Skip to content

පටුනට යන්න

89වෙනි පරිච්ඡේදය

පෙරයාවේ සිට යුදය බලා පිටත් වෙයි

පෙරයාවේ සිට යුදය බලා පිටත් වෙයි

ලූක් 17:1-10 යොහන් 11:1-16

  • කෙනෙක්ව වරදකට පෙලඹවීමේ බරපතළකම

  • සමාව දීම සහ විශ්වාසයක් ඇතුව සිටීම

යේසුස් “යොර්දාන් ගඟෙන් එගොඩ” පෙරයාවේ ටික කාලයක් නතර වෙලා හිටියා. (යොහන් 10:40) දැන් ඔහු යන්නේ දකුණින් පිහිටලා තියෙන යෙරුසලමට.

ගෝලයන්, බදු එකතු කරන අය සහ පව්කාරයන් ඇතුළු “විශාල සමූහයක්” යේසුස් එක්ක මේ ගමනට හවුල් වෙනවා. (ලූක් 14:25; 15:1) පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන අයත් ඒ අතරේ ඉන්නවා. නැති වුණු බැටළුවා, නැති වුණු පුතා වගේම ධනවතා සහ ලාසරුස් ගැන යේසුස් කියපු නිදර්ශනවලින් ඔවුන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා.—ලූක් 15:2; 16:14.

ගලීලයේ ඉද්දී උගන්වපු සමහර දේවල් යේසුස් දැන් ආයෙත් ගෝලයන්ට මතක් කරනවා. තමන්ට විරුද්ධ අය කියපු දේවල් දැනටත් ඔහුගේ මනසේ ඇති.

ඔහු මෙහෙම කියනවා. ‘ඕනෑම කෙනෙක් වරදකට පෙලඹෙන්න පුළුවන්. නමුත් වරදක් කිරීමට අන් අයව පොලඹවන තැනැත්තාට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයි. ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න. ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි. ඔහු දවසකට හත් වතාවක් වුණත් ඔබට විරුද්ධව වැරදි කළ හැකියි. නමුත් ඒ හත් වතාවම ඔහු ඔබ ළඟට ඇවිත් “මට සමාවෙන්න” කියා පැවසුවොත් ඔබ ඔහුට සමාව දිය යුතුයි.’ (ලූක් 17:1-4) ඒක ඇහුණාම සහෝදරයාට හත් වතාවක් සමාව දුන්නොත් ඇතිද කියලා තමන් අහපු ප්‍රශ්නය පේතෘස්ට මතක් වෙන්න ඇති.—මතෙව් 18:21.

යේසුස් කියන දේවල් පිළිපදින්න ගෝලයන්ට පුළුවන් වෙයිද? “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා ඔවුන් ඉල්ලුවාම යේසුස් කියන මේ දෙයින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. “ඔබට අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තිබුණත් ඇති. එවිට මේ මල්බෙරි ගසට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ පැළ වෙන්න’ කියා ඔබ පැවසුවොත් ඒ ගස ඔබට කීකරු වෙයි.” (ලූක් 17:5, 6) ඔව්, කෙනෙක්ට යම් ප්‍රමාණයක හරි විශ්වාසයක් තියෙනවා නම් හුඟක් දේවල් කරන්න ඔහුට පුළුවන් වෙනවා.

නිහතමානී ආකල්පයක් ඇතුව ඉන්න එකේ වැදගත්කම පැහැදිලි කරන්න යේසුස් දැන් මෙහෙම කියනවා. “සීසාමින් හෝ සතුන් රැකබලා ගනිමින් ඔබට සේවය කරන දාසයෙක් සිටිනවා කියා සිතන්න. ඒ සේවකයා වැඩ අවසන් කර පැමිණි වහාම, ‘ඇවිත් කෑමට ඉඳගන්න’ කියා ඔබ ඔහුට කියයිද? ඒ වෙනුවට ඔබ, ‘මගේ රෑ කෑමට මොනව හරි පිළියෙල කරන්න. ඉන්පසු ලෑස්ති වී මා කා බී අවසන් වන තුරු මා ළඟ ඉඳ මට අවශ්‍ය දේ සපයන්න. ඊටපස්සේ ඔබට පුළුවන් කන්න බොන්න’ කියා ඔහුට පවසයි. ඒ දාසයා තමාට පවරා තිබූ වැඩ කොටස කළා කියා ස්වාමියා ඔහුට ස්තුති කරන්නේ නැහැ. ඔබත් මේ දාසයා හා සමාන බව මතක තබාගත යුතුයි. ඔබට පවරා තිබෙන සෑම දෙයක්ම කළ පසු, ‘අපි නිකම්ම නිකම් දාසයෝ පමණයි. අපි මේ කළේ අප කළ යුතු දේ විතරයි’ කියා පවසන්න.”—ලූක් 17:7-10.

