Skip to content

පටුනට යන්න

67වෙනි පරිච්ඡේදය

‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’

‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’

යොහන් 7:32-52

  • යේසුස්ව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ව යවයි

  • නිකදේමස් යේසුස් වෙනුවෙන් කතා කරයි

පැල් උත්සවය සමරන්න ආපු යේසුස් තවම ඉන්නේ යෙරුසලමේ. ‘බොහෝදෙනෙක් තමන් කෙරෙහි විශ්වාසය’ තියන එක ගැන යේසුස්ට හුඟක් සතුටුයි. ආගමික නායකයන්ට නම් ඒ ගැන පොඩ්ඩක්වත් සතුටු නැහැ. ඔවුන් යේසුස්ව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ව යවනවා. (යොහන් 7:31, 32) ඒත් යේසුස් ඔවුන්ට බයේ හැංගෙන්නේ නම් නැහැ.

ඒ වෙනුවට ඔහු ප්‍රසිද්ධියේම උගන්වමින් මෙහෙම කියනවා. “මම ඔබ සමඟ සිටින්නේ තව කෙටි කාලයකට පමණයි. ඉන්පසුව මාව එවූ තැනැත්තා ළඟට මම යනවා. එවිට ඔබ කොතරම් සෙව්වත් මාව සොයාගන්න ඔබට බැරි වෙයි. මන්ද මා සිටින තැනට ඔබට එන්න බැහැ.” (යොහන් 7:33, 34) ඒත් යුදෙව්වන්ට ඒක තේරෙන්නේ නැති නිසා ඔවුන් මෙහෙම කතා වෙනවා. “අපට සොයාගන්න බැරි වන විදිහට මේ මිනිසා කොහේද යන්න හදන්නේ? ඔහු ග්‍රීකවරුන් අතරේ ජීවත් වන යුදෙව්වරුන් ළඟට ගොස් එහි සිටින ග්‍රීකවරුන්ටත් උගන්වන්න අදහස් කරනවාවත්ද? ‘ඔබ කොතරම් සෙව්වත් මාව සොයාගන්න ඔබට බැරි වෙයි. මන්ද මා සිටින තැනට ඔබට එන්න බැහැ’ කියා ඔහු කිව්වේ ඇයි? මොකක්ද ඒ කතාවේ තේරුම?” (යොහන් 7:35, 36) යේසුස් කිව්වේ ඔහුගේ මරණය ගැන සහ නැවත නැඟිටීමෙන් පස්සේ ස්වර්ගයට යන එක ගැනයි. ඔහු ස්වර්ගයට ගියාට පස්සේ ඔහුගේ සතුරන්ට ඔහුව හොයාගන්න ලැබෙන්නේ නැහැ.

දැන් පැල් උත්සවයේ හත්වෙනි දවස උදා වෙලා. උත්සවය පවත්වන කාලයේ හැම උදෑසනකම පූජකයෙක් සිලෝම් පොකුණෙන් වතුර අරන් පූජාසනයේ අඩියට ගලාගෙන යන විදිහට පූජාසනයට වතුර වත් කරනවා. ඒක මනසේ තියාගෙන වෙන්න ඇති යේසුස් මෙහෙම කියන්නේ. “යම් කෙනෙකුට පිපාසය ඇත්නම් ඔහුට පුළුවන් මා ළඟට ඇවිත් ඒ පිපාසය සන්සිඳුවා ගන්න. ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා තුළින් ‘ජීවනදායක දිය දහරා ගලා එයි.’”—යොහන් 7:37, 38.

යේසුස් පැහැදිලි කළේ ස්වර්ගයේ ජීවත් වෙන්න තෝරාගන්නා ගෝලයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කළාම සිද්ධ වෙන දෙයක් ගැන. යේසුස් මිය ගියාට පස්සෙයි ඔවුන් අභිෂේක ලබන්නේ. ඊළඟ අවුරුද්දේ පෙන්තකොස්ත දවසේදී ඔවුන් අභිෂේක ලබලා සත්‍ය පණිවිඩය මිනිසුන්ට කියද්දී යේසුස් කියපු විදිහටම ජීවනදායක දිය දහරා ගලන්න පටන්ගන්නවා.

