Skip to content

පටුනට යන්න

15වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න තියෙන අයිතිය රැකගන්න ගත්ත උත්සාහය

නමස්කාර කරන්න තියෙන අයිතිය රැකගන්න ගත්ත උත්සාහය

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

නීතිමය පිළිගැනීම ලබන්නත් දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න අපිට තියෙන අයිතිය රැකගන්නත් ක්‍රිස්තුස් උදව් කරලා තියෙන විදිහ

1, 2. (අ) ඔබ දෙවිගේ රාජ්‍යයේ පුරවැසියෙක් කියලා ඔප්පු වෙන්නේ කොහොමද? (ආ) සමහර අවස්ථාවලදී ආගමික නිදහස වෙනුවෙන් සටන් කරන්න දෙවිගේ සෙනඟට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි හැමෝම දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන්. ඒ පුරවැසිකම ඔප්පු වෙන්නේ යම් නීතිමය ලියවිල්ලකින් නෙවෙයි. ඒ වෙනුවට ඒක ඔප්පු වෙන්නේ අපි යෙහෝවා දෙවිට නමස්කාර කරන විදිහෙන්. අපේ නමස්කාරයට ඇතුළත් වෙන්නේ අපේ විශ්වාසයන් විතරක් නෙවෙයි. දෙවිගේ රාජ්‍යයෙන් අපිට දීලා තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙන එකත් ඒකට ඇතුළත්. ඒ කියන්නේ අපේ පවුලේ අයව රැකබලා ගන්න විදිහ සහ අපි ගන්න විවිධ ප්‍රතිකාර ක්‍රම ඇතුළුව අපේ ජීවිතයේ හැම කාරණයක්ම ඒකට අයිතියි.

2 කොහොමවුණත් දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන් විදිහට අපි ජීවත් වෙද්දී ලෝකෙ මිනිසුන් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. අපේ නමස්කාරයට සීමා පනවන්න එහෙමත් නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න සමහර ආණ්ඩු උත්සාහ කරන එකෙන් ඒක පැහැදිලි වෙනවා. අපේ රජුගේ නීති ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න තියෙන අයිතිය රැකගන්න අපිට ලොකු සටනක් කරන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. අතීතයේ හිටිය දෙවිගේ සෙනඟත් නිදහසේ දෙවිට නමස්කාර කරන්න තියෙන අයිතිය රැකගන්න හුඟක් අවස්ථාවලදී සටන් කළා.

3. එස්තර් බිසවගේ කාලේ හිටිය දෙවිගේ සෙනඟට සටන් කරන්න සිද්ධ වුණේ ඇයි?

3 එස්තර් බිසවගේ කාලේ හිටිය දෙවිගේ සෙනඟට ඒ අයගේ ජීවිත රැකගන්න සටන් කරන්න සිද්ධ වුණා. මොකද යුදෙව්වන්ගේ “නීති අන් සියලු ජන කොටස්වලට වඩා වෙනස්” කියලා චෝදනා කරපු පර්සියානු අගමැති දුෂ්ට හාමාන්, අහෂ්වේරොෂ් රජුගේ අනුමැතිය අරන් යුදෙව්වන්ව විනාශ කරන්න උත්සාහ කළා. (එස්ත. 3:8, 9, 13) හැබැයි ඒ දේ වෙන්න යෙහෝවා දෙවි ඉඩහැරියේ නැහැ. එස්තර් සහ මොර්දෙකයි ඒ බොරු චෝදනාව ගැන රජුට කියලා දෙවිගේ සෙනඟව ආරක්ෂා කරගන්න වෑයම් කළාම දෙවි ඒකට ආශීර්වාද කළා.—එස්ත. 9:20-22.

4. මේ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවා ගැනද?

4 අද කාලේ ගැන කියන්න පුළුවන් මොනවාද? අපි කලින් පරිච්ඡේදයෙන් දැක්කා සමහර ආණ්ඩු යෙහෝවා දෙවිගේ සෙනඟට විරුද්ධ වෙලා තියෙනවා කියලා. අපේ නමස්කාරයට සීමා පනවන්න ආණ්ඩු උත්සාහ කරලා තියෙන විදිහ මේ පරිච්ඡේදයෙන් බලමු. ඒ ගැන සාකච්ඡා කරද්දී අපි මූලිකවම අවධානය දෙන්නේ මේ පැති තුනටයි. (1) සංවිධානයක් විදිහට ක්‍රියා කරන්නත් නිදහසේ දෙවිට නමස්කාර කරන්නත් අපිට තියෙන අයිතිය. (2) බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැති ප්‍රතිකාර ක්‍රම තෝරගන්න අපිට තියෙන අයිතිය. (3) දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව දරුවන්ව හදා වඩා ගන්න අපිට තියෙන අයිතිය. ඒ පැති ගැන බලද්දී දෙවිගේ රාජ්‍යයේ පුරවැසිකම රැකගන්න දෙවිගේ සෙනඟ සටන් කරලා තියෙන විදිහ ගැනත් ඔවුන්ගේ වෑයමට දෙවි ආශීර්වාද කරලා තියෙන විදිහ ගැනත් දැනගන්න පුළුවන්.

නීතිමය පිළිගැනීම සහ නමස්කාර කරන්න තියෙන අයිතිය

5. නීතියෙන් පිළිගැනීමක් ලැබෙන එක අපේ නමස්කාර කටයුතුවලට පහසුවක් වෙන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අපි නීතියෙන් අවසර ගන්න ඕනෙද? නැහැ. හැබැයි නීතියෙන් පිළිගැනීමක් තියෙනවා නම් බාධාවක් නැතුව අපේ නමස්කාර කටයුතු කරගෙන යන්න පුළුවන්. උදාහරණයකට කිසිම බාධාවක් නැතුව අපේ නමස්කාර මධ්‍යස්ථානවල සහ සමුළු ශාලාවල රැස් වෙන්න, පොත් පත් මුද්‍රණය කරන්න, ඒවා පිටරටවලින් ගෙන්නගන්න වගේම ශුභාරංචිය දේශනා කරන්නත් අපිට පුළුවන් වෙනවා. හුඟක් රටවල අපිව නීත්‍යනුකූල ආගමක් හැටියට ලියාපදිංචි කරලා තියෙන නිසා ඒ රටවල ඉන්න අපේ සහෝදරයන් නිදහසේ නමස්කාර කටයුතු කරගෙන යනවා. හැබැයි සමහර ආණ්ඩු අපේ නමස්කාරයට සීමා පනවන්න නැත්නම් සම්පූර්ණයෙන්ම නතර කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී සිද්ධ වෙලා තියෙන්නේ මොනවාද?

