Skip to content

පටුනට යන්න

49වෙනි පරිච්ඡේදය

ගලීලයේ දේශනා කරමින් නියෝජිතයන්ව පුහුණු කරයි

ගලීලයේ දේශනා කරමින් නියෝජිතයන්ව පුහුණු කරයි

මතෙව් 9:35–10:15 මාක් 6:6-11 ලූක් 9:1-5

  • යේසුස් නැවතත් ගලීලයේ සංචාරය කරයි

  • නියෝජිතයන්ව දේශනා කරන්න පිටත් කරයි

මේ වෙද්දී යේසුස් අවුරුදු දෙකකට ආසන්න කාලයක් පුරා ලොකු වෙහෙසක් දරලා දේශනා කරලා තියෙනවා. දැන් විවේකයක් ගන්න හිතාගෙන යේසුස් සේවය ටිකකට නතර කරයිද? නැහැ. ඒ වෙනුවට ඔහු තවත් වැඩියෙන් සේවය කරනවා. යේසුස් ‘සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද [ගලීලයේ] සියලු නුවරවලද ගම්වලද සංචාරය කරනවා.’ (මතෙව් 9:35) තව හුඟක් පළාත්වල ඉන්න අයටත් ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ කියලා ඔහු තේරුම්ගන්නවා. ඒත් ඔහුට ඒක කරන්න පුළුවන් වෙයිද?

සංචාරය අතරතුරේදී මිනිසුන් එඬේරෙක් නැති බැටළුවන් වගේ දරුණු විදිහට හිරිහැර විඳිමින් විසිරිලා ඉන්නවා දකිද්දී යේසුස්ට ඔවුන් ගැන ලොකු අනුකම්පාවක් දැනෙනවා. ඒ අයට සත්‍ය පණිවිඩය දැනුම් දෙන එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න යේසුස් ගෝලයන්ට මෙහෙම කියනවා. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.”—මතෙව් 9:37, 38.

ඒ අයට උදව් කරන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා යේසුස් හොඳින්ම දන්නවා. නියෝජිතයන් 12දෙනාව කැඳවන ඔහු, දෙන්නා බැගින් කණ්ඩායම් හයකට ඔවුන්ව බෙදලා මෙහෙම උපදෙස් දෙනවා. “වෙනත් ජාතීන් සිටින පළාත්වලට යන මාවත් දිගේ යන්න එපා. සමාරියේ කිසි නුවරකටවත් ඇතුල් වෙන්න එපා. ඒ වෙනුවට ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට නොකඩවාම යන්න. එසේ යන අතරතුරේදී ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා දේශනා කරන්න.”—මතෙව් 10:5-7.

යේසුස් ඔවුන්ට දේශනා කරන්න කියලා කියන්නේ ආදර්ශ යාච්ඤාවේදී ඔහු සඳහන් කරපු දෙවිගේ රාජ්‍යය ගැනයි. ඒ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් අතරේ ඉන්න නිසා තමයි “ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියලා ඔහු කිව්වේ. ඔහුගේ ගෝලයන් ඒ රාජ්‍යයේ නියෝජිතයන් කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද? යේසුස් සියලු ආකාර රෝගීන්ව සුව කරන්නත් මිය ගිය අයව නැවත නැඟිටුවන්නත් ඔවුන්ට බලය දෙනවා. ඊටපස්සේ ඔහු ඔවුන්ට කියන්නේ ඒ හැම දෙයක්ම නොමිලේ කරන්න කියලයි. එහෙමනම් නියෝජිතයන් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා පියවාගන්නේ කොහොමද?

දේශනා කරන්න යද්දී රන්, රිදී සහ තඹ කාසිවත් කෑම මල්ලක්වත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත් අමතර පාවහන්වත් ගෙනියන්න එපා කියලා යේසුස් ඔවුන්ට කියනවා. ඊට හේතුව හැටියට ඔහු පවසන්නේ “වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි” කියායි. (මතෙව් 10:10) සේවයේ යද්දී ඔවුන් කියන පණිවිඩය පිළිගන්න අය නියෝජිතයන්ගේ මූලික අවශ්‍යතා සපයලා දෙයි. “ඔබ යම් ප්‍රදේශයකට ගොස් නිවසකට ඇතුල් වූ පසු එහි සිටින කෙනෙක් ඔබව පිළිගත්තොත් එම නිවසේ නවාතැන් ගන්න” කියලා යේසුස් කියපු දෙයින් ඒක පැහැදිලියි.—මාක් 6:10.

ඊළඟට යේසුස් මිනිසුන්ට ශුභාරංචිය කියන්න ඕන විදිහ ගැන නියෝජිතයන්ට මෙහෙම උපදෙස් දෙනවා. “ඔබ නිවසකට ඇතුල් වෙද්දී ගෙයි වැසියන්ට සුබ පතන්න. ගෙයි වැසියන් සුදුස්සන් නම් ඔබ පතන සාමය ඔවුන් පිට පැමිණෙයි. නමුත් ඔවුන් සුදුස්සන් නොවෙයි නම් ඔබ පැතූ සාමය නැවත ඔබ පිට පැමිණෙයි. යම් කිසි තැනක කෙනෙක් ඔබව පිළිගන්නේ නැත්නම් හෝ ඔබේ වදන්වලට සවන් දෙන්නේ නැත්නම් ඒ නිවසින් හෝ ඒ නුවරින් හෝ ඔබ පිට වන විට ඔබේ පාදවලින් දූවිලි ගසා දමන්න.”—මතෙව් 10:12-14.

සමහර අවස්ථාවලදී නුවරක නැත්නම් ගමක ඉන්න හැමෝම නියෝජිතයන්ව ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ අයට මුහුණ දෙන්න වෙන දරුණු විනිශ්චය ගැන යේසුස් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “මා ඇත්තෙන්ම ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නුවරට ලැබෙන දඬුවම සොදොම් සහ ගොමෝරා දේශයට ලැබුණු දඬුවමට වඩා දරුණු වන බවයි.”—මතෙව් 10:15.