යේසුස් උගන්වන දේවල් අහගෙන ඉන්න සමහර අය “ඔහු අනිවාර්යයෙන්ම එන්න සිටින අනාගතවක්තෘවරයා විය යුතුයි” කියා පවසනවා. ඔවුන් එහෙම කියන්නේ මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙක් ගැන සඳහන් අනාවැකිය නිසයි. තවත් අය කියන්නේ ‘ඔහු ක්‍රිස්තුස්’ කියලයි. ඒකට එකඟ නැති අය මෙහෙම කියනවා. “ක්‍රිස්තුස් එන්නේ ගලීලයෙන්ද? ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් හා දාවිත්ගේ ගම වන බෙත්ලෙහෙමෙන් එනවා කියා නොවෙයිද?”—යොහන් 7:40-42.

දැන් සෙනඟ අතරේ භේදයක් ඇති වෙලා. යේසුස්ව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ට උවමනා වුණත් ඒ අය ඔහුට අතක්වත් තියන්නේ නැහැ. ඒ අය හිස් අතින් නායක පූජකයන් සහ පරිසිවරුන් ළඟට ගියාම “ඔහුව මෙහෙට ගෙනාවේ නැත්තේ ඇයි” කියලා ඔවුන් අහනවා. නිලධාරීන් පිළිතුරු දෙන්නේ “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ” කියලයි. ඒ ගැන ආගමික නායකයන්ට හුඟක් කේන්ති ගිහින් ඔවුන් අපහාසාත්මක විදිහට මෙහෙම කියනවා. “ඔබත් මුළා වෙලාද? ටිකක් හිතලා බලන්න. පාලකයන් හා පරිසිවරුන් අතරින් එක් කෙනෙක්වත් ඔහු කෙරෙහි විශ්වාසය තබා තිබෙනවාද? නීතිය ගැන කිසිම අවබෝධයක් නැති මේ සමූහයා දේවශාපයට ලක් විය යුතු පිරිසක්!”—යොහන් 7:45-49.

ඒත් පරිසිවරයෙක් වගේම යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් වන නිකදේමස් යේසුස් වෙනුවෙන් කතා කරනවා. අවුරුදු දෙකහමාරකට විතර කලින් ඔහු කාටත් හොරා යේසුස්ව හමු වෙන්න ගියේ යේසුස් ගැන තිබුණු විශ්වාසය නිසයි. ඔහු දැන් මෙහෙම කියනවා. “අපේ නීතියට අනුව මිනිසෙකුව විනිශ්චය කරන්න කලින් අප ඔහුට සවන් දී ඔහු කරන දේවල් ගැන සොයා බැලිය යුතුයි. මේ අවස්ථාවේදීත් අප කළ යුත්තේ ඒ දේම නොවෙයිද?” ඊට විරුද්ධ වෙන ඔවුන් මෙහෙම කියනවා. “ඔබත් ගලීලයේ වැසියෙක් නේද? ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙකු පැමිණෙනවාද නැද්ද කියා ශුද්ධ ලියවිල්ලෙන් සොයා බලන්න.”—යොහන් 7:51, 52.

ගලීලයෙන් අනාගතවක්තෘවරයෙක් එනවා කියලා ශුද්ධ ලියවිල්ලේ කෙළින්ම සඳහන් වෙලා නැහැ. ඒත් ක්‍රිස්තුස් ආවාම ඔහු ගලීලයේ සේවය කරනවා කියලා අනාවැකිවල තියෙන තොරතුරුවලින් තේරුම්ගන්න පුළුවන්. මොකද ‘ගලීලයේ වෙසෙන සියලු ජාතීන් මහත් ආලෝකයක්’ දකිනවා කියලා අනාවැකියක සඳහන් වෙනවා. (යෙසායා 9:1, 2; මතෙව් 4:13-17) ඒ වගේම යේසුස් ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ කියලත් ඔහු දාවිත්ගේ පෙළපතින් එනවා කියලත් අනාවැකිවල සඳහන් වුණා. පරිසිවරුන් ඒ ගැන දැනගෙන ඉන්න ඇති. මිනිසුන්ට යේසුස් ගැන බොරු තොරතුරු උගන්වලා තියෙන එක ගැන ඔවුන්ට වග කියන්න වෙයි.