Skip to content

පටුනට යන්න

72වෙනි පරිච්ඡේදය

යේසුස් ගෝලයන් 70දෙනෙකුව සේවයට පිටත් කරයි

යේසුස් ගෝලයන් 70දෙනෙකුව සේවයට පිටත් කරයි

ලූක් 10:1-24

  • යේසුස් ගෝලයන් 70දෙනෙකුව තෝරාගෙන සේවයට පිටත් කරයි

දැන් අපි ඉන්නේ ක්‍රි.ව. 32 අවසාන භාගයේ. මේ වෙද්දී යේසුස් බව්තීස්ම වෙලා අවුරුදු තුනක් විතර ගෙවිලා ගිහින්. මෑතකදී තමයි ඔහු ගෝලයන් එක්ක පැල් උත්සවය සමරන්න යෙරුසලමට ගියේ. පෙනෙන විදිහට ඔවුන් තාමත් ඉන්නේ ඒ කිට්ටුවමයි. (ලූක් 10:38; යොහන් 11:1) යේසුස්ට ඉතුරු වෙලා තියෙන්නේ මාස හයක් විතරයි. ඒ කාලයේ ඔහු වැඩිපුරම සේවය කරන්නේ යුදයේ එහෙමත් නැත්නම් යොර්දාන් ගඟ කිට්ටුවෙන් තියෙන පෙරයාව කියන දිස්ත්‍රික්කයේ. මොකද මේ පළාත්වල ඉන්න අයටත් ශුභාරංචිය කියන්න ඕනේ.

ක්‍රි.ව. 30දී පාස්කු උත්සවය සැමරුවාට පස්සෙත් යේසුස් මාස කිහිපයක් යුදයේ නතර වෙලා සේවය කළා. ඊටපස්සේ ඔහු සමාරිය හරහා ගමන් කළා. ක්‍රි.ව. 31 පාස්කු උත්සවය කාලයේදී යෙරුසලමේ හිටිය යුදෙව්වන් යේසුස්ව මරන්න උත්සාහ කළා. ඊළඟ අවුරුදු එකහමාර යේසුස් මූලිකවම ඉගැන්වීම් කටයුතු කළේ උතුරින් පිහිටලා තියෙන ගලීලයේ. ඒ කාලයේදී හුඟදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා. ඔහු ගලීලයේ ඉඳන් නියෝජිතයන්ව පුහුණු කරලා සේවයට පිටත් කරන්න කලින් “‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා දේශනා කරන්න” කියලා ඔවුන්ට උපදෙස් දුන්නා. (මතෙව් 10:5-7) දැන් ඔහු සූදානම් වෙන්නේ යුදය පුරා සාක්ෂි දැරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරන්න.

මුලින්ම යේසුස් ගෝලයන් 70දෙනෙක්ව තෝරාගෙන දෙන්නා ගාණේ වෙන් කරනවා. දැන් මේ කණ්ඩායම් 35 දේශනා කරන්න යන්නේ ‘අස්වැන්න විශාල වුණත් වැඩකරුවන් ස්වල්පදෙනෙක් ඉන්න’ ප්‍රදේශයකයි. (ලූක් 10:2) යේසුස් ඒ ප්‍රදේශයට යන්න කලින් ගෝලයන්ව යවන්නේ අසනීප අයව සුව කරන්න සහ තමන් දේශනා කරපු පණිවිඩය දේශනා කරන්න.

සිනගෝගවලට ගිහින් උගන්වන්න කියලා යේසුස් ගෝලයන්ට කිව්වේ නැහැ. ඒ වෙනුවට ගෙවල්වලට යන්න කියලයි ඔහු කියන්නේ. ඒ ගැන යේසුස් මේ උපදෙස දෙනවා. “ඔබ යම් නිවසකට ඇතුල් වූ විට මුලින්ම ‘මේ නිවසට සමාදානය ලැබේවා’ කියා පවසන්න. සමාදානයට කැමති කෙනෙක් සිටී නම් ඔබ පැතූ සාමය ඔහුට ලැබෙයි.” ඔවුන් දේශනා කරන්න ඕනේ මොනවා ගැනද? ඒ ගැන යේසුස් ඔවුන්ට කිව්වේ මෙහෙමයි. “‘දෙවිගේ රාජ්‍යය ඔබ ළඟට පැමිණ තිබෙනවා’ කියා ඔවුන්ට කියන්න.”—ලූක් 10:5-9.

මීට අවුරුද්දකට විතර කලින් යේසුස් නියෝජිතයන් 12දෙනාව සේවයට පිටත් කරද්දී දීපු මඟ පෙන්වීම් තමයි මේ 70දෙනාටත් දෙන්නේ. ශුභාරංචිය හැමෝම පිළිගන්න එකක් නැහැ කියලත් යේසුස් ඔවුන්ට කලින්ම අනතුරු අඟවනවා. කොහොමවුණත් ගෝලයන් යේසුස්ට කලින් මේ ප්‍රදේශයට ගිහින් කරන සේවය හුඟක් අයට උදව්වක් වෙනවා. මොකද යේසුස් ඊටපස්සේ මේ ප්‍රදේශයට ආවාම ඔහුව පිළි අරන් ඔහුගෙන් ඉගෙනගන්න මිනිසුන්ට ලොකු ආශාවක් තියෙයි.

පිටත්ව ගිය 70දෙනා ප්‍රීතියෙන් ආපහු ඇවිත් යේසුස්ට මෙහෙම කියනවා. “ස්වාමීනි, අපි ඔබේ නාමය භාවිත කළ විට භූතයන් පවා අපේ අණට කීකරු වුණා.” ඒ ගැන අහලා සතුටු වෙන යේසුස් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. ‘සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා. එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි. මම ඔබට සර්පයන්ව සහ ගෝනුස්සන්ව පාගා දමන්න බලය දෙනවා.’—ලූක් 10:17-19.

සර්පයන්ව සහ ගෝනුස්සන්ව පාගා දමන්න බලය දෙනවා කියලා යේසුස් කිව්වේ හානිකර දේවල් පරාජය කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා කියලා පැහැදිලි කරන්නයි. ඒ විතරක් නෙවෙයි අනාගතයේදී සාතන්ව ස්වර්ගයෙන් පහතට දමනවා කියලත් ඔවුන්ට නිසැක වෙන්න පුළුවන්. බලවත් දේවල් කරන්න ගෝලයන් 70දෙනාට හැකියාව තිබුණත් ඇත්තටම වැදගත් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ ප්‍රීති විය යුත්තේ භූතයන් ඔබේ අණට කීකරු වන නිසා නොවෙයි. දෙවි ඔබේ නම් ස්වර්ගයෙහි සටහන් කර තිබෙන නිසයි.”—ලූක් 10:20.

ඒ තරම් කැපිලා පේන්නේ නැති මේ ගෝලයන්ව බලවත් දේවල් කරන්න පාවිච්චි කරන එක ගැන දැන් යේසුස් ප්‍රසිද්ධියේම දෙවිට ප්‍රශංසා කරනවා. ගෝලයන් දෙස බලමින් ඔහු මෙහෙම කියනවා. “ඔබට මේ දේවල් දකින්න ලැබෙන නිසා ඔබ ඉතා සන්තෝෂවත් අයයි. මම එසේ කියන්නේ, බොහෝ අනාගතවක්තෘවරුන් සහ රජවරුන් ඔබ දකින දේ දකින්නත් ඔබට ඇසෙන දේ අසාගෙන සිටින්නත් ආශා කළ නිසයි. නමුත් ඒ දේවල් අහන්න දකින්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ.”—ලූක් 10:23, 24.