Skip to content

පටුනට යන්න

21වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය විනාශ වෙයි

දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය විනාශ වෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

හර්-මගෙදොන් යුද්ධයට කලින් සිද්ධ වෙන දේවල්

1, 2. (අ) 1914 ඉඳන් අපේ රජු පාලනය පටන් අරන් තියෙනවා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? (ආ) අපි බලන්නේ මොනවා ගැනද?

 දෙවිගේ රාජ්‍යයට කොයි තරම් සතුරුවාදීකම් ආවත් ඒ රාජ්‍යයෙන් ඉටු වෙලා තියෙන දේවල් ගැන කල්පනා කරද්දී පුදුම හිතෙනවා. (ගීතා. 110:2) අපේ රජු ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන විශාල හමුදාවක් වගේ පිරිසක්ව එකතු කරලා තියෙනවා. ඔහු තමන්ගේ අනුගාමිකයන්ව සදාචාරය අතිනුත් නමස්කාරය අතිනුත් පවිත්‍ර කරලා තියෙනවා. ලෝකෙ පුරාම විසිරිලා ඉන්න දෙවිගේ සෙනඟ අතරේ තියෙන එකමුතුකම නැති කරන්න අපිට සතුරුකම් කරන අය කොයි තරම් උත්සාහ කළත් ඒක කරන්න පුළුවන් වෙලා නැහැ. ඒ දේවලින් වගේම දෙවිගේ රාජ්‍යයෙන් ඉටු කරලා තියෙන අනිත් හැම දේකින්ම තහවුරු වෙන්නේ අපේ රජු 1914 ඉඳන් දෙවිගේ රාජ්‍යයේ පාලනය පටන් අරන් තියෙනවා කියලයි.

2 දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් තවත් හුඟක් දේවල් ඉදිරියේදී ඉටු වෙන්න තියෙනවා. ඒ රාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගත්තාම රාජ්‍යයට විරුද්ධ වෙන අයව “පොඩි කර නැති කර” දානවා. (මතෙ. 6:10; දානි. 2:44) හැබැයි ඒ දේ වෙන්න කලින් හුඟක් වැදගත් දේවල් කිහිපයක්ම ඉටු වෙන්න තියෙනවා. ඒ මොනවාද? බයිබලයේ සඳහන් වෙලා තියෙන සමහර අනාවැකිවලින් ඒ ප්‍රශ්නයට උත්තරය හොයාගන්න පුළුවන්. ඒ අනාවැකි අතරින් කිහිපයක් අපි බලමු. ඉදිරියේදී ඉටු වෙන්න තියෙන දේවල් ගැන තේරුම්ගන්න ඒ තොරතුරු උදව් වෙයි.

“හදිසි විනාශයට” කලින් සිද්ධ වෙන දේ

3. මුලින්ම සිද්ධ වෙන්නේ මොනවාද?

3 සාමය ගැන ප්‍රකාශ කරයි. පාවුල් තෙසලෝනිකවරුන්ට ලියපු ලියුමේ සඳහන් වෙන තොරතුරුවලින් මුලින්ම සිද්ධ වෙන්න ඕන දේ ගැන අපිට දැනගන්න පුළුවන්. (1 තෙසලෝනික 5:2, 3 කියවන්න.) ඒ ලියුමේ ඔහු සඳහන් කළා “මහ බැබිලෝනියට” පහර දෙනවාත් එක්කම පටන්ගන්න “යෙහෝවා දෙවිගේ දවස” ගැන. (එළි. 17:5) යෙහෝවා දෙවිගේ දවස පටන්ගන්න කලින් ලෝක නායකයන් “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා කියනවා කියලත් පාවුල් කිව්වා. සමහරවිට ඒක එක ප්‍රකාශයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවස්ථා කිහිපයකදීම කරන ප්‍රකාශයන් වෙන්නත් පුළුවන්. ඒකට ආගමික නායකයනුත් එකතු වෙයිද? ඒ අයත් මේ ලෝකයේ කොටසක් වෙන නිසා සමහරවිට ලෝකයේ පාලකයන් එක්ක එකතු වෙලා “දැන් සාමය පැමිණ ඇත” කියලා කියයි. (යෙරෙ. 6:14; 23:16, 17; එළි. 17:1, 2) ඒ විදිහට සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා තියෙනවා කියලා ඒ අය කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවිගේ දවස පටන්ගන්න යනවා කියන එකයි. දෙවිගේ රාජ්‍යයට සතුරුකම් කරන අය නම් එදාට “කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැහැ.”

