Skip to content

පටුනට යන්න

16වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න එකට රැස් වෙයි

නමස්කාර කරන්න එකට රැස් වෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

රැස්වීම් පවත්වන්න පටන්ගත්ත විදිහ සහ රැස්වීම්වල වැදගත්කම

1. යේසුස්ගේ ගෝලයන් එකට එකතු වුණු වෙලාවේදී ඒ අයට ලැබුණු උපකාරය මොකක්ද? ඔවුන්ට ඒක අවශ්‍ය වුණේ ඇයි?

 යේසුස් නැවත නැඟිටලා ටික දවසකට පස්සේ ඔහුගේ ගෝලයන් එකට රැස් වුණා. ඔවුන් එහෙම කළේ එකිනෙකාව දිරිගන්වන්න ඕන වුණ නිසයි. හැබැයි සතුරන්ට බයේ හිටිය නිසා ඔවුන් ශාලාවේ දොර වහගෙනයි හිටියේ. හැබැයි යේසුස් ඒ අය අතරට ඇවිත් “ඔබට දෙවිගේ බලය ලැබෙයි” කියලා කිව්වාම ඒ අය අනිවාර්යයෙන්ම දිරිගැන්වෙන්න ඇති. (යොහන් 20:19-22 කියවන්න.) ආපහු අවස්ථාවක ඒ අය එකට රැස් වුණා. ඒ වතාවේදී ඔවුන්ට යෙහෝවා දෙවිගේ බලය ලැබුණා. නිර්භීතව දේශනා සේවයේ හවුල් වෙන්න ඒකෙන් ඒ අයට කොයි තරම් ශක්තියක් ලැබෙන්න ඇද්ද!—ක්‍රියා 2:1-7.

2. (අ) යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන්නේ කොහොමද? අපිට ඒක ඕන කරන්නේ ඇයි? (ආ) පවුලේ නමස්කාරය හුඟක් වැදගත් වෙන්නේ ඇයි? (පාදසටහන සහ “ පවුලේ නමස්කාරය”යන කොටුව බලන්න.)

2 පළවෙනි සියවසේ හිටිය අපේ සහෝදරයන් මුහුණ දුන්නා වගේ අභියෝගවලට අද අපිත් මුහුණ දෙනවා. (1 පේතෘ. 5:9) සමහර අවස්ථාවලදී අපිට මිනිසුන් ගැන බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා දිගටම දේශනා සේවය කරගෙන යන්න නම් අපිට අනිවාර්යයෙන්ම දෙවිගේ බලයෙන් ලැබෙන ශක්තිය ඕනේ. (එෆී. 6:10) අපි රැස්වීම්වලට සහභාගි වෙනවා නම් අපිට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. දැන් අපිට රැස්වීම් දෙකක් තියෙනවා. එකක් තමයි පොදු රැස්වීම සහ ‘මුරටැඹ’ පාඩම. අනිත් එක සතිය මැද පවත්වන ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය කියලා හඳුන්වන රැස්වීම. a ඒ විතරක් නෙවෙයි වාර්ෂිකව පවත්වන තවත් විශේෂ රැස්වීම් හතරකුත් තියෙනවා. ඒ තමයි තුන්දින සමුළුව, එක්දින චාරිකා සමුළු දෙක සහ යේසුස්ගේ මරණය සිහි කිරීම. ඒ හැම රැස්වීමකටම හවුල් වෙන එක හුඟක් වැදගත් වෙන්නේ ඇයි? අපේ රැස්වීම් මුලින්ම පටන් අරන් තියෙන්නේ කොහොමද? රැස්වීම්වලට සහභාගි වෙද්දී ඒකෙන් අපි ගැන හෙළි වෙන්නේ මොනවාද?

එකට රැස් වෙන්න ඕනෙ ඇයි?

3, 4. හුඟක් කාලෙකට කලින් ඉඳලම යෙහෝවා දෙවි තම සෙනඟට කියලා තිබුණේ මොනවා කරන්න කියලද? උදාහරණ දෙන්න.