6. 1940 ගණන්වල ඕස්ට්‍රේලියාවේ හිටිය අපේ සහෝදරයන් මුහුණ දුන්නේ මොනවාටද?

6 ඕස්ට්‍රේලියාව. 1940 මුල්භාගයේදී ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා අපේ විශ්වාසයන් රටට තර්ජනයක් කියලා අපේ වැඩ තහනම් කළා. ඒ නිසා නිදහසේ රැස්වීම් පවත්වන්නත් දේශනා සේවයේ යන්නත් පුළුවන් වුණේ නැහැ. බෙතෙල් එකේ වැඩත් සම්පූර්ණයෙන්ම වගේ නතර වුණා. නමස්කාර මධ්‍යස්ථානත් හමුදාව අතට පත් වුණා. අපේ පොත් පත් ළඟ තියාගන්න එකත් තහනම් කළා. ඒ නිසා සහෝදරයන් වැඩකටයුතු කරගෙන ගියේ රහසිගතව. හැබැයි සාක්ෂිකරුවන්ට පනවපු තහනම 1943 ජූනි 14වෙනිදා ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කළාම අපේ සහෝදරයන්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!

7, 8. අවුරුදු ගාණක් තිස්සේ රුසියාවේ සාක්ෂිකරුවන් ආගමික නිදහස වෙනුවෙන් කරලා තියෙන දේවල් පැහැදිලි කරන්න.

7 රුසියාව. සාක්ෂිකරුවන් කොමියුනිස්ට් පාලනය යටතේ අවුරුදු ගාණක්ම පීඩා වින්දා. හැබැයි 1991දී නීත්‍යනුකූලව ලියාපදිංචි වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබුණා. සෝවියට් සංගමය බිඳ වැටුණාට පස්සේ බලයට ආපු අලුත් රජය 1992දී සාක්ෂිකරුවන්ව රුසියාවේ නීත්‍යනුකූල ආගමක් විදිහට පිළිගත්තා. හැබැයි සාක්ෂිකරුවන්ගේ වර්ධනය ගැන කේන්තියෙන් හිටිය අය රුසියාවේ ඕතඩොක්ස් සභාවත් එක්ක එකතු වෙලා සාක්ෂිකරුවන්ට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගත්තා. ඔවුන් 1995ත් 1998ත් අතර කාලයේදී සාක්ෂිකරුවන් අපරාධකරුවන් කියලා පස් වතාවක්ම පැමිණිලි කරලා තියෙනවා. හැබැයි ඒ එක වතාවකදීවත් ඒක ඔප්පු කරන්න බැරි වුණා. ඊටපස්සේ ඔවුන් සාක්ෂිකරුවන්ට විරුද්ධව 1998දී සිවිල් නඩුවක් ගොනු කළා. ඒකෙන් සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් ලැබුණත් ඒ තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් වුණු නිසා 2001 මැයි මාසයේදී ඒක අහෝසි වුණා. ඔක්තෝබර් මාසයේ ඉඳන් ආයෙත් ඒ නඩුව විභාග කරන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් විදිහට සාක්ෂිකරුවන්ට ලැබිලා තිබුණු නීත්‍යනුකූල පිළිගැනීම 2004දී අහෝසි කළා. ඒ අයගේ වැඩත් තහනම් කළා.

8 ඒත් එක්කම සාක්ෂිකරුවන්ට තවත් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. (2 තිමෝති 3:12 කියවන්න.) ඔවුන්ගේ පොත් පත් රාජසන්තක කළා. නමස්කාර කටයුතුවලට ගෙයක් හෝ ගොඩනැඟිල්ලක් කුලියට ගන්නවත් අලුතින් ඉදි කරන්නවත් අවසර ලැබුණේ නැහැ. ඒ ගැන අපේ සහෝදරයන්ට කොහොම හැඟෙන්න ඇද්ද! 2001දී ඔවුන් ඒ ගැන මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ වගේම 2004දී අමතර තොරතුරුත් අධිකරණයට ලබා දුන්නා. සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තියෙන්නේ ආගමික විශ්වාසයන් නිසා ඔවුන්ව පහත් කරලා තියෙන නිසයි කියලා අධිකරණය ප්‍රකාශ කළා. සාක්ෂිකරුවන් වැරදිකරුවන් කියලා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් තිබුණේ නැති නිසා පහළ අධිකරණවලින් ඒ අයට දීලා තිබුණු තීන්දු අනුමත කරන්න බැහැ කියලත් අධිකරණය ප්‍රකාශ කළා. ඒ වගේම සාක්ෂිකරුවන්ගේ ආගමික වැඩකටයුතු කරගෙන යන්න තියෙන නීත්‍යනුකූල අයිතිය නැති කරන්න තමයි ඔවුන්ගේ වැඩ තහනම් කරලා තිබුණේ කියලා අධිකරණයට පැහැදිලි වුණා. ඒ නිසා 2010දී අධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව නිසා සාක්ෂිකරුවන්ගේ ආගමික නිදහස තහවුරු වුණා. හැබැයි ඒ තීන්දුව පිළිගන්න රුසියාවේ සමහර බලධාරීන් කැමති වුණේ නැහැ. ඒත් නීතියෙන් ලැබුණු ඒ වගේ ජයග්‍රහණයන් දෙවිගේ සෙනඟට ලොකු ශක්තියක් වුණා.

ටීටොස් මානූසාකීස් (9 ඡේදය බලන්න)

9-11. නිදහසේ නමස්කාර කටයුතු කරගෙන යන්න තියෙන අයිතිය වෙනුවෙන් ග්‍රීසියේ සාක්ෂිකරුවන් කරලා තියෙන දේවල් පැහැදිලි කරන්න. ඒවාවල ප්‍රතිඵල මොනවාද?