4. සාමය හා සුරක්ෂිතභාවය ගැන සඳහන් අනාවැකියේ අර්ථය තේරුම්ගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

4 ඒ අනාවැකියේ අර්ථය තේරුම්ගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? පාවුල් කියපු මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. “ඔබ අන්ධකාරයෙහි සිටින අය නොවේ. එහෙයින් හිරු උදා වීමෙන් අවදානමකට ලක් වන සොරෙකු මෙන් ඔබ ඒ දවසේදී අවදානමකට ලක් වන්නේ නැත.” (1 තෙස. 5:3, 4) මේ ලෝකයේ ජීවත් වෙන අයට නම් ඉදිරියේදී සිද්ධ වෙන්න යන දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ. හැබැයි අපිට නම් ඉදිරියේදී වෙන්න යන දේවල් ගැන අවබෝධයක් තියෙනවා. සාමය සහ සුරක්ෂිතභාවය ගැන සඳහන් අනාවැකිය ඉටු වෙන්නේ මොන විදිහටද? ඒක තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ලෝක සිද්ධීන් ඉටු වෙන ආකාරයෙනුයි. ඒ නිසා අපි “අවදිව . . . හොඳ සිහිකල්පනාවෙන්” ඉමු.—1 තෙස. 5:6; ශෙප. 3:8.

මහත් පීඩාව පටන්ගනියි

5. “මහත් පීඩාවේ” ආරම්භය මොකක්ද?

5 ආගම්වලට පහර දෙයි. පාවුල් කිව්වේ “‘මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා’ කියා පවසමින් සිටින විට . . . නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ” කියලයි. ඒක හරියට විදුලි කොටද්දී ආලෝකය මුලින්ම පෙනිලා ඒත් එක්කම ගොරවන හඬ ඇහෙනවා වගෙයි. ඔව්, “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා කියද්දීම “හදිසි විනාශය” පටන්ගන්නවා. විනාශ වෙන්නේ මොනවාද? “මහ බැබිලෝනියෙන්” සංකේතවත් කරන අසත්‍යය උගන්වන ආගම් තමයි මුලින්ම විනාශ වෙන්නේ. බයිබලයේ අසත්‍යය උගන්වන ආගම් “ගණිකාව” විදිහටත් හඳුන්වලා තියෙනවා. (එළි. 17:5, 6, 15) ක්‍රිස්තියානියැයි කියාගන්නා ආගම් ඇතුළු අසත්‍යය උගන්වන හැම ආගමක්ම විනාශ වෙන එක තමයි “මහත් පීඩාවේ” ආරම්භය වෙන්නේ. (මතෙ. 24:21; 2 තෙස. 2:8) ඒ දේවල් සිද්ධ වෙද්දී හුඟක් අය ඒ ගැන පුදුම වෙයි. ඒ ඇයි? ඒකට හේතුව තමන් “රැජිනක්” කියලා හිතාගෙන ඉන්න ඒ ගණිකාව තමන්ට “කිසිදාක වැලපෙන්න සිදු වන්නේ නැහැ” කියලා හිතන් ඉන්න නිසයි. හැබැයි අන්තිමේදී තමන් හිතපු විදිහ වැරදියි කියලා ඇයට පිළිගන්න වෙනවා. ඇයව කොයි තරම් ඉක්මනින් විනාශ කරනවාද කියනවා නම් ඒක හරියට “එක දවසකින්” සිද්ධ වෙන දෙයක් වගෙයි.—එළි. 18:7, 8.

6. “මහ බැබිලෝනියට” පහර දෙන්නේ කවුද?

6 “මහ බැබිලෝනියට” පහර දෙන්නේ කවුද? “අං දසයක්” ඇති “තද රතු පාට මෘගයා” තමයි ඒක කරන්නේ. එළිදරව් පොතේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා ඒ මෘගයාගෙන් නියෝජනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. ඒකට සහයෝගය දෙන දැන් පවතින දේශපාලන ආණ්ඩු තමයි අං දහයෙන් නියෝජනය වෙන්නේ. (එළි. 17:3, 5, 11, 12) ඒ පහර දීම කොයි තරම් දරුණු එකක් වෙයිද? එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණිකාව සතුව තියෙන ධන සම්පත් අත් කරගෙන ඇගේ මාංසය කාලා අන්තිමේදී ඇයව “සහමුලින්ම ගින්නෙන් දවනවා.”—එළිදරව් 17:16 කියවන්න. a

7. මතෙව් 24:21, 22 යේසුස් සඳහන් කරපු දේ ක්‍රි.ව. පළවෙනි සියවසේදී ඉටු වුණේ කොහොමද? අනාගතයේදී ඒක ඉටු වෙන්නේ කොහොමද?