3 නමස්කාර කරන්න එකට රැස් වෙන්න කියලා යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට කියලා තිබුණේ හුඟ කාලෙකට කලින්. උදාහරණයකට ක්‍රි.පූ. 1513දී දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දීපු නීතියේ සඳහන් වුණා හැමෝම සතිපතා සබත් දවස පවත්වන්න ඕනෙ කියලා. හැම පවුලකටම යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් නීතියේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නත් ඒකෙන් අවස්ථාව ලැබුණා. (ද්වි. 5:12; 6:4-9) ඒ නීතියට කීකරු වෙද්දී පවුල්වල හිටිය සාමාජිකයන්ට විතරක් නෙවෙයි මුළු ජාතියටම දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න පුළුවන් වුණා. හැබැයි නමස්කාර කරන්න එකට රැස් වෙන්න කියලා දෙවි දීපු නීතිය නොසලකාහැරියාම මුළු ජාතියටම දෙවිගේ අනුමැතිය නැති වුණා.—ලෙවී. 10:11; 26:31-35; 2 ලේක. 36:20, 21.

4 යේසුස් ගැනත් ටිකකට හිතන්න. හැම සතියකම සබත් දවසේදී ඔහු සිනගෝගයට ගියා. (ලූක් 4:16) යේසුස්ගේ ගෝලයන් සබත් නීතිය යටතේ හිටියේ නැති වුණත් එකට රැස් වෙන එක ඔවුන් කවදාවත් නතර කළේ නැහැ. (ක්‍රියා 1:6, 12-14; 2:1-4; රෝම 14:5; කොලො. 2:13, 14) පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් ඒ විදිහට එකට රැස් වුණාම ඒ අයට මඟ පෙන්වීම් සහ දිරිගැන්වීම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි යාච්ඤා කරද්දී, අදහස් දක්වද්දී සහ ගීතිකා ගායනා කරද්දී දෙවිව ප්‍රශංසාවට පත් කරන්නත් පුළුවන් වුණා.—කොලො. 3:16; හෙබ්‍රෙ. 13:15.

එකිනෙකාව ශක්තිමත් කරන්නත් දිරිගන්වන්නත් යේසුස්ගේ ගෝලයන් එකට රැස් වුණා

5. සතිපතා පවත්වන රැස්වීම්වලටත් සමුළුවලටත් අපි සහභාගි වෙන්න ඕනෙ ඇයි? (“ දෙවිගේ සෙනඟව එක්සත් කරන වාර්ෂික සමුළු” යන කොටුවත් බලන්න.)

5 රැස්වීම්වලට සහ සමුළුවලට සහභාගි වෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි දෙවිගේ රාජ්‍යයට පක්ෂයි කියලා පෙන්වන්නත් දෙවිගේ බලයේ උපකාරය ලබාගන්නත් දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ප්‍රසිද්ධියේම කියලා එකිනෙකාව දිරිගන්වන්නත් පුළුවන් වෙනවා. හැබැයි වැදගත්ම දේ වෙන්නේ යාච්ඤා කරන එකෙන්, අදහස් දක්වන එකෙන් සහ ගීතිකා ගායනා කරන එකෙන් දෙවිට නමස්කාර කරන්න අපිට පුළුවන් වෙන එකයි. අද අපේ රැස්වීම් සංවිධානය වෙලා තියෙන විදිහ ඊශ්‍රායෙල් සෙනඟ සහ පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් රැස්වීම් පවත්වපු විදිහට වඩා වෙනස් වුණත් රැස්වීම්වල තියෙන වැදගත්කම නම් අඩු වෙලා නැහැ. දැන් අපි බලමු අපේ රැස්වීම් මුලින්ම පටන් අරන් තියෙන්නේ කොහොමද කියලා.

“ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්

6, 7. (අ) අපේ රැස්වීම්වල අරමුණ මොකක්ද? (ආ) රැස්වීම් පවත්වපු විදිහ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණේ කොහොමද?

6 සහෝදර චාල්ස් ටේස් රසල් බයිබලයේ සඳහන් සත්‍යය ගැන හොයන්න පටන්ගත්ත කාලෙදීම තේරුම්ගත්තා සත්‍යය හොයන්න කැමති අනිත් අයත් එක්ක එකට රැස් වෙන එක හුඟක් වැදගත් කියලා. 1879 ‘මුරටැඹ’ සඟරාවේ ඔහු සඳහන් කරපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මම පිට්ස්බර්ග්වල හිටිය තව කිහිපදෙනෙකුත් එක්ක එකතු වෙලා බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න හැම ඉරිදාවකම බයිබල් පංතියක් පැවැත්වුවා.” ඒ වගේම එකට රැස් වෙන්න කියලා ‘මුරටැඹ’ පාඨකයන්වත් දිරිගැන්නුවා. 1881 ඉඳන් පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්වල හැම සතියෙම ඉරිදා සහ බදාදා රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. ඒ රැස්වීම්වල අරමුණ “ක්‍රිස්තියානීන් අතර තියෙන ආදරය සහ අදහස් හුවමාරුව” වැඩි කරලා එකිනෙකාව දිරිගන්වන්න අවස්ථාව දෙන එක කියලා 1895 ‘මුරටැඹ’ සඟරාවක පැහැදිලි කළා.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

