Skip to content

පටුනට යන්න

22වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ කැමැත්ත පොළොව පුරා ඉටු වෙයි

දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ කැමැත්ත පොළොව පුරා ඉටු වෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

මිනිස් වර්ගයා සහ පොළොව සම්බන්ධයෙන් දෙවි දීලා තියෙන පොරොන්දු දෙවිගේ රාජ්‍යයෙන් ඉටු වෙනවා

1, 2. (අ) සමහර අවස්ථාවලදී මේ පොළොව පාරාදීසයක් වෙයි කියලා හිතන එක අමාරු ඇයි? (ආ) දෙවි දීලා තියෙන පොරොන්දු ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

 දවස පුරාම වෙහෙසිලා වැඩ කරපු සහෝදරයෙක් සභාවේ රැස්වීමකට එනවා. එදා රැකියාවේ ස්වාමියා ඔහුට සලකලා තියෙන්නේ හරිම අසාධාරණ විදිහට. පවුලේ අයගේ අවශ්‍යතා සපුරන්නේ කොහොමද කියලත් බිරිඳගේ අසනීප තත්වය ගැනත් කල්පනා කරන ඔහුගේ මනසේ තියෙන්නේ ලොකු බරක්. හැබැයි රැස්වීම පටන්ගන්න කලින් ගායනා කරන ගීතිකාවේ සංගීතය ඇහෙද්දී ඔහු සැනසුම් සුසුමක් හෙළලා පවුලේ අයත් එක්ක සතුටින් ඒ ගීතිකාව ගායනා කරනවා. රැස්වීමට ආපු එක කොයි තරම් හොඳද කියලා ඔහුට හිතෙනවා. ගායනා කරන ගීතිකාවේ සඳහන් වෙන්නේ පාරාදීස පොළොවක ජීවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තුව ගැනයි. ඒක හිතින් මවාගන්න කියලා ඒ ගීතිකාවේ පදවල සඳහන් වෙනවා. ඒ ගීතිකාව ගායනා කරන හැම අවස්ථාවකදීම ඔහු ලොකු සතුටක් ලබලා තියෙනවා. දැන් පවුලේ අයත් එක්ක ඒ ගීතිකාව ගායනා කරද්දී මේ සහෝදරයාට දැනෙන්නේ ලොකු සහනයක්.

2 කවදා හරි ඔබටත් එහෙම හැඟිලා තියෙනවාද? අපි අතරේ ඉන්න හුඟක් අයට එහෙම හැඟුණු අවස්ථාවන් තියෙනවා. ප්‍රශ්න ගැටලුවලින් පිරිලා තියෙන මේ ලෝකෙ ඉද්දී මේ පොළොව පාරාදීසයක් වෙයි කියලා හිතන එක ලෙහෙසි නැහැ. අපි දැන් ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක.” (2 තිමෝ. 3:1) ඒ නිසා මේ ලෝකය කිසිම විදිහකින්වත් පාරාදීසයකට සමාන කරන්න බැහැ. අපිට අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව ඇත්තක් කියලා හිතන්න උදව් වෙන්නේ මොනවාද? ළඟදීම දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද? අතීතයේදී ඉටු වුණු දෙවිගේ පොරොන්දු අතරින් කිහිපයක් ගැනත් ඒවා අද ඉටු වෙන විදිහ ගැනත් අපි බලමු. ඒ වගේම ඒ පොරොන්දු අනාගතයේදී ඉටු වෙන්නේ කොහොමද කියලත් බලමු.

අතීතයේදී දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරපු විදිහ

3. වහල්භාවයේ හිටිය යුදෙව්වන්ට සහනයක් වුණේ දෙවි දීපු මොන පොරොන්දුවද?

3 ක්‍රි.පූ. හයවෙනි සියවසේදී බැබිලෝනියේ වහල්භාවයේ හිටිය යුදෙව්වන් ගෙවපු ජීවිතය ගැන ටිකකට හිතන්න. ඒ අය අතරින් වැඩිදෙනෙක් ඉපදිලා තියෙන්නෙත් එහෙදිමයි. යෙහෝවා දෙවිව විශ්වාස කරන එක ගැන බැබිලෝනිවරුන් ඔවුන්ට සමච්චල් කළා. (ගීතා. 137:1-3) හැබැයි යෙහෝවා දෙවි යුදෙව්වන්ට පොරොන්දු වෙලා තිබුණා ඔවුන්ව ආපහු යූදා දේශයට ගෙනියලා ප්‍රීතිමත් ජීවිතයක් උදා කරලා දෙනවා කියලා. ඒ පොරොන්දුව ඉටු වෙන කාලය එන කල් යුදෙව්වන් බලන් හිටියේ හුඟක් ආසාවෙන්. යූදා දේශය ඒදන් උයන වගේ ලස්සන කරනවා කියලත් දෙවි පොරොන්දු වෙලා තිබුණා. (යෙසායා 51:3 කියවන්න.) දෙවිගේ සෙනඟට තිබුණු සැකයන් නැති කරගන්න තමයි දෙවි ඒ වගේ පොරොන්දු දීලා තිබුණේ. ඒක තේරුම්ගන්න දෙවි දීපු නිශ්චිත පොරොන්දු කිහිපයක් ගැන දැන් බලමු.

