒ අය නිදහස් වෙලා යද්දී බැබිලෝනියේ ආගම්වලට සම්බන්ධ කිසිම දෙයක් අරන් යනවාට දෙවි කැමති වුණේ නැහැ. “කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න,” “ඇගෙන් ඉවත් වෙන්න” සහ “පවිත්‍රව සිටින්න” කියලා දෙවි ඔවුන්ට කිව්වේ ඒ නිසයි. අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ කිසිම දෙයක් නිසා සැබෑ නමස්කාරය අපවිත්‍ර වෙන එක කොහොමටවත් සුදුසු නැහැ. අපේ නමස්කාරය පවිත්‍රව තියාගන්න නම් අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ චාරිත්‍ර සහ ඉගැන්වීම්වලින් අපි සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ.

7. නමස්කාරය පවිත්‍රව තියාගන්න තම අනුගාමිකයන්ට උදව් කරන්න යේසුස් කළේ මොකක්ද?

7 යේසුස් රජ වෙලා ටික කාලෙකින් ඒ කියන්නේ 1919දී විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පත් කළා. (මතෙ. 24:45) ඒ දාසයා මාර්ගයෙන් ක්‍රිස්තුස් තමන්ගේ අනුගාමිකයන්ට සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න උදව් කරනවා කියලා පැහැදිලියි. 1919 වෙද්දීත් බයිබල් ශිෂ්‍යයන් අසත්‍යය උගන්වන ආගම්වලට අයිති හුඟක් දේවලින් අයින් වෙලා හිටියා. හැබැයි සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න ඔවුන්ට තවත් මඟ පෙන්වීම් ඕනෙ වුණා. ඒ නිසා අත්හරින්න ඕන සමහර චාරිත්‍ර සහ උත්සව මොනවාද කියලා තේරුම්ගන්න ක්‍රිස්තුස් විශ්වාසවන්ත දාසයා මාර්ගයෙන් ඔවුන්ට උදව් කළා.—හිතෝ. 4:18.

නත්තල පවත්වන එක සුදුසුද?

8. හුඟ කාලෙකට කලින් ඉඳලම බයිබල් ශිෂ්‍යයන් නත්තල ගැන තේරුම් අරන් හිටියේ මොනවාද? ඒත් ඒ අය තේරුම් අරන් තිබුණේ නැත්තේ මොකක්ද?

8 නත්තල් උත්සවය පටන් අරන් තියෙන්නේ මිථ්‍යා ආගම්වලින් කියලත් යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා නෙවෙයි කියලත් බයිබල් ශිෂ්‍යයන් කලින් ඉඳලම තේරුම් අරන් හිටියා. 1881 දෙසැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මිථ්‍යා ආගම්වල හිටිය මිලියන ගණන් දෙනෙක්ව පල්ලියට අරන් තියෙනවා. හැබැයි වෙනසක් වුණේ නමින් විතරයි. මොකද ඒ ආගම්වල හිටිය පූජකයන් ක්‍රිස්තියානි ආගම්වල පූජකයන් වුණාම ඒ අය සමරපු විශේෂ දවස්වලට ක්‍රිස්තියානි මුහුණුවරක් දුන්නා. නත්තල කියන්නේ ඒ අතරින් එකක්.” ඒ වගේම 1883 යේසුස් ඉපදුණු කාලය ගැන සඳහන් වුණු ‘මුරටැඹ’ සඟරාවක යේසුස් ඉපදුණේ ඔක්තෝබර් මාසයේ කියලා පැහැදිලි කරලා තිබුණා. c හැබැයි නත්තල පවත්වන එක වැරදියි කියලා ඒ වෙද්දීත් බයිබල් ශිෂ්‍යයන් තේරුම් අරන් හිටියේ නැහැ. බෘක්ලින් බෙතෙල් පවුලේ අයත් නත්තල පවත්වලා තියෙනවා. හැබැයි 1926 ඉඳන් ලොකු වෙනසක් වුණා.

9. නත්තල ගැන හොයලා බැලුවාට පස්සේ බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ මොනවාද?