දෙවිගේ කැමැත්තට ජීවිතයේ මුල් තැන දෙන එකේ තියෙන වැදගත්කම දෙවිගේ සේවකයන් තේරුම්ගන්න ඕනේ. ඒ වගේම දෙවිගේ සේවකයෙක් විදිහට ඔහුට නමස්කාර කරන්න ලැබිලා තියෙන අවස්ථාව ලොකු වරප්‍රසාදයක් කියලත් ඔවුන් මතක තියාගන්න ඕනේ.

වැඩි දවසක් යන්න කලින් පණිවිඩකරුවෙක් යේසුස්ව හොයාගෙන එනවා. ඔහුව එවලා තියෙන්නේ බෙතානියේ ඉන්න ලාසරුස්ගේ සහෝදරියන් වන මරියා සහ මාර්තා. ඔහු මෙහෙම කියනවා. “ස්වාමීනි, ඔබේ හිතවත් මිත්‍රයා අසනීපයෙන් සිටිනවා.”—යොහන් 11:1-3.

තමන්ගේ මිතුරා වුණු ලාසරුස් අසනීපයෙන් ඉන්නවා කියලා දැනගත්තත් යේසුස් ඒ හැටි දුක් වෙන්නේ නැහැ. ඔහු මෙහෙම කියනවා. “මේ අසනීපයේ අවසාන ප්‍රතිඵලය මරණය නොවෙයි. එයින් දෙවිට මහත් ගෞරවයක් ගෙන දෙයි. එසේම මනුෂ්‍ය පුත්‍රයාටත් ගෞරවය ලැබෙයි.” දවස් දෙකකට පස්සේ යේසුස් “අපි නැවත යුදයට යමු” කියලා ගෝලයන්ට කිව්වාම ඔවුන් මෙහෙම අහනවා. “ගුරුතුමනි, ඔබ නැවතත් එතැනට යන්න හදන්නේ ඇයි? ළඟදී නේද යුදෙව්වරුන් ඔබට ගල් ගසන්න හෙව්වේ?”—යොහන් 11:4, 7, 8.

යේසුස් මෙහෙම පිළිතුරු දෙනවා. “දවල් කාලයට තිබෙන්නේ පැය දොළහක් පමණයි. කෙනෙක් දවල් කාලයේ ඇවිද්දොත් ඔහුට මේ ලෝකයේ ආලෝකය දකින්න ලැබෙයි. ඒ නිසා කිසිම දෙයක ඔහුගේ පය හැප්පෙන්නේ නැහැ. නමුත් කෙනෙක් රාත්‍රියේදී ඇවිද්දොත් ඔහු යම් දේවල හැප්පෙයි. ඊට හේතුව ඔහුට මඟ පෙන්වන්න කිසි ආලෝකයක් නැති වීමයි.” (යොහන් 11:9, 10) යේසුස් පැහැදිලි කරන්නේ තමන්ගේ පැවරුම ඉටු කරන්න දෙවියන් නියම කරලා තියෙන කාලය අවසන් වෙලා නැහැ කියන එකයි. ඉතුරු වෙලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි ඔහු උත්සාහ කරන්නේ.

යේසුස් දැන් මෙහෙම කියනවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.” එතකොට ගෝලයන් කියන්නේ “ස්වාමීනි, ඔහු නිදාගෙන සිටිනවා නම් ඔහු සනීප වී නැඟිටියි” කියලයි. ඒ නිසා යේසුස් කෙළින්ම කියන්නේ මෙහෙමයි. ‘ලාසරුස් ඇත්තටම මැරිලා. අපි දැන් එහෙට යමු.’—යොහන් 11:11-15.

යේසුස් යුදයට ගියාම සමහරවිට එහේ මිනිසුන් ඔහුව මරලා දායි කියලා තෝමස් දන්නවා. ඒ වුණත් ඔහු කියන්නේ “මැරෙන්න සිදු වුණත් අපි ඔහු සමඟ යමු” කියලයි. ඔහු එහෙම කියන්නේ යේසුස්ට උදව් කරන්න ඔහුට තියෙන උවමනාව නිසයි.—යොහන් 11:16.