Skip to content

පටුනට යන්න

19වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ඉදි කිරීම් කටයුතු

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ඉදි කිරීම් කටයුතු

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

රාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් ලොව පුරා ගොඩනැඟිලි ඉදි කරයි

1, 2. (අ) අතීතයේ ඉඳලම දෙවිගේ සේවකයන් කැමැත්තෙන්ම හවුල් වෙලා තියෙන්නේ මොන දේටද? (ආ) යෙහෝවා දෙවිට වැඩියෙන්ම වටින්නේ මොනවාද?

 යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ගොඩනැඟිලි හදන්න අතීතයේ ඉඳලම දෙවිගේ සේවකයන් හරිම සතුටින් හවුල් වෙලා තියෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල් සෙනඟ ශුද්ධ කූඩාරම හදන්න උනන්දුවෙන් හවුල් වුණා. ඒ වගේම ඔවුන් හුඟක් වටිනා දේවලුත් කැමැත්තෙන්ම පරිත්‍යාග කළා.—නික්. 35:30-35; 36:1, 4-7.

2 හැබැයි යෙහෝවා දෙවි තමන්ව ගෞරවයට පත් වෙන මූලිකම දේ විදිහට සලකන්නේ ඒ ගොඩනැඟිලිවත් ඒවාවල තියෙන දේවල්වත් නෙවෙයි. (මතෙ. 23:16, 17) ඔහුව වැඩියෙන්ම ගෞරවයට පත් වෙන්නේ ඔහුගේ සෙනඟ කැමැත්තෙන්ම සහ ලොකු උනන්දුවකින් ඔහුට කරන නමස්කාරයෙනුයි. (නික්. 35:21; මාක් 12:41-44; 1 තිමෝ. 6:17-19) ඒක තමයි ඔහුට වැඩියෙන්ම වටින්නේ. ඒ ගැන අපි මොන තරම් සතුටු වෙන්න ඕනෙද! කිසිම ගොඩනැඟිල්ලක් හැමදාටම පවතින්නේ නැහැ. උදාහරණයකට අතීතයේදී තිබුණු ශුද්ධ කූඩාරමවත් දේවමාලිගාවවත් දැන් නැහැ. ඒත් ඒවා ඉදි කරන්න කැපවීමෙන් වැඩ කරපු ඔහුගේ සේවකයන්ව කවදාවත් දෙවි අමතක කරලා නැහැ.—1 කොරින්ති 15:58; හෙබ්‍රෙව් 6:10 කියවන්න.

3. මේ පරිච්ඡේදයෙන් අපි බලන්නේ මොනවාද?

3 අද ඉන්න දෙවිගේ සේවකයනුත් නමස්කාර කටයුතු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කරන්න හුඟක් මහන්සි වෙනවා. අපේ රජුගේ මඟ පෙන්වීම යටතේ අපි කොච්චර වැඩ කන්දරාවක් කරලා තියෙනවාද කියලා හිතද්දී අපිට පුදුම හිතෙන්නේ නැද්ද? යෙහෝවා දෙවි අපේ වෙහෙසට ආශීර්වාද කරලා තියෙනවා කියලා නම් හොඳින්ම පැහැදිලියි. (ගීතා. 127:1) මේ වෙද්දී කරලා තියෙන සමහර ඉදි කිරීම් ගැනත් ඒවාවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙලා තියෙන්නේ කොහොමද කියලත් මේ පරිච්ඡේදයෙන් බලමු. ඒ වගේම ඒ වැඩකටයුතුවලට හවුල් වෙලා තියෙන අයගේ අද්දැකීම් කිහිපයකුත් අපි බලමු.

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම

4. (අ) නමස්කාර කටයුතු වෙනුවෙන් අපිට තවත් තැන් අවශ්‍ය වෙන්නේ ඇයි? (ආ) ශාඛා කාර්යාල කිහිපයකින්ම සිද්ධ වුණු වැඩ සමහර ශාඛා කාර්යාල යටතට අරන් තියෙන්නේ ඇයි? (“ ශාඛා කාර්යාල ඉදි කිරීම් සහ කාලයට ඔබින වෙනස්කම්” යන කොටුව බලන්න.)

