Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

රාජ්‍යය ගැන ප්‍රකාශ කරන දයාබර මිතුර,

1914 ඔක්තෝබර් 2වෙනි සිකුරාදා උදෑසන ඔබත් බෘක්ලින් බෙතෙල් එකේ හිටියා කියලා හිතන්න. හැමෝම බලාගෙන ඉන්නේ සහෝදර රසල් එන කල්. වැඩි වෙලාවක් යන්න කලින් වෙනදා වගේම සිනාමුසු මුහුණින් කෑම කාමරේට ඇතුල් වෙන සහෝදර රසල් හැමෝටම “සුභ උදෑසනක්” කියලා කියනවා. හැබැයි නියමිත තැනට ගිහින් ඉඳගන්න කලින් ඔහු අත්පුඩි ගහලා මෙහෙම කියනවා. “ජාතීන් සඳහා නියම වූ කාලය දැන් අවසානයි. ලෝක පාලකයන්ට හිමි වී තිබුණු කාලය අවසන්!” ඒ වෙලාවේ ඔබට දැනෙන්නේ පුදුම සතුටක්. හුඟ කාලයක් තිස්සේ ඔබ බලාගෙන හිටියේ මේ දවස උදාවෙන කල්. සහෝදර රසල් ඒ නිවේදනය කිව්වාට පස්සේ බෙතෙල් පවුලේ හැමෝම සතුටින් දිගටම අත්පුඩි ගහනවා.

ඒ නිවේදනය කරලා දැනට දශක ගණනාවක් ගත වෙලා තියෙනවා. එදා ඉඳලා අද වෙන කල් දෙවිගේ රාජ්‍යයෙන් කොච්චර දේවල් ඉටු වෙලා තියෙනවාද! 1914දී දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවපු කාලේ පොළොවේ හිටියේ දෙවිගේ සේවකයන් ටිකදෙනෙක් විතරයි. හැබැයි අද මිලියන හතහමාරකට වඩා ඉන්නවා. එදා ඉඳලා අද වෙන කල් ඒ හැමෝවම දෙවිගේ රාජ්‍යයෙන් පවිත්‍ර කරලා තියෙනවා. ඒ වගේම පුහුණු කරලත් තියෙනවා. ඒ පුහුණුවෙන් ඔබ පෞද්ගලිකව කොච්චර ප්‍රයෝජන ලබලා තියෙනවාද කියලා හිතන්න.

සහෝදරයන් හුඟක් වෙලාවට කියනවා “යෙහෝවා දෙවිගේ ස්වර්ගික රථය හරිම වේගයෙන් ගමන් කරනවා” කියලා. ඒක ඇත්ත. හැබැයි මේ කාලයේදී විතරක් නෙවෙයි 1914 ඉඳලම ස්වර්ගික රථය ඒ කියන්නේ යෙහෝවා දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස වේගයෙන් ඉදිරියටම ගමන් කරලා තියෙනවා. මේ පොතේ තියෙන තොරතුරු කියවද්දී ඒක කොයි තරම් ඇත්තද කියලා ඔබට තේරෙයි. ශුභාරංචිය මුළු ලෝකෙ පුරාම දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. පුවත්පත්, කරේ එල්ලන් යන දැන්වීම් පුවරු, පින්තූර සහ දර්ශන ඇතුළත් වැඩසටහන්, සාක්ෂිපත්, තැටි වාදන යන්ත්‍ර, ගුවන්විදුලිය සහ අන්තර්ජාලය ඒ අතරින් කිහිපයක්.

මේ වෙනකොට භාෂා 670කට වඩා වැඩි ගණනකින් සඟරා පොත් පත් ප්‍රකාශයට පත් කරන්නත් කිසිම අය කිරීමක් නැතුව ඒවා මිනිසුන්ට දෙන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. දියුණු රටවල වගේම සීමිත සම්පත් තියෙන රටවලත් නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා සහ ශාඛා කාර්යාල ඉදි කරන්න අපේ සහෝදර සහෝදරියන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. විපතට පත් වුණු අයට උදව් කරන්න අපේ සහෝදර සහෝදරියන් ඉක්මනින්ම පියවර ගන්න එකෙන් ඔප්පු වෙලා තියෙනවා ඒ අය “විපතකදී උපකාර කරන්න ඉපදුණු” සහෝදරයන් කියලා. (හිතෝ. 17:17) යෙහෝවා දෙවි අපේ සේවයට ආශීර්වාද කරනවා කියලා ඒ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ නැද්ද?

සමහර අවස්ථාවලදී පූජකයන් සහ වෙනත් විරුද්ධවාදීන් අපේ සේවය නතර කරන්න ‘දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවලා’ තියෙනවා. (ගීතා. 94:20) හැබැයි අන්තිමේදී ඒ හැම දෙයක්ම “ශුභාරංචියේ දියුණුවට දායක” වෙලා තියෙන විදිහ ගැන කල්පනා කරද්දී අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා.—ෆිලි. 1:12.

හවුල් “මෙහෙකරුවන්” වන ඔබ හැමෝම එක්ක සේවය කරන්න ලැබිලා තියෙන එක ගැන අපි සතුටු වෙනවා. ඔබ හැම කෙනෙක්ටම අපි හුඟක් ආදරෙයි කියලා කවදාවත් අමතක කරන්න එපා. යෙහෝවා දෙවිගෙන් ඔබට ලැබිලා තියෙන උරුමය තවත් වැඩියෙන් අගය කරන්න ඔබට උදව් කරන්න කියලා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. මේ පොතේ තියෙන තොරතුරු ඒ උරුමය තවත් අගය කරන්න ඔබට උදව් වෙයි.—මතෙ. 24:45.

හද පිරි සෙනෙහසින්

ඔබගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය