Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

සදාචාරමය අතින් පවිත්‍ර කරයි - ශුද්ධ දෙවිව ආදර්ශයට ගන්න සෙනඟක්

සදාචාරමය අතින් පවිත්‍ර කරයි - ශුද්ධ දෙවිව ආදර්ශයට ගන්න සෙනඟක්

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවි දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිති අදාළ කරගන්න රජු සෙනඟට උදව් කරපු විදිහ

එසකියෙල් දර්ශනයෙන් දැකපු දේවමාලිගාවට ඔබ ඇතුල් වෙන විදිහ හිතෙන් මවාගන්න

1. එසකියෙල් දර්ශනයකින් දැක්කේ මොනවාද?

 සියවස් 25කට විතර කලින් එසකියෙල් දැකපු දර්ශනය දැකගන්න ලැබුණොත් ඔබට ඒ ගැන කොහොම හැඟෙයිද? ටිකකට මෙහෙම හිතන්න. ඔබ දැන් ඉන්නේ තේජසින් බැබළෙන ලොකු දේවමාලිගාවක් ළඟ. මේ පුදුමාකාර දේවමාලිගාව ඇතුළට ඔබව ගෙනියන්නේ බලවත් දේවදූතයෙක්. ඔබ පඩි හතක් නැඟගෙන පිටත මළුවට ඇතුල් වෙන්න තියෙන දොරටු තුනෙන් එක දොරටුවක් ළඟට එනවා. දේවමාලිගාවට ඇතුල් වෙන්න තියෙන මේ දොරටු අඩි 100ක් විතර උසයි. ඒ උස දොරටුව දිහා ඔබ බලන්නේ හරිම පුදුමයෙන්. ඒ දොරටුවෙන් ඇතුල් වෙද්දී දෙපැත්තේම මුරකුටි තියෙනවා ඔබ දකිනවා. ඒ වගේම දෙපැත්තේ තාල ගස් වගේ උස කණුත් තියෙනවා.—එස. 40:1-4, 10, 14, 16, 22; 41:20.

2. (අ) එසකියෙල් දැකපු දේවමාලිගාවෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? (පාදසටහනත් බලන්න.) (ආ) දේවමාලිගාවට ඇතුල් වෙන තැන තිබුණු දේවලින් අදහස් වෙන්නේ මොනවාද?

2 ඒ දේවමාලිගාව සැබෑ එකක් නම් නෙවෙයි. ඒක දර්ශනයක් විතරයි. හැබැයි ඒ දර්ශනයෙන් දැකපු හැම දෙයක්ම එසකියෙල් පොතේ 40වෙනි පරිච්ඡේදයේ ඉඳන් 48වෙනි පරිච්ඡේදය වෙන කල්ම ඔහු විස්තර කරලා තියෙනවා. ඒ සංකේතාත්මක දේවමාලිගාවෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඇති කරලා තියෙන සැලැස්මයි. ඒ දේවමාලිගාවේ තියෙන හැම අංගයකින්ම අවසාන කාලයේ යෙහෝවා දෙවිට කරන නමස්කාරයට සම්බන්ධ දේවල් අදහස් වෙනවා. a ලොකුවට හදලා තිබුණු උස දොරටුවලින් අදහස් වෙන්නේ සැබෑ නමස්කාරයට හවුල් වෙන අය යෙහෝවා දෙවි දීලා තියෙන උසස් ප්‍රමිති පිළිපදින්න ඕනෙ කියන එක. තාල ගස් වගේ උසට හදලා තිබුණු කණුවලින් නියෝජනය වුණෙත් ඒ වගේම දෙයක්. මොකද ධර්මිෂ්ඨ අයව විස්තර කරන්න තමයි බයිබලයේ හුඟක් වෙලාවට තාල ගස් ගැන සඳහන් කරලා තියෙන්නේ. (ගීතා. 92:12) මුරකුටිවලින් අදහස් වෙන්නේ දෙවි දීලා තියෙන උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න කැමති නැති අයට පවිත්‍ර නමස්කාරයේ හවුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකයි.—එස. 44:9.

3. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ව දිගින් දිගටම පවිත්‍ර කරන්න ඕනෙ ඇයි?

3 එසකියෙල් දැකපු ඒ දර්ශනය ඉටු වුණේ කොහොමද? අපි 2වෙනි පරිච්ඡේදයෙන් බලපු විදිහට යෙහෝවා දෙවි 1914ත් 1919ත් අතර කාලයේදී ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහුගේ සේවකයන්ව පවිත්‍ර කළා. හැබැයි ඒක එතැනින් නතර වුණේ නැහැ. යෙහෝවා දෙවි දීලා තියෙන උසස් ප්‍රමිති හුඟක් වටිනා දේවල් විදිහට සලකන ක්‍රිස්තුස් දිගින් දිගටම තම අනුගාමිකයන්ව පවිත්‍ර කරනවා. ඔහු එහෙම කරන්නේ මේ අපවිත්‍ර ලෝකයෙන් තෝරගත්ත අනුගාමිකයන්ව ආයෙත් ඒ අපවිත්‍ර ක්‍රියාවලට ඇදලාගන්න සාතන් දිගටම උත්සාහ කරන නිසයි. (2 පේතෘස් 2:20-22 කියවන්න.) ක්‍රිස්තුස් දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරලා තියෙන පැති තුනක් ගැන අපි මේ පරිච්ඡේදයෙන් බලමු. පළවෙනි එක දෙවි දීලා තියෙන සදාචාර ප්‍රමිති පිළිපැදීම ගැනයි. දෙවෙනි එක සභාව ආරක්ෂා කරන්න අරන් තියෙන පියවරක් ගැනයි. තුන්වෙනි එක පවුල් ජීවිතය ගැනයි.

