Skip to content

පටුනට යන්න

26වෙනි පරිච්ඡේදය

“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”

“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”

මතෙව් 9:1-8 මාක් 2:1-12 ලූක් 5:17-26

  • යේසුස් අංශභාග රෝගියාගේ පව්වලට සමාව දී ඔහුව සුව කරයි

ගම් දනව් සිසාරා යේසුස් ගැන ආරංචිය පැතිරිලා තියෙන නිසා දුර ඈත ප්‍රදේශවල ඉන්න හුඟක් අය යේසුස්ව හොයාගෙන එනවා. ඔවුන් එන්නේ යේසුස්ට සවන් දෙන්නත් ඔහුගේ බලවත් ක්‍රියාවන් දැකගන්නත් තියෙන ආශාව නිසයි. දවස් කිහිපයකට පස්සේ යේසුස් නැවතත් කපර්ණවුමට එනවා. එහේ ඉඳලා තමයි යේසුස් තම සේවය කරගෙන යන්නේ. යේසුස් ඇවිත් කියන ආරංචිය කපර්ණවුම පුරා ඉක්මනින්ම පැතිරෙන නිසා හුඟදෙනෙක් යේසුස්ව හොයාගෙන ඔහු නතර වෙලා ඉන්න නිවසට එනවා. ගලීලයේ, යුදයේ සහ යෙරුසලමේ ඉන්න සමහර පරිසිවරුන් සහ නීතිය උගන්වන අයත් යේසුස්ව හමු වෙන්න ඇවිත්.

කොච්චර ලොකු සෙනඟක් ඇවිල්ලා ඉන්නවාද කියනවා නම් දොරකඩ ළඟවත් නිවස ඇතුළෙවත් කිසිම ඉඩක් නැහැ. ඇවිත් ඉන්න හැමෝටම යේසුස් ශුභාරංචිය ගැන දේශනා කරනවා. (මාක් 2:2) දැන් සිද්ධ වෙන්න යන්නේ හරිම පුදුම දෙයක්. මිනිසුන්ගේ දුක් වේදනාවලට හේතු වෙන ප්‍රධානම දේ නැති කරලා මිනිසුන්ට නිරෝගී ජීවිතයක් දෙන්න යේසුස්ට පුළුවන් කියන එක තේරුම්ගන්න මේ සිද්ධිය අපි හැමෝටම උදව් වෙනවා.

විශාල සෙනඟකට යේසුස් උගන්වමින් ඉන්න අතරතුරේදී මිනිසුන් හතරදෙනෙක් අංශභාග රෝගියෙක්ව කුඩා ඇඳක තියන් යේසුස් නතර වෙලා ඉන්න තැනට එනවා. ඒත් එතැන මිනිසුන් පිරිලා ඉන්න නිසා “ඔහුව යේසුස් ළඟටම ගෙන එන්න” පුළුවන් වෙන්නේ නැහැ. (මාක් 2:4) බලාපොරොත්තු කඩ වුණත් උත්සාහය අත් නොහරින ඔවුන් නිවසේ වහලයේ කොටසක් අයින් කරලා ඇඳත් එක්කම අංශභාග රෝගියාව යේසුස් ළඟට බස්සවනවා.

ඒ අවස්ථාවේදී තමන්ට බාධා කරපු එක ගැන යේසුස් කේන්ති ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ විශ්වාසය ගැන සතුටු වෙන යේසුස් අංශභාග රෝගියාට පවසන්නේ “ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා” කියායි. (මතෙව් 9:2) ඒත් පව්වලට සමාව දෙන්න යේසුස්ට පුළුවන්ද? සෙනඟ අතරේ ඉන්න නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් එකිනෙකා අතරේ මෙහෙම කතා වෙනවා. “මේ මිනිසා මේ විදිහට කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවඅපහාසයක්. පව්වලට සමාව දෙන්න පුළුවන් දෙවිට මිස වෙන කාටද?”—මාක් 2:7.

ඔවුන් සිතන දේ තේරුම්ගන්නා යේසුස් ඔවුන්ගෙන් මෙහෙම අහනවා. “ඔබ එසේ සිතන්නේ ඇයි? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට, ‘ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා’ කියා පැවසීමද නැතහොත්, ‘නැඟිට, ඔබේ ඇඳ රැගෙන ඇවිදින්න’ කියා පැවසීමද?” (මාක් 2:8, 9) ඉදිරියේදී යේසුස් තමන්ගේ ජීවිතය පූජා කළාම මුළු මිනිස් වර්ගයාගේම පව්වලට සමාව දෙන්න ඔහුට පුළුවන් වෙනවා.

යේසුස් දැන් කරන දේ නිසා පව්වලට සමාව දෙන්න ඔහුට බලය තියෙන බව යේසුස්ව විවේචනය කරපු අය ඇතුළු එතැන රැස් වෙලා ඉන්න හැමෝටම පැහැදිලි වෙනවා. අංශභාග රෝගියා දෙසට හැරෙන යේසුස් ඔහුට පවසන්නේ “නැඟිට, ඔබේ ඇඳ රැගෙන ගෙදර යන්න” කියායි. ඒ අවස්ථාවේදීම ඇඳේ වැතිර සිටි රෝගියා නැඟිට ඔහුගේ ඇඳත් අරන් එළියට යනවා. ඒ ගැන පුදුම වෙන මිනිසුන් දෙවිට ප්‍රශංසා කරමින් එකිනෙකා අතරේ කතා වෙන්නේ “මේ වගේ දෙයක් නම් අපි කවදාවත් දැකලා නැහැ” කියායි.—මාක් 2:11, 12.

මිනිසුන් අසනීප වෙන්නේ උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය නිසා කියලත් පව්වලට සමාව ලැබුණාට පස්සේ නිරෝගී සෞඛ්‍යයක් ලැබෙනවා කියලත් යේසුස් ඒ අවස්ථාවේදී පෙන්වලා දුන්නා. අපි හැමෝටම පාපයත් එහි ප්‍රතිඵල වන අසනීප සහ මරණයත් උරුම වෙලා තියෙන්නේ මුල් මිනිසා වුණු ආදම් දෙවිට විරුද්ධව පව් කළ නිසයි. හැබැයි දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී මුළු හිතින්ම දෙවිට ප්‍රේම කරමින් ඔහුට සේවය කරන අයගේ පව්වලට යේසුස් සමාව දෙනවා. ඒ කාලයේදී කිසිම කෙනෙක් අසනීප වෙන්නේ නැහැ.—රෝම 5:12, 18, 19.