Skip to content

පටුනට යන්න

80වෙනි පරිච්ඡේදය

යහපත් එඬේරා සහ බැටළු ගාල්

යහපත් එඬේරා සහ බැටළු ගාල්

යොහන් 10:1-21

  • යේසුස් යහපත් එඬේරා ගැන සහ බැටළු ගාල් ගැන කතා කරයි

යේසුස් තවමත් ඉන්නේ යුදයේ මිනිසුන්ට උගන්වමින්. ඔහු දැන් කියන නිදර්ශනය යුදෙව්වන්ට හොඳින්ම හුරුපුරුදුයි. ඒකේ සඳහන් වෙන්නේ බැටළුවන් සහ බැටළු ගාල් ගැන. දාවිත් මෙහෙම කියලා තිබුණා. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය. ඔහු සරු තණබිම්වල මා සතපවන්නේය.” (ගීතාවලිය 23:1, 2) තවත් ගීතිකාවක දාවිත් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම ආරාධනා කරලා තියෙනවා. “අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ඉදිරියේ දණ නමමු. මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.” (ගීතාවලිය 95:6, 7) හුඟ කාලෙකට කලින් ඉඳලාම දෙවිගේ නීතිය යටතේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ව බැටළු රැළක් විදිහට හඳුන්වන්න පටන් අරන් තිබුණා කියලා ඒ දේවලින් පැහැදිලියි.

හැම ඊශ්‍රායෙල්වරයෙක්ම මෝසෙස්ට දෙවියන් දීපු නීතිය පිළිපදින්න උපතින්ම බැඳිලා හිටිය නිසා ඔවුන් හරියට ‘බැටළු ගාලක’ ඉන්න “බැටළුවන්” වගෙයි. නීතිය යටතේ හිටියේ නැති මිනිසුන්ගේ නරක පුරුදුවලින් නීතිය යටතේ හිටිය අයට ආරක්ෂාවක් ලැබුණු නිසා ඒ නීතිය ආරක්ෂාව සපයන වැටකට සමාන වුණා. හැබැයි සමහර ඊශ්‍රායෙල්වරු දෙවිගේ බැටළුවන්ට පීඩා කරන්න පටන්ගත්තා. ඒ අය ගැන යේසුස් මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, බැටළු ගාලට දොරටුවෙන් ඇතුල් නොවී වෙන තැනකින් ඇතුල් වන තැනැත්තා සොරෙක්ද කොල්ලකරුවෙක්ද වන බවයි. දොරටුවෙන් ඇතුල් වන්නේ බැටළුවන්ගේ එඬේරායි.”—යොහන් 10:1, 2.

යේසුස් ඒක කියද්දී තමන් මෙසියස් නැත්නම් ක්‍රිස්තුස් කියලා කියාගන්නා අය ගැන මිනිසුන්ට මතක් වෙන්න ඇති. එහෙම කියාගන්න අය හොරු සහ කොල්ලකරුවන් වගෙයි. ඒ නිසා මිනිසුන් ඔවුන්ව අනුගමනය කරනවා වෙනුවට ‘බැටළුවන්ගේ එඬේරාව’ අනුගමනය කරන්න ඕනේ.

ඒ එඬේරා ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “දොරටු පාලකයා ඔහුට දොර අරියි. බැටළුවන් ඔහුගේ හඬට කීකරු වෙනවා. ඔහු තම බැටළුවන්ට නම් කියා හඬගසා උන්ව පිටතට ගෙන යයි. තමන්ට අයිති සියලුදෙනාවම පිටතට ගත් පසු ඔහු උන්ට ඉදිරියෙන් ගමන් කරයි. බැටළුවන් ඔහුගේ හඬ හඳුනන නිසා උන් ඔහු පසුපස යනවා. උන් නාඳුනන කෙනෙක් පසුපස කොහොමටවත් යන්නේ නැහැ. නාඳුනන කෙනෙක්ගේ හඬ හඳුනන්නේ නැති නිසා උන් ඔහුගෙන් පලා යනවා.”—යොහන් 10:3-5.

