Skip to content

පටුනට යන්න

18වෙනි පරිච්ඡේදය

රාජ්‍යයේ වැඩකටයුතුවලට මුදල් ලැබෙයි

රාජ්‍යයේ වැඩකටයුතුවලට මුදල් ලැබෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

යෙහෝවා දෙවිගේ සෙනඟ රාජ්‍යයේ කටයුතු වෙනුවෙන් සම්මාදම් කරන හේතු සහ සම්මාදම් කරන විදිහ

1, 2. (අ) දේවගැතිවරයා අහපු ප්‍රශ්නයට සහෝදර රසල් උත්තර දුන්නේ කොහොමද? (ආ) අපි මේ පරිච්ඡේදයෙන් සලකලා බලන්නේ මොනවා ගැනද?

 බයිබල් ශිෂ්‍යයන්ගේ වැඩකටයුතුවලට සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න කැමති වුණු දේවගැතිවරයෙක් දවසක් සහෝදර චාල්ස් ටී. රසල්ගෙන් ඒ ගැන ඇහුවා.

 එතකොට සහෝදර රසල් කිව්වේ “අපි කවදාවත් ඒ වෙනුවෙන් සල්ලි එකතු කරන්නේ නැහැ” කියලයි.

 “එහෙනම් කොහෙන්ද ඕගොල්ලන්ට සල්ලි ලැබෙන්නේ” කියලා ඒ දේවගැතිවරයා ඇහුවා.

 එතකොට සහෝදර රසල් මෙහෙම කිව්වා. “අපිට සල්ලි ලැබෙන විදිහ ගැන ඇත්තම කිව්වොත් ඔයා ඒක පිළිගන්න එකක් නැහැ. අනිත් අය කරනවා වගේ අපි කවදාවත් රැස්වීම්වලට එන අයගෙන් සල්ලි එකතු කරන්නේ නැහැ. හැබැයි අපේ වැඩ කරගෙන යන්න සල්ලි වියදම් වෙනවා කියලා ඒ අයට තේරෙන නිසා ඒ අය කල්පනා කරනවා ‘මේ වැඩකටයුතුවලට ලොකු ගාණක් වියදම් වෙනවා ඇති. . . . ඒකට දායක වෙන්න මට පුළුවන් කොහොමද’ කියලා.”

 සහෝදර රසල් කියපු දේ විශ්වාස කරන්න බැරුව ඒ දේවගැතිවරයා ඔහු දිහා පුදුමෙන් බැලුවා.

 ඒ නිසා සහෝදර රසල් මෙහෙම කිව්වා. “මං ඔයාට කිව්වේ බොරුවක් නෙවෙයි. මෙහෙට එන අය මගෙන් හුඟක් වෙලාවට අහනවා ‘මේ වැඩවලට සම්මාදමක් දෙන්න පුළුවන් කොහොමද’ කියලා. කෙනෙක්ට යමක්කමක් තියෙනවා නම් එයා කැමැත්තෙන්ම ස්වාමීන්ට පරිත්‍යාගයක් කරයි. සල්ලි නැති අයට එහෙම කරන්න කියලා බල කරන්නේ මොකටද?”

2 සහෝදර රසල් කිව්වේ “බොරුවක් නෙවෙයි.” දෙවිගේ සේවකයන් ඈත අතීතයේ ඉඳලම නමස්කාර වැඩකටයුතුවලට කැමැත්තෙන්ම සම්මාදම් දීලා තියෙනවා. ඒ ගැන උදාහරණ කිහිපයක් අපි මේ පරිච්ඡේදයෙන් සාකච්ඡා කරමු. රාජ්‍යයේ වැඩකටයුතුවලට සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා සලකලා බලන අතරතුරේදී මේ ගැනත් හිතලා බලන්න. ‘රාජ්‍යයේ වැඩකටයුතුවලට සහාය වෙන්න මට පුළුවන් කොහොමද?’

“සතුටු සිතින් යෙහෝවා දෙවිට යමක් . . . ගෙනෙන්න”

3, 4. (අ) තමන්ගේ සෙනඟ ගැන යෙහෝවා දෙවිට තියෙන්නේ මොන විශ්වාසයද? (ආ) ශුද්ධ කූඩාරම හදන්න ඊශ්‍රායෙල් සෙනඟ සහාය වුණේ කොහොමද?