4 නමස්කාර කරන්න එකට රැස් වෙන එක දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා අපි 16වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. (හෙබ්‍රෙ. 10:25) දෙවි ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න විතරක් නෙවෙයි උනන්දුවෙන් දේශනා සේවයේ හවුල් වෙන්නත් රැස්වීම්වලින් අපිට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. මේ අන්තිම කාලෙදී ඒ සේවය වේගයෙන් ඉටු කරන්න දෙවි මඟ පෙන්වලා තියෙන නිසා හැම අවුරුද්දකම සියදහස් ගණන් සෙනඟක් ඔහුගේ සංවිධානයට එකතු වෙනවා. (යෙසා. 60:22) ඒ නිසා පොත් පත් තවත් වැඩියෙන් මුද්‍රණය කරන්නත් රැස්වීම් පවත්වන්නත් අලුත් ගොඩනැඟිලි අවශ්‍ය වෙනවා.

5. රැස්වීම් පවත්වන තැන් “කිංඩම් හෝල්” කියන නමින් හඳුන්වන්න සහෝදර රදෆර්ඩ් යෝජනා කළේ ඇයි? (“ නව ආලෝකයේ පල්ලිය” යන කොටුවත් බලන්න.)

5 බයිබල් ශිෂ්‍යයන් මුල ඉඳලම තේරුම්ගත්තා රැස්වීම් පවත්වන්න තමන්ට වෙනම තැනක් තියෙන්න ඕනෙ කියලා. 1890දී එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවල ඉදි කරපු ගොඩනැඟිල්ල රැස්වීම් පවත්වන්න ඒ අය මුලින්ම හදපු ගොඩනැඟිලි අතරට අයිතියි කියලා හිතන්න පුළුවන්. 1930 ගණන් වෙද්දී දෙවිගේ සෙනඟට තමන්ටම කියලා අලුතින් ඉදි කරපු හෝ අලුත්වැඩියා කරපු ශාලාවන් තිබුණා. හැබැයි ඒවා හඳුන්වන්න නමක් තිබුණේ නැහැ. 1935දී හවායිවල ශාඛා කාර්යාලයටම සම්බන්ධ කරලා රැස්වීම් පවත්වන්න ශාලාවක් හදලා තියෙනවා. ඒකට දාන්න ඕන නම මොකක්ද කියලා සහෝදර රදෆර්ඩ්ගෙන් ඇහුවාම ඔහු කියලා තියෙන්නේ මෙහෙමයි. “මේකේ සිද්ධ වෙන්නේ දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ කාරණා නිසා මේකට ‘කිංඩම් හෝල්’ [රාජ්‍ය ශාලාව] කියලා කියන එක හොඳ නැද්ද?” (මතෙ. 24:14) වැඩි කාලයක් යන්න කලින් ලෝකෙ හුඟක් රටවල හිටිය දෙවිගේ සෙනඟ රැස්වීම් පවත්වන්න පාවිච්චි කරපු තැන් ඒ නමින් හඳුන්වන්න පටන්ගත්තා. a

6, 7. දවස් කිහිපයකින් ශාලාවන් හදන්න පාවිච්චි කරපු අලුත් ක්‍රමය නිසා හොඳ සාක්ෂියක් ලැබිලා තියෙන්නේ කොහොමද?