7 ඒ කාලේ එක එක ප්‍රදේශවල අපේ රැස්වීම් සංවිධානය කරලා තිබුණේ එකම විදහට නෙවෙයි. උදාහරණයකට 1911 එක්සත් ජනපදයේ එක කණ්ඩායමක් එවපු ලියුමක සඳහන් වුණා “අපි අඩුම තරමින් සතියකට රැස්වීම් පහක්වත් පවත්වනවා” කියලා. ඒ අය රැස්වීම් පවත්වලා තිබුණේ සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා කියන දවස්වල. ඉරිදා දවසේ රැස්වීම් දෙකක්ම පවත්වලා තියෙනවා. 1914දී අප්‍රිකාවේ කණ්ඩායමක් එවලා තිබුණු ලියුමක සඳහන් වුණේ මෙහෙමයි. “සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් තුනේම අපි රැස්වීම් පැවැත්තුවා. හැබැයි අපි ඒක කළේ මාසෙකට දෙපාරක් විතරයි.” ඒත් කාලයත් එක්කම අපේ සහෝදරයන් දැන් අපි රැස්වීම් පවත්වන විදිහටම රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. අපි පවත්වන රැස්වීම්වල ඉතිහාසය ගැන තොරතුරු ටිකක් දැන් බලමු.

8. මුලදී බයිබල් දේශන පවත්වලා තියෙන්නේ මොන වගේ තේමාවන් යටතේද?

8 පොදු රැස්වීම. මුල්ම ‘මුරටැඹ’ සඟරාව පළ වෙලා අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1880දී සහෝදර රසල් පළවෙනි සියවසේදී යේසුස් කළා වගේ ශුභාරංචිය දේශනා කරන්න සංචාරයක හවුල් වුණා. (ලූක් 4:43) ඒ සංචාරය ගැන ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. සහෝදර රසල් “මේ සංචාරයේදී පවත්වන පොදු රැස්වීම්වලදී ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ දේවල්’ කියන මාතෘකාවෙන් දේශනයක් දෙන්න කැමැත්තෙන් ඉන්නවා.” ඒ සංචාරයේදී තමයි අද අපි මහජනයා වෙනුවෙන් පවත්වන පොදු රැස්වීම පටන්ගත්තේ. 1911 වෙද්දී හුඟක් රටවල්වල සභාවන් පිහිටෙව්වාට පස්සේ ඒ සභාවල සහෝදරයන්ව දිරිගැන්නුවා ළඟපාත සභාවලට ගිහින් විවිධ විෂයන් හයක් යටතේ දේශන ඉදිරිපත් කරන්න කියලා. විනිශ්චය දවස සහ යේසුස්ගේ ජීවිත පූජාව ඒ අතරට අයිති වුණා. රැස්වීමෙන් පස්සේ ඊළඟ සතියේ දේශනය දෙන සහෝදරයාගේ නමත් දේශනයේ මාතෘකාවත් නිවේදනය කළා.

9. පොදු රැස්වීම කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ඒ රැස්වීම ඔබ අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

9 1945දී ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා ඒ කාලෙට වැදගත් වුණු ප්‍රශ්න ගැන සඳහන් වුණු බයිබල් දේශන අටක් ලෝකෙ පුරාම ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. සමහර සහෝදරයන් අවුරුදු ගාණක් යන කල්ම දාසයා මාර්ගයෙන් ලැබිලා තිබුණු විෂයන්වලට අමතරව ඒ අය කැමති විෂයන් යටතෙත් දේශන දීලා තියෙනවා. හැබැයි 1981 ඉඳන් දේශන ඉදිරිපත් කරද්දී සභාවට ලැබිලා තිබුණු දළ සටහන් විතරක් පාවිච්චි කරන්න කියලා කථිකයන්ට දැනුම් දුන්නා. b සමහර දේශනවලට නිරූපණ හෝ සබයේ අයත් එක්ක කරපු සාකච්ඡා ඇතුළත් වුණා. හැබැයි දේශන ඉදිරිපත් කරන්න ඕනෙ කතාවක් හැටියට විතරයි කියලා 1990දී පැහැදිලි මඟ පෙන්වීමක් ලැබුණා. ඒ වෙද්දී දේශන සකස් කරලා තිබුණේ විනාඩි 45කට වුණත් 2008 ඉඳන් ඒක විනාඩි 30කට සීමා වුණා. ඒ විදිහට දේශන ඉදිරිපත් කරන විදිහ කාලෙන් කාලෙට වෙනස් වුණත් එදා වගේම අදත් හොඳින් සූදානම් වෙලා ඉදිරිපත් කරන දේශනවලින් දෙවිගේ වචනය ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දෙවිගේ රාජ්‍යය ගැන තව තවත් ඉගෙනගන්නත් පුළුවන් වෙනවා. (1 තිමෝ. 4:13, 16) බයිබලය මත පදනම් වෙලා තියෙන ඒ දේශනවලට එන්න කියලා ඔබේ නැවත බැලීම්වලටත් සාක්ෂිකරුවන් නොවන අයටත් ඔබ ආරාධනා කරනවාද?