3 නමස්කාර කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන්න අවස්ථාව ලැබුණාම තමන්ගේ සෙනඟ කැමැත්තෙන්ම ඒකට දායක වෙනවා කියන විශ්වාසය යෙහෝවා දෙවිට තියෙනවා. අතීතයේදී ඒක ඔප්පු වුණු අවස්ථා දෙකක් ගැන දැන් බලමු.

4 ඊජිප්තුවරුන් අතින් ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගත්තාට පස්සේ යෙහෝවා දෙවි ඒ අයට කිව්වා නමස්කාරය වෙනුවෙන් ශුද්ධ කූඩාරමක් හදන්න කියලා. ඒක හදන්න හුඟක් දේවල් ඕන වුණ නිසා ඊශ්‍රායෙල් සෙනඟටත් ඒ වැඩේට දායක වෙන්න අවස්ථාව දෙන්න කියලා දෙවි මෝසෙස්ට කිව්වා. ‘සතුටු සිතින් යෙහෝවා දෙවිට සම්මාදමක් දෙන්න’ කියලා මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කිව්වේ ඒ නිසයි. (නික්. 35:5) ඊජිප්තුවරුන්ගේ “කුරිරුකම්” නිසා “අන්ත අසරණ තත්වයකට” මුහුණ දීලා ඇවිත් හිටිය ඊශ්‍රායෙල් සෙනඟ ඒකට කැමති වුණාද? (නික්. 1:14) ඔව්. රන්, රිදී සහ තවත් වටින දේවල් ඔවුන් කැමැත්තෙන්ම පරිත්‍යාග කළා. (නික්. 12:35, 36) ඒ අය කොයි තරම් දේවල් පරිත්‍යාග කළාද කියනවා නම් අන්තිමේදී “තවත් සම්මාදම් ගෙනෙන්න එපා” කියලා මෝසෙස් කිව්වා.—නික්. 36:4-7.

5. දේවමාලිගාව හදන වැඩේට දායක වෙන්න කියලා දාවිත් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වාම ඒ අය කළේ මොනවාද?

5 ඊට අවුරුදු 475කට විතර පස්සේ දාවිත් රජ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න දේවමාලිගාවක් හදන වැඩේට කැමැත්තෙන්ම එයාගේ “පෞද්ගලික වස්තුවෙන්” පරිත්‍යාග කළා. ඒ වගේම ඊශ්‍රායෙල් සෙනඟටත් ඒකට දායක වෙන්න අවස්ථාව දුන්නා. “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න ඔබ අතරින් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ කවුද” කියලා දාවිත් ඔවුන්ගෙන් ඇහුවේ ඒ නිසයි. ඒකට කැමති වුණු සෙනඟ “මුළු හදවතින්ම” “යෙහෝවා දෙවිට පරිත්‍යාග කළා.” (1 ලේක. 29:3-9) දාවිත් ඒ පරිත්‍යාගයන් ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළේ මෙහෙමයි. “මේ හැම දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔබගෙනුයි. ඇත්තෙන්ම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබේම දේවලුයි.”—1 ලේක. 29:14.

6. දෙවිගේ රාජ්‍යය මගින් සිද්ධ වෙන වැඩකටයුතුවලට සල්ලි ඕනෙ ඇයි? අපි උත්තර බලන්න යන්නේ මොන ප්‍රශ්නවලටද?

6 මෝසෙස්වත් දාවිත්වත් දෙවි වෙනුවෙන් යමක් දෙන්න කියලා සෙනඟට බල කළේ නැහැ. ඒ වෙනුවට සෙනඟ ඒ පරිත්‍යාගයන් කළේ කැමැත්තෙන්මයි. මේ කාලේ දෙවිගේ රාජ්‍යය මගින් සිද්ධ වෙන වැඩකටයුතු ගැන කියන්න පුළුවන් මොනවාද? බයිබල් පිටපත් සහ අපේ ප්‍රකාශන ප්‍රකාශයට පත් කරලා ඒවා බෙදාහරින්නත් නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා වගේම ශාඛා කාර්යාල ඉදි කරලා ඒවා නඩත්තු කරන්නත් ස්වාභාවික විපත්වලට මුහුණ දෙන සහෝදරයන්ට සහනාධාර දෙන්නත් ලොකු වියදමක් යනවා. ඒවාට සල්ලි ලැබෙන්නේ කොහොමද? ඒවාට සල්ලි දෙන්න කියලා දෙවිගේ සේවකයන්ට බල කරන්න ඕනෙද? අපි ඒ ප්‍රශ්නවලට උත්තර බලමු.