9 නත්තල ගැන තවත් හොඳින් හොයලා බැලුවාම බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා නත්තල පවත්වන එක යෙහෝවා දෙවිට කරන අගෞරවයක් කියලා. නත්තල කියන්නේ මිථ්‍යා ආගම්වල අය පවත්වපු උත්සවයක්, ඒකෙන් වෙන්නේ තමන්වම සතුටු කරගන්න එක සහ ඒකට රූප නමස්කාරයත් ඇතුළත් කියලා 1927 දෙසැම්බර් 14 ‘රන්වන් යුගය’ සඟරාවේ සඳහන් වුණා. යේසුස් කවදාවත් තමන්ගේ උපන් දිනය සමරන්න කිව්වේ නැහැ කියලත් සඳහන් වුණු ඒ ලිපියේ නත්තල සමරන එක ගැන සඳහන් වුණේ මෙහෙමයි. “තමන්ගේම ආශාවන් ඉටු කරගන්න අයත් සාතනුත් හුඟක් කැමතියි නත්තල දිගටම පවත්වනවාට. නත්තල පවත්වන්නේ නැතුව ඉන්න යෙහෝවා දෙවිගේ සේවකයන්ට ඒක හොඳ හේතුවක්.” ඒ තොරතුරු දැනගත්තාට පස්සේ බෙතෙල් පවුලේ අය ආයෙ කවදාවත් නත්තල සැමරුවේ නැහැ.

10. (අ) 1928 දෙසැම්බර් මාසයේදී නත්තල ගැන තවත් හෙළි වුණේ මොනවාද? (“ නත්තලේ මූලාරම්භය සහ අරමුණ” යන කොටුවත් බලන්න.) (ආ) අනිත් උත්සව ගැන දෙවිගේ සෙනඟ තේරුම්ගත්තේ මොනවාද? (“ තවත් උත්සව ගැන ඇත්ත හෙළි වෙයි” යන කොටුව බලන්න.)

10 මූලස්ථානයේ සේවය කරපු සහෝදර රිචඩ් එච්. බාබර් 1928 දෙසැම්බර් 12වෙනිදා නත්තලේ මූලාරම්භයට හේතු වෙලා තියෙන මිථ්‍යා ආගමික විශ්වාසයන් ගැන ගුවන්විදුලිය හරහා දේශනයක් දුන්නා. මූලස්ථානයෙන් ලැබුණු ඒ පැහැදිලි මඟ පෙන්වීම් දෙවිගේ සෙනඟ පිළිගත්තාද? සහෝදර චාල්ස් බ්‍රැන්ඩ්ලයින් කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මිථ්‍යා ආගම්වලට සම්බන්ධ වෙලා තිබුණු ඒ සැමරීම නතර කරන එක අපිට පොඩ්ඩක්වත් අමාරු වුණේ නැහැ. අපිට ඒක දැනුණේ හරියට කිලුටු වෙලා තියෙන ඇඳුමක් ගලවලා දානවා වගෙයි.” පස්සේ කාලෙක සංචාරක සේවකයෙක් විදිහට සේවය කරපු සහෝදර හෙන්රි ඒ. කැන්ට්වෙල් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “අපි ඇත්තටම යෙහෝවා දෙවිට ආදරෙයි කියලා ඔප්පු කරන්න ලැබුණු ඒ අවස්ථාව ගැන අපිට හුඟක් සතුටුයි.” යේසුස්ගේ අනුගාමිකයන් ඒ වෙනස්කම් කළේ කැමැත්තෙන්මයි. අසත්‍යය උගන්වන ආගම්වලට අයිති කිසිම උත්සවයක් සමරන්න ඒ අයට ඕන වුණේ නැහැ. dයොහ. 15:19; 17:14.

11. අපේ රජුට සහාය වෙන්න අපිට පුළුවන් කොහොමද?

11 බයිබල් ශිෂ්‍යයන්ගේ ආදර්ශය කොයි තරම් වටිනවාද! ඒ අයව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? ටිකකට මෙහෙම හිතන්න. ‘මූලස්ථානයෙන් යම් මඟ පෙන්වීම් ලැබෙද්දී මට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? මම කැමැත්තෙන්ම ඒවා අදාළ කරගන්නවාද?’ නියමිත වේලාවට අවශ්‍ය කරන මඟ පෙන්වීම් දෙන විශ්වාසවන්ත දාසයාට අපි කීකරු වෙනවා නම් අපි අපේ රජුට සහාය වෙනවා කියලා කියන්න පුළුවන්.—ක්‍රියා 16:4, 5.

කුරුසය පාවිච්චි කරන එක සුදුසුද?

කුරුසය සහ ඔටුන්න තිබුණු බැජ් එක (12 සහ 13 ඡේද බලන්න)

12. අවුරුදු ගාණක් යන කල්ම බයිබල් ශිෂ්‍යයන් කුරුසය පාවිච්චි කරන එක ගැන හිතුවේ මොකක්ද?

