Skip to content

පටුනට යන්න

62වෙනි පරිච්ඡේදය

නිහතමානිකම ගැන කදිම පාඩමක්

නිහතමානිකම ගැන කදිම පාඩමක්

මතෙව් 17:22–18:5 මාක් 9:30-37 ලූක් 9:43-48

  • යේසුස් නැවත වතාවක් මරණය ගැන කියයි

  • මාළුවාගේ කටින් ගත් කාසියකින් ඔහු බදු ගෙවයි

  • ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා කවුද කියා ප්‍රශ්න කරයි

සිසේරිය ෆිලිප්පියේදී යේසුස් තේජසට පත් වුණු සිද්ධියෙනුත් භූතයෙක් ආවේශ වෙලා හිටිය පිරිමි දරුවාව සුව කරපු සිද්ධියෙනුත් පස්සේ යේසුස් ගමන් කරන්නේ කපර්ණවුමට. ඒ ගැන වෙන “කිසිවෙකු දැනගන්නවාට”යේසුස් කැමති නැති නිසා ඔහු මේ ගමනට එක්කන් යන්නේ ගෝලයන්ව විතරයි. (මාක් 9:30) තමන්ගේ මරණයටත් ඊටපස්සේ කරන්න තියෙන වැඩවලටත් ගෝලයන්ව හොඳින් සූදානම් කරන්න යේසුස්ට මේක හොඳ අවස්ථාවක්. ඔහු දැන් ගෝලයන්ට මෙහෙම කියනවා. “මනුෂ්‍ය පුත්‍රයාව මිනිසුන් අතට පාවා දෙන්න නියමිතයි. ඔවුන් ඔහුව මරණයට පත් කරයි. නමුත් තුන්වෙනිදා ඔහුව නැඟිටුවනු ලබයි.”—මතෙව් 17:22, 23.

ගෝලයන් දැනටමත් ඒ ගැන දන්නවා. කලින් වතාවකදී යේසුස් ඒ ගැන කිව්වාම පේතෘස් ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. (මතෙව් 16:21, 22) ඒ වගේම යේසුස් තේජසට පත් වුණු අවස්ථාවේදී ඔහු “මෙලොවින් සමුගන්නා ආකාරය ගැන” කතා වුණු දේවලුත් එතැන හිටිය නියෝජිතයන් තුන්දෙනාට ඇහුණා. (ලූක් 9:31) කොහොමවුණත් යේසුස් කියපු දේ ගැන ඔහුගේ අනුගාමිකයන් “අතිශයින් දුක්” වෙනවා. (මතෙව් 17:23) ඔහු කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා ඔවුන් හරියටම දන්නේ නැති වුණත් ඒ ගැන යේසුස්ගෙන් අහන්න තරම් හයියක් ඔවුන්ට නැහැ.

දැන් යේසුස් කපර්ණවුමට ඇවිත්. නියෝජිතයන් වැඩිදෙනෙක් හැදී වැඩුණු මේ ප්‍රදේශයේ ඉඳන් තමයි යේසුස් ඔහුගේ වැඩකටයුතු කරගෙන ගියේ. එහේ ඉද්දී දේවමාලිගාවට දෙන බද්ද එකතු කරන මිනිසුන් පේතෘස් ළඟට ඇවිත් මෙහෙම අහනවා. “ඔබේ ගුරුතුමා දේවමාලිගාවට දෙන බද්ද ගෙවන්නේ නැද්ද?” සමහරවිට ඔවුන් එහෙම අහන්නේ යේසුස්ගේ වරදක් අල්ලගන්න වෙන්න ඇති.—මතෙව් 17:24.

ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන පේතෘස් “ගෙවනවා” කියා පවසනවා. පේතෘස් නිවසට එද්දී සිද්ධ වුණු ඒ දේ ගැන දැනගෙන ඉන්න යේසුස් පේතෘස් ඒ ගැන කියන්න කලින් ඔහුගෙන් මෙහෙම අහනවා. “සීමොන්, ඔබ හිතන්නේ කුමක්ද? පොළොවේ රජවරුන් තීරු බදු හෝ ඇඟ බදු හෝ ලබාගන්නේ කාගෙන්ද? තම පුතුන්ගෙන්ද නැත්නම් අනුන්ගෙන්ද?” ඊට පිළිතුරු දෙන පේතෘස් පවසන්නේ “අනුන්ගෙන්” කියලයි. “එසේනම් ඇත්තටම පුතුන් බදු ගෙවීමෙන් නිදහස්” කියා යේසුස් පවසනවා.—මතෙව් 17:25, 26.