සදාචාර ප්‍රමිති පිළිපදින එකේ වැදගත්කම කාවද්දයි

4, 5. ඉස්සර ඉඳලම සාතන් පාවිච්චි කරලා තියෙන්නේ මොන උපායද? ඒ උපාය කොච්චර සාර්ථක වෙලා තියෙනවාද?

4 යෙහෝවා දෙවිගේ සේවකයන් හරි දේ සහ වැරදි දේ ගැන දෙවි දීලා තියෙන සදාචාර ප්‍රමිති අදාළ කරගන්න නිතරම උත්සාහ කරලා තියෙනවා. ඒ ගැන මඟ පෙන්වීම් ලැබුණාම ඔවුන් ඒවා අදාළ කරගන්නේ හරිම කැමැත්තෙන්. උදාහරණ කිහිපයක් බලන්න.

5 අනාචාරය. ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලිංගික සම්බන්ධකම් පවත්වලා සතුටක් ලබන එක දෙවි දීලා තියෙන තෑග්ගක්. ඒ නිසා ඒක පවිත්‍ර, ගෞරවනීය දෙයක් විදිහට සලකනවා දකින්න දෙවි කැමතියි. හැබැයි සාතන් උත්සාහ කරන්නේ ඒ තෑග්ග දෙවි අකමැති විදිහට පාවිච්චි කරන්න දෙවිගේ සේවකයන්ව පොලඹවලා ඔවුන්ව දෙවිගෙන් ඈත් කරන්නයි. බාලාම් ජීවත් වුණු කාලයේදී සාතන් හරිම කපටි විදිහට ඒ උපාය පාවිච්චි කරලා දෙවිගේ සේවකයන් හුඟදෙනෙක්ව දෙවිගෙන් ඈත් කළා. (ගණන්. 25:1-3, 9; එළි. 2:14) මේ අවසාන කාලයේදීත් ඒ දේම කරන්න සාතන් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් උත්සාහ කරනවා.

6. ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු පොරොන්දුව මොකක්ද? ඒ පොරොන්දුව සම්බන්ධයෙන් දෙවිගේ සෙනඟ කළේ මොනවාද? කාලයකට පස්සේ ඒක අවලංගු වුණේ ඇයි? (පාදසටහනත් බලන්න.)

6 සාතන්ගේ ඒ කපටි උපායෙන් දෙවිගේ සෙනඟව ආරක්ෂා කරගන්න 1908 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ හැමෝටම එකඟ වෙන්න පුළුවන් පොරොන්දුවක් මේ විදිහට සඳහන් වුණා. “මම තනියම ඉද්දී විරුද්ධ ලිංගයේ කෙනෙක්ව ආශ්‍රය කරන්නේ කට්ටියක් එක්ක ඉද්දී මම ඒ කෙනාව ආශ්‍රය කරන විදිහටමයි.” b ඒක අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනෙ කියලා ඒ සඟරාවේ සඳහන් වුණේ නැහැ. හැබැයි ඒකට කැමති වුණු හුඟක් අය ඒ අයගේ නම් ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් කරන්නත් කැමති වුණා. ඒ පොරොන්දුව ඒ කාලෙදී හුඟක් ප්‍රයෝජනවත් වුණත් කාලයක් යද්දී ඒක නිකම්ම සම්ප්‍රදායක් විතරක් වෙලා තියෙන නිසා ඒක අවලංගු කළා. හැබැයි ඒකෙන් කාවද්දපු සදාචාර ප්‍රතිපත්තියේ වටිනාකම නම් කවදාවත් බාල වෙලා නැහැ.

7. 1935දී ‘මුරටැඹ’ සඟරාවක පෙන්වපු විදිහට සමහර අයට තිබිලා තියෙන්නේ මොන වැරදි අදහසද? දෙවිගේ සෙනඟ කටයුතු කරන්න ඕන විදිහ ගැන ඒ සඟරාවේ පැහැදිලි කරලා තිබුණේ කොහොමද?

7 දෙවිගේ සෙනඟව දෙවිගෙන් ඈත් කරන්න සාතන් තව තවත් දේවල් කළා. දෙවිගේ සෙනඟ අතරේ හිටිය සමහර අය හිතලා තියෙනවා කෙනෙක් දේශනා සේවයේ වැඩිපුර හවුල් වෙනවා නම් රහසින් වැරදි වැඩ කළාට කමක් නැහැ කියලා. ඒ නිසා 1935 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ දේශනා සේවයේ යන එක විතරක් නෙවෙයි කියලා අපි මතක තියාගන්න ඕනේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි දෙවිව නියෝජනය කරනවා. ඒ නිසා දෙවිවත් දෙවිගේ රාජ්‍යයත් නියෝජනය කරන අය හැටියට අපිට වගකීමක් තියෙනවා ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන්න.” විවාහ ජීවිතය ගැනත් ලිංගික කාරණා ගැනත් ඒ සඟරාවේ පැහැදිලි උපදෙස් දීලා තිබුණා. දෙවිගේ සෙනඟට “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” ඒ උපදෙස් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.—1 කොරි. 6:18.

8. “පෝර්නියා” කියන වචනයේ අදහස ගැන ‘මුරටැඹ’ සඟරාව නිතර නිතර කාවද්දලා තියෙන්නේ ඇයි?