12 අවුරුදු ගාණක් තිස්සේ බයිබල් ශිෂ්‍යයන් හිතාගෙන හිටියේ කුරුසය ක්‍රිස්තියානි ආගමේ සංකේතයක් කියලයි. හැබැයි කවදාවත් ඒ අය කුරුසයට නමස්කාර කළේ නැහැ. මොකද රූප නමස්කාරය වැරදියි කියලා ඒ අය තේරුම් අරන් හිටියා. (1 කොරි. 10:14; 1 යොහ. 5:21) 1883 ‘මුරටැඹ’ සඟරාවක “රූප නමස්කාරයට සම්බන්ධ කිසිම දෙයක් දෙවි පිළිගන්නේ නැහැ” කියලා සඳහන් වෙලා තිබුණු එකෙන්, ඒක පැහැදිලියි. කොහොමවුණත් කුරුසය පාවිච්චි කරන එකේ වරදක් නැහැ කියලා හිතපු බයිබල් ශිෂ්‍යයන් තමන්ව හඳුනාගන්න තියෙන සංකේතයක් විදිහට හරිම ආඩම්බරෙන් කුරුසය සහ ඔටුන්න තිබුණු බැජ් එකක් පාවිච්චි කළා. අන්තිමය වෙන කල් විශ්වාසවන්තව හිටියොත් ජීවනයේ ඔටුන්න කියන තෑග්ග ලැබෙනවා කියන එක ඒකෙන් සංකේතවත් වෙනවා කියලා ඒ අය හිතුවා. 1891 ඉඳන් ඒ අය ‘මුරටැඹ’ සඟරාවේ මුල් පිටුවටත් කුරුසය සහ ඔටුන්න තියෙන ඒ සංකේතය ඇතුළත් කළා.

13. කුරුසය පාවිච්චි කරන එක ගැන යේසුස්ගේ අනුගාමිකයන්ට අවබෝධ වුණේ මොනවාද? (“ කුරුසය ගැන ඇත්ත හෙළි වුණු විදිහ” යන කොටුවත් බලන්න.)

13 කුරුසය පාවිච්චි කරන එක වැරදියි කියලා 1920 ගණන්වල ඉඳන් බයිබල් ශිෂ්‍යයන්ට ටිකෙන් ටික අවබෝධ වුණා. 1928දී ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රෝයිට්වල පවත්වපු සමුළුවේ කුරුසය පාවිච්චි කරන එක වැරදියි කියලා පැහැදිලි කරලා තියෙනවා. පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර ග්‍රාන්ට් සූටර් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “කුරුසය සහ ඔටුන්න තියෙන සංකේත පාවිච්චි කරන එක කිසිම තේරුමක් නැහැ කියලා විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරන එක වැරදියි කියලත් ඒ සමුළුවේදී පැහැදිලි කළා.” දෙවිට කරන පවිත්‍ර නමස්කාරයේ කුරුසයට කිසිම ඉඩක් නැහැ කියලා ගත වුණු ඊළඟ අවුරුදු කිහිපයේදී තවත් හොඳින් පැහැදිලි වුණා.

14. කුරුසය පාවිච්චි කරන එක වැරදියි කියලා දෙවිගේ සෙනඟට පැහැදිලි වුණාම ඔවුන් කළේ මොනවාද?

14 කුරුසය පාවිච්චි කරන එක වැරදියි කියලා පැහැදිලි වුණාම දෙවිගේ සෙනඟ කළේ මොනවාද? ඒ අය හරිම ආසාවෙන් පාවිච්චි කරපු කුරුසය සහ ඔටුන්න තිබුණු සංකේතය දිගටම පාවිච්චි කළාද? නැහැ. අවුරුදු ගාණක්ම යෙහෝවා දෙවිට සේවය කරපු ලීලා රොබර්ට්ස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “කුරුසය ගැන අපිට හරියටම අවබෝධ වුණාට පස්සේ අපි ඉක්මනින්ම ඒක පාවිච්චි කරන එක නතර කළා.” දෙවිට විශ්වාසවන්තව සේවය කරපු තවත් සහෝදරියක් වන උර්සුල සරෙන්කෝ මෙහෙම කිව්වා. “අපේ ස්වාමීන්ගේ මරණය සංකේතවත් කරපු දෙයක් විදිහට අපි මෙච්චර කල් පාවිච්චි කරලා තියෙන්නේ මිථ්‍යා ආගම්වල සංකේතයක් කියලා තේරුම්ගත්තාම අපි ඒක පාවිච්චි කරන එක නතර කළා. හිතෝපදේශ 4:18 කියන විදිහට අපේ මාවත් ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වෙන එක ගැන අපිට දැනුණේ පුදුම සතුටක්.” අසත්‍යය උගන්වන ආගම්වලට අයිති අපවිත්‍ර දේවලට හවුල් වෙන්න ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.

