Skip to content

පටුනට යන්න

30වෙනි පරිච්ඡේදය

යේසුස්ට පියාණන් සමඟ තිබෙන බැඳීම

යේසුස්ට පියාණන් සමඟ තිබෙන බැඳීම

යොහන් 5:17-47

  • යේසුස්ගේ පියා යෙහෝවා දෙවියි

  • නැවත නැඟිටීම ගැන පොරොන්දු වෙයි

සබත් දවසේ රෝගියෙක්ව සුව කරපු එක ගැන යුදෙව්වන් යේසුස්ට චෝදනා කරද්දී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා. මමත් දිගටම වැඩ කරනවා.”—යොහන් 5:17.

යේසුස් කරන දේවල් සබත් දවස ගැන දෙවියන් දීපු නීතියට පටහැනි නැහැ. මොකද ශුභාරංචිය දේශනා කරන එක, අසනීප අයව සුව කරන එක වගේ යහපත් දේවල් ඔහු හැම දවසකම කරන්නේ යහපත් ක්‍රියාවන් කරන දෙවියන්ව ආදර්ශයට ගන්න නිසයි. ඒත් චෝදනාකරුවන්ට යේසුස් දෙන පිළිතුරෙන් ඒ අයගේ කේන්තිය තවත් වැඩි වෙලා යේසුස්ව මරා දමන්න අවස්ථාවක් හොයනවා.

යුදෙව්වන්ට යේසුස් එක්ක තියෙන කේන්තිය තවත් වැඩි වෙන්නේ ඔහු තමාවම දෙවිගේ පුත්‍රයා විදිහට හඳුන්වන නිසයි. ඒක දේවඅපහාසයක් කියලත් එහෙම කරන එකෙන් යේසුස් යෙහෝවා දෙවිට සමාන වෙන්න උත්සාහ කරනවා කියලත් ඔවුන් හිතනවා. ඒත් යේසුස් බය වෙන්නේ නැතුව පියාණන් සහ තමන් අතර තියෙන බැඳීම ගැන මෙහෙම කියනවා. “පියාණන්ට තම පුත්‍රයා සඳහා ඇත්තේ ඉමහත් ආදරයක්. ඒ නිසා තමන් කරන සෑම දෙයක්ම පුත්‍රයාට පෙන්වා දෙනවා.”—යොහන් 5:20.

දෙවි පියාණන් තමයි ජීවිතයේ උල්පත. මිය ගිය අයව නැවත නැඟිටුවන්න අතීතයේ හිටිය තම සේවකයන්ට බලය දීමෙන් ඔහු ඒක ඔප්පු කරලා තියෙනවා. යේසුස් තවදුරටත් පවසන්නේ “පියාණන් මිය ගිය අයට ජීවනය දී නැවත නැඟිටුවනවා වගේම පුත්‍රයාත් තමන් කැමති අයට ජීවනය ලබා දෙනවා” කියායි. (යොහන් 5:21) ඔහු කියපු ඒ දේ අනාගතය ගැන කොච්චර හොඳ බලාපොරොත්තුවක් ඇති කරනවාද! යේසුස් දැනටමත් සංකේතාත්මක ආකාරයකින් මිය ගිය අයව නැවත නැඟිටුවනවා කියලා කියන්න පුළුවන්. මොකද දෙවිගෙන් ඈත් වෙලා මිය ගියා හා සමාන තත්වයක ඉන්න අයට දෙවිත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න ඔහු උදව් කරනවා. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා පවසන දේවලට සවන් දී මා එවූ තැනැත්තාව විශ්වාස කරන පුද්ගලයාට සදාකාල ජීවනය හිමි වන බවයි. ඔහුට විනිශ්චයක් ලැබෙන්නේ නැති අතර ඔහු මරණයෙන් මිදී අලුත් ජීවිතයක් ලබයි” කියා ඔහු පවසන්නේ ඒ නිසයි.—යොහන් 5:24.