8 වේශ්‍යාකම විදිහට පරිවර්තනය කරලා තියෙන “පෝර්නියා” කියන ග්‍රීක වචනයෙන් අදහස් වෙන දේ ගැන ‘මුරටැඹ’ සඟරාවල නිතර නිතර පැහැදිලි කරලා තියෙනවා. ඒ වචනයේ අදහස ලිංගික ඇසුරට විතරක් සීමා වෙන්නේ නැහැ. ගණිකා මඩම්වල සිද්ධ වෙන හැම අශික්ෂිත ලිංගික ක්‍රියාවක්ම ඒකට අයිති වෙනවා. ඒ තොරතුරු නිසා අනාචාරයට සම්බන්ධ ක්‍රියාවලින් ආරක්ෂා වෙන්න ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට පුළුවන් වෙලා තියෙනවා.—එෆීස 4:17-19 කියවන්න.

9, 10. (අ) 1935දී ‘මුරටැඹ’ සඟරාවක සඳහන් කරලා තිබුණේ දෙවිගේ සේවකයන් අතින් වුණු මොන වරද ගැනද? (ආ) බයිබලයේ සඳහන් වෙන තොරතුරුවලට අනුව මත්පැන් බොන එක ගැන කියන්න පුළුවන් මොනවාද?

9 මත්පැන්. 1935 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ දෙවිගේ සේවකයන් අතින් සිද්ධ වුණු තවත් වරදක් ගැන සඳහන් වුණා. “දේශනා සේවයේ සහ සංවිධානයේ තවත් ක්‍රියාකාරකම්වල හවුල් වෙන්න කලින් සමහර අය [මත්පැන්] බොන්න පටන් අරන් තියෙනවා. හැබැයි වයින් බොන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද? දෙවිට කරන සේවයට බාධා වෙන විදිහට වයින් බොන එක සුදුසුද?”

10 ඒ ප්‍රශ්නවලට උත්තර හැටියට මත්පැන් බොන එක ගැන බයිබලයේ සඳහන් වෙන දේ ඒ ලිපියේ සඳහන් වුණා. මත්පැන් බොන එක වැරදියි කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි සීමාව ඉක්මවලා මත්පැන් බොන එක වැරදියි කියලා ඒකේ සඳහන් වෙනවා. (ගීතා. 104:14, 15; 1 කොරි. 6:9, 10) ඒ වගේම පරිශුද්ධ සේවය ඉටු කරන්න කලින් මත්පැන් බොන එක වැරදියි කියලා කාවද්දන්න ආරොන්ගේ පුතුන් දෙන්නා ගැන සිද්ධිය දෙවිගේ සෙනඟට කාලයක් තිස්සේ ඉඳලම මතක් කරලා තියෙනවා. දෙවිගේ නීතියට පටහැනි විදිහට දෙවි ඉදිරියේ ගින්නක් ඔප්පු කරපු නිසා දෙවි ඒ දෙන්නාව මරණයට පත් කළා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි පරිශුද්ධ සේවයේ හවුල් වෙන්න කලින් මත්පැන් බොන්න එපා කියලා හැම පූජකයෙක්ටම දෙවි නීතියක් දුන්නේ. දෙවි ආරොන්ගේ පුතුන් දෙන්නාව විනාශ කළේ ඇයි කියලා අපිට ඒකෙන් යම් ඉඟියක් ගන්න පුළුවන්. (ලෙවී. 10:1, 2, 8-11) ඒ වැදගත් කාරණය වටහාගෙන තියෙන නිසා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් පරිශුද්ධ සේවයේ හවුල් වෙන්න කලින් මත්පැන් බොන්නේ නැතුව ඉන්න වගබලා ගන්නවා.

11. මත්පැන් බොන එක ගැන දෙවිගේ සෙනඟව දැනුවත් කරපු එක ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?

11 පහුගිය දශක ගණනාව පුරාම මත්පැන්වලට ඇබ්බැහි වෙන එකේ තියෙන අනතුර ගැන ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ව තව තවත් දැනුවත් කරලා තියෙනවා. ඒ තොරතුරු නිසා මත්පැන්වලට තමන්ව පාලනය කරන්න ඉඩ නොදී ඉන්න හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා. මත්පැන් බොන්න ඇබ්බැහි වෙලා හිටිය තවත් හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා ඒක නතර කරන්න. මත්පැන් නිසා තමන්ගේ නමට කැළැලක් ඇති වෙන්නවත් පවුල් ජීවිතය විනාශ වෙන්නවත් විශේෂයෙන්ම සැබෑ නමස්කාරයේ හවුල් වෙන්න තියෙන අවස්ථාව නැති වෙන්නවත් ඉඩ දෙන එක කොහොමටවත් සුදුසු නැහැ.

“අපේ ස්වාමීන් ළඟින් දුම්කොළ ගඳක් එයි කියලවත් ඔහු ශරීරය අපවිත්‍ර කරන කිසිම දෙයක් කයි කියලවත් හිතන්න බැහැ.”—සී. ටී. රසල්

12. අවසාන කාලයට කලින් ඉඳලම ක්‍රිස්තුස්ගේ සේවකයන් දුම්කොළ පාවිච්චි කරන එක ගැන තේරුම් අරන් හිටියේ මොනවාද?