15, 16. අපි සංකේතවත් දේවමාලිගාවේ ඇතුල් මළුවේ සේවය කළත් පිටත මළුවේ සේවය කළත් දිගටම සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?

15 අසත්‍යය උගන්වන ආගම්වලට අයිති කිසිම දේකට හවුල් වෙන්න අපිත් පොඩ්ඩක්වත් කැමති නැහැ. සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න ක්‍රිස්තුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් දෙවිගේ සෙනඟට දිගටම උදව් කරනවා. ඒක අපිට පැහැදිලිවම පෙනෙනවා. ඒ නිසා අසත්‍යය උගන්වන ආගම්වලට අයිති චාරිත්‍ර වාරිත්‍ර ගැන යම් මඟ පෙන්වීම් ලැබෙද්දී අපි කැමැත්තෙන්ම ඒවාට කීකරු වෙමු. යේසුස් රජ වුණු කාලයේදී ජීවත් වුණු අපේ සහෝදර සහෝදරියන්ව අපි ආදර්ශයට ගමු. අපි සංකේතවත් දේවමාලිගාවේ ඇතුල් මළුවේ සේවය කරන අභිෂේක ලත් අය වුණත් පිටත මළුවේ සේවය කරන මහත් සමූහයට අයිති අය වුණත් දිගටම අපේ නමස්කාරය පවිත්‍රව තියාගන්න උපරිමයෙන් වෑයම් කරමු.

16 දෙවිගේ සෙනඟව සත්‍ය නමස්කාරයෙන් ටිකෙන් ටික ඈත් කරන්න උත්සාහ කරන අයගෙනුත් ක්‍රිස්තුස් යෙහෝවා දෙවිගේ සෙනඟව ආරක්ෂා කරනවා. මේ අවසාන කාලය පුරාම ඒක වෙනවා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ.

‘ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කිරීම’

17, 18. මාළු දැල ගැන උපමාවේ (අ) මුහුදට හෙළන දැලෙන්, (ආ) සෑම වර්ගයකම මසුන් අසු වුණු එකෙන්, (ඇ) හොඳ මසුන් භාජනවලට එකතු කරපු එකෙන් සහ (ඈ) නුසුදුසු මසුන් අහකට විසි කරපු එකෙන් අදහස් වෙන්නේ මොනවාද?

17 අපේ රජු වන ක්‍රිස්තුස් පොළොව පුරාම තියෙන හැම සභාවක් ගැනම හොඳ අවධානයක් දෙනවා. ඒ හැම සභාවක්ම ආරක්ෂා කරන්න ක්‍රිස්තුස් සහ දේවදූතයන් මිනිසුන්ව වෙන් කරන වැඩක යෙදෙනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපිට හරියටම තේරුම්ගන්න බැහැ. හැබැයි යේසුස් මාළු දැලක් ගැන කියපු උපමාවෙන් ඒ වෙන් කරන වැඩේ මොකක්ද කියලා පැහැදිලි වෙනවා. (මතෙව් 13:47-50 කියවන්න.) ඒ උපමාවේ අර්ථය ගැන දැන් අපි බලමු.

මාළු දැලෙන් නියෝජනය වෙන්නේ දේශනා සේවය. ඒ දැල හෙළන මුහුද තමයි මිනිස් වර්ගයා (18 ඡේදය බලන්න)

18 ‘මුහුදට හෙළන දැල.’ ඒ දැලෙන් නියෝජනය වෙන්නේ දේශනා සේවය. ඒ දැල හෙළන මුහුදෙන් නියෝජනය වෙන්නේ මිනිස් වර්ගයාව. ‘සෑම වර්ගයකම මසුන් අසු වුණා.’ දැලට විවිධ ජාතියේ මාළු අහු වුණා වගේ ශුභාරංචිය දේශනා කරද්දී විවිධ මිනිසුන් ඒක පිළිගන්නවා. සමහර අය සැබෑ ක්‍රිස්තියානීන් වෙනවා. හැබැයි තවත් අය මුලින් උනන්දුවක් පෙන්නුවත් දිගටම සත්‍ය නමස්කාරයේ රැඳිලා ඉන්නේ නැහැ. e “හොඳ මසුන් භාජනවලට” එකතු කරනවා. ඒකෙන් නියෝජනය වෙන්නේ සත්‍යය පිළිගන්න කැමති අයව සභාවලට එකතු කරන එකයි. ඒ අයට සභාවේදී පවිත්‍ර නමස්කාරයේ හවුල් වෙන්න පුළුවන් වෙනවා. “නුසුදුසු මසුන්” අහකට විසි කරනවා. ඒකෙන් නියෝජනය වෙන්නේ ක්‍රිස්තුස් සහ දේවදූතයන් මේ අවසාන කාලයේදී ‘ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කරන’ එකයි. f ප්‍රතිඵලයක් විදිහට වැරදි විශ්වාසයන් සහ චාරිත්‍ර වාරිත්‍ර අත්හරින්න කැමති නැති අයට සභාව අපවිත්‍ර කරන්න පුළුවන් වෙලා නැහැ. g