7 කාලය කෙටි කරයි. මහත් පීඩාවේදී අසත්‍යය උගන්වන ආගම් විනාශ වෙනකොට සිද්ධ වෙන දේ ගැන අපේ රජු දැනුම් දීලා තියෙනවා. ඔහු කිව්වා “තෝරාගත් අය නිසා ඒ කාලය කෙටි කරනු ලබයි” කියලා. (මතෙව් 24:21, 22 කියවන්න.) ඒක මුලින්ම ඉටු වුණේ ක්‍රි.ව. 66දියි. රෝම හමුදාව යෙරුසලමට පහර දෙන්න ඇවිත් හිටිය වෙලේ නොහිතපු විදිහට ඒ අය හැරිලා ගියා. එදා යෙරුසලමෙත් යුදයෙත් හිටිය ක්‍රිස්තියානීන්ට ගැලවෙන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවි “කාලය කෙටි” කරපු නිසයි. (මාක් 13:20) ඒ කියන්නේ රෝම හමුදාවේ ප්‍රහාරය අතරමඟදී නතර කරපු නිසයි. මහත් පීඩාව අතරතුරේදීත් යෙහෝවා දෙවි ඒ විදිහට “කාලය කෙටි” කරයිද? ඔව්. යෙහෝවා දෙවි අපේ රජු මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එන ප්‍රහාරයත් අතරමඟදී නතර කරනවා. ඒ නිසා අසත්‍යය උගන්වන ආගම් සම්පූර්ණයෙන්ම විනාශ වුණත් එකම සැබෑ ආගම විනාශ වෙන්නේ නැහැ. (ගීතා. 96:5) ඒ දේ වුණාට පස්සේ වෙන්නේ මොනවාද කියලා දැන් බලමු.

හර්-මගෙදොන් යුද්ධයට මඟ පාදන සිද්ධීන්

8, 9. යේසුස් අදහස් කරන්න ඇත්තේ සිද්ධ වෙන්න යන මොන වගේ අසාමාන්‍ය දෙයක් ගැනද? ඒ දේවල් දැක්කාම මිනිසුන් කරන්නේ මොනවාද?

8 යේසුස් අවසාන කාලය ගැන කියපු අනාවැකියෙන් පැහැදිලි වෙනවා හර්-මගෙදොන් යුද්ධයට මඟ පාදන සිද්ධීන් කිහිපයක්ම තියෙනවා කියලා. ඒවා අතරින් අපි බලන්න යන මුල්ම සිද්ධීන් දෙක මතෙව්, මාක් සහ ලූක් සුවිශේෂවල සඳහන් වෙනවා.—මතෙව් 24:29-31 කියවන්න; මාක් 13:23-27; ලූක් 21:25-28.

9 අහසේ සිද්ධ වෙන අසාමාන්‍ය දේවල්. යේසුස් කලින්ම මෙහෙම කියලා තිබුණා. “හිරු අඳුරු වී යයි. සඳෙන් කිසි එළියක් නොලැබෙයි. තාරකා අහසින් වැටෙයි.” මහත් පීඩාවේ මේ අවස්ථාව වෙනකොට මිනිසුන්ට ආලෝකය දෙනවා කියලා කියාගන්නා ආගමික නායකයන් කොහොමත් නැති නිසා යේසුස් මේ අවස්ථාවේදී කතා කරන්නේ ඔවුන් ගැන නෙවෙයි. එහෙමනම් ඔහු කියපු ඒ දෙයින් අදහස් වෙන්නේ ඇත්තටම අහසේ අසාමාන්‍ය දේවල් දකින්න ලැබෙන එක ගැනද? සමහරවිට එහෙම වෙන්න පුළුවන්. (යෙසා. 13:9-11; යෝවෙ. 2:1, 30, 31) ඒ දේවල් දකිද්දී මිනිසුන්ට ඒ ගැන කොහොම හැඟෙයිද? “ගැලවීමට කිසි මඟක් නොදකිමින්” ඔවුන් “දැඩි වේදනා අද්දකියි.” (ලූක් 21:25; ශෙප. 1:17) ඔව්, රජවරුන්ගේ ඉඳලා දාසයන් වෙන කල් හැම තරාතිරමකම ඉන්න දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන හැමෝම ‘සිදු වෙන්න යන දේවල් ගැන නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ක්ලාන්ත වී ඇද වැටෙයි.’ බේරෙන්න මඟක් හෙව්වත් අපේ රජුගේ උදහසින් නම් ඔවුන්ට බේරෙන්න ලැබෙන්නේ නැහැ.—ලූක් 21:26; 23:30; එළි. 6:15-17.