9 ග්‍රීසිය. 1983දී ටීටොස් මානූසාකීස්, සාක්ෂිකරුවන්ට නමස්කාර කටයුතු කරගෙන යන්න ක්‍රීට්වල ඉරාක්ලියන් කියන ප්‍රදේශයෙන් ගෙයක් කුලියට ගත්තා. (හෙබ්‍රෙ. 10:24, 25) ඒකට විරුද්ධව ඕතඩොක්ස් පූජකයෙක් පොලිසියට පැමිණිල්ලක් දැම්මා. ඔහු එහෙම කළේ ඕතඩොක්ස් පල්ලියේ ඉගැන්වීම්වලට වඩා සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් වෙනස් වුණු නිසයි. පැමිණිලි මෙහෙයවන කාර්යාලය සාක්ෂිකරුවන් අපරාධ කරනවා කියන චෝදනාව පිට මානූසාකීස්ටත් තවත් සාක්ෂිකරුවන් තුන්දෙනෙක්ටත් විරුද්ධව නීතිමය පියවර ගත්තා. ඔවුන්ගෙන් දඩ මුදලක් අය කරලා මාස දෙකක හිරදඬුවම් නියම කළා. අධිකරණයෙන් ලැබුණු තීන්දුව දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන් හැටියට දෙවිට නමස්කාර කරන්න තියෙන නිදහසට බාධාවක් වුණු නිසා සාක්ෂිකරුවන් තමන්ට වුණු අසාධාරණය ගැන ග්‍රීසියේ අධිකරණවලදී පැහැදිලිවම සඳහන් කළා. අන්තිමේදී යුරෝපීය අධිකරණයටත් අභියාචනයක් දැම්මා.

10 1996දී යුරෝපීය අධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. “ග්‍රීක නීතියට අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිගත් ආගමක්” කියලත් පහළ අධිකරණවලින් දීලා තියෙන තීන්දු නිසා සාක්ෂිකරුවන්ගේ “ආගමික නිදහසට බාධාවක් වෙලා තියෙනවා” කියලත් අධිකරණය ප්‍රකාශ කළා. ඒ වගේම “ආගමික විශ්වාසයන් හෝ විශ්වාසයන්ට එකඟව කරන දේවල් නීත්‍යනුකූලද නැද්ද කියලා තීරණය කරන එක ග්‍රීසියේ රජය සතු වගකීමක් නෙවෙයි” කියලත් අධිකරණය දැනුම් දුන්නා. අන්තිමේදී සාක්ෂිකරුවන්ට විරුද්ධව නඟලා තිබුණු චෝදනාවෙන් ඒ අයව නිදහස් කරලා ඔවුන්ගේ ආගමික නිදහස ආපහු තහවුරු කළා.

11 ඒ නීතික ජයග්‍රහණයෙන් පස්සේ ග්‍රීසියේ සහෝදරයන්ට මුහුණ දෙන්න වුණු ප්‍රශ්න නතර වුණාද? නැහැ. ඕතඩොක්ස් ආගමේ බිෂොප්වරයෙක් සාක්ෂිකරුවන්ට විරුද්ධව ක්‍රියා කරපු නිසා ආපහු නඩුවක් ගොනු වුණා. අවුරුදු 12කට පස්සේ කාසන්ඩ්‍රිවලදී තමයි ඒ නඩුවේ අවසන් තීන්දුව ලැබුණේ. සාක්ෂිකරුවන්ට පක්ෂව ඒ තීන්දුව දුන්නේ ග්‍රීසියේ ඉහළම පරිපාලන අධිකරණය වන රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන්. ග්‍රීසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආගමික නිදහස හැමෝටම තියෙනවා කියලත් සාක්ෂිකරුවන් පිළිගත් ආගමක් නෙවෙයි කියලා කියන්න කිසිම පදනමක් නැහැ කියලත් ඒ තීන්දුවේ සඳහන් වුණා. ඒ වගේම අධිකරණය මේ දේත් සඳහන් කළා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් රහසිගත ඒවා නෙවෙයි. සාක්ෂිකරුවන් පිළිගත් ආගමක්.” 2012දී සාක්ෂිකරුවන්ට ලැබුණු ඒ තීන්දුවෙන් පස්සේ තමන්ගේම නමස්කාර මධ්‍යස්ථානයක නිදහසේ නමස්කාර කටයුතු කරගෙන යන්න පුළුවන් වුණු එක ගැන කාසන්ඩ්‍රිවල හිටිය සාක්ෂිකරුවන් හුඟක් සතුටු වුණා.

12, 13. ප්‍රංශයේ හිටිය දෙවිගේ සෙනඟට විරුද්ධව “දුෂ්ට අරමුණක් ඇතුව නීති” පනවන්න විරුද්ධවාදීන් උත්සාහ කළේ කොහොමද? ප්‍රතිඵල මොනවාද?

12 ප්‍රංශය. දෙවිගේ සේවකයන්ගේ සේවය නතර කරන්න විරුද්ධවාදීන් “දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවලා” තියෙනවා. (ගීතාවලිය 94:20 කියවන්න.) 1990 ගණන්වල මැදභාගයේදී බදු අධිකාරීන් ප්‍රංශයේ සිටින සාක්ෂිකරුවන්ගේ නීතික සංස්ථාවේ අයවැයවලට අදාළව විගණනයක් කළා. මේ විගණනය කරන්න හේතුව රජයේ අමාත්‍යවරයෙක් කියපු මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “මේ විගණනයෙන් පස්සේ ඔයාලට හැම දෙයක්ම විකුණලා සල්ලි ගෙවන්න වෙයි. නැත්නම් අපරාධ චෝදනාවක් එල්ල වෙයි. . . . මේකෙන් ඔයාලගේ වැඩකටයුතු අඩාල වෙයි. නැත්නම් වැඩකටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.” ඒ විගණනයෙන් සාක්ෂිකරුවන්ට විරුද්ධව චෝදනා කරන්න කිසිම හේතුවක් හම්බ වුණේ නැහැ. හැබැයි බලධාරීන් ලොකු බදු මුදලක් ගෙවන්න කියලා සාක්ෂිකරුවන්ට නියෝග කළා. ඒ බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවන්න වුණා නම් අන්තිමේදී ශාඛා කාර්යාලයත් විකුණන්න වෙනවා. ඒක සාක්ෂිකරුවන්ට එල්ල වුණු ලොකු ප්‍රහාරයක් වුණත් ඔවුන් නිහඬව හිටියේ නැහැ. 2005දී ඔවුන් ඒ අසාධාරණය ගැන යුරෝපීය අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.

13 2011 ජූනි 30වෙනිදා අධිකරණයෙන් තීන්දුවක් දුන්නා. ඔවුන් ප්‍රකාශ කළේ හැමෝටම ආගමික නිදහස තියෙන නිසා යම් ආගමක තියෙන විශ්වාසයන් හෝ ඒ විශ්වාසයන් නිසා ඔවුන් ක්‍රියා කරන ආකාරය නීත්‍යනුකූලද නැද්ද කියලා විනිශ්චය කරන එක කොහොමටවත් සුදුසු නැහැ කියලයි. ඒ වගේම සාක්ෂිකරුවන්ට “පනවපු බද්ධ ගෙවන්න වුණා නම් ඒ අයගේ සංස්ථාවට අයිතිව තිබුණු හැම වත්කමක්ම අහිමි වෙනවා කියලත් ඒ යටතේ සිද්ධ වුණු හැම වැඩ කටයුත්තක්ම නතර වෙනවා” කියලත් අධිකරණය සඳහන් කළා. අන්තිමේදී අධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් දුන්නා. ප්‍රංශ ආණ්ඩුවට සිද්ධ වුණා සාක්ෂිකරුවන්ගෙන් අය කරපු බදු මුදල පොලියකුත් එක්කම ගෙවන්න. සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය අයිති කරගන්න ඒ අයට පුළුවන් වුණේ නැහැ.