12 දුම්කොළ. අවසාන කාලය පටන්ගන්න කලින් ඉඳලම දුම්කොළ පාවිච්චි කරන එක වැරදියි කියලා ක්‍රිස්තුස්ගේ සේවකයන් තේරුම් අරන් හිටියා. 19වෙනි සියවසේ අගභාගයේදී මුල්ම වතාවට සහෝදර චාල්ස් ටේස් රසල්ව මුණගැහුණු අවස්ථාව ගැන සහෝදර චාල්ස් කේපන් කිව්ව දෙයින් ඒක පැහැදිලි වෙනවා. ඒ වෙද්දී සහෝදර කේපන්ට වයස 13යි. කේපන් සහ ඔහුගේ සහෝදරයන් තුන්දෙනා ඇලගනිවල තිබුණු බයිබල් නිවසේ පඩි පෙළේ ඉද්දී ඒ ළඟින් ගිය සහෝදර රසල් මෙහෙම අහලා තියෙනවා. “කොල්ලනේ ඕගොල්ලන් සිගරට් බිව්වද? මට සිගරට් ගඳක් එනවා.” ඒ වෙලාවේ සහෝදර කේපන් සහ ඔහුගේ සහෝදරයන් කියලා තියෙනවා ඒ අය සිගරට් බිව්වේ නැහැ කියලා. කොහොමවුණත් සිගරට් බොන එක වැරදියි කියලා නම් ඒ අයට හොඳින්ම කාවදින්න ඇති. සහෝදර රසල් 2 කොරින්ති 7:1 බයිබල් පදය ගැන කියපු දේ 1895 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “දුම්කොළ පාවිච්චි කරන අයට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේවත් ඒකෙන් දෙවිව ගෞරවයට පත් වෙන්නේවත් නැහැ. . . . අපේ ස්වාමීන් ළඟින් දුම්කොළ ගඳක් එයි කියලවත් ඔහු ශරීරය අපවිත්‍ර කරන කිසිම දෙයක් කයි කියලවත් හිතන්න බැහැ.”

13. 1973දී පැහැදිලි වුණේ මොනවා ගැනද?

13 දුම්කොළ “ශරීරය අපවිත්‍ර කරන දෙයක්” කියලා 1935දී ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණා. ඒ වගේම දුම්කොළ කන, සිගරට් බොන කිසිම කෙනෙක් බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වෙන්නවත් පුරෝගාමියෙක් හෝ සංචාරක සේවකයෙක් වෙන්නවත් සුදුසු නැහැ කියලත් ඒ සඟරාවේ සඳහන් වුණා. 1973දී ඒ සම්බන්ධයෙන් තවත් පැහැදිලි තොරතුරු ලැබුණා. උදාහරණයකට කෙනෙක් ජීවිතය අනතුරේ දාන ඒ අපවිත්‍ර දේ දිගින් දිගටම කරනවා නම් එයාව සභාවේ ආදර්ශවත් සාමාජිකයෙක් විදිහට සලකන්න බැහැ කියලා 1973 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා. ඒ නිසා දුම්කොළ පාවිච්චි කරන එක නතර කළේ නැති අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න පටන්ගත්තා. c ඒ විදිහටත් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ව පවිත්‍ර කළා.

14. රුධිරය ගැන දෙවි දීපු නීතිය මොකක්ද? ශල්‍යකර්මවලදී රුධිරය පාවිච්චි කරන එක ප්‍රසිද්ධ වුණේ කොහොමද?

14 රුධිරය. රුධිරය කෑමට ගන්න එක වැරදියි කියලා නෝවාගේ කාලයේදීම යෙහෝවා දෙවි කියලා තිබුණා. ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියෙත් දෙවි ඒ ගැන සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාට පස්සෙත් දෙවි කිව්වා “ලේවලින් වැළකී” ඉන්න කියලා. (ක්‍රියා 15:20, 29; උත්. 9:4; ලෙවී. 7:26) හැබැයි දෙවි පැහැදිලිවම දීපු ඒ අණ නොසලකාහරින්න මිනිසුන්ව පොලඹවන්න පුළුවන් ක්‍රමයක් සාතන් හොයාගත්තා. 19වෙනි සියවසේ ශල්‍යකර්මවලදී රුධිරය පාවිච්චි කරන්න වෛද්‍යවරුන් විවිධ අත්හදා බැලීම් කළා. රුධිර කාණ්ඩ වෙන වෙනම හඳුනාගත්තාට පස්සේ ශල්‍යකර්මවලදී රුධිරය ශරීරගත කරන එක හුඟදෙනෙක් අතරේ ප්‍රසිද්ධ වුණා. 1937 ඉඳන් ලේ එකතු කරගෙන ඒවා ලේ බැංකුවල ගබඩා කරන්නත් පටන්ගත්තා. දෙවෙනි ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී හුඟක් ශල්‍යකර්මවලට රුධිරය පාවිච්චි කරපු නිසා ඒ ක්‍රමය ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වුණා.

15, 16. (අ) රුධිරය ශරීරගත කරන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අරන් තියෙන තීරණය මොකක්ද? (ආ) රුධිරය ශරීරගත කරන එකෙන් වළකින්නත් රුධිරය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාර හඳුනාගන්නත් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට උපකාර කරලා තියෙන්නේ කොහොමද? ඒකේ ප්‍රතිඵල මොනවාද?