“අපි කවදාවත් මිනිසුන්ගේ ආධාර මත යැපෙන්නේ නැහැ”

7, 8. යෙහෝවා දෙවිගේ සෙනඟ අනිත් අයගෙන් සල්ලි ඉල්ලන්නේ නැත්තේ ඇයි?

7 සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් අනිත් පල්ලිවල කරනවා වගේ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරන්න පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. 1879දී පළ වුණු ‘මුරටැඹ’ සඟරාවක ඔහු මෙහෙම සඳහන් කරලා තිබුණා. “අපි විශ්වාස කරන විදිහට මේ සඟරාවට අනුග්‍රහය දක්වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා ඒක ප්‍රකාශයට පත් කරන්න අපි කවදාවත් මිනිසුන්ගේ ආධාර මත යැපෙන්නේ නැහැ. ‘රිදී මාගේය. රන්ද මාගේය’ කියා පවසන දෙවි මේ සඳහා අනුග්‍රහය දැක්වීම නතර කරපු දවසට අපි තේරුම්ගන්නවා මේ සඟරාව නතර කරන්න කාලය ඇවිල්ලා කියලා.” (හග්. 2:7-9) සහෝදර රසල් එහෙම කියලා දැන් අවුරුදු 130ක් ගෙවිලා තියෙනවා. ‘මුරටැඹ’ සඟරාව අදටත් ප්‍රකාශයට පත් වෙනවා. ඒ වගේම අපේ සංවිධානයේ වැඩත් දිගටම සිද්ධ වෙනවා.

8 යෙහෝවා දෙවිගේ සෙනඟ කවදාවත් අනිත් අයගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. ඒ අය රැස්වීම්වලට එන අය ළඟට ගිහින් සල්ලි එකතු කරන්නේවත් පොළවල් පවත්වන්නේවත් ටිකට් පොත් විකුණන්නේවත් ලියුම් කවර දෙන්නේවත් නැහැ. 1899 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණු මේ දේට අද ඉන්න දෙවිගේ සෙනඟත් එකඟ වෙනවා. “ස්වාමීන්ගේ නාමයෙන් එක එක ක්‍රම පාවිච්චි කරලා සල්ලි ඉල්ලන එක වැරදියි කියලයි අපි හිතන්නේ. ස්වාමීන් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වගේ දේවලට සල්ලි දෙන අයටවත් ඒ සල්ලිවලින් කරන වැඩවලටවත් ස්වාමීන්ගේ ආශීර්වාදය ලැබෙන්නේ නැහැ.”

“තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය”

9, 10. අපි කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න පෙලඹෙන එක හේතුවක් මොකක්ද?

9 දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් හැටියට සල්ලි දෙන්න කියලා කවුරුත් අපිට බල කරන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට අපි ළඟ තියෙන සල්ලි සහ තවත් දේවල් දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් අපි පරිත්‍යාග කරන්නේ කැමැත්තෙන්මයි. එහෙම කරන්න මූලික හේතු තුනක් තියෙනවා.

10 පළවෙනි හේතුව තමයි අපි යෙහෝවා දෙවිට ආදරේ නිසා ‘ඔහුට ප්‍රසන්න දේ කරන්න’ අපිට තියෙන වුවමනාව. (1 යොහ. 3:22) මුළු හිතින්ම පරිත්‍යාග කරන අය ගැන යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා. පාවුල් ඒ ගැන වැදගත් කාරණයක් කිව්වා. (2 කොරින්ති 9:7 කියවන්න.) සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට පරිත්‍යාග කරන්නේ අකමැත්තෙන්වත් කවුරුත් බල කරන නිසාවත් නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් පරිත්‍යාග කරන්නේ ඒ දේ කරන්න “සිතින් තීරණය” කරගෙන ඉන්න නිසයි. a ඒ කියන්නේ අවශ්‍යතාවක් තියෙනවා කියලා දැක්කාම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන හිතලා ඒ අනුව පරිත්‍යාග කරනවා. එහෙම කරන අයට තමයි දෙවිත් හුඟක් ආදරේ. බයිබලයෙත් පැහැදිලිවම කියලා තියෙනවා “දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන” අයටයි කියලා.