නීතියෙන් අසාධාරණකම් විඳින සහෝදර සහෝදරියන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න

14. දෙවිට නමස්කාර කරන්න තියෙන නිදහස රැකගන්න කරන සටනට ඔබටත් හවුල් වෙන්න පුළුවන් කොහොමද?

14 එස්තර් සහ මොර්දෙකයි වගේ සාක්ෂිකරුවනුත් දෙවිට නමස්කාර කරන්න තියෙන නිදහස රැකගන්න ලොකු සටනක් කරනවා. (එස්ත. 4:13-16) ඒකට හවුල් වෙන්න ඔබට පුළුවන් කොහොමද? ආගමික විශ්වාසයන් නිසා නීතියෙන් අසාධාරණකම්වලට මුහුණ දෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යාච්ඤා කරන්න. එතකොට ඔවුන් ශක්තිමත් වෙනවා. (යාකොබ් 5:16 කියවන්න.) අපේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙනවාද? ඔව්. අධිකරණවල අපි දිනලා තියෙන නඩුවලින් ඒක පැහැදිලි වෙනවා.—හෙබ්‍රෙ. 13:18, 19.

ප්‍රතිකාර ක්‍රම තෝරගන්න තියෙන අයිතිය

15. රුධිරය ශරීරගත කරන එක ගැන දෙවිගේ සෙනඟට තියෙන ආකල්පය මොකක්ද?

15 රුධිරය ශරීරගත කරන එක අද හරිම සාමාන්‍ය දෙයක්. ඒත් දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන්ට ඒකෙන් වැළකිලා ඉන්න කියලා දෙවි පැහැදිලිව මඟ පෙන්වලා තියෙනවා කියලා අපි 11වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. (උත්. 9:5, 6; ලෙවී. 17:11; ක්‍රියා 15:28, 29 කියවන්න.) රුධිරය ශරීරගත කරන්නේ නැති වුණාට දෙවිගේ ප්‍රමිති කඩ වෙන්නේ නැති හොඳම ප්‍රතිකාර අපිටත් අපේ පවුල්වල අයටත් ලබාගන්න අපි නිතරම උත්සාහ කරනවා. ආගමික විශ්වාසයන් සහ හෘදය සාක්ෂිය නිසා කැමති ප්‍රතිකාර තෝරගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න ඕනම කෙනෙක්ට අයිතිය තියෙනවා කියලා අධිකරණවලින් පිළි අරන් තියෙනවා. ඒත් සමහර රටවල ඒ අයිතිය පිළි අරන් නැති නිසා සාක්ෂිකරුවන්ට අභියෝගවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි ඒ ගැන උදාහරණ කිහිපයක් බලමු.

16, 17. සහෝදරි ටාකෙඩාට අදහාගන්න බැරි වුණේ මොකක්ද? ඇගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණේ කොහොමද?

16 ජපානය. අවුරුදු 63ක් වයස මිසාඑ ටාකෙඩා ලොකු ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. දෙවිගේ රාජ්‍යයේ පුරවැසියෙක් වන ඇය වෛද්‍යවරුන්ට පැහැදිලිවම කිව්වා රුධිරය ශරීරගත කරන්න කැමති නැහැ කියලා. හැබැයි මාස කිහිපයකට පස්සේ ඇයට දැනගන්න ලැබුණා ශල්‍යකර්මය අතරතුරේදී වෛද්‍යවරුන් ඇයට ලේ දීලා තියෙනවා කියලා. එයාට ඒක අදහාගන්නවත් බැරි වුණා. තමන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කරලා, තමන්ව රවට්ටලා තියෙනවා කියන චෝදනාව පිට 1993 ජූනි මාසයේදී ඇය ඒ රෝහලටත් වෛද්‍යවරුන්ටත් විරුද්ධව නඩුවක් ගොනු කළා. හරිම මෘදු සහෝදරියක් වුණු ඇයට දෙවි ගැන තිබුණේ නොසැලෙන විශ්වාසයක්. ඒ නිසාම දුර්වල ශරීර සෞඛ්‍යයක් මැද වුණත් ඇය පැයකටත් වඩා වැඩි කාලයක් නඩු ශාලාවේ ඉඳන් හරිම නිර්භීතව සාක්ෂි ඉදිරිපත් කළා. ඇය අවසාන වතාවට නඩු විභාගයට පෙනී හිටියේ ඇය මිය යන්න මාසයකට කලිනුයි. ඇයට දෙවි ගැන තිබුණු විශ්වාසය සහ ඇය පෙන්වූ නිර්භීතකම අපිට කදිම ආදර්ශයක්. සහෝදරි ටාකෙඩා ඒ නඩුවේදී තමන්ට ශක්තිය දෙන්න කියලා දෙවිට කන්නලව් කළා. ඒ යාච්ඤාවලට දෙවි සවන් දෙනවා කියන විශ්වාසය ඇයට තිබුණා. දෙවි ඇගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නාද?

17 සහෝදරි ටාකෙඩා මිය ගිහින් අවුරුදු තුනකට පස්සේ ජපානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට පක්ෂව තීන්දුවක් දුන්නා. ඇය තමන්ගේ කැමැත්ත කියලා තියෙද්දීත් ඒක නොසලකාහැරපු එක වැරදියි කියලා අධිකරණය ප්‍රකාශ කළා. 2000 පෙබරවාරි 29වෙනිදා වෛද්‍යමය කාරණාවලදී “තීරණ ගන්න තියෙන නිදහස පෞද්ගලික අයිතියක් විදිහට සලකලා ඒකට ගරු කරන්න ඕනෙ” කියලා තීන්දු වුණා. සහෝදරි ටාකෙඩා බයිබලයේ තියෙන තොරතුරුවලට එකඟව පුහුණු කරලා තිබුණු හෘදය සාක්ෂියට අනුව තීරණ ගන්න තියෙන අයිතිය වෙනුවෙන් සටන් කරපු නිසා අදටත් ජපානයේ ඉන්න සාක්ෂිකරුවන් ප්‍රයෝජන ලබනවා. බලෙන්ම ලේ දෙයිද කියලා බය වෙන්නේ නැතුව ප්‍රතිකාර ලබාගන්න දැන් ඔවුන්ට පුළුවන්.

