Skip to content

පටුනට යන්න

81වෙනි පරිච්ඡේදය

පූර්ණ එකඟතාවකින් සිටින දෙදෙනෙක්

පූර්ණ එකඟතාවකින් සිටින දෙදෙනෙක්

යොහන් 10:22-42

  • “මගේ පියාණන් සහ මම පූර්ණ එකඟතාවකින් සිටිනවා”

  • දෙවි කෙනෙක් වෙන්න හදනවා කියා නඟපු චෝදනාව යේසුස් ප්‍රතික්ෂේප කරයි

යේසුස් දැන් යෙරුසලමට ඇවිත් ඉන්නේ කැප කිරීමේ (“හනූකා”) උත්සවයට. සියවසකට කලින් සිරියාවේ හතරවන ඇන්ටියෝකස් රජ, දේවමාලිගාවේ පූජාසනය උඩ තවත් පූජාසනයක් හැදුවා. ඒත් යුදෙව් පූජකයෙක්ගේ පුතුන් කිහිපදෙනෙක් යෙරුසලම අත් පත් කරගෙන දේවමාලිගාව ආයෙත් යෙහෝවා දෙවිට කැප කළා. ඒක තමයි හැම අවුරුද්දෙම කිස්ලෙව් මාසයේ 25වෙනිදාට සමරන්නේ. අපේ දිනදර්ශනයට අනුව ඒක යෙදෙන්නේ නොවැම්බර් අගත් දෙසැම්බර් මුලත් අතර කාලයෙයි.

දැන් එළඹිලා තියෙන්නේ ශීත ඍතුව. යේසුස් දේවමාලිගාවේ සලමොන්ගේ සක්මන් මළුවේ ඇවිදිමින් ඉද්දී යුදෙව්වන් ඇවිත් ඔහුව වට කරගෙන මෙහෙම කියනවා. “ඇයි ඔබ කිසිම දෙයක් කෙළින්ම කියන්නේ නැත්තේ? ඔබ ක්‍රිස්තුස් නම් ඒ බව කෙළින්ම කියන්න.” (යොහන් 10:22-24) යේසුස් කියන්නේ මෙහෙමයි. “මම මීට කලින් ඔබට ඒ ගැන කිව්වා. ඒත් ඔබ මාව විශ්වාස කළේ නැහැ.” තමන් ක්‍රිස්තුස් කියලා යේසුස් සමරිතානු ස්ත්‍රියකට කියලා තිබුණත් මේ අයට ඒ ගැන කෙළින්ම කියලා නැහැ. (යොහන් 4:25, 26) ඒත් ආබ්‍රහම්ටත් කලින් මම ජීවත් වෙලා හිටියා කියලා ඔහු කියලා තිබුණා.—යොහන් 8:58.

ක්‍රිස්තුස් ගැන සඳහන් දේවල් සහ තමන් කරන දේවල් සන්සන්දනය කරලා ක්‍රිස්තුස් කවුද කියලා මිනිසුන් තේරුම්ගන්නවාටයි යේසුස් කැමති. තමන් මෙසියස් බව අනිත් අයට කියන්න එපා කියලා ඔහු ගෝලයන්ට කිව්වේ ඒ නිසයි. ඒත් දැන් ඔහු කෙළින්ම මෙහෙම කියනවා. “මගේ පියාණන්ගේ නාමයෙන් මා කරන දේවල්ම මා වෙනුවෙන් සාක්ෂියක් වෙයි. නමුත් ඔබ මගේ බැටළුවන් නොවන නිසා ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ.”—යොහන් 10:25, 26.

ඔවුන් යේසුස්ව ක්‍රිස්තුස් හැටියට පිළි නොගන්නේ ඇයි? යේසුස් මෙහෙම කියනවා. “ඔබ මගේ බැටළුවන් නොවන නිසා ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ. මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා. මම ඔවුන්ව හොඳින් හඳුනනවා. ඔවුන්ද මා අනුව එනවා. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙනවා. ඔවුන් කිසි කලක විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් ඇවිත් මගේ අතින් ඔවුන්ව උදුරාගෙන යන්නෙත් නැහැ. මගේ පියාණන් මට භාර දී තිබෙන මේ බැටළුවන් අන් හැම දෙයකටම වඩා මට වටිනවා.” තමන් සහ පියාණන් අතර තියෙන කිට්ටු බැඳීම පැහැදිලි කරන්න යේසුස් දැන් මෙහෙම කියනවා. “මගේ පියාණන් සහ මම පූර්ණ එකඟතාවකින් සිටිනවා.” (යොහන් 10:26-30) යේසුස් එහෙම කිව්වේ ඔවුන් දෙදෙනාම එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන නිසයි.