15 රුධිරය ශරීරගත කරන එක රුධිරය කනවා හා සමානයි කියලා 1944 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණා. රුධිරය ශරීරගත කරන එක බයිබලයට පටහැනියි කියලා 1945දී තවත් හොඳින් පැහැදිලි කළා. 1951දී රුධිරය ශරීරගත නොකරන්න හේතුව වෛද්‍යවරුන්ට පහදලා දෙන්න දෙවිගේ සේවකයන්ට උදව් වෙන ප්‍රශ්න උත්තර ලැයිස්තුවක් පළ වුණා. රුධිරය ශරීරගත කරන්නේ නැති නිසා ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත සේවකයන්ට නින්දා, අපහාස සහ පීඩා අද්දකින්න සිද්ධ වුණත් ඔවුන් දිගටම දෙවි දීපු නීතියට කීකරු වුණා. ක්‍රිස්තුස් දිගින් දිගටම සංවිධානය මාර්ගයෙන් ඔවුන්ට අවශ්‍ය උපකාරය ලබා දෙන එක නතර කළේ නැහැ. ගැඹුරින් පර්යේෂණ කරලා හොයාගත්ත තොරතුරු ඇතුළත් සඟරා සහ ලිපි ඔවුන්ට ලැබුණේ ඒ නිසයි.

16 1979 ඉඳන් සමහර වැඩිමහල්ලන් වෛද්‍යවරුන්ව මුණගැහිලා දෙවිගේ සෙනඟ රුධිරය ශරීරගත නොකරන හේතුව, ඒකට බයිබලයේ තියෙන පදනම සහ රුධිරය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම වගේ තොරතුරු ගැන පැහැදිලි කරන්න පටන්ගත්තා. 1980දී ඒ දේ තවත් හොඳින් කරන්න එක්සත් ජනපදයේ නගර 39ක හිටිය වැඩිමහල්ලන්ට හොඳ පුහුණුවක් ලැබුණා. වැඩි කාලයක් යන්න කලින් ලෝකෙ පුරාම රෝහල් සබඳතා කමිටු පිහිටුවන්න පාලක මණ්ඩලය අනුමැතිය දුන්නා. ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවාද? ඔව්. දෙවිගේ සෙනඟට රුධිරය ශරීරගත කරන්නේ නැතුව ප්‍රතිකාර කරන්න මේ වෙද්දී ලෝකෙ පුරාම වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ නිර්වින්දක වෛද්‍යවරුන් විශාල පිරිසක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. රුධිරය ශරීරගත කරන්නේ නැතුව ප්‍රතිකාර කරන රෝහල් ගණනත් දැන් වැඩි වෙනවා. ඒ වගේම රුධිරය ශරීරගත කරන්නේ නැතුව කරන ප්‍රතිකාරය තමයි හොඳම ප්‍රතිකාරය කියලා හුඟක් අය දැන් පිළිගන්නවා. දෙවිගේ සෙනඟව දෙවිගෙන් ඈත් කරන්න සාතන් කොච්චර උත්සාහ කළත් යේසුස් ඔවුන්ව ආරක්ෂා කරන විදිහ ගැන අපිට කොයි තරම් සතුටු වෙන්න පුළුවන්ද!—එෆීස 5:25-27 කියවන්න.

රුධිරය ශරීරගත කරන්නේ නැතුව ප්‍රතිකාර කරන රෝහල් ගණනත් වැඩි වෙනවා. ඒ වගේම රුධිරය ශරීරගත කරන්නේ නැතුව කරන ප්‍රතිකාරය තමයි හොඳම ප්‍රතිකාරය කියලා හුඟක් අය දැන් පිළිගන්නවා

17. ක්‍රිස්තුස් ඔහුගේ සෙනඟව පවිත්‍ර කරන විදිහ අපි අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

17 ‘යෙහෝවා දෙවි දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිතිවලට කීකරු වෙන්න පුහුණු කිරීමෙන් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ව පවිත්‍ර කරලා තියෙන විදිහ අපි අගය කරනවාද?’ දෙවිගේ ප්‍රමිති ගැන අපිට තියෙන අගය නැති කරලා අපිව යෙහෝවා දෙවිගෙනුත් යේසුස්ගෙනුත් ඈත් කරන්න සාතන් හැම මොහොතකම උත්සාහ කරනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. සාතන්ගේ බලපෑමෙන් ආරක්ෂා කරන්න යෙහෝවා දෙවි තම සංවිධානය මාර්ගයෙන් මේ ලෝකෙ තියෙන පහත් දේවල් ගැන අපිට දිගටම අනතුරු අඟවනවා. ඒ අනතුරු ඇඟවීම් ගැන කල්පනාවෙන් ඉන්නත් අපිට ලැබෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම අදාළ කරගන්නත් අපි අදිටන් කරගමු.—හිතෝ. 19:20.

සභාව ආරක්ෂා කිරීම

18. හිතාමතාම දෙවිගේ ප්‍රතිපත්ති කඩ කරන අය ගැන එසකියෙල් දැකපු දර්ශනයෙන් පැහැදිලි වෙන්නේ මොනවාද?

18 දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරලා තියෙන දෙවෙනි පැත්ත තමයි සභාව ආරක්ෂා කරන්න පියවර අරන් තියෙන එක. සමහර අය දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති පිළි අරන් දෙවිට කැප වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නේ නැහැ. ඒ අය හිතාමතාම දෙවිගේ ප්‍රතිපත්ති කඩ කරලා තියෙනවා. ඒ වගේ අය සම්බන්ධයෙන් ගන්න ඕන පියවර මොකක්ද? එසකියෙල් දැකපු දේවමාලිගාව ගැන හිතුවොත් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. ඒ දේවමාලිගාවේ හුඟක් උස දොරටු තිබුණා. දේවමාලිගාව ආරක්ෂා කරන්න හිටිය මුරකරුවන් “සිතින් පවිත්‍ර නොවූ” අයට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. (එස. 44:9) දෙවිට කරන පරිශුද්ධ නමස්කාරයට හවුල් වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. ඒ අවස්ථාව ලැබෙන්නේ දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න උත්සාහ කරන අයට විතරයි.