පාබ්ලෝ ආල්බාරාසිනි (18-20 ඡේද බලන්න)

18-20. (අ) තමන් ගන්න කැමති ප්‍රතිකාර ගැන සඳහන් කරපු ලියවිල්ලක් මාර්ගයෙන් රුධිරය ප්‍රතික්ෂේප කරන්න අයිතිය තියෙනවා කියලා ආර්ජන්ටිනාවේ අභියාචනාධිකරණය තහවුරු කළේ කොහොමද? (ආ) රුධිරය ශරීරගත කරන්නේ නැතුව ඉන්න එකෙන් අපි ක්‍රිස්තුස්ගේ පාලනයට කීකරු වෙනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

18 ආර්ජන්ටිනාව. සිහිය නැති වුණු අවස්ථාවකදී වුණත් තමන් ගන්න කැමති මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරයන්ද කියලා සහතික කරන්න දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන්ට පුළුවන්ද? ඔව්. අපි ගන්න කැමති මොන වගේ ප්‍රතිකාර ක්‍රමද කියලා සඳහන් වෙන නීතිමය ලියවිල්ලක් නිතරම ළඟ තියාගන්න පුළුවන්. එහෙම කරපු පාබ්ලෝ ආල්බාරාසිනිගේ අද්දැකීම බලන්න. 2012 මැයි මාසයේදී ඔහුව මංකොල්ල කාලා ඔහුට වෙඩි තියලා තිබුණා. ඒ නිසා ඔහුව රෝහලකට ගෙනියලා තියෙනවා. ඒ වෙලාවේදී ඔහුට සිහිය තිබිලා නැහැ. ඒත් අවුරුදු හතරකට කලින් තමන් ගන්න කැමති ප්‍රතිකාර ගැන සඳහන් කරපු ලියවිල්ලක් එයා ළඟ තිබුණා. එයාගේ ජීවිතේ බේරගන්න නම් රුධිරය ශරීරගත කරන්න වෙයි කියලා වෛද්‍ය මණ්ඩලයට හිතුණත් ඒ අය පාබ්ලෝගේ කැමැත්තට අනුව ක්‍රියා කළා. හැබැයි පාබ්ලෝගේ තාත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙවෙයි නිසා අධිකරණයෙන් නියෝගයක් අරන් පුතා අරන් තියෙන තීරණය වැරදියි කියලා ඔප්පු කරන්න උත්සාහ කළා.

19 ඒ නිසා පාබ්ලෝගේ බිරිඳ නීතිඥයෙක් මාර්ගයෙන් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. පැය කිහිපයක් ඇතුළතදී අභියාචනාධිකරණය පහළ අධිකරණයෙන් දීපු තීන්දුව වෙනස් කරමින් ප්‍රකාශ කළේ කැමති ප්‍රතිකාරයක් ලබාගන්න රෝගියෙකුට තියෙන අයිතියට ගරු කරන්න ඕනෙ කියලයි. ඒ නිසා පාබ්ලෝගේ තාත්තා ඒ ගැන ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. හැබැයි “පාබ්ලෝ තමන් ගන්න කැමති ප්‍රතිකාර ගැන තීරණය කරලා තියෙන්නේ [රුධිරය ශරීරගත කරන්න තමන් කැමති නැහැ කියලා ලියවිල්ලක සඳහන් කළේ] හිතන්නේ බලන්නේ නැතුව කියලවත් වෙන අයගේ බලපෑම නිසා කියලවත් කියන්න කිසිම පදනමක් නැහැ” කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි වුණු නිසා මේ දේ ප්‍රකාශ කළා. “තමන් ගන්න කැමති ප්‍රතිකාර සහ ප්‍රතික්ෂේප කරන ප්‍රතිකාර මොනවාද කියලා කලින්ම දැනුම් දෙන්න හැම වැඩිහිටියෙක්ටම අයිතිය තියෙනවා. . . . අදාළ වෛද්‍යවරයා ඒ දේවල් පිළිගන්න ඕනේ.”

ඔබ ගන්න කැමති ප්‍රතිකාර ක්‍රම ගැන සඳහන් වෙන නීතිමය ලියවිල්ලක් ඔබට තියෙනවාද?

20 සහෝදර ආල්බාරාසිනිට සම්පූර්ණයෙන් සුවය ලැබුණා. තමන් ගන්න කැමති වෛද්‍ය ප්‍රතිකාර ගැන සඳහන් කරපු නීතිමය ලියවිල්ලක් කලින්ම සකස් කරලා තිබුණු එක ගැන ඔහුත් ඔහුගේ බිරිඳත් හුඟක් සතුටු වුණා. පුංචි වුණත් ඒ වැදගත් තීරණය අරන් තිබුණු එකෙන් ඔහු පෙන්නුවේ ක්‍රිස්තුස්ගේ පාලනයට ඔහු කැමැත්තෙන්ම යටත් වෙනවා කියලයි. ඔබත් ඔබේ පවුලේ අයත් ඒ වගේ ක්‍රියාමාර්ග අරන් තියෙනවාද?

ඒප්‍රිල් කැඩෝරේ (21-24 ඡේද බලන්න)

21-24. (අ) දරුවන්ට තියෙන අයිතිය සහ රුධිරය ශරීරගත කරන එක ගැන කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු වැදගත් තීන්දුව මොකක්ද? (ආ) ඒ නඩුව අපේ යෞවන දරුවන්ට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

21 කැනඩාව. දරුවන්ට දෙන්න පුළුවන් සුදුසුම ප්‍රතිකාර මොනවාද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ දෙමාපියන්ට කියලා අධිකරණවලින් පිළිගන්නවා. ඒ වගේම සමහර අවස්ථාවලදී යමක් කමක් තේරෙන වයසේ ඉන්න දරුවන්ටත් තමන් ගන්න කැමති ප්‍රතිකාර ගැන තීරණය කරන්න අයිතිය තියෙනවා කියලා අධිකරණවලින් ප්‍රකාශ කරලා තියෙනවා. උදාහරණයකට ඒප්‍රිල් කැඩෝරේගේ අද්දැකීම බලන්න. අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා අවුරුදු 14දී ඇයව රෝහලක නතර කළා. මාස කිහිපයකට කලින් ඇය පූර්ව වෛද්‍ය නියෝගය කියන කාඩ් එකේ සඳහන් කරලා තිබුණා හදිසි අවස්ථාවකදී වුණත් ලේ ගන්න කැමති නැහැ කියලා. ඒත් අදාළ වෛද්‍යවරයා අධිකරණයෙන් නියෝගයක් අරන් බලෙන්ම ඇයට රුධිර ඒකක තුනක්ම ශරීරගත කළා. ඒප්‍රිල්ට ඒ ගැන හැඟුණේ හරියට තමාව දූෂණය කළා වගෙයි.