මේ වෙද්දී යේසුස් මිය ගිය කෙනෙක්ව නැවත නැඟිටුවලා තිබුණා කියලා වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. ඒත් මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා හෙළි කරමින් ඔහු චෝදනාකරුවන්ට මෙහෙම කියනවා. “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා.” ඔවුන් “නැවත නැඟිටීමක් ලබනවා.”—යොහන් 5:28, 29.

යේසුස්ට තියෙන්නේ සුවිශේෂී වගකීමක් වුණත් පියාණන් තමන්ට වඩා උසස් කියලා ඔහු පැහැදිලි කරන්නේ මෙහෙමයි. ‘මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කරන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ මගේම කැමැත්ත කරන්න නොව මා එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටයි.’ (යොහන් 5:30) කොහොමවුණත් දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී තමාට තියෙන අතිවැදගත් කාර්යය ගැනත් යේසුස් පැහැදිලි කරනවා. මේ වෙන කල් ඔහු ඒ ගැන ප්‍රසිද්ධියේ කියලා තිබුණේ නැහැ. ඒත් යේසුස්ට චෝදනා කරන අයට යේසුස් හරියටම කවුද කියලා තේරුම්ගන්න තවත් සාක්ෂියක් තියෙනවා. ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබ මිනිසුන්ව යොහන් [බව්තීස්ත] ළඟට යැව්වා නේද? ඔහු මා ගැන සැබෑ සාක්ෂියක් දැරුවා.”—යොහන් 5:33.

මීට අවුරුදු දෙකකට විතර කලින් යොහන් බව්තීස්ත තමාට පසුව එන තැනැත්තෙක් ගැන යුදෙව් ආගමික නායකයන්ට කියලා තිබුණා. යේසුස්ට චෝදනා කරන අය ඒ ගැන දැනගෙන ඉන්න ඇති. “අනාගතවක්තෘ” සහ “ක්‍රිස්තුස්” හැටියට හඳුන්වන්නේ යොහන් සඳහන් කරපු ඒ තැනැත්තාවයි. (යොහන් 1:20-25) දැන් හිරේ ඉන්න යොහන්ට යුදෙව්වන් ගෞරවයෙන් සලකපු විදිහ මතක් කරමින් “කෙටි කලකට ඔබත් ඔහුගෙන් විහිදුණු ආලෝකය ලබා බොහෝ සෙයින් ප්‍රීති වෙන්න කැමැත්තක් දැක්වූවා” කියා යේසුස් පවසනවා. (යොහන් 5:35) ඒත් යොහන් යේසුස් ගැන දරපු සාක්ෂියට වඩා ප්‍රබල සාක්ෂියක් යේසුස් ළඟ තියෙනවා.

ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “මා දැන් කරමින් සිටින්නේ [ටික වෙලාවකට කලින් කළ සුව කිරීම ඇතුළු] මට පැවරූ ඒ දේවලුයි. පියාණන් මාව එවූ බවට මා ළඟ තිබෙන සාක්ෂිය එයයි.” ඊට අමතරව “මාව එවූ පියාණන්ම මා ගැන සාක්ෂි දරා තිබෙනවා” කියාත් යේසුස් පවසනවා. (යොහන් 5:36, 37) උදාහරණයකට යේසුස් බව්තීස්ම වුණු අවස්ථාවේදී දෙවියන්, යේසුස් ගැන සාක්ෂි දැරුවා.—මතෙව් 3:17.

චෝදනා කරන්නන්ට යේසුස්ව ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඔවුන් කියවන ශුද්ධ ලියවිල්ලෙත් ඔහු ගැන සාක්ෂි තියෙනවා. ඒ ගැන සඳහන් කරමින් යේසුස් අවසානයේදී මෙහෙම කියනවා. “ඔබ මෝසෙස්ව විශ්වාස කළා නම් ඔබ මාවත් විශ්වාස කරනවා. මන්ද මෝසෙස් මා ගැනත් ලියා තිබෙනවා. ඔහු ලියූ දේවල් ඔබ විශ්වාස කරන්නේ නැත්නම් මා පවසන දේවල් ඔබ විශ්වාස කරන්නේ කොහොමද?”—යොහන් 5:46, 47.