4. යූදා දේශයේදී තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා දෙවි පොරොන්දු වුණේ කොහොමද?

4 ආරක්ෂාව. යුදෙව්වන්ට එන්න වුණේ අවුරුදු 70ක්ම පාළුවට ගිහින් තිබුණු දේශයකට. හුඟක් අය ඒ දේශය දැකලා තිබුණෙත් නැහැ. ඒ කාලෙදී සිංහයන්, වෘකයන් සහ දිවියන් වගේ වන සත්තු ඒ වගේ ප්‍රදේශවල ඉඳලා තියෙනවා. ඒ නිසා යූදා දේශයට ගියාම ‘බිරිඳවත් දරුවන්වත් ආරක්ෂා කරගන්නේ කොහොමද, බැටළුවන්ව ගවයන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද’ වගේ දේවල් ගැන වහල්භාවයේ හිටිය පුරුෂයන් කල්පනා කරන්න ඇති. යෙසායා පොතේ සඳහන් වෙලා තියෙන දෙවිගේ පොරොන්දුවෙන් ඒ අයට කොයි තරම් සහනයක් ලැබෙන්න ඇද්ද! (යෙසායා 11:6-9 කියවන්න.) ඒ පොරොන්දුවෙන් දෙවි යුදෙව්වන්ට සහතික කළා ඔවුන්ටවත් ඔවුන් ඇති දැඩි කරපු සතුන්ටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. සිංහයන් පිදුරු කනවා කියලා යෙහෝවා දෙවි කියපු එකෙන් ඒ වගේ සතුන්ගෙන් ගවයන්ට කිසි හානියක් වෙන්නේ නැහැ කියලා යුදෙව්වන්ට පැහැදිලි වුණා. යූදා දේශයේ වනාන්තර සහ කැලෑවල වුණත් දෙවිගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා දෙවි පොරොන්දු වෙලා තිබුණා.—එස. 34:25.

5. දෙවි කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා විශ්වාස කරන්න යුදෙව්වන්ට උදව් වුණේ මොන පොරොන්දුද?

5 කිසිම හිඟයක් නැහැ. සමහරු මෙහෙමත් හිතන්න ඇති. ‘යූදා දේශයට ගියාට පස්සේ මගේ පවුලේ අයට කන්න බොන්න දෙන්න මට පුළුවන් වෙයිද? ගිහින් ඉන්නේ කොහෙද? වහලුන් විදිහට මෙහේ කරන වැඩවලින් කිසිම සතුටක් ලැබෙන්නේ නැති වුණත් එහේ ගිහින් කරන්න තියෙන වැඩවලින් සතුටක් ලබන්න පුළුවන් වෙයිද?’ යෙහෝවා දෙවිගේ පොරොන්දුවලින් යුදෙව්වන්ගේ හිතේ ඇති වුණු ඒ වගේ ප්‍රශ්නවලටත් පිළිතුරු ලැබුණා. යූදා දේශයට යන අයට නියමිත කාලයේදී වැසි ලැබෙනවා කියලත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ට “හොඳ පලදාවක්” ලැබෙනවා කියලත් දෙවි කිව්වා. (යෙසා. 30:23) ජීවත් වෙන්නේ කොහෙද, සතුටක් ලබන්න පුළුවන් වැඩ තියෙයිද කියලා කල්පනා කරපු අයට මේ පොරොන්දුවෙන් ලොකු සැනසීමක් ලැබෙන්න ඇති. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.” (යෙසා. 65:21, 22) බොරු නමස්කාරය පැතිරිලා තිබුණු බැබිලෝනියේ ගෙවන වහල් ජීවිතයට වඩා යූදා දේශයට ගියාට පස්සේ ගත කරන්න ලැබෙන ජීවිතය හැම අතින්ම හොඳයි. ඒත් යුදෙව්වන් කලින් කරපු වැරදි ආපහු කරන එක වළක්වන්න දෙවි ගත්ත පියවර මොකක්ද?