19, 20. (අ) කෙනෙක් බරපතළ වරදක් කළාම ඒක හසුරුවන්න ඕන විදිහ ගැන තේරුම්ගන්න ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට උදව් කරලා තියෙන්නේ කොහොමද? (ආ) දිගින් දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න තියෙන හේතු තුනක් මොනවාද?

19 “ක්‍රිස්තුස් ජීවිතය පූජා කළේ හැමෝම වෙනුවෙන් කියලා පිළිගන්නේ නැති ක්‍රිස්තියානීන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන එක අපේ වගකීමක්” කියලා 1892 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණා. (2 යොහන් 10 කියවන්න.) හිතාමතාම දෙවිගේ ප්‍රතිපත්ති කඩ කරන අය නිසා සභාවට ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා 1904දී ප්‍රකාශයට පත් වුණු අපේ පොතක සඳහන් වුණා. ඒ කාලයේදී බරපතළ වැරදි කරපු අයට විනිශ්චයමය තීරණයක් දෙද්දී මුළු සභාවම ඒකට හවුල් වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ දේවල් වුණේ හරිම කලාතුරකින්. කොහොමවුණත් විනිශ්චයමය කාරණාවලට හවුල් වෙන්න ඕනෙ සභාවේ වගකීම් දරන අය විතරයි කියලා 1944දී ‘මුරටැඹ’ සඟරාවකින් පැහැදිලි කළා. 1952දී තමයි බයිබලයට එකඟව විනිශ්චයමය කාරණා හසුරුවන්න ඕන විදිහ ගැන ‘මුරටැඹ’ සඟරාවෙන් පැහැදිලි කරලා තියෙන්නේ. දිගින් දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න තියෙන එක ප්‍රධාන හේතුවක් ගැනත් ඒ සඟරාවේ සඳහන් වුණා. ඒ තමයි සභාව පවිත්‍රව තියාගන්න එක.

20 ඒ කාලයේ ඉඳන් බරපතළ වැරදි කරන අය සම්බන්ධයෙන් කාරණා හසුරුවන්න ඕන විදිහ පැහැදිලිව තේරුම්ගන්න ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට උදව් කරලා තියෙනවා. යෙහෝවා දෙවි කැමති විදිහට, සාධාරණව සහ මෘදුකමින් විනිශ්චයමය කාරණා හසුරුවන්න වැඩිමහල්ලන්ව පුහුණු කරලා තියෙනවා. දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න තියෙන හේතු තුනක් මේ වෙද්දී අපි තේරුම් අරන් තියෙනවා. ඒ තමයි (1) දෙවිගේ නමට නින්දාවක් ඇති වෙන එක වළක්වන්න, (2) සභාවේ අයට වෙන්න පුළුවන් හානිය වළක්වන්න සහ (3) වැරදි කරපු කෙනා කැමති නම් එයාට පසුතැවිලි වෙන්න අවස්ථාවක් දෙන්න.

21. වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න පියවර අරන් තියෙන එක අපිට ලැබිලා තියෙන ආශීර්වාදයක් කියලා කියන්න පුළුවන් ඇයි?

21 දිගින් දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම ඇත්තටම දෙවිගේ සේවකයන්ට ආශීර්වාදයක්! පුරාණයේදී ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටිය අය බරපතළ වැරදි කළාම ඒක මුළු ජාතියටම බලපෑවා. සමහර කාලවලදී ඔවුන් අතරේ වැඩි හරියක් ඉඳලා තියෙන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට අකීකරු වුණු අය. ඒ නිසා මුළු ජාතියම දෙවිගේ නමට නින්දාවක් ගෙනාවා. ඒ විතරක් නෙවෙයි මුළු ජාතියටම දෙවිගේ අනුමැතියත් නැති වුණා. (යෙරෙ. 7:23-28) හැබැයි අද යෙහෝවා දෙවි ඒ වගේ විශේෂ ජාතියක් තෝරගෙන නැහැ. දෙවිට විශ්වාසවන්තව සේවය කරන ලොකු කණ්ඩායමක් දැන් ඉන්නවා. කිසිම ගානක් නැතුව දිගින් දිගටම වැරදි කරන අයව දැන් සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන නිසා ඒ අයව පාවිච්චි කරලා සභාව අපවිත්‍ර කරන්න සාතන්ට ඉඩක් නැහැ. ඒ නිසා කණ්ඩායමක් විදිහට අපිට දෙවිගේ අනුමැතිය නැති වෙන්නේ නැහැ. අපිට “විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ” කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (යෙසා. 54:17) සභාවේ විනිශ්චයමය කාරණා හසුරුවන බරපතළ වගකීම තියෙන වැඩිමහල්ලන්ට අපි උපරිමයෙන් සහාය දෙන එක කොච්චර වැදගත්ද!

පවුල් සැලැස්ම ඇති කරපු දෙවිට ගෞරවය දෙමු

22, 23. 20වෙනි සියවසේ මුල්භාගයේ ජීවත් වුණු දෙවිගේ සේවකයන්ව අපි අගය කරන්නේ ඇයි? ඒ අය පවුල් ජීවිතය ගැන හිතපු විදිහ වෙනස් කරගන්න ඕන වුණේ ඇයි?