10-12. (අ) ‘මුරටැඹ’ පාඩමේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවාද? (ආ) ඔබෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවාද?

10 ‘මුරටැඹ’ පාඩම. 1922 ඉඳන් දේශන ඉදිරිපත් කරන්නත් දේශනා සේවයේ මූලිකත්වය අරන් වැඩ කරන්නත් සංචාරක සේවකයන් විදිහට හඳුන්වපු සහෝදරයන්ව “වොච් ටවර් සොසයිටි” එකෙන් විවිධ සභාවලට යැව්වා. ඒ අය යෝජනා කරලා තියෙනවා ‘මුරටැඹ’ පාඩම්වල තොරතුරු සාකච්ඡා කරන්න අලුතින් රැස්වීමක් පටන්ගමුද කියලා. ඒ යෝජනාවට සමිතියෙන් අවසර ලැබුණා. මුලදී ‘මුරටැඹ’ පාඩම කරලා තියෙන්නේ බදාදා නැත්නම් ඉරිදා දවස්වල.

ඝානාවල 1931දී ‘මුරටැඹ’ පාඩමක් පවත්වමින්

11 ඒ රැස්වීම පවත්වන්න ඕන විදිහ ගැන 1932 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ මඟ පෙන්වීම් දීලා තිබුණා. බෙතෙල් පවුලේ ‘මුරටැඹ’ පාඩම කරනවා වගේම සභාවලත් සහෝදරයෙක්ට ඒ පාඩම මෙහෙයවන්න කියලත් සහෝදරයන් තුන්දෙනෙක්ට ඉස්සරහම පේළියේ ඉඳගෙන ‘මුරටැඹ’ ලිපියේ ඡේද මාරුවෙන් මාරුවට කියවන්න කියලත් ඒකේ තිබුණා. ඒ දවස්වල ‘මුරටැඹ’ පාඩම් ලිපිවල ප්‍රශ්න සඳහන් කරලා තිබුණේ නැති නිසා ඡේදයක් කියෙව්වාට පස්සේ ඒකට අදාළ ප්‍රශ්න තියෙනවාද කියලා සබයේ ඉන්න අයගෙන් අහන්න කියලා තිබුණා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න සබයේ ඉන්න අනිත් අයටත් අවස්ථාව දෙන්න කියලත් තවත් තොරතුරු පැහැදිලි කරන්න ඕනෙ වුණොත් විතරක් පාඩම මෙහෙයවන කෙනාට “අදාළ තොරතුරු කෙටියෙන්” පැහැදිලි කරන්න පුළුවන් කියලත් ඒකේ කියලා තිබුණා.

12 ඒ දවස්වල මුරටැඹ පාඩමට සාකච්ඡා කරන්නේ මොන ලිපියද කියලා තීරණය කළේ සභාවේ වැඩිදෙනාගේ කැමැත්ත අනුව. හැබැයි 1933 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා හැම සභාවක්ම සාකච්ඡා කරන්න ඕනෙ අලුතින්ම එන ‘මුරටැඹ’ සඟරාව කියලා. ඒ වගේම හැම සතියකම ඒ පාඩම කරන්න ඕනෙ ඉරිදා දවසේදී කියලත් 1937දී මඟ පෙන්වලා තිබුණා. අපි දැන් කරන විදිහට ඒ පාඩම කරන්න කියලා සඳහන් වෙලා තිබුණේ 1942 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවෙයි. හැම පිටුවකම යටින් පාඩමට අදාළ ප්‍රශ්න සඳහන් කරනවා කියලත් ඒ ප්‍රශ්න සබයෙන් අහන්න ඕනෙ කියලත් ඒ සඟරාවේ සඳහන් වුණා. පාඩම පැයකින් ඉවර කරන්න කියලත් ඡේදයේ තියෙන වාක්‍ය කියවනවා වෙනුවට තමන්ගේම වචනවලින් අදහස් දෙන්න කියලත් ඒකේ සඳහන් වුණා. එදා වගේම අදටත් දාසයා නියම වෙලාවට අපිව පෝෂණය කරන්න පාවිච්චි කරන මූලිකම ක්‍රමය හැටියට ‘මුරටැඹ’ පාඩම හඳුන්වන්න පුළුවන්. (මතෙ. 24:45) දැන් මෙහෙම හිතන්න. “මම හැම සතියෙම ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙනවාද? පුළුවන් හැම අවස්ථාවකදීම මම අදහස් දක්වනවාද?”