6 1970 ගණන් වෙනකොට තවත් නමස්කාර මධ්‍යස්ථාන ඕනෙ වුණා. ඒ නිසා එක්සත් ජනපදයේ හිටිය සහෝදරයන් නමස්කාර කටයුතුවලට ගැළපෙන විදිහට ලස්සන ශාලාවන් දවස් කිහිපයකින් හදන්න අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න පටන්ගත්තා. 1983 වෙද්දී ඒ ක්‍රමයට ශාලාවන් 200ක් විතර එක්සත් ජනපදයෙත් කැනඩාවෙත් ඉදි කරලා තියෙනවා. ඒ වැඩේ තවත් සාර්ථකව කරන්න නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටු සංවිධානය කළා. ඒක සාර්ථක වුණු නිසා 1986දී ඒ වගේ තවත් කමිටු පිහිටුවන්න පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. 1987 වෙද්දී එක්සත් ජනපදයේ ඒ වගේ කමිටු 60ක්ම පිහිටුවලා තිබුණා. b 1992 වෙද්දී ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, මෙක්සිකෝව සහ ස්පාඤ්ඤය කියන රටවලත් ඒ කමිටු පිහිටුවලා තිබුණා. නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා හදන්න මහන්සි වෙලා වැඩ කරන අය ඇත්තටම කරන්නේ පරිශුද්ධ සේවයක් නිසා ඒ අයට අපේ සහයෝගය දෙන එක හුඟක් වැදගත්.

7 දවස් කිහිපයකින් නමස්කාර මධ්‍යස්ථාන හදන එකෙන් අවට ඉන්න මිනිසුන්ට ලොකු සාක්ෂියක් ලැබිලා තියෙනවා. ස්පාඤ්ඤයේ මාර්ටොස්වල ඒ ක්‍රමයට හදපු නමස්කාර මධ්‍යස්ථානයක් ගැන “විශ්වාසය කඳු අහක් කරයි” කියන තේමාවෙන් පුවත්පතක ලිපියක් පළ වුණා. ඒකේ මෙහෙම සඳහන් වුණා. “ආත්මාර්ථකාමීකම රජයන අද වගේ කාලෙක විවිධ ප්‍රදේශවලින් ඇවිත් ඉන්න ස්වේච්ඡා සේවකයන් ගොඩනැඟිලි ඉදි කිරීම සම්බන්ධයෙන් මේ වෙන කල් තිබුණු හැම වාර්තාවක්ම බිඳලා තියෙනවා. ඔවුන් තමයි හොඳින්ම සංවිධානය වෙලා වැඩිම වේගයකින් සහ කිසිම අඩුවක් නැතුව ගොඩනැඟිල්ලක් ඉදි කළේ. එහෙම කරන්න ඔවුන්ට පුළුවන් වුණේ කොහොමද?” ඒ වැඩේට හවුල් වුණු ස්වේච්ඡා සේවකයෙක් ඒකට දීපු උත්තරය ඒ ලිපියේම මෙහෙම තිබුණා. “අපිට මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි හැමෝටම උගන්වන්නේ යෙහෝවා දෙවි නිසයි.”

සීමිත සම්පත් තියෙන රටවල ගොඩනැඟිලි ඉදි කිරීම

8. 1999දී පාලක මණ්ඩලය ආරම්භ කළේ මොන වැඩසටහනද? ඒ ඇයි?

8 20වෙනි සියවස අගභාගයේදී සීමිත සම්පත් තියෙන රටවල ඉන්න හුඟක් අය අපේ සංවිධානයට එකතු වෙන්න පටන්ගත්තා. ඒ රටවල ඉන්න සහෝදරයන් ඒ අයට පුළුවන් විදිහට රැස්වීම් පවත්වන්න තැන් හදාගෙන තියෙනවා. ඒවා අනිත් ආගමික ස්ථානවලට වඩා හරිම සරල විදිහට හදලා තියෙන නිසා සමහර රටවල අය අපේ සහෝදරයන්ට අපහාස කරලා තියෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන එක වේගවත් කරන්න 1999 ඉඳන් පාලක මණ්ඩලයෙන් වැඩසටහනක් ආරම්භ කළා. දියුණු රටවල සම්මාදම් පාවිච්චි කරලා සංවර්ධනය වෙමින් පවතින රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න පටන්ගත්තා. ඒ නිසා ඒ රටවල තිබුණු “අඩුව පිරිමහන්න” පුළුවන් වුණා. (2 කොරින්ති 8:13-15 කියවන්න.) වෙන රටවල ඉන්න සාක්ෂිකරුවනුත් ඒ ඉදි කිරීම් වැඩවලට සහාය වෙන්න ඇවිත් තියෙනවා.