19. දෙවිගේ සෙනඟව සහ සැබෑ නමස්කාරය ආරක්ෂා කරන්න ක්‍රිස්තුස් කරලා තියෙන දේවල් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

19 අපේ රජු වන යේසුස් ක්‍රිස්තුස් තම සේවකයන්ව ආරක්ෂා කරන එක අපිට මොන තරම් සතුටක්ද! පළවෙනි සියවසේ දෙවිගේ මාලිගාව පවිත්‍ර කරපු කාලෙදී වගේ යේසුස්ට තාමත් සැබෑ නමස්කාරය වෙනුවෙන් ලොකු උද්‍යෝගයක් තියෙන එක අපිට සහනයක් නෙවෙයිද? සැබෑ නමස්කාරයත් දෙවිගේ සෙනඟවත් ඔහු දිගින් දිගටම පවිත්‍ර කරන එක ගැන අපි මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ඒ නිසා අසත්‍යය උගන්වන ආගම්වලට අයිති කිසිම දේකට හවුල් නොවී දෙවිගේ රාජ්‍යයටත් එහි රජුටත් අපි උපරිමයෙන් සහාය වෙමු.

a පිට පළාත්වලින් ආපු යුදෙව්වන්ට දේවමාලිගාවේ වාර්ෂික බද්ද ගෙවන්න ඒ අයගේ සල්ලි යෙරුසලමේ පාවිච්චි කරපු සල්ලිවලට මාරු කරගන්න ඕනෙ වුණා. පූජාවලට සතුන්ව මිල දී ගන්නත් ඒ අයට සිද්ධ වෙන්න ඇති. යේසුස් මුදල් මාරු කරන්නන්ව සහ වෙළෙන්දන්ව “කොල්ලකාරයන්” විදිහට හඳුන්වන්න ඇත්තේ ඒ අය පිට පළාත්වලින් ආපු යුදෙව්වන්ගෙන් අසාධාරණ විදිහට සල්ලි ගත්තු නිසා වෙන්න ඇති.

b යෙහෝවා දෙවිගේ සේවකයන් සංකේතවත් දේවමාලිගාවේ ඇතුල් මළුවේත් පිටත මළුවේත් ඔහුට නමස්කාර කරනවා.

c යේසුස් ඉපදුණු වෙලාවේ එඬේරුන් එළිමහනේ බැටළුවන්ව රැකබලා ගනිමින් හිටිය නිසා යේසුස් ඉපදුණේ සීතල කාලයක නෙවෙයි කියලා ඒ ලිපියේ සඳහන් වුණා.—ලූක් 2:8.

d 1927 නොවැම්බර් 14වෙනිදා සහෝදර ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ෆ්‍රාන්ස් ලියපු ලියුමක මෙහෙම සඳහන් වුණා. “අපි මේ අවුරුද්දේ නත්තල සමරන්නේ නැහැ. ආයෙ කවදාවත් නත්තල සමරන්නේ නැතුව ඉන්න බෙතෙල් පවුලේ සාමාජිකයන් තීරණය කරලා තියෙනවා.” 1928 පෙබරවාරි 6වෙනිදා ඔහු ලියපු ලියුමක සඳහන් වුණේ මෙහෙමයි. “සාතන් බැබිලෝනියේ ආගම් හරහා උගන්වලා තියෙන බොරු දේවල්වලින් අපේ ස්වාමීන් අපිව ටිකෙන් ටික පවිත්‍ර කරනවා.”

e 2013දී ප්‍රචාරකයන් හිටියේ 79,65,954දෙනයි. හැබැයි ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්න 1,92,41,252දෙනෙක් ඇවිත් හිටියා.

f හොඳ මාළු අතරින් නුසුදුසු මාළු වෙන් කරන එක එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන එකට සමාන නැහැ. (මතෙ. 25:31-46) එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන්නේ මහත් පීඩාව අතරතුරේදියි. ඒ වෙන කල් නුසුදුසු මාළු ගොඩට වැටෙන අයටත් අවස්ථාව තියෙනවා ආයෙත් යෙහෝවා දෙවිට ළං වෙලා ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වෙන්න.—මලා. 3:7.

g අන්තිමේදී නුසුදුසු මාළු සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.