6. යුදෙව්වන් වහල්භාවයට යන්න කලින් හැසිරිලා තියෙන්නේ කවුරුන් වගේද? දෙවි ඒ අයට දීපු පොරොන්දුව මොකක්ද?

6 දෙවි එක්ක හොඳ බැඳීමක්. දෙවිත් එක්ක යුදෙව්වන්ට තිබුණු බැඳීම එයාලා වහල්භාවයට යන්න හුඟ කාලෙකට කලින් ඉඳලම දුර්වල වෙලා තිබුණා. “ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත” කියලා යෙහෝවා දෙවි ඔවුන්ට කිව්වේ ඒ නිසයි. (යෙසා 1:5) යෙහෝවා දෙවි දීපු මඟ පෙන්වීම්වලට ඔවුන් සවන් දුන්නේ නැහැ. ඒවා ගණනකටවත් ගත්තේ නැහැ. ඒ අය හිටියේ හරියට අන්ධයන් බිහිරන් වගෙයි. (යෙසා 6:10; යෙරෙ 5:21; එස 12:2) ඒ අය ආයෙත් යූදා දේශයට ආවට පස්සෙත් ඒ විදිහටම හැසිරුණොත් ඔවුන්ට ආරක්ෂාවක් ලැබෙයිද? ආයෙත් ඔවුන්ට දෙවිගේ අනුමැතිය අහිමි වෙයිද? යෙහෝවා දෙවි ඔවුන්ට මෙහෙම පොරොන්දු වුණා. “ඒ දවසේදී බිහිරි අයට ලියවිල්ලේ සඳහන් වචන ඇසෙනු ඇත. ඝනාන්ධකාරයේ සිටින අන්ධයන්ට පවා පෙනීම ලැබෙනු ඇත.” (යෙසා 29:18) ඒක යුදෙව්වන්ට කොයි තරම් ලොකු සහනයක් වෙන්න ඇද්ද! අන්ධයන් බිහිරන් වගේ හැසිරුණු යුදෙව්වන් ඒ ගැන පසුතැවිලි වුණු නිසා ඔවුන්ට සමාව දෙන්න යෙහෝවා දෙවි කැමති වුණා. ඒ සෙනඟ දෙවිට කීකරු වෙන තාක් කල් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ඒ අයට අවස්ථාව තිබුණා.

7. දෙවි යුදෙව්වන්ට දීපු පොරොන්දු ඉටු කළේ කොහොමද? ඒ ගැන කල්පනා කරද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

7 යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කළාද? ඔව්. දෙවි පොරොන්දු වුණු විදිහටම යූදා දේශයට ආපු යුදෙව්වන්ව ඔහු ආරක්ෂා කළා. උදාහරණයකට අවට ජීවත් වුණු බලවත් ජාතීන්ගෙන් දෙවි ඔවුන්ව ආරක්ෂා කළා. ඔවුන්ගේ සතුන්ව වනමෘගයන්ගෙන් ආරක්ෂා වෙන්න සැලැස්සුවා. ඔවුන්ට කිසිම දේකින් අඩුවක් වෙන්න දෙවි ඉඩ තිබ්බේ නැහැ. දෙවි එක්ක හොඳ බැඳීමක් පවත්වාගන්නත් ඔවුන්ට උදව් කළා. යෙසායා, යෙරෙමියා සහ එසකියෙල් වගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පාරාදීස පොළොවක් ගැන දෙවි දීපු පොරොන්දු සම්පූර්ණයෙන්ම ඉටු වෙන විදිහ ඒ අය අද්දැක්කේ නැහැ. හැබැයි ඒ කාලෙදී දෙවිගේ පොරොන්දු යම් ප්‍රමාණයකින් හරි ඉටු වුණු විදිහ දැක්කාම ඔවුන් ඒ ගැන හුඟක් පුදුම වුණා. ඒක ඔවුන්ට හොඳටම ප්‍රමාණවත් වුණා. අතීතයේදී දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරලා තියෙන විදිහ ගැන කල්පනා කරද්දී අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි. එදා යුදෙව්වන් යෙහෝවා දෙවි දීපු පොරොන්දු සම්පූර්ණයෙන්ම ඉටු වෙන විදිහ දැක්කේ නැති වුණත් ඒ අය දැකපු දේවලින් හුඟක් සතුටු වුණා නම් අනාගතයේදී ඒ පොරොන්දු සම්පූර්ණයෙන්ම ඉටු වෙද්දී අපිට ඒ ගැන කොහොම හැඟෙයිද! යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දු මේ කාලයේදී ඉටු වෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

යෙහෝවා දෙවිගේ පොරොන්දු මේ කාලයේ ඉටු වෙන විදිහ

8. දෙවිගේ සෙනඟට අද තියෙන්නේ මොන වගේ දේශයක්ද?