13, 14. සභා බයිබල් පාඩමේ ඉතිහාසය ගැන කියන්න පුළුවන් මොනවාද? මේ රැස්වීමට ඔබ කැමති ඇයි?

13 සභා බයිබල් පාඩම. 1890 මැදභාගය වෙද්දී ‘සහස්‍රයේ උදාව’ c කියන පොතේ වෙළුම් කිහිපයක්ම ප්‍රකාශයට පත් වෙලා තිබුණා. ඒ පොත්වල තියෙන තොරතුරු පොඩි කණ්ඩායම් විදිහට එකතු වෙලා සාකච්ඡා කරන්න කියලා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ ජීවත් වුණු සහෝදර එච්. එන්. රාන් යෝජනා කරලා තියෙනවා. ඒක අත්හදා බලන්න ගෙවල් කිහිපයක ඒ විදිහේ රැස්වීමක් පැවැත්වුවා. 1895 සැප්තැම්බර් මාසය වෙද්දී එක්සත් ජනපදයේ නගර කිහිපයකම ඒ රැස්වීම හරිම සාර්ථක විදිහට පැවැත්වුවා. ඒ නිසා හැමෝටම ඒ රැස්වීම පවත්වන්න කියලා ඒ මාසයේ ‘මුරටැඹ’ සඟරාවේ දිරිගන්වලා තිබුණා. ඒ වගේම හොඳට කියවන්න පුළුවන් කෙනෙක් ඒ පාඩම මෙහෙයවන්න ඕනෙ කියලත් දැනුම් දීලා තිබුණා. මුලින්ම ඒ කෙනා ඡේදයේ තියෙන මුල් වාක්‍යය කියවලා සබයේ අයගෙන් ඒකේ තේරුම අහනවා. ඒ විදිහට ඡේදයක හැම වාක්‍යයක්ම කියවලා සාකච්ඡා කළාට පස්සේ ඒ ඡේදයේ තියෙන බයිබල් පදත් කියවනවා. අන්තිමේදී පරිච්ඡේදයක් ඉවර වුණාම ඒ පාඩමෙන් ඉගෙනගත්ත දේ ගැන අදහස් දක්වන්න සබයේ ඉන්න හැම කෙනෙක්වම උනන්දු කරනවා.

14 ඒ රැස්වීම හඳුන්වපු නම අවස්ථා කිහිපයකදීම වෙනස් වෙලා තියෙනවා. පළවෙනි සියවසේ හිටිය බෙරියවරුන් වගේ බයිබලයේ තියෙන තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න ඒ රැස්වීම උදව් වුණු නිසා ඒක බෙරියවරුන්ගේ කණ්ඩායම විදිහට හඳුන්වලා තියෙනවා. (ක්‍රියා 17:11) කාලයක් යද්දී ඒක සභා පොත් පාඩම කියලා හඳුන්වන්න පටන්ගත්තා. දැන් ඒක හඳුන්වන්නේ සභා බයිබල් පාඩම කියලයි. දැන් සභාවක් විදිහට නමස්කාර මධ්‍යස්ථානයේ එකතු වෙලා තමයි ඒ රැස්වීම පවත්වන්නේ. හුඟ කාලයක් තිස්සේ පැවැත්වෙන ඒ රැස්වීමේදී විවිධ පොත්, සඟරා සහ ‘මුරටැඹ’ ලිපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ රැස්වීමේදී අදහස් දක්වන්න කියලා මුල ඉඳලම ඒකට සහභාගි වෙන අයව දිරිගන්වලා තියෙනවා. බයිබලය ගැන අපිට තියෙන දැනුම තවත් වැඩි කරගන්න මේ රැස්වීම අපිට කොයි තරම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවාද! ඔබ අතපසු කරන්නේ නැතුව ඒ රැස්වීමට සූදානම් වෙලා පුළුවන් උපරිමයෙන් අදහස් දක්වනවාද?