22 ඒ සිද්ධිය ගැන ඒප්‍රිල්ගේ දෙමාපියන් අධිකරණයේ නඩුවක් ගොනු කළා. අවුරුදු දෙකකට පස්සේ ඒ නඩුව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතියක් නිසා තමන්ගේ නිදහස නැති වෙලා තියෙනවා කියලා ඔප්පු කරන්න ඒප්‍රිල්ට බැරි වුණත් නඩුවට වියදම් වුණු මුදල ඇයට ලැබුණා. දැනුම් තේරුම් තියෙන වයසක ඉන්න දරුවන්ට තමන් ගන්න කැමති වෛද්‍ය ප්‍රතිකාර ගැන තීරණය කරන්න පුළුවන් කියලත් අධිකරණය තීන්දු කළා. ඒ ගැන අධිකරණය තවදුරටත් කිව්වේ මෙහෙමයි. “අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට ඒ අය ගන්න කැමති ප්‍රතිකාර ගැන කියන්න අවස්ථාව දෙන්න. එතකොට ඒ තීරණය අරන් තියෙන්නේ ඒ දරුවාමයි කියලත් ඒ තීරණයේ ප්‍රතිඵල ගැන දරුවා හොඳින්ම අවබෝධ කරගෙන ඉන්නවා කියලත් සහතික කරගන්න පුළුවන්.”

23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දරුවන්ට තියෙන අයිතිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරපු නිසා ඒ නඩුව හුඟක් වැදගත්. මොකද ඒ තීන්දුව දෙන්න කලින් කැනඩාවේ අධිකරණයට අයිතිය තිබුණා අවුරුදු 16න් පහළ දරුවන්ට දෙන්න ඕන හොඳම ප්‍රතිකාර මොනවාද කියලා තීරණය කරන්න. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු ඒ තීන්දුවෙන් පස්සේ අවුරුදු 16ට අඩු දරුවෙක්ට තමන් කැමති ප්‍රතිකාරයක් තෝරගන්න පුළුවන් අවබෝධයක් තියෙනවාද කියලා හොයලා බලන්නේ නැතුව දරුවෙකුගේ කැමැත්තට පිටින් කිසිම ප්‍රතිකාරයක් දෙන්න නියෝග කරන්න අධිකරණවලට අවසර ලැබුණේ නැහැ.

“දෙවිගේ නාමය ගෞරවයට පත් කරන්නත් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්නත් පුංචි විදිහකින් හරි මට දායක වෙන්න ලැබුණු එක ගැන මං හුඟක් සතුටු වෙනවා”

24 අවුරුදු තුනක් පුරාම කරන්න වුණු ඒ සටනින් ප්‍රයෝජනයක් ලැබුණා කියලා දැන් ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කරන ඒප්‍රිල් කිව්වා. ඒ වගේම “දෙවිගේ නාමය ගෞරවයට පත් කරන්නත් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්නත් පුංචි විදිහකින් හරි මට දායක වෙන්න ලැබුණු එක ගැන මං හුඟක් සතුටු වෙනවා” කියලත් ඇය කිව්වා. නිර්භීතව ක්‍රියා කරලා තමන් දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන් කියලා ඔප්පු කරන්න අපේ යෞවන දරුවන්ටත් පුළුවන් කියලා ඇගේ අද්දැකීමෙන් පැහැදිලියි.—මතෙ. 21:16.

දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව දරුවන්ව හදාගන්න තියෙන අයිතිය

25, 26. දික්කසාදය නිසා සමහර අවස්ථාවලදී මතු වෙන ප්‍රශ්නය මොකක්ද?

25 දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව දරුවන්ව හදා වඩා ගන්න වගකීම යෙහෝවා දෙවි පවරලා තියෙන්නේ දෙමාපියන්ට. (ද්වි. 6:6-8; එෆී. 6:4) ඒ වගකීම ඉටු කරන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම දික්කසාද වෙලා ඉන්න දෙමාපියන්ට ඒක ලොකු අභියෝගයක්. මොකද දරුවන්ව හදා වඩා ගන්න ඕන විදිහ ගැන සාක්ෂිකරුවන්ට සහ සාක්ෂිකරුවන් නොවන අයට තියෙන්නේ වෙනස් අදහස්. උදාහරණයකට සාක්ෂිකරුවෙක්ට හිතෙන්න පුළුවන් දරුවාව හදා වඩා ගන්න ඕනෙ දෙවි දීලා තියෙන ප්‍රතිපත්තිවලට එකඟවයි කියලා. හැබැයි සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් ඒකට කැමති වෙන එකක් නැහැ. ඒ නිසා සාක්ෂිකාර මව හෝ පියා මතක තියාගන්න ඕනෙ දික්කසාදෙන් දෙන්නා අතර තියෙන බැඳීම නැති වුණත් දෙමාපියන් හැටියට තියෙන වගකීම වෙනස් වෙන්නේ නැහැ කියලා.

26 නීතිය මාර්ගයෙන් දරුවන්ගේ භාරකාරත්වය ගන්න සාක්ෂිකරුවෙක් නොවන මව හෝ පියා උත්සාහ කරන්න පුළුවන්. මොකද දරුවෙක්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට හදා වඩා ගන්න එක දරුවාට හානියක් කියලා සමහර අය වැරදි විදහට හිතනවා. දරුවන්ට උපන් දින උත්සව සහ නිවාඩු දින සමරන්නවත් හදිසි තත්වයකදී “ජීවිතේ බේරගන්න” ලේ ටිකක් ගන්නවත් බැරි වෙනවා කියලා ඒ අයට හිතෙන්න පුළුවන්. හැබැයි සතුටු වෙන්න කාරණයක් තියෙනවා. මොකද හුඟක් අවස්ථාවලදී දරුවන්ට වඩාත් සුදුසු දේ ගැන තීරණය කරද්දී දෙමාපියන්ගේ ආගම මොකක්ද කියන කාරණයට අධිකරණවලින් මූලික අවධානයක් දීලා නැහැ. උදාහරණ කිහිපයක් බලමු.

