Skip to content

පටුනට යන්න

91වෙනි පරිච්ඡේදය

ලාසරුස්ව නැවත නැඟිටුවයි

ලාසරුස්ව නැවත නැඟිටුවයි

යොහන් 11:38-54

  • ලාසරුස්ව නැවත නැඟිටවීම

  • යුදෙව් මන්ත්‍රණ සභාව යේසුස්ව මරන්න සැලසුම් කරයි

බෙතානිය කිට්ටුවට ආපු යේසුස්ට මාර්තාව සහ මරියාව මුණගැහුණාට පස්සේ ඔවුන් ලාසරුස්ගේ සොහොන් ගෙය ළඟට යනවා. ඒ සොහොන් ගෙය ලොකු ගලකින් වහලයි තියෙන්නේ. “ගල අහකට ගන්න” කියලා යේසුස් දැන් කියනවා. යේසුස් කරන්න යන්නේ මොනවාද කියලා මාර්තාට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඇය “ස්වාමීනි, ඔහු දැන් මැරිලා දවස් හතරක්ම ගත වෙලා නිසා හොඳටම ගඳ ගහනවා ඇති” කියලා කියන්නේ. ඒත් යේසුස් ඇගෙන් මෙහෙම අහනවා. “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව මම ඔබට කිව්වා නේද?”—යොහන් 11:39, 40.

ගල එතැනින් ඉවත් කළාට පස්සේ යේසුස් අහස දිහා බලන් මෙහෙම යාච්ඤා කරනවා. “පියාණෙනි, ඔබ දැන් මගේ ඉල්ලීම ඉටු කළ නිසා මම ඔබට ස්තුති කරන්න කැමතියි. ඔබ මගේ ඉල්ලීම් කිසිදාක ප්‍රතික්ෂේප නොකරන බව මට ස්ථිරයි. ඒත් මම මේ දේ හඬ නඟා කිව්වේ අවට සිටින මේ සමූහයා තුළ විශ්වාසයක් ඇති කරන්නයි. එවිට ඔබ මාව එවා ඇති බව ඔවුන් විශ්වාස කරයි.” තමන් දැන් කරන්න යන දේට බලය දෙන්නේ දෙවියන් කියලා එතැන ඉන්න අයට තේරුම් කරන්නයි යේසුස් ඒ විදිහට යාච්ඤා කළේ. දැන් ඔහු මහත් හඬකින් “ලාසරුස්, පිටතට එන්න” කියලා කියද්දී ලාසරුස් සොහොන් ගෙයින් එළියට එනවා. ඔහුගේ අත් පා රෙදි පටිවලිනුත් මුහුණ රෙදිකඩකිනුත් ඔතලයි තියෙන්නේ. යේසුස් දැන් කියන්නේ “ඔහුගේ රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න” කියලයි.—යොහන් 11:41-44.

යේසුස් කරපු ඒ බලවත් ක්‍රියාව දැක්කාම මාර්තා සහ මරියාව සනසවන්න ඇවිත් ඉන්න හුඟක් අය ඔහුව විශ්වාස කරන්න පටන්ගන්නවා. හැබැයි තවත් අය සිද්ධ වුණු දේ ගැන පරිසිවරුන්ට දැනුම් දෙනවා. ඒ නිසා පරිසිවරුන් සහ යුදෙව් මහාධිකරණයේ නායක පූජකයන් ඒ ගැන සාකච්ඡාවක් පවත්වනවා. උත්තම පූජක කායෆස් පවා ඒ සාකච්ඡාවට සහභාගි වෙනවා. ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා. “මේ මිනිසා බොහෝ පුදුමසහගත දේවල් කරනවා. අපි මොනවාද කරන්නේ? ඔහුට මේ දේවල් කරන්න අපි ඉඩ දුන්නොත් සියලුදෙනාම ඔහු කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගනියි. එවිට රෝමවරුන් ඇවිත් අපේ දේවමාලිගාවත් අපේ ජාතියත් අපෙන් උදුරාගනියි.” (යොහන් 11:47, 48) යේසුස් කරන “බොහෝ පුදුමසහගත දේවල්” ගැන ඇසින් දුටු සාක්ෂි තිබුණත් දෙවියන් ඔහු මාර්ගයෙන් කරන දේවල් ගැන ඔවුන් පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. ඔවුන් වැඩි අවධානයක් දෙන්නේ ඔවුන්ගේ තාන්නමාන්න සහ බලතලවලට.

නැවත නැඟිටීම විශ්වාස කරන්නේ නැති සද්දුසිවරුන්ට ලාසරුස්ගේ නැවත නැඟිටීම ගැන ආරංචි වුණාම කට උත්තර නැතුව යනවා. සද්දුසිවරයෙක් වන කායෆස් දැන් මෙහෙම කියනවා. “මුළු ජාතියම විනාශ වී යනවා වෙනුවට සියල්ලන් වෙනුවෙන් එක මිනිසෙක් මිය යෑම කොතරම් හොඳද! ඒ වගේ දෙයක් සිදු වීම ඔබට වාසිදායක බව ඔබට තේරෙන්නේ නැද්ද?”—යොහන් 11:49, 50; ක්‍රියා 5:17; 23:8.

ඇත්තෙන්ම කියනවා නම් කායෆස් කිව්වේ “ඔහුම සිතා පැවසූ දෙයක් නොවෙයි.” ඒ වෙනුවට දෙවියන් තමයි ඔහු මාර්ගයෙන් ඒ දේ කියන්න සැලැස්සුවේ. යුදෙව් ආගමික නායකයන්ගේ බලතල යේසුස් නැති කරලා දාන්න කලින් ඔහුව මරලා දාන්න කියලයි කායෆස්ට කියන්න උවමනා වුණේ. ඒත් ඔහු කියපු අනාවැකියෙන් කියවෙන්නේ යුදෙව්වන් ඇතුළු “විසිරී ගිය දෙවිගේ දරුවන්ව එකට රැස් කිරීමට” යේසුස්ගේ ජීවිත පූජාව දායක වෙන එක ගැනයි.—යොහන් 11:51, 52.

යේසුස්ව මරා දමන්න කායෆස් යුදෙව් මහාධිකරණය කැමති කරගත්තා. ඒකේ සාමාජිකයෙක් වගේම යේසුස්ගේ මිතුරෙක් වන නිකදේමස් ඒ ගැන යේසුස්ට දැනුම් දෙයිද? ඒ ගැන අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් තමන්ගේ මරණයට තවමත් නියමිත වේලාව ඇවිත් නැහැ කියලා දන්න යේසුස් ඉක්මනින්ම බෙතානියෙන් පිට වෙලා යනවා.