22 ක්‍රිස්තුස් ඔහුගේ සේවකයන්ව පවිත්‍ර කරලා තියෙන තුන්වෙනි පැත්ත තමයි විවාහය සහ පවුල් ජීවිතය. පහුගිය අවුරුදු කිහිපය පුරාම ලැබුණු උපදෙස් නිසා දෙවිගේ සේවකයන් පවුල් ජීවිතය ගැන හිතපු විදිහ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ටිකකට හිතන්න. 20වෙනි සියවසේ මුල්භාගයේ ජීවත් වුණු දෙවිගේ සේවකයන් ගැන අපිට කියවන්න ලැබෙද්දී අපි දකිනවා ඒ අය කොයි තරම් කැපවීමෙන් සේවය කරලා තියෙනවාද කියලා. ජීවිතයේ අනිත් හැම දේටම වඩා දේවසේවයට මුල් තැන දෙන්න ඒ අය කරලා තියෙන දේවල් අපි ඇත්තටම අගය කරනවා. හැබැයි සමහර පැතිවලින් ඒ අය සමබර වුණා නම් හොඳයි කියලත් අපිට පේනවා.

23 ඒ කාලයේ සංචාරක සේවකයන් සහ තවත් සහෝදරයන් පැවරුම් ඉටු කරන්න මාස ගණනාවක්ම ගෙදරින් පිට ඉඳලා තියෙනවා. විවාහ වෙන්නේ නැතුව තනිකඩව ඉන්න කියලා බයිබලයේ කියලා නැති වුණාට ඒ දවස්වල අපේ ප්‍රකාශනවල තනිකඩව ඉන්න කියලා හුඟක් දිරිගන්වලා තියෙනවා. හොඳ විවාහ ජීවිතයක් ගත කරන විදිහ ගැන මඟ පෙන්වීම් සඳහන් වුණේ හරිම කලාතුරකින්. හැබැයි දැන් තත්වය ඊට වඩා වෙනස්.

දෙවිගෙන් ලැබෙන පැවරුම් නිසා පවුලේ වගකීම් පැහැරහරින්න එපා කියලා දැන් අපිව දැනුවත් කරලා තියෙනවා

24. විවාහය සහ පවුල් ජීවිතයට අදාළ බයිබල් ප්‍රතිපත්ති ගැන ක්‍රිස්තුස් දෙවිගේ සෙනඟව දැනුවත් කරලා තියෙන්නේ කොහොමද?

24 දෙවිගෙන් ලැබෙන පැවරුම් නිසා පවුලේ වගකීම් පැහැරහරින්න එපා කියලා දැන් අපිව දැනුවත් කරලා තියෙනවා. (1 තිමෝති 5:8 කියවන්න.) විවාහය සහ පවුල් ජීවිතය සම්බන්ධ බයිබල් ප්‍රතිපත්ති ගැන ක්‍රිස්තුස් තම අනුගාමිකයන්ව දැනුවත් කරනවා. (එෆී. 3:14, 15) උදාහරණයකට ‘ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කිරීම’ කියන පොත 1978දී (සිංහලෙන් 1983දී) ප්‍රකාශයට පත් වුණා. අවුරුදු 18කට පස්සේ ‘පවුලේ සන්තෝෂයට රහස’ කියන පොත ප්‍රකාශයට පත් වුණා. ඒ විතරක් නෙවෙයි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ඇතුළත් වුණු ලිපි ‘මුරටැඹ’ සඟරාවල පළ වෙලා තියෙනවා.

25-27. අවුරුදු ගණනාවක් තිස්සේ එක එක වයස්වල ඉන්න දරුවන්ට වැඩි අවධානයක් දීලා තියෙන්නේ කොහොමද?

25 පහුගිය අවුරුදු කිහිපය පුරාම යෞවනයන්ට ප්‍රයෝජනවත් වෙන ප්‍රකාශනත් නිකුත් වෙලා තියෙනවා. යෙහෝවා දෙවිගේ සංවිධානය එක එක වයස්වල ඉන්න දරුවන්ට ඕන කරන ප්‍රකාශන ඇති තරම් දීලා තියෙනවා. උදාහරණයකට 1919 ඉඳන් 1921 අතර කාලයේදී ‘රන්වන් යුගය’ සඟරාවේ දරුවන්ට විශේෂ ලිපියක් පළ වෙලා තියෙනවා. 1920දී සඟරාවකුත් 1941දී ‘දරුවන්’ d කියලා පොතකුත් නිකුත් කළා. 1970 ගණන්වලදී ‘උතුම් ගුරුවරයාට සවන් දෙන්න,’ e ‘යෞවන වයසෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න’ f සහ ‘මගේ බයිබල් කතන්දර පොත’ (සිංහලෙන් 1991දී) කියන පොත් ප්‍රකාශයට පත් වුණා. 1982 ඉඳන් ‘පිබිදෙව්!’ සඟරාවේ “යෞවන අය අසති” කියන ලිපි පෙළ පළ වෙන්න පටන්ගත්තා. කාලෙකට පස්සේ ඒ ලිපි එකතු කරලා හදපු ‘යෞවනයන් අසන ප්‍රශ්න - ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු’ කියන පොත 1989දී (සිංහලෙන් 1993දී) ප්‍රකාශයට පත් වුණා.