27, 28. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට දරුවෙක්ව හදා වඩා ගන්න එකෙන් දරුවාට හානියක් වෙනවා කියලා තිබුණු නඩු විභාගය ගැන ඔහයෝවල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මොනවාද?

27 එක්සත් ජනපදය. තමන්ගේ පුතාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට හදා වඩා ගත්තොත් දරුවාට හානියක් වෙන්න පුළුවන් කියලා පියෙක් නඩුවක් ගොනු කළා. ඒක විභාග කරපු පහළ අධිකරණය දරුවාගේ භාරකාරත්වය පියාට ලබා දුන්නා. දරුවාගේ මවට ඒ කියන්නේ ජෙනිෆර් පේටර්ට දරුවාව බලන්න අවසර ලැබිලා තිබුණත් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන දරුවා එක්ක කතා කරන්න එපා” කියලා නියෝග කරලා තිබුණා. ඒ නීතියෙන් සහෝදරි ජෙනිෆර්ව මොන තරම් කොටු කළාද කියනවා නම් දරුවා එක්ක බයිබලය ගැනවත් ඒකේ තියෙන සදාචාර ප්‍රමිති ගැනවත් කතා කරන්න අවසර ලැබුණේ නැහැ. ඒ ගැන ජෙනිෆර් හුඟක් දුක් වුණා. හැබැයි යෙහෝවා දෙවි නියමිත වෙලාවේදී ඒ වෙනුවෙන් පියවර ගන්න කල් ඉවසගෙන ඉන්න තමන් ඉගෙනගත්තා කියලා ඇය කිව්වා. ඒ වගේම “හැම තිස්සෙම යෙහෝවා දෙවි මාත් එක්කම හිටියා” කියලත් ඇය කිව්වා. ඇය වෙනුවෙන් කතා කරපු නීතිඥයා අපේ සංවිධානයේ උදව්ව ඇතුව ඒ කාරණය ගැන ඔහයෝවල ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. 1992දී ශ්‍රේෂ්ඨාධිකරණය ඒක විභාග කළා.

28 පහළ අධිකරණය දීලා තිබුණු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට අධිකරණය මෙහෙම ප්‍රකාශ කළා. “දරුවන්ට උගන්වන්න අයිතිය තියෙන්නේ දෙමාපියන්ටයි. ඒකට ආගමික විශ්වාසයන් සහ සදාචාර ප්‍රතිපත්ති ගැන කියලා දෙන එකත් අයිතියි.” සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් නිසා දරුවෙක්ට මානසිකවත් ශාරීරිකවත් හානියක් වෙනවා කියලා ඔප්පු කරන්න බැරි නම් ඒක පදනම් කරගෙන භාරකාරත්වය ලබන්න මවට හෝ පියාට තියෙන අයිතියට සීමා පනවන්න අධිකරණයට කිසිම අයිතියක් නැහැ කියලත් අධිකරණය ප්‍රකාශ කළා. සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් නිසා දරුවෙක්ට හානියක් වෙනවා කියලා ඔප්පු කරන්න අධිකරණයට කිසිම සාක්ෂියක් ලැබුණේ නැහැ.

දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධ කාරණාවලදී හුඟක් අධිකරණවලින් සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දු ලැබිලා තියෙනවා

29-31. සහෝදරි හන්සන්ට දරුවාගේ භාරකාරත්වය අහිමි වුණේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන දීපු තීන්දුව මොකක්ද?

29 ඩෙන්මාර්කය. අනීට හන්සන් කියන සහෝදරියත් ඒ වගේම තත්වයකට මුහුණ දුන්නා. 2000දී දිසා අධිකරණය අවුරුදු හතක් වයස අමාන්ඩාගේ භාරකාරත්වය සහෝදරි හන්සන්ට දීලා තිබුණා. ඒත් අමාන්ඩාගේ පියා ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරපු නිසා දරුවාගේ භාරකාරත්වය ඔහුට ලැබුණා. ඒ ගැන ඉහළ අධිකරණය ප්‍රකාශ කළේ ආගමික විශ්වාසයන් ගැන දෙමාපියන්ට තිබුණේ පරස්පර විරෝධී අදහස් නිසා දරුවාව හදා වඩා ගන්න ඕන අයිතිය තියෙන්න ඕන කාටද කියලා තීරණය කරන්න ඕනෙ පියා කියලයි. සහෝදරි හන්සන්ට අමාන්ඩාගේ භාරකාරත්වය අහිමි වෙලා තිබුණේ ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණු නිසයි.

30 මුහුණ දෙන්න සිද්ධ වුණු ඒ දේ ගැන සහෝදරි හන්සන්ට ලොකු වේදනාවක් දැනුණු නිසා සමහර අවස්ථාවලදී දෙවිට කියන්න ඕනෙ මොනවාද කියලවත් ඇයට හිතාගන්න බැරි වුණා. ඒ වුණත් ඇය කියපු දේ බලන්න. “රෝම 8:26, 27 කියන දේ මට ලොකු සහනයක් වුණා. මම කියන්න හදන්නේ මොනවාද කියලා යෙහෝවා දෙවිට තේරෙනවා කියලා මට දැනුණා. යෙහෝවා දෙවි මං ගැන හුඟක් සැලකිලිමත් වුණා. හැම තිස්සෙම මාත් එක්කම හිටියා.”—ගීතාවලිය 32:8; යෙසායා 41:10 කියවන්න.

31 සහෝදරි හන්සන් ඩෙන්මාර්කයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ ගැන විභාග කරද්දී “දරුවෙක්ගේ භාරකාරත්වය තීරණය කරන්න ඕනෙ දරුවාගේ යහපත ගැන හිතලයි” කියලා අධිකරණය ප්‍රකාශ කළා. ඒ වගේම දරුවෙක්ගේ භාරකාරත්වය තීරණය කරන්න ඕනෙ යම් ප්‍රශ්න ගැටලු ඇති වෙද්දී ඒවා හොඳින් හසුරුවන්න පුළුවන් කාටද කියන එක අනුව මිසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ “ඉගැන්වීම් සහ විශ්වාසයන්” අනුව නෙවෙයි කියලා අධිකරණය තීන්දු කළා. අන්තිමේදී අමාන්ඩාගේ භාරකාරත්වය හිමි වෙන්න ඕනෙ සහෝදරි හන්සන්ට කියලා අධිකරණය තීරණය කළා.

32. ආගම නිසා සාක්ෂිකාර දෙමාපියන්ට සිද්ධ වුණු අසාධාරණයන් වෙනුවෙන් යුරෝපීය අධිකරණය සාධාරණයක් ඉටු කරලා තියෙන්නේ කොහොමද?