8 යෙහෝවා දෙවිගේ සෙනඟ දැන් එක විශේෂ ජාතියකට අයිති වෙන්නේ නැහැ. ඒ අයටම කියලා වෙන් වුණු දේශයකුත් නැහැ. ඒ වෙනුවට දේශයක් හා සමාන සංවිධානයක් දෙවි ඔවුන්ට දීලා තියෙනවා. ඒ සංවිධානයේ ඉන්න “දෙවිගේ ඊශ්‍රායෙලය” විදිහට හඳුන්වන අභිෂේක ලත් අය දෙවිට අයිති ජාතියක් විදිහට සේවය කරනවා. (ගලා. 6:16) ඒ අයට සහාය වෙන “වෙනත් බැටළුවනුත්” ඔවුන් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට නමස්කාර කරනවා. ඔවුන්ගේ ජීවිතයේ හැම කාරණයක්ම දෙවිට කරන නමස්කාරයට සම්බන්ධයි. (යොහ. 10:16; යෙසා. 66:8) දෙවිගේ සංවිධානයේ ඉන්න අපි පාරාදීසයක් ගැන දෙවි දීලා තියෙන පොරොන්දුව දැනටමත් යම් ආකාරයකින් අද්දකිනවා කියලා කියන්න පුළුවන්. ඒ කොහොමද?

9, 10. (අ) යෙසායා 11:6-9 සඳහන් අනාවැකිය අද ඉටු වෙන්නේ කොහොමද? (ආ) දෙවිගේ සෙනඟ සාමකාමී සෙනඟක් විදිහට ක්‍රියා කරනවා කියලා කියන්න පුළුවන් ඇයි?

9 ආරක්ෂාව. යෙසායා 11:6-9 සඳහන් වෙන අනාවැකියට අනුව පාරාදීස පොළොවේදී හීලෑ සතුන් සහ මිනිසුන් එක්ක වනමෘගයන් සාමයෙන් ඉන්නවා. ඒ අනාවැකිය යම් ආකාරයකින් අදත් ඉටු වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ වනසතුන් කිසිම හානියක් වෙන විදිහට හැසිරෙන්නේ නැත්තේ ඇයි කියලා 9වෙනි පදයේ පැහැදිලි කරනවා. ඒකට හේතුව ‘ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන’ නිසයි. සතුන්ට ‘යෙහෝවා දෙවි පිළිබඳ දැනුම’ ලබාගෙන වෙනස් වෙන්න හැකියාවක් නැහැ. එහෙමනම් එතැන කතා කරන්නේ මිනිසුන් දෙවි ගැන ඉගෙනගෙන සාමකාමීව හැසිරෙන්න පටන්ගන්න එක ගැනයි. දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් හැටියට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් තමන් ළඟ තිබුණු නරක ගතිගුණ වෙනස් කරගෙන සහෝදර සහෝදරියන් එක්ක අද සාමයෙන් කටයුතු කරනවා.

10 යුද්ධවලට සහ දේශපාලන කටයුතුවලට හවුල් නොවී ඉන්න බයිබලයේ තියෙන පදනම ගැනත් ඒවාට හවුල් වෙන්නේ නැති නිසා දෙවිගේ සෙනඟට මුහුණ දෙන්න වෙලා තියෙන දේවල් ගැනත් අපි මේ පොතෙන් සාකච්ඡා කළා. මරණ තර්ජන ආවත් කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට හවුල් වෙන්නේ නැති සෙනඟක් මේ කුරිරු ලෝකයේ ඉන්න එක කොයි තරම් වටිනවාද! දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් සාමකාමී සෙනඟක් විදිහට ක්‍රියා කරනවා. යෙසායා කියපු අනාවැකිය දැනටත් ඉටු වෙනවා කියලා කියන්න ඒක කදිම සාක්ෂියක්. යේසුස් කිව්වෙත් ඔහුගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඔවුන් අතරේ තියෙන ප්‍රේමයෙන් කියලයි. (යොහ. 13:34, 35) ඔහු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට සාමයෙන්, ප්‍රේමයෙන් සහ මෘදුකමින් ක්‍රියා කරන්න උගන්වනවා.—මතෙ. 24:45-47.

11, 12. අද මිනිසුන් අද්දකින්නේ මොන වගේ සාගතයක්ද? යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට කිසිම දේකින් හිඟයක් අද්දකින්න ඉඩ දීලා නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?