මොසැම්බික්වල සතුටින් සම්මාදම් දාන පුංචි දරුවන් දෙන්නෙක්

11. අපි ළඟ තියෙන වටිනාම දේවල් දෙවිට පරිත්‍යාග කරන්න අපි පෙලඹෙන්නේ ඇයි?

11 අපි කැමැත්තෙන්ම පරිත්‍යාග කරන දෙවෙනි හේතුව තමයි යෙහෝවා දෙවි අපිට දීලා තියෙන දේවලට ස්තුති කරන්න අපිට තියෙන වුවමනාව. ඒ ගැන මෝසෙස් මාර්ගයෙන් දෙවි දීපු නීතියේ වැදගත් ප්‍රතිපත්තියක් සඳහන් වුණා. (ද්විතීය කතාව 16:16, 17 කියවන්න.) අවුරුද්දට තුන් වතාවක් පවත්වපු උත්සවවලට සහභාගි වෙද්දී ඊශ්‍රායෙල් පුරුෂයන්ට කියලා තිබුණා “යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර ඇති ආකාරයට” ඔවුනුත් යමක් පරිත්‍යාග කරන්න ඕනෙ කියලා. ඒ නිසා ඒ වගේ උත්සවවලට යන්න කලින් යෙහෝවා දෙවි තමන්ට කරලා තියෙන ආශීර්වාදයන් ගැන හොඳින් කල්පනා කරලා ඒ වෙනුවෙන් දෙවිට පරිත්‍යාග කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා තීරණය කරන්න සිද්ධ වුණා. ඒ වගේ අපිත් යෙහෝවා දෙවි අද අපිට කරලා තියෙන ආශීර්වාද ගැන හොඳින් කල්පනා කරනවා නම් අපි ළඟ තියෙන වටිනාම දේවල් දෙවිට පරිත්‍යාග කරන්න පෙලඹෙනවා. එහෙම කරද්දී දෙවි අපිට දීලා තියෙන හැම ආශීර්වාදයක්ම අපි අගය කරනවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—2 කොරි. 8:12-15.

12, 13. අපි පරිත්‍යාග කරන එකෙන් රජුට ප්‍රේම කරනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? අපි පරිත්‍යාග කරන්න ඕනෙ කොයි තරම් ප්‍රමාණයක්ද?

12 අපේ රජු වන ක්‍රිස්තුස්ට අපි හුඟක් ආදරෙයි. ඒක තමයි අපි කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න තියෙන තුන්වෙනි හේතුව. යේසුස් පොළොවේ හිටිය අන්තිම දවසේ රාත්‍රියේදී ඔහුගේ ගෝලයන්ට කියපු දේ බලන්න. (යොහන් 14:23 කියවන්න.) ඔහු කිව්වේ “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා” කියලයි. ඔහු ‘පවසපු’ දේවල් අතරට පොළොව පුරා ශුභාරංචිය දේශනා කරන්න කියලා දීපු අණත් ඇතුළත් වෙනවා. (මතෙ. 24:14; 28:19, 20) යේසුස් ‘පවසපු’ ඒ දේ පිළිපදින්න ඕන නිසයි අපි දේශනා සේවය වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය වගේම අපි ළඟ තියෙන වටිනා දේවලුත් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්නේ. අපි එහෙම කරද්දී ඒකෙන් ඔප්පු වෙනවා අපේ රජුට අපි ඇත්තටම ප්‍රේම කරනවා කියලා.

13 දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් විදිහට අපිට ඕන කරන්නේ රාජ්‍යයේ වැඩකටයුතුවලට යන වියදම් වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් සහාය වෙන්නයි. ඒත් අපි කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනෙද? ඒ ගැන අපි තනි තනිවම තීරණය කරන්න ඕනේ. මොකද අපි එක් එක් කෙනාගේ තත්වයන් වෙනස්. අපි අතරේ ඉන්න හුඟක් අය පොහොසත් අය නෙවෙයි. (මතෙ. 19:23, 24; යාකො. 2:5) කොහොමවුණත් අපි මුළු හදවතින්ම දෙන පුංචි දෙයක් වුණත් යෙහෝවා දෙවි සහ යේසුස් අගය කරන එක අපිට මොන තරම් සහනයක්ද!—මාක් 12:41-44.

සල්ලි ලැබෙන්නේ කොහොමද?