15. සේවා පාසැලේ අරමුණ වුණේ මොකක්ද?

15 සේවා පාසැල. බෘක්ලින්වල තිබුණු ලෝක මූලස්ථානයේ සේවය කරපු සී. බාබර් කියපු දේ බලන්න. “1942 පෙබරවාරි 16වෙනිදා බෙතෙල් එකේ හිටිය හැම සහෝදරයෙක්ටම සේවා පාසැලට හවුල් වෙන්න කියලා ආරාධනා කළා.” පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර බාබර් ඒ රැස්වීම ගැන කිව්වේ මෙහෙමයි. “දෙවි ඔහුගේ සෙනඟට මඟ පෙන්වන නිසා සිද්ධ වෙලා තියෙන වැදගත්ම වෙනසක් විදිහට මේ රැස්වීම හඳුන්වන්න පුළුවන්.” ඒකෙන් ලැබුණු පුහුණුව නිසා දක්ෂ විදිහට උගන්වන්නත් දේශනා කරන්නත් අපේ සහෝදරයන්ට පුළුවන් වුණා. ප්‍රතිඵලයක් විදිහට 1943දී ‘සේවා පාසැල් පාඨමාලාව’ d කියන පොඩි පොත ලෝකෙ පුරාම හිටිය සාක්ෂිකරුවන්ටත් ලැබෙන්න සලස්වලා තියෙනවා. සේවා පාසැලේ අරමුණ දෙවිගේ සේවකයන්ව “රාජ්‍යය ගැන දක්ෂ විදිහට සාක්ෂි දරන්න පුහුණු කරන එක” කියලා 1943 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වෙලා තිබුණා.—2 තිමෝ. 2:15.

16, 17. සේවා පාසැලෙන් ඉගැන්නුවේ කථික ගුණාංග වර්ධනය කරගන්න විතරද? පැහැදිලි කරන්න.

16 ලොකු සෙනඟක් ඉස්සරහ කතා කරන්න මුලදී හුඟක් අයට ලෙහෙසි වුණේ නැහැ. 1943දී මුල්ම වතාවට ඒ පාසැලට සහභාගි වුණු සහෝදර ක්ලේටන් වුඩ්වර්ත් කියපු දේ බලන්න. “සෙනඟක් ඉස්සරහ කතා කරන එක මට නම් හරිම අමාරු වැඩක්. ඒ වෙලාවට මගේ තොල කට හොඳටම වේළෙනවා. ඒ නිසා මගේ කටහඬ ඇහුණේ හරිම ගොරහැඬි විදිහට.” හැබැයි පාසැලෙන් ලැබුණු පුහුණුව නිසා ක්ලේටන්ට හුඟක් දේශන ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබුණා. කථික ගුණාංග වර්ධනය කරගන්න විතරක් නෙවෙයි නිහතමානීව ක්‍රියා කරන එකත් හැම කාරණාවකදීම යෙහෝවා දෙවි මත විශ්වාසය තියන එකත් කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න ඒ පාසැල ඔහුට උදව්වක් වෙලා තියෙනවා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “වඩාත් වැදගත් වෙන්නේ කථිකයා කවුද කියන එක නෙවෙයි. හැබැයි දේශනයක් දෙන්න කලින් හොඳින් සූදානම් වෙලා යෙහෝවා දෙවි මත විශ්වාසය තියනවා නම් හැමෝම හුඟක් සතුටින් ඒකට ඇහුම්කන් දෙයි. මොනවා හරි දෙයක් ඉගෙනගන්න ඒ අයට පුළුවන් වෙයි.”

17 සේවා පාසැලේ කොටස්වලට හවුල් වෙන්න කියලා 1959දී සහෝදරියන්ටත් ආරාධනා කළා. ඒ ගැන මුල්ම වතාවට සමුළුවකදී අහන්න ලැබුණු එක ගැන තමන්ට හැඟුණු විදිහ සහෝදරි එඩ්න බවර් මෙහෙම විස්තර කළා. “ඒ නිවේදනය ඇහුණාම එතැන හිටිය සහෝදරියන් හුඟක් සතුටු වුණා. දැන් සහෝදරියන්ටත් සේවා වරප්‍රසාද ලැබිලා තියෙනවා.” වසර ගණනාවක් තිස්සේ සහෝදර සහෝදරියන් සේවා පාසැලට හවුල් වෙලා යෙහෝවා දෙවිගෙන් ඉගෙනගෙන තියෙනවා. අදටත් සතිය මැද පවත්වන රැස්වීමෙන් අවශ්‍ය පුහුණුව අපිට දිගටම ලැබෙනවා.—යෙසායා 54:13 කියවන්න.

