Skip to content

පටුනට යන්න

92වෙනි පරිච්ඡේදය

දහදෙනෙකුව සුව කළත් ස්තුති කළේ එක් කෙනයි

දහදෙනෙකුව සුව කළත් ස්තුති කළේ එක් කෙනයි

ලූක් 17:11-19

  • යේසුස් ලාදුරු රෝගීන් දහදෙනෙකුව සුව කරයි

යේසුස් යෙරුසලමට ඊසානදිගින් පිහිටි එෆ්‍රායිම් නුවරට ගිහින් ගෝලයන් එක්ක එහේ නතර වෙලා ඉන්නවා. ඒ නිසා තමයි සතුරන් ඔහුව මරන්න යොදපු සැලසුම් අසාර්ථක වුණේ. (යොහන් 11:54) හැබැයි ක්‍රි.ව. 33 පාස්කු උත්සවය ළං වෙලා තියෙන නිසා යේසුස් වැඩි කාලයක් එහේ ඉන්නේ නැහැ. දැන් ඔහු උතුරෙන් පිහිටි සමාරිය හරහා ගලීලයට යනවා. මේක තමයි යේසුස් තම මරණයට කලින් ගලීලයට යන අන්තිම වතාව.

වැඩි දුරක් යන්න කලින් යේසුස්ට ලාදුරු රෝගීන් දහදෙනෙක්ව මුණගැහෙනවා. ලාදුරු රෝගය කොයි තරම් බරපතළද කියනවා නම් ඒ රෝගය හැදුණාම ඇඟිලි, කන් වගේ අවයව කුණු වෙලා යන්න පවා පුළුවන්. (ගණන් කතාව 12:10-12) ලාදුරු රෝගියෙක් තමන් “අපවිත්‍රය, අපවිත්‍රය” කියලා මහ හඬින් කෑගහන්න ඕනෙ කියලත් අනිත් අයගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ කියලත් දෙවිගේ නීතියේ සඳහන් වුණා.—ලෙවී කතාව 13:45, 46.

ඒ නිසා තමයි යේසුස්ට මුණගැහුණු ලාදුරු රෝගීන් යම් දුරකින් ඉඳන් මහත් හඬකින් මෙහෙම කියන්නේ. “යේසුස්, ගුරුතුමනි, අපට අනුකම්පා කරන්න.” එතකොට යේසුස් “ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිටින්න” කියා ඔවුන්ට කියනවා. (ලූක් 17:13, 14) ඔහු එහෙම කියන්නේ දෙවිගේ නීතියට අනුව ලාදුරු රෝගීන්ව සෝදිසි කරලා බලලා ඒ අයට සුවය ලැබිලා කියලා ප්‍රකාශ කරන වගකීම තිබුණේ පූජකයන්ට නිසයි. (ලෙවී කතාව 13:9-17) ඔව්, යේසුස් ඒ නීතියට ගරු කළා.

යේසුස්ට ලෙඩ සුව කරන්න බලය තියෙනවා කියලා ඒ ලාදුරු රෝගීන් දහදෙනාම දැනගෙන හිටියා. ඒ නිසා තමයි රෝගය සුව වෙන්නත් කලින් ඔවුන් පූජකයා ළඟට යන්න පිටත් වෙන්නේ. ඔවුන් තුළ තිබුණු විශ්වාසය නිසා ඔවුන් ගමන් කරමින් ඉද්දීම ඔවුන්ට සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනවා.

යේසුස් කරපු දේ මුළු හදින්ම අගය කරන එක මිනිසෙක් ආපහු යේසුස්ව හොයාගෙන එනවා. යේසුස් මාර්ගයෙන් තමන්ට සුවය ලබා දුන්නේ දෙවියන් කියලා මේ සමරිතානු මිනිසා තේරුම් අරන් ඉන්න නිසා තමයි එන අතරතුරේදී ඔහු “මහත් හඬින් දෙවිට ප්‍රශංසා” කරන්නේ. (ලූක් 17:15) යේසුස්ව මුණගැහුණාම ඔහු යේසුස්ගේ පාමුල වැටිලා ඔහුට ස්තුති කරනවා.

දැන් යේසුස් ඔහු ළඟ ඉන්න හැමෝටම ඇහෙන්න ඒ සමරිතානු මිනිසාට මෙහෙම කියනවා. ‘දහදෙනාම සුව වුණා නේද? එසේනම් අනික් නවදෙනා කොහේද? වෙනත් ජාතියකට අයත් ඔබ හැර වෙන කවුරුත් දෙවිට ප්‍රශංසා කරන්න ආවේ නැද්ද? ඔබ සුව වුණේ ඔබේ විශ්වාසය නිසයි. දැන් ඔබට යන්න පුළුවන්.’—ලූක් 17:17-19.

යේසුස්ට ස්තුති කරන්න හැරිලා ආපු සමරිතානු මිනිසාට සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ලාදුරු රෝගීන් දහදෙනාව සුව කරපු එකෙන් යේසුස්ට යෙහෝවා දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා හොඳින්ම පැහැදිලියි. මේ කාලෙදී යේසුස් ඒ වගේ බලවත් ක්‍රියාවන් කරන්නේ නැති වුණත් අපි ඔහු කෙරෙහි විශ්වාසය තියනවා නම් අපිට සදාකාල ජීවිතය අත් කරගන්න පුළුවන්. සමරිතානු මිනිසා වගේ අපිත් දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් මුළු හදින්ම අගය කරනවාද?