Skip to content

පටුනට යන්න

76වෙනි පරිච්ඡේදය

යේසුස්ට පරිසිවරයෙක් කෑමකට ආරාධනා කරයි

යේසුස්ට පරිසිවරයෙක් කෑමකට ආරාධනා කරයි

ලූක් 11:37-54

  • යේසුස් පරිසිවරුන්ගේ කුහකකම හෙළා දකියි

යුදයේ ඉන්න යේසුස්ට පරිසිවරයෙක් දවල් කෑමකට ආරාධනා කරන නිසා දැන් ඔහු ඒ පරිසිවරයාගේ නිවසට යනවා. (ලූක් 11:37, 38; 14:12) කෑමට කලින් අත් දෙක වැලමිට වෙන කල් හෝදන එක පරිසිවරුන්ගේ චාරිත්‍රයක්. ඒත් යේසුස් එහෙම කරන්නේ නැහැ. (මතෙව් 15:1, 2) අත් දෙක වැලමිට වෙන කල් හෝදන්න කියලවත් එහෙම නොකරන එක වැරදියි කියලවත් නීතියේ සඳහන් වෙන්නේ නැහැ.

යේසුස් ඒ චාරිත්‍රය පිළිපදින්නේ නැති එක ගැන පරිසිවරයා පුදුම වෙනවා. ඒ නිසා තමයි යේසුස් මෙහෙම කියන්නේ. “පරිසිවරුනි, ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන්න නම් අතපසු කරන්නේ නැහැ. නමුත් ඔබේ හදවත් දුෂ්ටකම්වලින් හා අන් අය සතු දේවල් කොල්ල කෑමේ ආශාවෙන් පිරී තිබෙනවා. ඔබ සිතන්නේ කොතරම් අසාධාරණ ලෙසද! පිට පැත්ත සෑදූ තැනැත්තාමයි ඇතුල් පැත්තත් සෑදුවේ.”—ලූක් 11:39, 40.

යේසුස් කිව්වේ පරිසිවරුන්ගේ කුහකකම ගැනයි. ඔවුන් කෑමට කලින් අත් සේදුවත් හිතේ තියෙන දුෂ්ටකම් ඉවත් කරගෙන නැහැ. ඒ නිසා යේසුස් මෙහෙම කියනවා. “ඔබ දිලිඳුන්ට යම් යහපතක් කරන විට එය ඔබේ හදවතින්ම කරන්න. එසේ කළොත් අන් සෑම කාරණයකදීම ඔබ පවිත්‍ර වෙයි.” (ලූක් 11:41) ඇත්තටම, කෙනෙක්ට මොනවා හරි දෙයක් දෙන්න ඕනෙ ප්‍රේමයෙන් පෙලඹිලා මිසක් තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්වන්න නෙවෙයි.

යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ මිංචිවලින්ද අරූදවලින්ද අන් සියලුම පලා ගස්වලින්ද දසයෙන් කොටස දුන්නත් ඔබ යුක්තිය, දෙවිට ප්‍රේමය දැක්වීම වැනි දේවල් සුළු කොට සලකනවා! මුලින් සඳහන් කළ දේවල් කරන්න අවශ්‍ය බව ඇත්තයි. නමුත් ඔබ බැඳී සිටින්නේ දෙවෙනියට සඳහන් කළ දේවල් කරන්නයි.” (ලූක් 11:42) අස්වැන්නෙන් දහයෙන් කොටසක් දෙන්න කියලා නීතියේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 14:22) ඒ නිසා කෑම රස කරන මිංචි, අරූද සහ අනිත් පළා වර්ගවලින් පවා පරිසිවරු වරද්දන්නේ නැතුව දහයෙන් කොටස දෙනවා. ඒත් යුක්තිය ඉටු කරන එක සහ දෙවියන් ඉදිරියේ නිහතමානී වෙන එක වගේ නීතියේ සඳහන් වඩාත් වැදගත් දේවල් ගැන ඔවුන්ට කිසිම තැකීමක් නැහැ.—මීකා 6:8.

යේසුස් දැන් කියන්නේ මෙහෙමයි. “පරිසිවරුනි, ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! සිනගෝගවල ඉදිරි ආසනවල සිටින්නත් වෙළඳපොළවල ඔබව ගෞරවයෙන් පිළිගන්නවාටත් ඔබ කොතරම් කැමතිද! ඔබට නම් ඉතා දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වෙයි. ඔබ ඇත්තටම ඇතුළත නොපෙනෙන සොහොන් ගෙවල් හා සමානයි. මිනිස්සු ඒවා තිබෙන තැනවත් නොදැන ඒවා මත ඇවිදිනවා.” (ලූක් 11:43, 44) නීතියට අනුව කෙනෙක් සොහොන් ගෙයක් උඩින් ඇවිද්දොත් අපවිත්‍ර වෙනවා. යේසුස් පරිසිවරුන්ව ඇතුළත නොපෙනෙන සොහොන් ගෙවල්වලට සමාන කළේ ඔවුන්ගේ සිත් මොන තරම් අපවිත්‍රද කියන එක පිටතට පේන්නේ නැහැ කියලා පැහැදිලි කරන්නයි.—මතෙව් 23:27.

නීතිය ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් යේසුස්ට මෙහෙම චෝදනා කරනවා. “ගුරුතුමනි, ඔබ මේ දේවල් කියමින් අපට කරන්නේ මහත් නින්දාවක්.” එතකොට යේසුස් මෙහෙම කියනවා. “නීතිය ගැන මනා දැනුමක් ඇති ඔබටත් මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! ඔබ මිනිසුන්ට උසුලන්න බැරි තරම් අමාරු බර ඔවුන් පිට පැටෙව්වත් ඒවා උසුලන්න ඔබේ ඇඟිල්ලක්වත් තබන්න කැමති වන්නේ නැහැ! ඔබට මොන තරම් දරුණු විපතක් අත් වෙයිද! ඔබ අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔවුන්ව මරණයට පත් කළේ ඔබේම මුතුන්මිත්තන්මයි!”—ලූක් 11:45-47.

ඔවුන් මිනිසුන් මත බර පටවනවා කියලා යේසුස් කිව්වේ නීතිය හරියට පැහැදිලි නොකරන ඔවුන් ඔවුන්ගේම චාරිත්‍ර පවත්වන්න මිනිසුන්ට බල කරන නිසයි. සහනයක් ලබා දෙනවා වෙනුවට උසුලන්න බැරි බරක් ඔවුන් මිනිසුන් පිට පටවනවා. ඔවුන්ගේම මුතුන්මිත්තන් තමයි ආබෙල්වත් ඔහුගේ කාලයේ ඉඳලා ජීවත් වුණු අනාගතවක්තෘවරුන්වත් මැරුවේ. ඒ අය වෙනුවෙන් සොහොන් ගෙවල් ඉදි කරන ඔවුන් ඒ අයට ගෞරව කරනවා කියලා මවාපෑවත් ඔවුන් ක්‍රියා කරන්නේ මුතුන්මිත්තන් වගේමයි. දැන් ඔවුන් දෙවිගේ විශේෂ අනාගතවක්තෘවරයාවත් මරන්නයි හදන්නේ. ඒ හැම දෙයක් ගැනම දෙවිට වග කියන්න ඔවුන්ට සිද්ධ වෙනවා කියලා යේසුස් කියනවා. ඒක වෙන්නේ අවුරුදු 38කට විතර පස්සේ. ඒ කියන්නේ ක්‍රි.ව. 70දියි.

යේසුස් ඔවුන්ට මෙහෙමත් කියනවා. “නීතිය ගැන මනා දැනුමක් ඇති මනුෂ්‍යයෙනි, ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද දෙවිගෙන් දැනුම ලබාගැනීම සඳහා මඟ විවෘත කරන දොරේ යතුර ඔබ පැහැරගෙන ගියා. ඔබ එයින් ඇතුල් වෙන්න පියවර නොගත්තා පමණක් නොව ඒ තුළින් යන්න කැමති අයටත් ඔබ බාධා කළා!” (ලූක් 11:52) මිනිසුන්ට ශුද්ධ ලියවිල්ල පහදලා දෙන්න වගකීමෙන් බැඳිලා ඉන්න ඔවුන් මිනිසුන්ට ඒ ගැන දැනගන්න තියෙන අවස්ථාව නැති කරනවා.

යේසුස් කියපු දේ නිසා පරිසිවරුන්ට සහ නීතිය පිටපත් කරන අයට කේන්ති යනවා. ඒ නිසා තමයි යේසුස් එතැනින් පිට වෙලා යන්න හදද්දී ඔවුන් ප්‍රශ්න වැලක්ම යේසුස්ගෙන් අහන්නේ. ඔවුන් ඒ ප්‍රශ්න අහන්නේ යේසුස්ව අත්අඩංගුවට ගන්න හේතු වෙන දෙයක් යේසුස්ගේම කටින් ගන්න තියෙන උවමනාව නිසයි.