යේසුස්ගේ පියා තමයි මුළු විශ්වයේම රජු. දේවමාලිගාවට එන අය නමස්කාර කරන්නෙත් ඔහුට. ඒ නිසා දෙවිගේ පුත්‍රයා වන යේසුස් දේවමාලිගාවේ බද්ද ගෙවන්න නීතියෙන් බැඳිලා නැහැ. ඒත් යේසුස් පේතෘස්ට මෙහෙම කියනවා. “ඔවුන් සමඟ ප්‍රශ්න ඇති කරගන්න අපට අවශ්‍ය නැහැ. එමනිසා ඔබ මුහුදට ගොස් බිලි බාන්න. ඔබ මුලින්ම අල්ලාගන්නා මාළුවා ගෙන උගේ කට අරින විට රිදී කාසියක් [ස්ටේටර් කාසියක් නැත්නම් ටෙට්‍රාඩ්‍රැක්මා කාසියක්] තිබෙනවා ඔබ දකියි. ඒ කාසිය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්න.”—මතෙව් 17:27.

දැන් ගෝලයන් ඔක්කොම එකතු වෙලා යේසුස්ගෙන් අහනවා ස්වර්ග රාජ්‍යයේ උතුම්ම කෙනා කවුද කියලා. යේසුස් තමන්ගේ මරණය සම්බන්ධයෙන් කියපු එක ගැන අහන්න ඔවුන් ඉදිරිපත් වුණේ නැති වුණත් ඔවුන්ගේ අනාගතය ගැන අහන්න නම් ඔවුන් බය වෙන්නේ නැහැ. ඔවුන්ගේ හිතේ තියෙන්නේ මොනවාද කියලා යේසුස් හොඳින්ම දන්නවා. කපර්ණවුමට එන අතරතුරේදීත් ඔවුන් ඒ ගැන වාද කළා. ඒ නිසා තමයි “ඔබ මඟදී වාද කරමින් සිටියේ කුමක් ගැනද” කියලා යේසුස් දැන් ඔවුන්ගෙන් අහන්නේ. (මාක් 9:33) ඔවුන් වාද කළේ තමන් අතරින් වඩා උතුම් කවුද කියන එක ගැන නිසා යේසුස් අහපු ප්‍රශ්නයට කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඒත් ඔවුන් අන්තිමේදී යේසුස්ට කියනවා ඔවුන් වාද කළේ “ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා කවුද” කියන එක ගැනයි කියලා.—මතෙව් 18:1.

මේ වෙද්දී අවුරුදු තුනකට කිට්ටු කාලයක් පුරා යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දීපු, ඔහු කරපු දේවල් දැකපු ගෝලයන් ඒ වගේ දෙයක් ගැන වාද කරන එක ගැන නම් හිතාගන්නවත් බැහැ. ඒත් ගෝලයනුත් අසම්පූර්ණයි. අනිත් අතට ඒ අය හැදී වැඩුණේ තනතුරුවලට වැඩි අවධානයක් දීපු ආගමික පසුබිමක. ඒ විතරක් නෙවෙයි මේ වෙද්දී යේසුස් ස්වර්ග රාජ්‍යයේ “යතුරු” පේතෘස්ට දෙන්න පොරොන්දු වෙලා තියෙන නිසා තමන් අනිත් අයට වඩා උතුම් කියලා පේතෘස් හිතන්න ඇද්ද? සමහරවිට යාකොබ් සහ යොහනුත් තමන් ගැන ඒ විදිහට හිතනවා ඇති. මොකද ඒ දෙන්නත් යේසුස් තේජසට පත් වුණු විදිහ දැක්කා.

යේසුස් දැන් ඔවුන්ව නිවැරදි කරනවා. කුඩා දරුවෙකුට තමන් ළඟට අඬගහන ඔහු ඒ දරුවාව ගෝලයන් මැද සිටුවලා මෙහෙම කියනවා. “මා ඔබට කියන්නේ, ඔබ වෙනස් වී කුඩා දරුවන් හා සමාන වන්නේ නැත්නම් ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න කිසි ලෙසකින්වත් හැකි වන්නේ නැති බවයි. එමනිසා ඕනෑම කෙනෙක් මේ කුඩා දරුවා මෙන් නිහතමානී වෙනවා නම් ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේ ඔහුයි. මා නිසා යමෙකු කුඩා දරුවෙකු මෙන් සිටින කෙනෙකුව මගේ අනුගාමිකයෙකු ලෙස පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා.”—මතෙව් 18:3-5.

ගෝලයන් අහපු ප්‍රශ්නය ගැන යේසුස් ඒ අය එක්ක කේන්ති ගත්තේවත් ඔවුන් තනතුරුවලට කෑදර පිරිසක් කියලා දොස් කිව්වේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ හිතට කාවදින විදිහට ඒ කාරණය ගැන කියලා දුන්නා. සාමාන්‍යයෙන් පොඩි දරුවන්ට තනතුරු තාන්නමාන්න නැහැ. යේසුස් ගෝලයන්ට කියන්නේ ඔවුනුත් ඒ වගේ වෙන්න ඕනෙ කියලයි. “ඇත්තෙන්ම උතුම් වන්නේ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි” කියා පවසමින් ඔහු ඒ සාකච්ඡාව අවසන් කරනවා.—ලූක් 9:48.