14. අවුරුදු ගාණක් යන කල්ම සාක්ෂිකරුවන් ප්‍රකාශන බෙදාහැරලා තියෙන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු ගාණක් යන කල්ම ප්‍රකාශන බෙදාහැරියේ හරිම පුංචි මුදලකට. එහෙම කළේ ප්‍රකාශන කියවන්න කැමති ඕනෙම කෙනෙක්ට ඒවා ගන්න පුළුවන් වෙන්නයි. කවුරු හරි කෙනෙක් ප්‍රකාශනයක් ගන්න කැමති වුණත් එයා ළඟ ඒක ගන්න සල්ලි තිබුණේ නැත්නම් සාක්ෂිකරුවන් සල්ලි ගන්නේ නැතුව ප්‍රකාශන දීලා තියෙනවා. සාක්ෂිකරුවන්ගේ එකම ආශාව වුණේ ප්‍රකාශන කියවලා මිනිසුන් සත්‍ය පණිවිඩය දැනගෙන ඒකෙන් ප්‍රයෝජන ලබනවා දකින්න.

15, 16. (අ) 1990දී පාලක මණ්ඩලයේ සහෝදරයන් ප්‍රකාශන බෙදාහරින ක්‍රමය සම්බන්ධයෙන් කරපු වෙනස මොකක්ද? (ආ) සම්මාදම් කරන්න පුළුවන් කොහොමද? (“ පරිත්‍යාගයන් පාවිච්චි කරන්නේ මොනවාටද?” යන කොටුවත් බලන්න.)

15 1990දී පාලක මණ්ඩලයේ සහෝදරයන් ප්‍රකාශන බෙදාහරින ක්‍රමයේ වෙනසක් කළා. ඒ අවුරුද්දේ ඉඳන් එක්සත් ජනපදයේ සාක්ෂිකරුවන් මිනිසුන්ට ප්‍රකාශන දීලා තියෙන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඒ වෙනස ගැන සභාවලට දැනුම් දීපු ලියුමක මෙහෙම සඳහන් වුණා. “අපේ ප්‍රකාශන ප්‍රචාරකයන්ට සහ ඒවා කියවන්න කැමති අනිත් අයට දෙද්දී දැන් ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒවාට සම්මාදමක් දෙන්න ඕනෙ කියලා අපි අඟවන්නේවත් නැහැ. . . . කෙනෙක් කැමති නම් අපි කරන අධ්‍යාපනික සේවයට වැය වෙන වියදම වෙනුවෙන් යම් සම්මාදමක් දෙන්න පුළුවන්. හැබැයි සම්මාදමක් ලැබුණත් නැතත් කියවන්න කැමති අයට අපි ප්‍රකාශන දෙනවා.” අපි මේ කරන්නේ ස්වේච්ඡා සේවයක් සහ ආගමික සේවයක් කියලත් “අපි දෙවිගේ පණිවිඩය විකුණා ජීවත් වන අය නෙවෙයි” කියලත් පැහැදිලිවම ඔප්පු කරන්න ඒ වෙනස උදව් වෙලා තියෙනවා. (2 කොරි. 2:17) වැඩි කාලයක් යන්න කලින් ඒ වෙනස ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවනුත් අදාළ කරගෙන තියෙනවා.

16 සම්මාදම් කරන්න පුළුවන් කොහොමද? සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල ඒ අය සම්මාදම් පෙට්ටි තියලා තියෙනවා. සම්මාදම් කරන්න කැමති අයට පුළුවන් ඒ පෙට්ටිවලට සල්ලි දාන්න. නැත්නම් කෙළින්ම සාක්ෂිකරුවන්ගේ නීතික සංස්ථාවකට සල්ලි යවන්නත් පුළුවන්. කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න පුළුවන් ක්‍රම ගැන ‘මුරටැඹ’ සඟරාවේ හැම අවුරුද්දකම ලිපියක් පළ වෙනවා.

සල්ලි පාවිච්චි කරන්නේ මොනවාටද?

17-19. (අ) ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම්, (ආ) ලොව පුරා නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා ලැබෙන සම්මාදම් සහ (ඇ) සභා වියදම් සඳහා ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොනවාටද කියලා පැහැදිලි කරන්න.