10. යේසුස් ප්‍රකාශ කරන විනිශ්චයන් මොකක්ද? තමන්ට ලැබෙන විනිශ්චයන් ගැන දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අයට සහ ඒකට විරුද්ධ අයට හැඟෙන්නේ කොහොමද?

10 විනිශ්චය ප්‍රකාශ කරයි. ඊළඟට දකින්න ලැබෙන දේ නිසා දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අයගේ වේදනාව තවත් වැඩි වෙනවා. ඔවුන් දකින්නේ “මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද වලාකුළුවලින් එන ආකාරයයි.” (මාක් 13:26) යේසුස්ගේ ඒ පුදුමාකාර බලය හැමෝටම දකින්න ලැබෙන එකෙන් අදහස් වෙන්නේ ඔහු විනිශ්චයකරු විදිහට කටයුතු කරන්න ඇවිත් ඉන්නවා කියලයි. ඒ අවස්ථාවේදී යේසුස් දෙන විනිශ්චය මොකක්ද කියලා එළුවන් සහ බැටළුවන් ගැන කියපු උපමාවෙන් දැනගන්න පුළුවන්. (මතෙව් 25:31-33, 46 කියවන්න.) “බැටළුවන්” විදිහට විනිශ්චය ලබන දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අය ඔවුන්ගේ “ගැලවීම ළඟ” බව තේරුම්ගන්න නිසා “හිස් ඔසවනවා.” (ලූක් 21:28) හැබැයි “එළුවන්” විදිහට විනිශ්චය ලබන දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය තමන්ට “සදාකාල මරණය” හිමි වෙනවා කියලා තේරුම්ගන්න නිසා “ශෝකයෙන් තම පපුවට ගසාගන්නවා.”—මතෙ. 24:30; එළි. 1:7.

11. ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන සලකලා බලද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

11 යේසුස් “සියලු ජාතීන්” ගැන විනිශ්චය ප්‍රකාශ කළාට පස්සේ හර්-මගෙදොන් යුද්ධයට කලින් තවත් වැදගත් දේවල් කිහිපයක් ඉටු වෙන්න තියෙනවා. (මතෙ. 25:32) ඒ අතරින් ගොග්ගේ ප්‍රහාරය ගැනත් අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරන එක ගැනත් අපි බලමු. හැබැයි ඒ සිද්ධීන් ඉටු වෙන වෙලාව ගැන දෙවි අපිට හෙළි කරලා නැහැ කියන එක අපි මතක තියාගන්න ඕනේ. සමහරවිට එක සිද්ධියක් සිද්ධ වෙන අතරවාරයේදීම අනිත් සිද්ධියත් පටන්ගන්න පුළුවන්.

12. දෙවිගේ රාජ්‍යයට විරුද්ධව සාතන් කරන අන්තිම යුද්ධය මොකක්ද?