18, 19. (අ) අපේ සේවය කරන්න ඕන විදිහ ගැන අද අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ කොහොමද? (ආ) රැස්වීම්වලදී අපි ගීතිකා ගායනා කරන්නේ ඇයි? (“ දෙවි යෙහෝවාට ප්‍රශංසා ගී” යන කොටුව බලන්න.)

18 සේවා රැස්වීම. 1919 ඉඳලම සේවය සංවිධානය කරන්න රැස්වීම් පවත්වලා තියෙනවා. හැබැයි මුලදී ඒකට හවුල් වෙලා තියෙන්නේ පොත් පත් බෙදාහැරපු අය විතරයි. 1923දී මාසයකට වතාවක් සේවා රැස්වීම පවත්වන්න පටන්ගත්තාම සභාවේ හැමෝටම ඒකට සහභාගි වෙන්න කියලා දැනුම් දීලා තියෙනවා. 1928දී සේවා රැස්වීම හැම සතියකම පවත්වන්න කියලා සභාවලට දැනුම් දීලා තිබුණා. ඒ වගේම 1935 ‘මුරටැඹ’ සඟරාවකින් හැමෝටම දිරිගැන්නුවා “ඩිරෙක්ට” පත්‍රිකාවේ (කලින් “ඉන්ෆෝමන්ට්” කියලත් පස්සේ ‘අපගේ රාජ්‍ය සේවාව’ කියලත් හැඳින්නුවා) තියෙන මඟ පෙන්වීම්වලට අනුව ඒ රැස්වීම පවත්වන්න කියලා. වැඩි කාලයක් යන්න කලින් සේවා රැස්වීම සාක්ෂිකරුවන් නොකඩවා පවත්වපු රැස්වීම් අතරට අයිති වුණා.

19 අපේ සේවය කරන්න ඕන විදිහ ගැන අද අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ සතිය මැද පවත්වන රැස්වීමෙනුයි. (මතෙ. 10:5-13) ඒ රැස්වීමට අදාළ වැඩපොත ලැබුණාම ඔබ ඒක හොඳින් අධ්‍යයනය කරනවාද? සේවයේ යද්දී ඒ තොරතුරු අදාළ කරගන්නවාද?

වසරේ වැදගත්ම රැස්වීම

පළවෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තියානීන් අවුරුද්දට සැරයක් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්න එකට එකතු වුණා (20 ඡේදය බලන්න)

20-22. (අ) අපි යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි? (ආ) හැම අවුරුද්දකම ඒ සැමරීමට හවුල් වෙද්දී ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 තමන්ගේ මරණය සිහි කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. අතීතයේදී පාස්කු උත්සවය පැවැත්වුවා වගේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්නෙත් අවුරුද්දට එක සැරයයි. (1 කොරි. 11:23-26) හැම අවුරුද්දකම ඒක සමරන්න මිලියන ගණන් සෙනඟක් සහභාගි වෙනවා. ඒක සමරද්දී දෙවිගේ රාජ්‍යයේ පාලකයන් විදිහට සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන අභිෂේක ලත් අයට මතක් වෙනවා. (රෝම 8:17) ඒ වගේම දෙවිගේ රාජ්‍යයේ රජුට දක්වන පක්ෂපාතකම සහ ගෞරවය තව තවත් වැඩි කරගන්න වෙනත් බැටළුවන්ට අවස්ථාව ලැබෙනවා.—යොහ. 10:16.

21 ස්වාමීන්ගේ මරණය සිහි කරන එක හුඟක් වැදගත් කියලත් ඒක පවත්වන්න ඕන අවුරුද්දට සැරයක් කියලත් සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් තේරුම්ගත්තා. 1880 අප්‍රියෙල් ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු මේ දේ බලන්න. “පිට්ස්බර්ග්වල ඉන්න හුඟදෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ . . . පාස්කු උත්සවය [යේසුස්ගේ මරණය සිහි කිරීම] සමරද්දී ස්වාමීන්ගේ ශරීරයත් රුධිරයත් නියෝජනය කරන සංකේත අරන් තියෙනවා.” වැඩි කාලයක් යන්න කලින් සමුළුවලදී යේසුස්ගේ මරණය සිහි කරන්න පටන්ගත්තා. ඒ විදිහට පවත්වපු සමුළු අතරින් මුලින්ම වාර්තා වෙලා තිබුණේ 1889දී පවත්වපු සමුළුව ගැනයි. 225දෙනෙක් ඇවිත් හිටිය ඒ සමුළුවේදී 22දෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා.