17 ලෝක ව්‍යාප්ත සේවය සඳහා. මේ වෙනුවෙන් ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ ලෝකෙ පුරාම සිද්ධ වෙන දේශනා සේවයේ කටයුතුවලට යන වියදම් පියවාගන්න. ප්‍රකාශන නිකුත් කරන්න, ශාඛා කාර්යාල ඉදි කරන්න සහ නඩත්තු කරන්න වගේම විවිධ පාසැල් පවත්වන්න යන වියදම් ඒ අතරට අයිති වෙනවා. ඊට අමතරව මිෂනාරි සේවකයන්, සංචාරක සේවකයන් සහ විශේෂ පුරෝගාමීන් වෙනුවෙනුත් ඒ සම්මාදම් පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ සම්මාදම්වලින් තමයි හදිසි ආපදාවලට මුහුණ දෙන සහෝදරයන්ට සහනාධාර දෙන්නේ. b

18 ලොව පුරා නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා. මේ වෙනුවෙන් ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න හෝ අලුත්වැඩියා කරන්න සභාවන්වලට යන වියදම් පියවගන්නයි. ඒ මුදල් ආපහු ලැබුණාම තවත් සභාවලට උපකාර කරන්න ඒ මුදල් පාවිච්චි කරනවා. c

19 සභා වියදම්. මේ වෙනුවෙන් ලැබෙන සම්මාදම් පාවිච්චි කරලා තමයි නමස්කාර මධ්‍යස්ථානයට අදාළ හැම වියදමක්ම පියවන්නේ. සභා වියදම් වෙනුවෙන් ලැබෙන සම්මාදම්වලින් ලෝක ව්‍යාප්ත වැඩවලට යම් මුදලක් ශාඛා කාර්යාලයට යවනවාද කියලා සභාවේ වැඩිමහල්ලන්ට තීරණය කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වැඩිමහල්ලන් සභාවේ අයගෙන් සම්මුතියක් ගන්නවා. ඊටපස්සේ ඒ මුදල ශාඛා කාර්යාලයට යවනවා. සභාවේ ගිණුම් කටයුතු බලාගන්න සහෝදරයා හැම මාසයකම සභාවේ වියහියදම් ගැන වාර්තාවක් පිළියෙල කරනවා. ඊටපස්සේ ඒ තොරතුරු සභාවට දැනුම් දෙනවා.

20. ඔබ ‘සතු වටිනා දේවලින්’ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද?

20 ලෝකෙ පුරාම දේශනා කරන්නත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්නත් කොයි තරම් වැඩ කන්දරාවක් වෙනවාද කියලා තේරුම්ගත්තාම අපි ‘සතු වටිනා දේවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න’ අපි පෙලඹෙන්නේ නැද්ද? (හිතෝ. 3:9, 10) අපි සතුව තියෙන වටිනා දේවල් අතරට අපේ ශාරීරික ශක්තිය, මානසික ශක්තිය සහ දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය නිසා අපිට ලැබිලා තියෙන දේවල් අයිති වෙනවා. ඒ දේවල් දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් යොදවන්න අපි හැමෝම කැමතියි. අපි මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි අපි සතුව තියෙන වටිනා දේවල් අතරට අපේ ධන සම්පත් අයිති වෙනවා කියන එක. ඒ නිසා පුළුවන් අවස්ථාවලදී අපේ උපරිමයෙන් සම්මාදම් කරන්න අපි උත්සාහ කරමු. අපි කැමැත්තෙන්ම කරන පරිත්‍යාගවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දෙවිගේ රාජ්‍යයට සහයෝගය දෙනවා කියලත් ඒකෙන් ඔප්පු වෙනවා.

a “සිතින් තීරණය” කිරීම කියන අදහස විස්තර කරන්න පාවිච්චි කරපු ග්‍රීක යෙදුමට “කලින්ම සැලසුම් කිරීම කියන අදහසත් ඇතුළත් වෙනවා” කියලා එක විශාරදයෙක් කිව්වා. ඔහු මෙහෙමත් කිව්වා. “අපි දෙයක් දෙද්දී ඒකෙන් කොහොමත් සතුටක් ලැබෙනවා තමයි. හැබැයි අපි කලින්ම සැලසුම් කරලා පිළිවෙළකට පරිත්‍යාග කරන එක තමයි හුඟක් වටින්නේ.”—1 කොරි. 16:2.

b සහනාධාර කටයුතු ගැන තව විස්තර දැනගන්න 20වෙනි පරිච්ඡේදය බලන්න.

c නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම ගැන තව විස්තර දැනගන්න 19වෙනි පරිච්ඡේදය බලන්න.