12 දෙවිගේ සෙනඟව විනාශ කරන්න උත්සාහ කරයි. පොළොවේ ඉන්න අභිෂේක ලත් අයටත් ඒ අයට සහයෝගය දෙන වෙනත් බැටළුවන්ටත් ප්‍රහාර එල්ල කරන්න මාගොග් දේශයේ ගොග් උත්සාහ කරනවා. (එසකියෙල් 38:2, 11 කියවන්න.) මේක තමයි දෙවිගේ රාජ්‍යයට විරුද්ධව ඔහු කරන අන්තිම යුද්ධය. සාතන්ව පොළොවට හෙළපු අවස්ථාවේ ඉඳන් මේ වෙන කල්ම අභිෂේක ලත් අයට විරුද්ධව සාතන් යුද්ධ කරලා තියෙනවා. (එළි. 12:7-9, 17) අභිෂේක ලත් අයව ක්‍රිස්තියානි සභාවට එකතු කරන්න පටන්ගත්ත කාලයේ ඉඳන්ම ඔහු උත්සාහ කළා දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය නිසා ඒ අයට ලැබිලා තියෙන හැම ආශීර්වාදයක්ම නැති කරලා දාන්න. හැබැයි ඒක කරන්න ඔහුට පුළුවන් වුණේ නැහැ. (මතෙ. 13:30) අසත්‍යය උගන්වන ආගම් විනාශ වුණාට පස්සේ ඉතුරු වෙලා ඉන්න දෙවිගේ සෙනඟව සාතන් දකින්නේ “දොරවල්වත් දොරගුලුවත් . . . පවුරක්වත් නැති” අනාරක්ෂිත සෙනඟක් විදිහටයි. ඒ නිසා දෙවිගේ සෙනඟව විනාශ කරලා දාන්න තියෙන හොඳම අවස්ථාව ඒකයි කියලා හිතන සාතන් ඒ දේ කරන්න ඔහුගේ දුෂ්ට නියෝජිතයන්ව පොලඹවනවා.

13. යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් මැදිහත් වෙන්නේ කොහොමද?

13 ඒ අවස්ථාවේදී ගොග් ක්‍රියා කරන විදිහ ගැන එසකියෙල් මෙහෙම වාර්තා කරලා තියෙනවා. “ඔබ උතුරුකරයේ ඉතා ඈතින් පිහිටි ඔබේ වාසස්ථානයෙන් පිටත්ව එනු ඇත. අශ්වයන් පිට නැඟී එන අතිවිශාල යුධ හමුදාවක් ඔබ සමඟ පැමිණෙනු ඇත. ඔබ දේශය වසාගන්නා ගන වලාවක් මෙන් මාගේ සෙනඟට . . . විරුද්ධව පැමිණෙන්නෙහිය.” (එස. 38:15, 16) කිසිම කෙනෙකුට නවත්වන්න බැහැ වගේ පේන ඒ ප්‍රහාරය වළක්වන්න යෙහෝවා දෙවි මැදිහත් වෙයිද? ඔව්. “මාගේ උදහස දැවෙනු ඇත” කියලත් මම “කඩුවක් එවන්නෙමි” කියලත් යෙහෝවා දෙවිම කියලා තියෙන දෙයින් ඒක පැහැදිලි වෙනවා. (එස. 38:18, 21; සෙකරියා 2:8 කියවන්න.) තමන්ගේ සෙනඟව ගලවාගන්න යෙහෝවා දෙවි මැදිහත් වෙන ඒ අවස්ථාවේදී තමයි හර්-මගෙදොන් යුද්ධය පටන්ගන්නේ.

14, 15. සාතන් දෙවිගේ සෙනඟට ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්තාට පස්සේ සිද්ධ වෙන්නේ මොනවාද?

14 හර්-මගෙදොන් යුද්ධයේදී යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව ගලවාගන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි තවත් වැදගත් සිද්ධියක් ගැන බලමු. 11වෙනි ඡේදයේ සඳහන් වුණු විදිහට ඒ සිද්ධිය තමයි පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරන එක. ඒක සිද්ධ වෙන්නේ සාතන් දෙවිගේ සෙනඟට විරුද්ධව යුද්ධ කරන්න පටන්ගන්න කාලයත් හර්-මගෙදොන් යුද්ධය ආරම්භ වෙන කාලයත් අතරතුරේදියි.