11 කිසිම හිඟයක් නැහැ. අද ඉන්න හුඟදෙනෙක්ට සැබෑ දෙවි ගැන නිවැරදි දැනුමක් ලැබිලා නැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ දේශය තුළ සාගතයක් ඇති කරන්නෙමි. එය කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වන සාගතයක් නොව යෙහෝවා දෙවි වන මාගේ වචන අසන්න නොලැබීම නිසා ඇති වන සාගතයකි.’” (ආමො. 8:11) දෙවිගේ රාජ්‍යයේ පුරවැසියනුත් ඒ වගේ සාගතයකට මුහුණ දෙනවාද? නැහැ. ඒ ගැන යෙහෝවා දෙවි මෙහෙම කියලා තියෙනවා. “මාගේ සේවකයන් කෑම කා තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය. මාගේ සේවකයන්ට බොන්න තිබුණත් ඔබ පිපාසයෙන් සිටින්නහුය. මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත් ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.” (යෙසා. 65:13) දෙවි කියපු ඒ දේ ඉටු වෙන විදිහ ඔබට පෙනෙනවාද?

12 නොනැවතී ගලන ගඟක් වගේ අද අපිට ඇති තරම් දෙවිගේ මඟ පෙන්වීම් ලැබෙනවා. (එස. 47:1-12; යෝවෙ. 3:18) සඟරා, පොත් පත්, වීඩියෝ, රැස්වීම්, සමුළු වගේම අපේ වෙබ් අඩවියෙන් දෙවි එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න අපිට ඕන තරම් තොරතුරු ලැබෙනවා. අපිට කිසිම දේකින් හිඟයක් අද්දකින්න ඉඩ දෙන්නේ නැහැ කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ඔහු ඒ විදිහටම ඉටු කරන එක ගැන ඔබට පුදුම හිතෙන්නේ නැද්ද? දෙවි අපිට ලබා දෙන සැපයුම්වලින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද?

දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම පවත්වාගන්න අවශ්‍ය පෝෂණය, ආරක්ෂාව සහ උපකාර සභාව මාර්ගයෙන් ලැබෙනවා

13. අන්ධයන්ට පෙනීම ලැබෙන එක ගැනත් බිහිරන්ට සුවය ලැබෙන එක ගැනත් දෙවි දීලා තියෙන පොරොන්දුව අද ඉටු වෙන්නේ කොහොමද?

13 දෙවි එක්ක හොඳ බැඳීමක්. අද ඉන්න හුඟක් අයට සත්‍යය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ අය හැසිරෙන්නේ හරියට අන්ධයන් සහ බිහිරන් වගෙයි. (2 කොරි. 4:4) හැබැයි ලෝකෙ පුරාම ඉන්න ඒ වගේ අයව ක්‍රිස්තුස් සුව කරනවා. අසත්‍ය ඉගැන්වීම් නිසා අන්ධයන් සහ බිහිරන් වගේ හිටපු හුඟක් අය දෙවි ගැන නිවැරදි දැනුම ලබාගෙන සත්‍යයට එන විදිහ ඔබ දැකලා තියෙනවාද? එහෙමනම් බයිබලයේ සඳහන් වෙන මේ පොරොන්දුව ඉටු වෙන විදිහ දැකලා තියෙනවා කියලා ඔබට කියන්න පුළුවන්. “ඒ දවසේදී බිහිරි අයට ලියවිල්ලේ සඳහන් වචන ඇසෙනු ඇත. ඝනාන්ධකාරයේ සිටින අන්ධයන්ට පවා පෙනීම ලැබෙනු ඇත.” (යෙසා. 29:18) හැම අවුරුද්දකම, අසත්‍ය ඉගැන්වීම් අත්හැරලා සැබෑ නමස්කාරයට එන සියදහස් ගණන් අය ඒ වගේ සුවය ලබනවා. යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා කියලා කියන්න ඒක කදිම සාක්ෂියක්.

14. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොනවාද?

14 පාරාදීසයක් වගේ වාතාවරණයක ජීවත් වෙන්න ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්වලා තියෙන විදිහ ගැන මේ පොතේ හැම පරිච්ඡේදයකින්ම සාකච්ඡා කළා. අපි කොයි තරම් ආශීර්වාද අද්දකිනවාද කියලා තේරුම්ගන්න උදව් වුණු ඒ තොරතුරු ගැන නිතරම කල්පනා කරමු. යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දු ඔහු ඒ විදිහටම ඉටු කරයි කියලා අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඒක අපිට උදව් වෙයි.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

15. මුළු පොළොවම පාරාදීසයක් වෙනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි?