22 දැන් අපි යේසුස්ගේ මරණය සිහි කරන්නේ සමුළුවලදී නෙවෙයි. ඒ වෙනුවට අපේ නමස්කාර මධ්‍යස්ථානවල නැත්නම් වෙනත් ශාලාවක. ඒකට සහභාගි වෙන්න කියලා අපේ සභාවට අයිති ප්‍රදේශයේ ඉන්න හැමෝටම අපි ආරාධනා කරනවා. 2013දී යේසුස්ගේ මරණය සිහි කරන්න මිලියන 19කට වඩා වැඩිදෙනෙක් සහභාගි වෙලා තිබුණා. ඒ වැදගත් සැමරීමට හවුල් වෙන්න වගේම ඒකට සහභාගි වෙන්න කියලා අනිත් අයටත් ආරාධනා කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද! හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරද්දී ඒකට හවුල් වෙන්න කියලා ඔබත් හැකි උපරිමයෙන් මිනිසුන්ට ආරාධනා කරනවාද?

රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි ගැන හෙළි වෙන දේ

23. නමස්කාර කරන්න එකට එකතු වෙන එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

23 එකට රැස් වෙන්න කියලා දීලා තියෙන මඟ පෙන්වීම යෙහෝවා දෙවිගේ සේවකයන් බරක් විදිහට සලකන්නේ නැහැ. (හෙබ්‍රෙ. 10:24, 25; 1 යොහ. 5:3) උදාහරණයකට දාවිත් රජ දෙවිට නමස්කාර කරන්න දෙවිගේ ගෘහයට ගියේ හරිම සතුටින්. (ගීතා. 27:4) දෙවිට ප්‍රේම කරන සෙනඟත් එක්ක එකට ඉන්න ඔහු හුඟක් ආස වුණා. (ගීතා. 35:18) යේසුස් ඒ සම්බන්ධයෙන් අපිට හොඳ ආදර්ශයක් තියලා තියෙනවා. යෞවන කාලයේදී ඉඳලා දෙවිගේ ගෘහයට ගිහින් දෙවිට නමස්කාර කරන්න ඔහුට ලොකු ආසාවක් තිබුණා.—ලූක් 2:41-49.

රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි දෙවිගේ රාජ්‍යය ඇත්තක් විදිහට සලකනවා කියලා ඔප්පු වෙනවා

24. රැස්වීම්වලට සහභාගි වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

24 රැස්වීම්වලට සහභාගි වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි යෙහෝවා දෙවිට හුඟක් ආදරෙයි කියලත් අපේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න අපි කැමතියි කියලත් පෙන්වන්න අපිට ඒකෙන් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් විදිහට ජීවත් වෙන්න ඕන විදිහ ගැන ඉගෙනගන්න අපිට තියෙන ආසාව ගැනත් ඒකෙන් හෙළි වෙනවා. අපේ රැස්වීම්වලිනුත් සමුළුවලිනුත් මූලිකවම අපිව පුහුණු කරන්නේ ඒ දේටම තමයි. ඒ වගේම දිගටම දේශනා සේවයේ හවුල් වෙලා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න අපිට ඕන කරන පුහුණුවත් ශක්තියත් රැස්වීම්වලින් ලැබෙනවා. (මතෙව් 28:19, 20 කියවන්න.) දේශනා සේවය දෙවිගේ රාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ පොළොවේ සිද්ධ වෙන හුඟක් වැදගත් දෙයක්. අපි කැමැත්තෙන්ම රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි දෙවිගේ රාජ්‍යය ඇත්තක් විදිහට සලකනවා කියලත් ඔප්පු වෙනවා. රැස්වීම් ගැන අපිට තියෙන අගය නැති වෙන්න කිසිම දේකට ඉඩ නොදී ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.

a සභාවේ පවත්වන රැස්වීම්වලට අමතරව පවුලේ නමස්කාරයට නැත්නම් පෞද්ගලික අධ්‍යයනයට වෙලාව වෙන් කරගන්න කියලා හැමෝටම දිරිගන්වලා තියෙනවා.

b 2013 වෙද්දී බයිබල් දේශන ඉදිරිපත් කරන්න දළ සටහන් 180කටත් වඩා වැඩියෙන් ලැබිලා තිබුණ

c ඉංග්‍රීසියෙන්.

d ඉංග්‍රීසියෙන්.