15 අභිෂේක ලත් අයව ස්වර්ගයට ගනියි. හර්-මගෙදොන් යුද්ධය ආරම්භ වෙන්න කලින් සිද්ධ වෙන දේවල් ගැන කතා කරද්දී යේසුස් “තෝරාගත් අය” ඒ කියන්නේ අභිෂේක ලත් අය ගැනත් සඳහන් කළා. මතෙව් සහ මාක් ඒ ගැන වාර්තා කළා. (7 ඡේදය බලන්න.) රජු හැටියට තමන් කරන්න යන දේ ගැන යේසුස් මෙහෙම කිව්වා. “ඔහු [යේසුස්] දේවදූතයන්ව එවා තමා වෙනුවෙන් තෝරාගත් අයව පොළොවෙන්ද ස්වර්ගයෙන්ද එනම්, සෑම තැනකින්ම රැස් කරයි.” (මාක් 13:27; මතෙ. 24:31) යේසුස් ඒ අවස්ථාවේදී සඳහන් කරන රැස් කරන වැඩේ මොකක්ද? ඔහු සඳහන් කළේ මහත් පීඩාව පටන්ගන්න මොහොතකට කලින් අභිෂේක ලත් අයට අවසන් මුද්‍රාව දෙන එක ගැන නෙවෙයි. (එළි. 7:1-3) ඒ වෙනුවට ඔහු සඳහන් කළේ මහත් පීඩාව අතරතුරේදී සිද්ධ වෙන දෙයක් ගැනයි. ඒ තොරතුරුවලට අනුව සාතන් දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරය එල්ල කරන්න පටන්ගත්තාට පස්සේ යම් අවස්ථාවක පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරයි කියලා හිතන්න පුළුවන්.

16. නැවත නැඟිටුණු අභිෂේක ලත් අය හර්-මගෙදොන් යුද්ධයට හවුල් වෙන්නේ කොහොමද?

16 හර්-මගෙදොන් යුද්ධයට කලින් පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් හැමෝවම ස්වර්ගයට රැස් කරයිද? තියෙන තොරතුරුවලට අනුව හර්-මගෙදොන් යුද්ධයට කලින් අභිෂේක ලත් හැම කෙනෙක්ම ස්වර්ගයේ ඉන්න ඕනේ. ඒ හැමෝම ස්වර්ගයට ගියාට පස්සේ වෙන්නේ මොකක්ද? දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන හැම කෙනෙක්වම ක්‍රිස්තුස් “යකඩ දණ්ඩකින්” විනාශ කරද්දී ඔහුත් එක්ක හවුල් වෙන්න නැවත නැඟිටුණු 1,44,000දෙනාට බලය ලැබෙනවා. (එළි. 2:26, 27) ඊටපස්සේ ඔවුන් සැරසෙන්නේ බලවත් දේවදූතයන් සහ ජයග්‍රාහී රජු එක්ක එකතු වෙලා දෙවිගේ සෙනඟව නැති කරන්න මාන බලන “අතිවිශාල යුධ හමුදාවට” විරුද්ධව සටන් කරන්නයි. (එස. 38:15) මේ බිහිසුණු සටනට තමයි හර්-මගෙදොන් යුද්ධය කියන්නේ.—එළි. 16:16.

මහත් පීඩාවේ අවසාන අදියරය

හර්-මගෙදොන් යුද්ධයේ ආරම්භය

17. “එළුවන්” විදිහට විනිශ්චය ලබපු අයට හර්-මගෙදොන් යුද්ධයේදී සිද්ධ වෙන්නේ මොනවාද?

17 දඬුවම ක්‍රියාත්මක කරයි. මහත් පීඩාව අවසන් වෙන්නේ හර්-මගෙදොන් යුද්ධයෙන්. “සියලු ජාතීන්ව” විනිශ්චය කරපු යේසුස් “එළුවන්” විදිහට විනිශ්චය ලබපු අයට දීපු දඬුවම ක්‍රියාත්මක කරන්නේ ඒ අවස්ථාවේදියි. (මතෙ. 25:32, 33) “තියුණු දිග කඩුවකින්” ඔහු “ජාතීන්ට පහර දෙනවා.” ප්‍රතිඵලයක් විදිහට එළුවන් විදිහට විනිශ්චය ලබපු “රජවරුන්” “දාසයන්” ඇතුළු හැම කෙනෙක්ටම “සදාකාල මරණය” උරුම වෙනවා.—එළි. 19:15, 18; මතෙ. 25:46.

18. (අ) “බැටළුවන්” විදිහට විනිශ්චය ලබපු අයට සිද්ධ වෙන්නේ මොනවාද? (ආ) යේසුස් ඔහුගේ සතුරන්ව පරාජය කරන්නේ කොහොමද?