9. බැලූ බැල්මට කරන්න බැරි වෙයි කියලා හිතුණේ මොන වැඩේද? ඒ වැඩේ මොන තරම් සාර්ථක වෙලා තියෙනවාද?

9 සංවර්ධනය වෙමින් පවතින රටවල් 88ක නමස්කාර මධ්‍යස්ථාන 18,300කට වඩා අවශ්‍යයි කියලා 2001දී එක වාර්තාවක සඳහන් වෙලා තියෙනවා. බැලූ බැල්මට පෙනුණේ ඒක කරගන්න බැරි වෙයි කියලයි. ඒත් යෙහෝවා දෙවිගේ බලයේ උපකාරය සහ අපේ රජුගේ මඟ පෙන්වීම ලැබෙන නිසා අපිට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. (මතෙ. 19:26) 1999 ඉඳන් 2013 වෙන කල් ගෙවුණු අවුරුදු 15 ඇතුළතදී ඒ වැඩසටහන යටතේ නමස්කාර මධ්‍යස්ථාන 26,849ක් ඉදි කරලා තියෙනවා. c යෙහෝවා දෙවි දිගින් දිගටම දේශනා සේවයට ආශීර්වාද කරන නිසා 2013දී සංවර්ධනය වෙමින් පවතින රටවල තවත් නමස්කාර මධ්‍යස්ථාන 6,500ක විතර අවශ්‍යතාවක් තිබුණා. හැම අවුරුද්දකම වගේ නමස්කාර මධ්‍යස්ථාන සිය ගණනක් අවශ්‍ය වෙනවා.

සීමිත සම්පත් තියෙන රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරද්දී විවිධ අභියෝග අද්දකින්න වෙනවා

10-12. නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන එකෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙලා තියෙන්නේ කොහොමද?

10 නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන එකෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙලා තියෙන්නේ කොහොමද? සිම්බාබ්වේ ශාඛා කාර්යාලයෙන් ලැබුණු වාර්තාවක මෙහෙම සඳහන් වුණා. “අලුතින් නමස්කාර මධ්‍යස්ථානයක් හදලා මාසයක් යද්දී රැස්වීම්වලට එන අය දෙගුණයකින් වැඩි වෙනවා.” පෙනෙන විදිහට හුඟක් රටවල ඉන්න අය අපේ රැස්වීම් පවත්වන්න හොඳ තැනක් හදන කල් රැස්වීම්වලට එන්න ඒ තරම් කැමැත්තක් පෙන්වලා නැහැ. හැබැයි අලුතින් නමස්කාර මධ්‍යස්ථානයක් හදපු ගමන් රැස්වීම්වලට එන අය වැඩි වෙනවා. ඒ නිසා තවත් නමස්කාර මධ්‍යස්ථාන ඕනෙ වෙනවා. මිනිසුන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පෙලඹිලා තියෙන්නේ අපේ නමස්කාර මධ්‍යස්ථාන නිසා විතරක්ම නෙවෙයි. ඒවා ඉදි කරන්න හවුල් වෙන අය අතර තියෙන ප්‍රේමය දකින නිසාත් හුඟක් අය අපේ සංවිධානය අගය කරලා තියෙනවා. උදාහරණ කිහිපයක් බලමු.