ඒක අහලා කේන්ති ගන්න යුදෙව්වන් ආපහු යේසුස්ට ගල් ගහලා මරන්න හදනවා. ඒත් යේසුස් නිර්භීතව මෙහෙම කියනවා. “පියාණන් මට කරන්න කියා අණ කළ යහපත් ක්‍රියා බොහොමයක් මම ඔබ ඉදිරියේ කළා. දැන් ඔබ මට ගල් ගසන්න හදන්නේ මා කළ මොන ක්‍රියාව නිසාද?” ඔවුන් කියන්නේ මෙහෙමයි. “අප ඔබට ගල් ගසන්නේ ඔබ කළ යහපත් ක්‍රියා නිසා නොවෙයි. ඔබ දෙවිට අපහාස කළ නිසයි. ඔබ උත්සාහ කරන්නේ දෙවි කෙනෙක් හැටියට පෙනී සිටින්නයි.” (යොහන් 10:31-33) තමන් දෙවි කෙනෙක් කියලා කවදාවත් නොකියපු යේසුස්ට ඔවුන් ඒ වගේ චෝදනාවක් කරන්නේ ඇයි?

ඔවුන් එහෙම චෝදනා කරන්නේ තම “බැටළුවන්ට” “සදාකාල ජීවනය දෙනවා” කියලා යේසුස් කියපු නිසයි. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලයි යුදෙව්වන් විශ්වාස කරන්නේ. (යොහන් 10:28) ඒත් තමන් ඒ දේවල් කරන්නේ පියාණන්ගේ බලයෙන් කියලා යේසුස් කියපු දේ ඔවුන්ට අමතක වෙලා.

ඔවුන්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කරන යේසුස් මෙහෙම කියනවා. ‘ඔබේ ශුද්ධ ලියවිලිවල [ගීතාවලිය 82:6] ලියා ඇති දේ ඔබට මතක නැද්ද? එක් අවස්ථාවකදී දෙවි පැවසුවේ, “‘ඔබ දෙවිවරුය’ කියා මම කීවෙමි” කියායි. එම අවස්ථාවේදී දෙවි, “දෙවිවරුන්” කියා හැඳින්වූයේ තමා විසින් හෙළාදැක තිබූ අයවයි. නමුත් පියාණන් මාව ශුද්ධ කෙනෙක් හැටියට විශේෂයෙන්ම තෝරාගෙන ලෝකයට එවා තිබෙනවා. එසේනම් මම දෙවිගේ පුත්‍රයා කියා පැවසූ නිසා “ඔබ දෙවිට අපහාස කරනවා” කියා ඔබ මට කියන්නේ ඇයි?’—යොහන් 10:34-36.

අසාධාරණ විනිශ්චයකරුවන්වත් ශුද්ධ ලියවිල්ලේ “දෙවිවරුන්” විදිහට හඳුන්වලා තියෙනවා. එහෙමනම් “මම දෙවිගේ පුත්‍රයා” කියලා යේසුස් කියපු දේ වැරදියි කියලා කියන්න යුදෙව්වන්ට කිසිම සාධාරණ හේතුවක් නැහැ. යේසුස් දැන් ඔවුන්ට මෙහෙම කියනවා. “මම මගේ පියාණන්ගේ ක්‍රියා කරන්නේ නැත්නම් මාව විශ්වාස කරන්න එපා. නමුත් මා ඒවා කරනවා නම් ඔබ මාව විශ්වාස නොකළත් අඩුම තරමින් මා කරන ක්‍රියාවත් විශ්වාස කරන්න. ඔබ එසේ කළොත් පියාණන් මා සමඟ එකට බැඳී සිටිනවා වගේම මමත් පියාණන් සමඟ එකට බැඳී සිටින බව ඔබට වැටහෙයි.”—යොහන් 10:37, 38.

ඒ වෙලාවේ යුදෙව්වන් ආපහු යේසුස්ව අල්ලාගන්න උත්සාහ කළත් ඔහු බේරිලා යනවා. දැන් ඔහු යොර්දාන් ගඟෙන් එගොඩට යනවා. එහෙදී තමයි මීට අවුරුදු හතරකට කලින් යොහන් මිනිසුන්ව බව්තීස්ම කරන්න පටන්ගත්තේ. පෙනෙන විදිහට ගලීල මුහුදේ දකුණු කෙළවරේ ඉඳන් එතැනට වැඩි දුරක් නැහැ.

එතැනට එන සෙනඟ මෙහෙම කතා වෙනවා. “යොහන් එක පුදුම දෙයක්වත් කළේ නැහැ. නමුත් මේ මිනිසා ගැන යොහන් පැවසූ සෑම දෙයක්ම දැන් සැබෑ වෙලා.” (යොහන් 10:41) අන්තිමේදී යුදෙව්වන් හුඟදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වෙනවා.