දොරටු පාලකයෙක් වගේ සේවය කරපු යොහන් නීතිය යටතේ ඉන්න බැටළුවන් අනුගමනය කරන්න ඕනෙ යේසුස්වයි කියලා පැහැදිලි කළා. ඒ නිසා ගලීලයෙත් යුදයෙත් ඉන්න සමහර බැටළුවන් යේසුස්ගේ හඬ හඳුනගෙනයි ඉන්නේ. ඒත් යේසුස්ට සවන් දෙන සමහර අයට ඔහු කියන ‘දේවල අර්ථය තේරෙන්නේ නැහැ.’ ඒ නිසා යේසුස් ඔවුන්ව ‘ගෙන යන්නේ’ කොහෙටද, ඔහුව අනුගමනය කරන එකේ ප්‍රතිඵල මොනවාද කියලා ඔවුන් කල්පනා කරනවා ඇති.—යොහන් 10:6.

ඒ ගැන පැහැදිලි කරමින් යේසුස් දැන් මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, බැටළුවන් ඇතුල් වන දොරටුව මම බවයි. වෙස් වලාගෙන පැමිණ ඒ මමයි කියා පෙන්වන්න හදන සියලුදෙනා සොරුන් හා කොල්ලකරුවන්. නමුත් බැටළුවන් ඔවුන්ට කීකරු වන්නේ නැහැ. දොරටුව මමයි. මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.”—යොහන් 10:7-9.

නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුමට දොරටුව යේසුස් නෙවෙයි කියලා යුදෙව්වන් දන්නවා. එහෙමනම් ඔහු තමන්ව දොරටුවකට සමාන කරන්නේ මොන අර්ථයෙන්ද? ඔහු කියන්නේ ‘පිටතට ගෙන යන’ බැටළුවන්ව ඇතුල් කරන වෙනත් ගාලකට ඔහු දොරටුව වෙනවා කියලයි. ඒ ගාලට අයිති අයට ලැබෙන්නේ මොනවාද?

යේසුස් කියන මේ දෙයින් ඒක දැනගන්න පුළුවන්. “මා ඇවිත් සිටින්නේ ඔවුන්ට ජීවනය එනම්, සදහටම ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන්නයි. උතුම් එඬේරා මමයි. මම මගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙනවා.” (යොහන් 10:10, 11) කලින් වතාවකදී යේසුස් ගෝලයන්ට මෙහෙම කියලා තිබුණා. “කුඩා රැළ භය නොවන්න. මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.” (ලූක් 12:32) යේසුස් අලුත් බැටළු ගාලකට ගෙන යන්නේ “ජීවනය එනම්, සදහටම ජීවත් වීමේ අවස්ථාව” ලැබෙන “කුඩා රැළට” අයිති අයවයි කියලා ඒකෙන් පැහැදිලියි. ඒ කණ්ඩායමට ඇතුල් වෙන්න ලැබෙන එක මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!

යේසුස් ඊළඟට මෙහෙම කියනවා. “මේ ගාලට අයිති නැති වෙනත් බැටළුවන්ද මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා. උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.” (යොහන් 10:16) යේසුස් “වෙනත් බැටළුවන්” විදිහට හඳුන්වන්නේ “මේ ගාලට අයිති නැති” පිරිසක්ව. ඒ අය දෙවිගේ රාජ්‍යය උරුම කරගන්න ‘කුඩා රැළට’ අයිති වෙන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. මේ කණ්ඩායම් දෙකේ ඉන්න අයට තියෙන බලාපොරොත්තුව එකිනෙකට වෙනස්. ඒත් ඒ හැමෝම උතුම් එඬේරා වන යේසුස් කරන කාර්යභාරයෙන් ප්‍රයෝජන ලබනවා. යේසුස් දැන් කියන්නේ මෙහෙමයි. “මගේ පියාණන් මට ප්‍රේම කරන්නේ මම මගේ ජීවිතය වුණත් දෙන්න කැමති නිසයි.”—යොහන් 10:17.

සෙනඟ අතරේ ඉන්න හුඟදෙනෙක් මෙහෙම කියනවා. “ඔහුට භූතයෙකු වැහිලා. ඔහුගේ සිහිවිකල් වෙලා.” ඒත් උතුම් එඬේරා වන යේසුස්ව අනුගමනය කරන්න කැමති අය කියන්නේ මෙහෙමයි. “භූතයෙක් ආවේශ වී සිටින කෙනෙක් කොහොමද මේ වගේ දේවල් උගන්වන්නේ? භූතයෙකුට පුළුවන්ද අන්ධයන්ට පෙනීම ලබා දෙන්න?” (යොහන් 10:20, 21) ඔවුන් කතා වෙන්නේ යේසුස් අන්ධ මිනිසාව සුව කරපු සිද්ධිය ගැන වෙන්න ඇති.