‘පුංචි අපිට පාඩම්’ කියන සඟරාව නිකුත් කළාම ජර්මනියේ පුංචි දරුවන් හුඟක් සතුටු වුණා

26 දැන් ‘යොවුන් සිතේ ගැටලු’ පොතේ වෙළුම් දෙකක්ම තියෙනවා. ඊට අමතරව jw.org කියන අපේ වෙබ් අඩවියේ “යොවුන් සිතේ ගැටලු” කියන ලිපි පෙළ දිගටම පළ වෙනවා. ඒ විතරක් නෙවෙයි ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොතත් දැන් තියෙනවා. අපේ වෙබ් අඩවියේ දරුවන්ටම වෙන් වුණු විශේෂ අංග හුඟක් තියෙනවා. බයිබල් චරිත, ක්‍රියාකාරකම්, පැන විසඳුම්, වීඩියෝ සහ බයිබල් චිත්‍ර කතා ඒ අතරින් කිහිපයක්. අවුරුදු තුන සහ ඊට අඩු පුංචි අයට වෙනම ලිපි පෙළකුත් පළ වෙනවා. ඒ හැම දෙයක් ගැනම හිතද්දී එදා වගේම අදත් ක්‍රිස්තුස් දරුවන්ට කොයි තරම් ආදරෙයිද කියලා අපිට හොඳින්ම පැහැදිලියි. (මාක් 10:13-16) අපේ දරුවන්ට ආදරයෙන් සලකමින් දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔවුන්ට උදව් කරන්න ඔහු කැමතියි.

27 ඒ වගේම අනතුරුදායක දේවලින් දරුවන්ව ආරක්ෂා කරන්නත් යේසුස් පුළුවන් හැම දේම කරනවා. සදාචාරය පිරිහුණු මේ ලෝකයේ ළමා අපචාර හැම තැනකම සිද්ධ වෙනවා. ඒ දේවලින් දරුවන්ව රැකගන්න දෙමාපියන්ට පැහැදිලි මඟ පෙන්වීම් අපේ ප්‍රකාශනවල පළ වෙලා තියෙනවා. g

28. (අ) එසකියෙල් දර්ශනයෙන් දැකපු විදිහට පවිත්‍ර නමස්කාරයට හවුල් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (ආ) ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

28 යෙහෝවා දෙවිගේ උසස් සදාචාර ප්‍රමිතිවලට ගරු කරන්නත් ඒවාට එකඟව ජීවත් වෙන්නත් පුහුණු කිරීමෙන් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව පවිත්‍ර කරලා තියෙන එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද! එසකියෙල් දැකපු දේවමාලිගාව ගැනත් ඒකෙ තිබුණු උස දොරටු ගැනත් ටිකකට හිතන්න. ඒක දර්ශනයක් වුණත් ඔබ ඒක ඇත්ත දෙයක් විදිහට දකිනවාද? ඒ දේවමාලිගාවට ඇතුල් වෙන්න නම් කරන්න ඕනෙ මොනවාද? පුරුද්දක් විදිහට නමස්කාර මධ්‍යස්ථානයට යන එක, බයිබලය කියවන එක, එහෙමත් නැත්නම් දේශනා සේවයේ හවුල් වෙන එක විතරක් මදියි. මොකද මවාපෑමක් කරන කෙනෙක්ට වුණත් ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ අයට කවදාවත් දේවමාලිගාවට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙවිට සේවය කරන අතරතුරේදීම දෙවි දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්නත් ඕනේ. එහෙම කළොත් විතරයි ඒ දේවමාලිගාවට ඒ කියන්නේ පවිත්‍ර නමස්කාරයට හවුල් වෙන්න අපිට පුළුවන් වෙන්නේ. අපිට ලැබිලා තියෙන ඒ වරප්‍රසාදය අපි කවදාවත් සුළු කරන්න හොඳ නැහැ. යෙහෝවා දෙවි දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් දෙවිගේ ශුද්ධකම පිළිබිඹු කරන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.

a දෙවිගේ සෙනඟ ආපහු මව් රටට ගිහින් සැබෑ නමස්කාරය යළි පිහිටුවන එක ගැන තියෙන අනාවැකි අදාළ වෙන්නේ ඊශ්‍රායෙල් ජාතියට නෙවෙයි අභිෂේක ලත් අයට කියලා 1932දී පළ වුණු පොතක සඳහන් වුණා. 1999 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ තිබුණා එසකියෙල් දර්ශනයෙන් දැකපු දේවමාලිගාව අවසාන කාලයට අදාළ වෙන සැබෑ නමස්කාරයට සම්බන්ධ අනාවැකියක් කියලා.

b අවුරුදු ගාණක් තිස්සේ ඒ පොරොන්දුව බෙතෙල් එකේ උදෑසන නමස්කාරයේ කොටසක් විදිහට කියවලා තියෙනවා. ඒ පොරොන්දුව නිසා විරුද්ධ ලිංගයේ දෙන්නෙක් තනියම කාමරයක ඉන්න එකෙන් වැළකුණා. එහෙම ඉන්න එක සුදුසු වුණේ අඹුසැමියන්ට හෝ පවුලේ සාමාජිකයන්ට විතරයි. එහෙම නැත්නම් කාමරයේ දොර ඇරලා තියන්න ඕනේ.

c දුම්කොළ පාවිච්චි කරන එකට සිගරට් බොන එක, දුම්කොළ කන එක වගේම දුම්කොළ වගා කරන එකත් අයිති වෙනවා.

d ඉංග්‍රීසියෙන්.

e ඉංග්‍රීසියෙන්.

f ඉංග්‍රීසියෙන්.