15 මුළු පොළොවම පාරාදීසයක් කරන එක යෙහෝවා දෙවිගේ මුල් අරමුණට අයිති වුණු දෙයක්. ආදම් සහ ඒවව පාරාදීසයක් වගේ උයනක පදිංචි කළාට පස්සේ මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරලා සියලු සතුන්ව රැකබලා ගන්න කියලා දෙවි කිව්වේ ඒ නිසයි. (උත්. 1:28) හැබැයි ආදම් සහ ඒව සාතන්ගේ පැත්ත අරන් දෙවිට අකීකරු වුණු නිසා මුළු මිනිස් වර්ගයාටම පාපයත් මරණයත් උරුම වුණා. ඒ වුණත් දෙවිගේ අරමුණ නම් වෙනස් වුණේ නැහැ. ඔහු යම් දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා. (යෙසායා 55:10, 11 කියවන්න.) ඒ නිසා දෙවි අරමුණු කරපු විදිහටම ආදම් සහ ඒවගෙන් පැවත එන අය මුළු පොළොව පුරාම පැතිරිලා දෙවි නිර්මාණය කරලා තියෙන දේවල් ආදරෙන් රැකබලා ගනියි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. අතීතයේදී වහල්භාවයේ හිටිය යුදෙව්වන්ට දෙවි දීපු පොරොන්දු සම්පූර්ණයෙන්ම ඉටු වෙන ඒ කාලෙදී අපිට අද්දකින්න ලැබෙන දේවල් ගැන දැන් බලමු.

16. පාරාදීස පොළොවේදී අපිට අද්දකින්න ලැබෙන ආරක්ෂාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

16 ආරක්ෂාව. වැඩි කාලයක් යන්න කලින් යෙසායා 11:6-9 පදවල සඳහන් වෙන පොරොන්දුව සම්පූර්ණයෙන්ම ඉටු වෙන විදිහ දැකගන්න අපිට පුළුවන්. ඒ කාලෙදී කිසිම බයක් සැකක් නැතුව පොළොවේ ඕනෙම තැනකට යන්න අපිට පුළුවන් වෙනවා. මිනිසුන්ගෙන්වත් සතුන්ගෙන්වත් කිසිම හානියක් වෙන්නේ නැහැ. මුළු පොළොවම ඔබේම නිවස කියලා හිතන්න පුළුවන් වෙන ඒ කාලය ගැන ටිකකට හිතන්න. කිසිම බයක් නැතුව ඇළදොළ, ගංගා සහ මහ මුහුදේ පීනන්නත් කඳු නඟින්න වගේම ලස්සන ප්‍රදේශවල සිරි නරඹන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. අඳුර වැටුණත් ඔබට බය වෙන්න හේතුවක් නැහැ. එදාට එසකියෙල් 34:25 සඳහන් දේ සම්පූර්ණයෙන්ම ඉටු වෙන නිසා “වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත්” පුළුවන් වෙනවා.

17. දෙවිගේ රාජ්‍යය මුළු පොළොවම පාලනය කරද්දී යෙහෝවා දෙවි අපේ හැම අවශ්‍යතාවක්ම ඉටු කරයි කියලා කියන්න පුළුවන් ඇයි?

17 කිසිම හිඟයක් නැහැ. දිලිඳුකම, මන්දපෝෂණය සහ සාගත නැති කාලයක් ගැන මොහොතකට හිතන්න. දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන්ගේ හැම අවශ්‍යතාවක්ම ඉටු වෙයි කියලා කියන්න දැනටත් දෙවිගේ සෙනඟ අද්දකින ආශීර්වාද හොඳ සාක්ෂියක් නෙවෙයිද! යේසුස් මේ පොළොවේ හිටිය කාලෙදී රොටි කිහිපයකින් සහ මසුන් කිහිපදෙනෙක්ගෙන් දහස් ගණනකට කෑම දුන්නා. (මතෙ. 14:17, 18; 15:34-36; මාක් 8:19, 20) දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන්ගේ අවශ්‍යතා කොයි තරම් හොඳින් ඉටු වෙයිද කියලා ඒකෙන් තේරුම්ගන්න පුළුවන්. “දෙවි බීජ වපුරන කාලයේදී ඔබට වර්ෂාව දී හොඳ පලදාවක් ලබා දෙන්නේය. ඔබ ප්‍රණීත වූ හොඳම කෑම කන්නහුය. ඔබේ සතුන්ට ලගින්න ඇති තරම් තණබිම් තිබෙයි.” දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරද්දී ඒ පොරොන්දුවත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.—යෙසා. 30:23.