11 ඉන්දුනීසියාව. නමස්කාර මධ්‍යස්ථානයක් හදනවා බලන් හිටිය කෙනෙක් දැනගෙන තියෙනවා එතැන වැඩ කරන හැමෝම ස්වේච්ඡා සේවකයන් කියලා. ඒ ගැන ඔහු කියපු දේ බලන්න. “ඔයගොල්ලන් වැඩ කරන්නේ සල්ලිවලට නෙවෙයි වුණත් හරිම සතුටින්, ලොකු කැපවීමකින් වැඩ කරනවා දකිද්දී මට නම් හරිම පුදුමයි. මේ වගේ ආගමික සංවිධානයක් ලෝකෙ කොහේවත් තියෙනවා කියලා මං නම් හිතන්නේ නැහැ.”

12 යුක්රේනය. නමස්කාර මධ්‍යස්ථානයක් හදන තැනක් ළඟින් හැමදාම ගමන් කරපු කාන්තාවක් හිතලා තියෙනවා එතැන වැඩ කරන්නේ සාක්ෂිකරුවන් වෙන්න ඕනෙ කියලා. ඒකට හේතුව ඇය පැහැදිලි කළේ මෙහෙමයි. “මගේ නංගි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණ නිසා මං ඒ අය ගැන අහලා තියෙනවා. මේ ගොඩනැඟිල්ල ඉදි වෙන විදිහ දැක්කාම මට හිතුණා මමත් මේ සංවිධානයට එකතු වෙන්න ඕනෙ කියලා. ඒ අය කොයි තරම් ප්‍රේමණීය සෙනඟක්ද කියලා මට හොඳටම පැහැදිලි වුණා.” මේ කාන්තාව 2010දී බව්තීස්ම වුණා.

13, 14. (අ) නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරනවා බලන් හිටිය යුවළගේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද? (ආ) නමස්කාර මධ්‍යස්ථානය යෙහෝවා දෙවිගේ නමට ගෞරවයක් ගෙනෙන තැනක් කරන්න දායක වෙන්න ඔබට පුළුවන් කොහොමද?

13 ආර්ජන්ටිනාව. නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන වැඩකටයුතු භාරව හිටිය සහෝදරයාව මුණගැහෙන්න ආපු විවාහක යුවළක් මෙහෙම අහලා තියෙනවා. “මේ ගොඩනැඟිල්ල හදන විදිහ අපි බලාගෙන හිටියා. . . . අපි කැමතියි මෙහෙට ඇවිත් දෙවි ගැන ඉගෙනගන්න. ඒකට අපි කරන්න ඕනෙ මොනවාද?” ඒ වෙලාවේ අපේ සහෝදරයා ඒ දෙන්නාව දිරිගන්වලා තියෙනවා සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න කියලා. ඒකට ඒ අය කැමති වුණත් ඒක කරන්න පුළුවන් වෙන්නේ පවුලේ හැමෝටම ඒකට හවුල් වෙන්න ඉඩ දෙනවා නම් විතරයි කියලා ඒ දෙන්නා කියලා තියෙනවා. අපේ සහෝදරයනුත් හුඟක් සතුටින් ඒකට කැමති වුණා.

14 සමහරවිට ඔබේ නමස්කාර මධ්‍යස්ථානය හදන්න හවුල් වෙන්න ඔබට අවස්ථාවක් ලැබුණේ නැතුව ඇති. ඒත් නමස්කාර මධ්‍යස්ථානය යෙහෝවා දෙවිගේ නමට ගෞරවයක් ගෙනෙන තැනක් කරන්න දායක වෙන්න ඔබට පුළුවන්. ඒ කොහොමද? ඔබේ බයිබල් පාඩම්වලට, නැවත බැලීම්වලට සහ ඔබ දන්න කියන තවත් අයට නමස්කාර මධ්‍යස්ථානයේ පවත්වන රැස්වීම්වලට ආරාධනා කරන්න. ඒ වගේම නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව තියාගන්න උදව් කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. හොඳින් සැලසුම් කරලා නමස්කාර මධ්‍යස්ථානයේ වියහියදම්වලට සම්මාදම් කරන්න එහෙමත් නැත්නම් ලෝකෙ පුරාම නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩවලට සම්මාදම් කරන්නත් ඔබට පුළුවන්. (1 කොරින්ති 16:2 කියවන්න.) ඒ හැම දෙයකින්ම යෙහෝවා දෙවිගේ නමට ගෞරවයක් ලැබෙනවා.

“කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන” සෙනඟක්

15-17. (අ) ඉදි කිරීම් ව්‍යාපෘතිවල වැඩිපුරම හවුල් වෙලා තියෙන්නේ කවුද? (ආ) විවිධ රටවල ඉදි කිරීම් ව්‍යාපෘතිවල හවුල් වෙලා තියෙන අයගේ අද්දැකීම්වලින් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

15 නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා සහ ශාඛා කාර්යාල හදන්න වැඩි හරියක්ම හවුල් වෙන්නේ ඒ රටවලම ඉන්න සහෝදර සහෝදරියන්. හුඟක් වෙලාවට ඒ අයට මඟ පෙන්වීම් දෙන්න වෙන රටවලින් අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන් එනවා. ඒ විදිහට එන සමහර ස්වේච්ඡා සේවකයන් සති කිහිපයක් එක දිගට ඒ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න පුළුවන් වෙන විදිහට ඒ අයගේ වැඩකටයුතු සකස් කරගෙන තියෙනවා. තවත් අය අවුරුදු ගණනාවක්ම වුණත් රටින් රටට ගිහින් ඒ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න පුළුවන් වෙන විදිහට ඒ අයගේ වැඩකටයුතු සකස් කරගෙන තියෙනවා.

ටීමෝ සහ ලීනා ලැපලයිනන් (16 ඡේදය බලන්න)

16 වෙන රටවලට ගිහින් සේවය කරද්දී ඒ අය හුඟක් අභියෝගවලටත් මුහුණ දෙනවා. හැබැයි ඊටත් වඩා වැඩියෙන් ඒ අය ආශීර්වාද අද්දකිනවා. ටීමෝ සහ ලීනාගේ අද්දැකීම බලන්න. ඒ දෙන්නා ආසියාවේ, දකුණු ඇමරිකාවේ වගේම යුරෝපයෙත් නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා සහ ශාඛා කාර්යාල ඉදි කරන ව්‍යාපෘතිවලට හවුල් වෙලා තියෙනවා. ටීමෝ ඒ ගැන කිව්වේ මෙහෙමයි. “පහුගිය අවුරුදු 30 පුරාම අවුරුදු දෙකකට සැරයක් වගේ මට විවිධ රටවල සේවය කරන්න අවස්ථාව ලැබුණා.” මීට අවුරුදු 25කට කලින් ටීමෝ එක්ක විවාහ වුණු ලීනා මෙහෙම කිව්වා. “මම ටීමෝ එක්ක රටවල් දහයක සේවය කරලා තියෙනවා. කෑම, දේශගුණය, භාෂාව වගේම අලුත්ම ප්‍රදේශවල දේශනා කරන්න හුරු වෙන්නත් අලුත් යාළුවන් ඇති කරගන්නත් ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒකට ටික කාලයක් යනවා.” d ඒ අය දරලා තියෙන වෑයමට ප්‍රතිඵල ලැබිලා තියෙනවාද? ලීනා කියපු මේ දෙයින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. “අපි අභියෝගවලට මුහුණ දෙනවා තමයි. හැබැයි අන්තිමේදී ඒ හැම දෙයක්ම අපිට ආශීර්වාදයක් වුණා. අපේ සහෝදර සහෝදරියන්ගේ ආදරයත් ආගන්තුක සත්කාරයත් අපි අද්දැක්කා. ඒ වගේම යෙහෝවා දෙවි අපි ගැන කොච්චර සැලකිලිමත් වෙනවාද කියලා අපිට දැනුණා. මාක් 10:29, 30 යේසුස් ඔහුගේ ගෝලයන්ට දීපු පොරොන්දුව ඉටු වෙන විදිහ අපි අද්දැක්කා. යේසුස් කියපු විදිහටම අපිට සිය ගුණයකින් සහෝදර සහෝදරියන්, මව්වරුන් ලැබුණා.” ටීමෝ කියපු දේ බලන්න. “අපේ හැකියාවන් දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් පාවිච්චි කරද්දී වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැති සතුටක් අද්දකින්න පුළුවන්.”