18 “බැටළුවන්” විදිහට විනිශ්චය ලබපු අය ගැන කියන්න පුළුවන් මොනවාද? “එළුවන්” ගොඩට වැටුණු සාතන්ගේ සතුරු හමුදාව එක්ක බලද්දී “මහත් සමූහයව” පෙනෙන්නේ හරියට අන්ත අසරණ තත්වයකට පත් වෙලා ඉන්න සෙනඟක් විදිහටයි. ඒත් ඒ අය සතුරන් අතින් ගැලවෙනවා. ඔව්, ඔවුන් “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වෙනවා. (එළි. 7:9, 14) දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන හැමෝවම විනාශ කළාට පස්සේ යේසුස් සාතන්වත් ඔහුගේ භූතයන්වත් අගාධයේ දාලා අවුරුදු දාහකට හිර කරනවා. හරියට මිය ගොස් සිටින අය වගේ ඒ අය ඉන්නේ කිසිම දෙයක් කරගන්න බැරි තත්වයකයි.—එළිදරව් 6:2; 20:1-3 කියවන්න.

අපිට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

19, 20. යෙසායා 26:20 සහ 30:21 සඳහන් වෙන දේ අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

19 අනාගතයේදී සිද්ධ වෙන්න තියෙන ඒ භයානක දේවලට සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? අවුරුදු ගාණකට කලින් ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණා “ගැලවීම තීරණය වෙන්නේ කීකරුකම මතයි” කියලා. ඒ ඇයි? ඒක තේරුම්ගන්න යෙහෝවා දෙවි බැබිලෝනියේ වහල්භාවයේ හිටිය යුදෙව්වන්ට කියපු දේ බලමු. යෙහෝවා දෙවි කලින්ම කියලා තිබුණා බැබිලෝනිය විනාශ වෙනවා කියලා. හැබැයි ඒකට සූදානමින් ඉන්න නම් දෙවිගේ සෙනඟ කරන්න ඕන දේ ගැන ඔහු මෙහෙම පැහැදිලි කළා. “මගේ සෙනඟෙනි, ඔබේ නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න. උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න.” (යෙසා. 26:20) යුදෙව්වන් කරන්න ඕන දේවල් ගැන දෙවි පැහැදිලි ආඥාවන් දීලා තියෙනවා. ඒ ආඥාවලට කීකරු වුණු යුදෙව්වන් ඒ අයගේ ගෙවල්වලටම වෙලා හිටියා. ඒ අයගේ ගැලවීම තීරණය වුණේ ඔවුන් දෙවි දීපු ආඥාවලට කීකරු වෙනවාද නැද්ද කියන එක මතයි. b

20 අතීතයේදී වගේම අදටත් දෙවිගේ සෙනඟගේ ගැලවීම තීරණය වෙන්නේ දෙවිගේ ආඥාවලට කීකරු වෙනවාද නැද්ද කියන එක මතයි. (යෙසා. 30:21) දෙවි මේ කාලයේදී අපිට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දෙන්නේ සභාව මාර්ගයෙන්. ඒ මඟ පෙන්වීම් ලැබෙද්දී ඒවාට කැමැත්තෙන්ම කීකරු වෙන්න අපි සූදානමින් ඉන්න ඕනේ. (1 යොහ. 5:3) අපි දැන් ඉඳලම දෙවිගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් අනාගතයේදීත් කැමැත්තෙන්ම දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපිට පුළුවන් වෙනවා. එහෙම කළොත් තමයි අපේ දෙවි පියාණන්ගෙත් අපේ රජු වන යේසුස්ගෙත් ආරක්ෂාව අපිට ලැබෙන්නේ. (ශෙප. 2:3) එතකොට දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අයව සම්පූර්ණයෙන්ම විනාශ වෙන විදිහ දැකගන්න අපිට පුළුවන් වෙයි. ඒක මොන තරම් පුදුමාකාර අද්දැකීමක් වෙයිද!

a “මහ බැබිලෝනියේ” විනාශයෙන් මූලිකවම අදහස් වෙන්නේ අසත්‍යය උගන්වන ආගම්වල විනාශය මිසක් ඒ ආගම්වල ඉන්න මිනිසුන්ගේ විනාශය නෙවෙයි කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මහ බැබිලෝනිය විනාශ වෙද්දී හුඟක් මිනිසුන් බේරෙයි. ඒ අය බේරුණාට පස්සේ සමහරවිට ඔවුන් ඒ ආගම්වලට අයිතිව හිටියේ නැහැ කියලා අඟවන්න උත්සාහ කරයි.—සෙක. 13:4-6.