32 යුරෝපයේ විවිධ රටවල්. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් මතු වුණු සමහර නඩු යුරෝපීය අධිකරණයටත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් නඩු දෙකකදීම ආගමික විශ්වාසයන් පදනම් කරගෙන සමහර අධිකරණවලින් සාක්ෂිකාර දෙමාපියන්ට දීලා තිබුණු තීන්දු අසාධාරණයි කියලා යුරෝපීය අධිකරණයට පැහැදිලි වුණා. ඒ තීන්දු අසාධාරණයි කියලා ප්‍රකාශ කරපු අධිකරණය “ආගමික වෙනස විතරක් සැලකිල්ලට අරන් දෙන තීරණ වලංගු නැහැ” කියලා නීතියක් පැනෙව්වා. අධිකරණයෙන් දීපු ඒ වගේ තීන්දු නිසා ප්‍රයෝජන ලබපු මවක් කියපු දේ බලන්න. “මං දන්න තරමින් දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි එයාලව ක්‍රිස්තියානීන් විදිහට හදා වඩා ගන්න එක. ඒත් එහෙම කරද්දී මං දරුවන්ට හානියක් කරනවා කියලා චෝදනා නඟනකොට හිතට ලොකු වේදනාවක් දැනෙනවා.”

33. ෆිලිප්පි 4:5 කියන දේ සාක්ෂිකාර දෙමාපියන් අදාළ කරගන්න ඕනෙ කොහොමද?

33 නීතියෙන් පනවලා තියෙන සීමාවන් නිසා දරුවන්ට බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන්න අවස්ථාව නැති දෙමාපියන් නිතරම සාධාරණ විදිහට හිතන්න උත්සාහ කරන්න ඕනේ. (ෆිලිප්පි 4:5 කියවන්න.) මොකද දරුවාට මඟ පෙන්වීම් දීලා දරුවාව හදා වඩා ගන්න දික්කසාද වුණු සත්‍යයේ නැති කෙනාටත් අයිතිය තියෙනවා. කොහොමවුණත් දරුවන්ව පුහුණු කරන්න තියෙන වගකීම ගැන සත්‍යයේ ඉන්න මව නැත්නම් පියා සලකන්න ඕනෙ කොහොමද?

34. නෙහෙමියාගේ කාලයේ හිටපු යුදෙව්වන්ගෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

34 නෙහෙමියාගේ කාලයේදී සිද්ධ වුණු දේ ඒකට හොඳ උදාහරණයක්. යුදෙව්වන් යෙරුසලමේ තාප්ප අලුත්වැඩියා කරන්න සහ අලුතින් ඉදි කරන්න හුඟක් මහන්සි වෙලා වැඩ කළා. ඔවුන් එහෙම කළේ ඒකෙන් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් අවට හිටපු සතුරු ජාතීන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටිය නිසයි. “ඔබේ සහෝදරයන් වෙනුවෙනුත් ඔබේ දූපුතුන් හා භාර්යාවන් වෙනුවෙනුත් ඔබේ නිවෙස් වෙනුවෙනුත් සටන් කරන්න” කියලා නෙහෙමියා සෙනඟව උනන්දු කළෙත් ඒ නිසයි. (නෙහෙ. 4:14) යුදෙව්වන් සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න කරපු හැම දෙයක්ම හුඟක් වැදගත් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඉන්න දෙමාපියනුත් ඔවුන්ගේ දරුවන්ව සත්‍ය මාර්ගයේ ගෙනියන්න ලොකු වෑයමක් දරනවා. වැරදි දේවල් කරන්න පාසැලේදීත් අසල්වැසියන්ගෙනුත් දරුවන්ට ලොකු පීඩනයක් එල්ල වෙනවා කියලා ඔවුන් දන්නවා. සමහර අවස්ථාවලදී නිවසේදී වුණත් ජනමාධ්‍යයන් හරහා නරක දේවල් කරන්න දරුවන්ට බලපෑමක් එන්න පුළුවන්. ඒ නිසා ඔබේ දූපුතුන්ටත් දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහට ඔවුන්ව හැම පැත්තකින්ම ආරක්ෂා කරගන්න ඔබ ගන්නා උත්සාහය හුඟක් වටිනවා කියලා අමතක කරන්න එපා.

සැබෑ නමස්කාරයට යෙහෝවා දෙවිගේ අනුමැතිය තියෙනවා

35, 36. නීතිමය අයිතීන් වෙනුවෙන් සටන් කරපු නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද? ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

35 නිදහසේ නමස්කාර කටයුතු කරගෙන යන්න තියෙන අයිතිය ආරක්ෂා කරගන්න සංවිධානය කරලා තියෙන සටනට යෙහෝවා දෙවි ආශීර්වාද කරලා තියෙනවා කියලා පැහැදිලියි. ඒ නිදහස රැකගන්න සටන් කරන එකෙන් දෙවිගේ සෙනඟ අධිකරණවලදීත් මහජනයාටත් හොඳ සාක්ෂියක් දරලා තියෙනවා. (රෝම 1:8) සාක්ෂිකරුවන්ට ලැබිලා තියෙන නීතිමය ජයග්‍රහණ නිසා ලැබිලා තියෙන එක ප්‍රයෝජනයක් තමයි සාක්ෂිකරුවන් නොවන අයගෙත් අයිතීන් තහවුරු වෙලා තියෙන එක. කොහොමවුණත් දෙවිගේ සෙනඟ විදිහට අපිට ඕන කරන්නේ සමාජය වෙනස් කරන්නවත් අපිටම කියලා හොඳ නමක් හදාගන්නවත් නෙවෙයි. යෙහෝවා දෙවිගේ සෙනඟ නීතිමය අයිතීන් වෙනුවෙන් අධිකරණවලට යන්නේ සැබෑ නමස්කාරය නීත්‍යනුකූලව තහවුරු කරන්නත් සැබෑ නමස්කාරයේ වර්ධනයත් වෙනුවෙනුයි.—ෆිලිප්පි 1:7 කියවන්න.

36 යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අපිට තියෙන නිදහස වෙනුවෙන් සටන් කරලා තියෙන අයගෙන් අපිටත් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. අපේ සේවයට යෙහෝවා දෙවි උදව් කරනවා කියලත් ඔහුගේ කැමැත්ත ඉටු කරන්න ඔහු අපිට ශක්තිය දෙනවා කියලත් මතක තියාගෙන අපි දිගටම විශ්වාසවන්තව ඉමු.—යෙසා. 54:17.