17 ඩැරන් සහ සේරා කියන යුවළ අප්‍රිකාවේ, ආසියාවේ, දකුණු ඇමරිකාවේ, දකුණු පැසිෆික් දූපත්වල, මධ්‍යම ඇමරිකාවේ සහ යුරෝපයේ ඉදි කිරීම් ව්‍යාපෘතිවල හවුල් වෙලා තියෙනවා. ඒ අයට කොයි තරම් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඩැරන් කිව්වේ මෙහෙමයි. “ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරන්න ලැබෙන එක ලොකු ආශීර්වාදයක්. අපි හැමෝම යෙහෝවා දෙවිට හුඟක් ආදරේ නිසා මට දැනෙන්නේ අපි ලෝකෙ කොහේ හිටියත් එකට බැඳිලා ඉන්නවා කියලයි.” සේරා ඒ ගැන මෙහෙම කිව්වා. “විවිධ සංස්කෘතිවල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒ අය යෙහෝවා දෙවි වෙනුවෙන් කොච්චර දේවල් කැප කරනවාද කියලා දකිද්දී දිගටම මගේ උපරිමය දෙවිට දෙන්න මං අරන් තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා.”

18. ගීතාවලිය 110:1-3 සඳහන් අනාවැකිය ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

18 අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් දෙවිට සේවය කරන්න “කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා” කියලා දාවිත් රජ කලින්ම කියලා තියෙනවා. (ගීතාවලිය 110:1-3 කියවන්න.) දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතුවලට උදව් කරන හැමෝම ඒ අනාවැකිය ඉටු කරන්න දායක වෙලා තියෙනවා. (1 කොරි. 3:9) ලෝකෙ පුරාම ඉදි කරලා තියෙන ශාඛා කාර්යාල, සිය ගණන් සමුළු ශාලා, දසදහස් ගණන් නමස්කාර මධ්‍යස්ථාන දිහා බලද්දී දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා තියෙනවා කියලා ඔප්පු වෙනවා. අපේ රජු වන ක්‍රිස්තුස්ට කරන සේවයෙන් සියලුම ගෞරවය ලබන්න වටින යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!

a අපි දැන් “රාජ්‍ය ශාලාව” කියලා කියන්නේ නැත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් “කිංඩම් හෝල්” කියන වචනයෙන් එන අදහස ඒකෙන් හරියටම එන්නේ නැති නිසයි.

b 2013දී ස්වේච්ඡා සේවකයන් 2,30,000කටත් වඩා වැඩිදෙනෙක්ට එක්සත් ජනපදයේ පිහිටුවලා තියෙන නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටු 132 යටතේ සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒ කමිටුවල අධීක්ෂණය යටතේ හැම අවුරුද්දකම නමස්කාර මධ්‍යස්ථාන 75ක් විතර ඉදි වෙනවා. තවත් නමස්කාර මධ්‍යස්ථාන 900ක් විතර අලුත්වැඩියා කරන්නත් ඒ කමිටු උදව් කරනවා.

c තවත් නමස්කාර මධ්‍යස්ථාන බොහොමයක් ඉදි කරලා තිබුණත් ඒවා මේ වැඩසටහන යටතේ ඉදි වෙලා නැති නිසා මේ සංඛ්‍යාවට ඒවා ඇතුළත් නැහැ.

d ජාත්‍යන්තර සේවකයන් සහ ස්වේච්ඡා සේවකයන් ඉදි කිරීම් ව්‍යාපෘතිවල වෙහෙසිලා වැඩ කළත් අදාළ සභාවත් එක්ක සති අන්තවලදී හෝ හවස් කාලයේදී දේශනා සේවයෙත් හවුල් වෙනවා.