18, 19. (අ) යෙසායා 65:20-22 සඳහන් වෙන අනාවැකිය ඔබට බලපාන්නේ කොහොමද? (ආ) අපිට “වෘක්ෂයක් මෙන් බොහෝ කාලයක් ජීවත් වෙන්න” ලැබෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

18 අද ඉන්න හුඟක් මිනිසුන්ට තමන්ටම කියලා ගෙයක් නැහැ. මහන්සි වෙලා වැඩ කළත් ඒකෙන් කිසිම සතුටක් නැහැ. මේ දූෂිත ලෝකයේ ඉන්න හුඟදෙනෙක්ට හිතෙන්නේ කොයි තරම් වෙහෙසිලා වැඩ කළත් ඒකට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ, හැම වාසියක්ම ලබාගන්නේ පොහොසත් කෑදර මිනිසුන් කියලයි. හැබැයි දෙවි දීලා තියෙන මේ පොරොන්දුව ඉටු වෙන කාලය කොච්චර සුන්දර වෙයිද කියලා හිතන්න. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය. මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”—යෙසා. 65:20-22.

19 අනාගතයේදී අපිට “වෘක්ෂයක් මෙන් බොහෝ කාලයක් ජීවත් වෙන්න” ලැබෙනවා කියලා සඳහන් දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? මොහොතකට හිතන්න ඔබ ඔබේ වත්තේ අහස උසට හැදිලා තියෙන ලොකු ගහක් ළඟ ඉන්නවා කියලා. ඒ ගහ දකිද්දී ඔබට පුදුම හිතෙනවා. සමහරවිට ඒ ගහ පැළ කරන්න ඇත්තේ ඔබේ අත්තා මුත්තලාගේ කාලයේද කියලා ඔබ හිතයි. ඔබ ටිකෙන් ටික වයසට ගිහින් මිය ගියත් ඒ ගහ තව තවත් සරුවට වැඩෙනවා. හැබැයි අනාගතයේදී අපි සදහටම ජීවත් වෙද්දී අහස උසට හැදිලා තියෙන යෝධ ගස් වුණත් ටික කාලෙකින් මැරිලා යන පුංචි තුත්තිරි පැළ වගේ කියලා අපිට හිතෙයි. සාමකාමී වාතාවරණයක අපිට සදහටම ජීවත් වෙන්න ලැබෙනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ගැන අපි දෙවිට කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—ගීතා. 37:11, 29.

20. දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අයට පරිපූර්ණ සෞඛ්‍යයක් අද්දකින්න ලැබෙන්නේ කොහොමද?

20 පරිපූර්ණ සෞඛ්‍යයක්. අපි හැමෝම අසනීප සහ මරණය අද්දකිනවා. පාපය කියන මාරාන්තික රෝගය අපි හැමෝවම ගොදුරු කරගෙන. අපිව ඒකෙන් මුදවාගන්න පුළුවන් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාවට විතරයි. (රෝම 3:23; 6:23) ඒ ජීවිත පූජාවෙන් සම්පූර්ණ ප්‍රයෝජන අද්දකින්න දහස් අවුරුදු පාලනයේදී යේසුස් සහ ඔහු එක්ක පාලනය කරන්න හවුල් වෙන අය මිනිසුන්ට උදව් කරනවා. ප්‍රතිඵලයක් විදිහට අපිට උරුම වෙලා තියෙන පාපය නැති වෙලා යනවා. “දේශයේ වාසය කරන සියල්ලන්ගේ වරදට සමාව දෙනු ලබයි. කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” කියලා යෙසායා කියපු අනාවැකිය එදාට සම්පූර්ණයෙන්ම ඉටු වෙයි. (යෙසා. 33:24) අන්ධ අය, බිහිරි අය සහ කොර අය හැමෝම එදාට සුවය ලබනවා. (යෙසායා 35:5, 6 කියවන්න.) ඕනෑම අසනීපයක් සුව කරන්න යේසුස්ට බලය තියෙනවා. ඒ නිසා දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත හැමෝටම ඒ කාලයේදී පරිපූර්ණ සෞඛ්‍යයක් අද්දකින්න පුළුවන්.

21. මරණයට සිද්ධ වෙන්නේ මොකක්ද? ඒක සහනයක් කියලා ඔබට හිතෙන්නේ ඇයි?

21 පාපය නිසා අපිට උරුම වෙලා තියෙන මරණය ගැන කියන්න පුළුවන් මොනවාද? අපේ “අන්තිම සතුරා” වන මරණය ඉදිරියේ අද අපි හැමෝම පරාජය වෙනවා. (1 කොරි. 15:26) හැබැයි අපේ දෙවි යෙහෝවාට නම් හරිම ලෙහෙසියෙන් ඒ සතුරාව පරාජය කරන්න පුළුවන්. “යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය” කියලා යෙසායා කියලා තියෙන්නේ ඒ නිසයි. (යෙසා. 25:8) මළ ගෙවල් නැති, සොහොන් පිට්ටනි නැති කිසිම කෙනෙක් වියෝ දුකින් ඉන්නේ නැති කාලෙක ජීවත් වෙන්න ලැබෙන එක මොන වගේ අද්දැකීමක් වෙයිද! මිය ගිය අයව නැවත නැඟිටුවනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ඉටු වෙද්දී කොයි තරම් සතුටක් අද්දකින්න ලැබෙයිද!—යෙසායා 26:19 කියවන්න.

22. දෙවිගේ රාජ්‍යයෙන් මුළු පොළොව පුරාම දෙවිගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉටු කළාට පස්සේ වෙන්නේ මොනවාද?

22 දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී දෙවිගේ රාජ්‍යයෙන් අනිවාර්යයෙන්ම මුළු පොළොව පුරාම දෙවිගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉටු කරලා තියෙයි. ඊටපස්සේ ක්‍රිස්තුස් ආයෙත් යෙහෝවා දෙවිට පාලනය භාර දෙනවා. (1 කොරි. 15:25-28) ඒ වෙද්දී පරිපූර්ණත්වයට ඇවිත් ඉන්න මිනිසුන් සාතන්ගේ අවසාන පරීක්ෂණයට සූදානම්. ඒකෙන් පස්සේ ක්‍රිස්තුස් සාතන්වත් ඔහුගේ පැත්ත ගන්න අයවත් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (උත්. 3:15; එළි. 20:3, 7-10) ඊටපස්සේ යෙහෝවා දෙවිට පක්ෂපාත අයට කොයි තරම් ආශීර්වාද ලැබෙයිද! බයිබලයේ සඳහන් වෙන්නේ ඒ අයට “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට” අවස්ථාව උදා වෙනවා කියලයි.—රෝම 8:21.

යෙහෝවා දෙවිගේ හැම පොරොන්දුවක්ම රාජ්‍යය මාර්ගයෙන් ඉටු වෙනවා

23, 24. (අ) දෙවිගේ පොරොන්දු ගැන අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි? (ආ) ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

23 අපි සලකලා බලපු ඒ පොරොන්දු කවදාවත් බොරු වෙන්නේ නැහැ. මොකද යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දු ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා. යේසුස් තම අනුගාමිකයන්ට යාච්ඤා කරන්න උගන්වපු අවස්ථාව ගැන අපි මේ පොතේ මුල්ම පරිච්ඡේදයෙන් සාකච්ඡා කළා ඔබට මතකද? “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤා කරන්න ඔහු අනුගාමිකයන්ට ඉගැන්නුවා. (මතෙ. 6:9, 10) දෙවිගේ රාජ්‍යය කියන්නේ හිතින් මවාගත්ත දෙයක් නෙවෙයි. ඒක සැබෑ දෙයක්. දැනටමත් ඒ රාජ්‍යය පාලනය අරඹලයි තියෙන්නේ. දැනට අවුරුදු සියයක කාලයක් තිස්සේ ඒ රාජ්‍යය දෙවිගේ පොරොන්දු ඉටු කරලා තියෙන්නේ කොහොමද කියලා ක්‍රිස්තියානි සභාව දිහා බලද්දී අද අපිට පැහැදිලිවම පෙනෙනවා. ඒ නිසා දෙවිගේ රාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගත්තාම යෙහෝවා දෙවි දීලා තියෙන හැම පොරොන්දුවක්ම සම්පූර්ණයෙන්ම ඉටු වෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.

24 ළඟදීම දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියලත් දෙවිගේ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු වෙනවා කියලත් අපි හොඳින්ම දන්නවා. ඒ ගැන අපිට ලොකු නිසැකකමක් තියෙන්නේ දැනටමත් දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා තියෙන නිසයි. ඒ නිසා අපි එක් එක් කෙනා අපෙන්ම මෙහෙම අහගමු. ‘මම දෙවිගේ රාජ්‍යය පිළි අරන් ඒ පාලනයට යටත් වෙනවාද?’ දැන් ඉඳලම දෙවිගේ රාජ්‍යයේ පක්ෂපාත යටත්වැසියෙක් විදිහට ජීවත් වෙන්න අපේ උපරිමය කරමු. එතකොට දෙවිගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨ පාලනය යටතේ සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන්.