Skip to content

පටුනට යන්න

94වෙනි පරිච්ඡේදය

යාච්ඤාව සහ නිහතමානිකම ගැන උගන්වයි

යාච්ඤාව සහ නිහතමානිකම ගැන උගන්වයි

ලූක් 18:1-14

  • උත්සාහය අත් නොහැරපු වැන්දඹුව ගැන නිදර්ශනය

  • පරිසිවරයා සහ බදු අය කරන්නා ගැන නිදර්ශනය

නොකඩවා යාච්ඤා කරන එකේ වැදගත්කම ගැන යේසුස් මේ වෙද්දී නිදර්ශනයකින් පැහැදිලි කරලයි තියෙන්නේ. (ලූක් 11:5-13) පෙනෙන විදිහට සමාරියේ නැත්නම් ගලීලයේ ඉන්න යේසුස් ඒ කාරණය තවත් කාවද්දන්න දැන් මේ නිදර්ශනය කියනවා.

“එක්තරා නුවරක විනිශ්චයකරුවෙක් සිටියා. දෙවිට ගරුබිය නොදැක්වූ ඔහු, මිනිසුන්ටවත් කිසි ගෞරවයක් දැක්වූයේ නැහැ. මේ අතර ඒ නුවරේ සිටි වැන්දඹුවක් ඔහු ළඟට නිතර ගොස්, ‘මගේ නඩුවට සාධාරණය ඉටු කර දෙන්න’ කියා දිගින් දිගටම පැවසුවා. යම් කාලයක් යන තුරු ඔහු ඒ ගැන කිසි පියවරක් ගන්න කැමති වුණේ නැහැ. නමුත් පසුව ඔහු මෙසේ සිතාගත්තා. ‘මම කිසි මිනිසෙකුට ගෞරවය නොදක්වන, දෙවිටවත් ගරුබිය නොදක්වන කෙනෙක්. නමුත් මේ වැන්දඹුව ඇවිත් නිතර නිතර මට කරදර කරන නිසා මම ඇයට සාධාරණය ඉටු කර දිය යුතුයි. එහෙම නොකළොත් ඇය දිගින් දිගටම ඇවිත් මට එපා වන තරමට කරදර කරයි.’”—ලූක් 18:2-5.

ඒ නිදර්ශනයෙන් ඉගෙනගන්න පුළුවන් දේ ගැන යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “ඒ විනිශ්චයකරු අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහු පැවසූ දේ අමතක කරන්න එපා! දැන් බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන දෙවි ගැන සිතන්න. දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?”—ලූක් 18:6, 7.

යේසුස්, යෙහෝවා දෙවිව ඒ අධර්මිෂ්ඨ විනිශ්චයකරුට සමාන කරන්නේ නැහැ. ඔහු පැහැදිලි කරන්නේ අධර්මිෂ්ඨ විනිශ්චයකරු පවා ඔහුගෙන් නොකඩවා කරපු ඉල්ලීම ඉටු කළා නම් ඊට වඩා කොච්චර වැඩියෙන් දෙවියන් ඔහුගෙන් කරන ඉල්ලීම් ඉටු කරයිද කියන එක ගැනයි. ධර්මිෂ්ඨ මෙන්ම යහපත් කෙනෙක් වන දෙවියන් නොකඩවා යාච්ඤා කරන අයගේ ඉල්ලීම් අනිවාර්යයෙන්ම ඉටු කරනවා. “ඔහු [දෙවියන්] ඔවුන් වෙනුවෙන් ඉක්මනින්ම සාධාරණය ඉටු කර දෙන බව ස්ථිරයි” කියලා යේසුස් කියපු දෙයින් ඒක පැහැදිලියි.—ලූක් 18:8.

ධනය, බලය තියෙන අයට වාසි වෙන විදිහට දේවල් වුණත් දුප්පත්, අසරණ අයට හුඟක් අවස්ථාවලදී සාධාරණය ඉටු වෙන්නේ නැහැ. හැබැයි දෙවියන් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා. ඔව්, නියමිත කාලය ආවාම ඔහු දුෂ්ටයන්ට දඬුවම් කරලා ඔහුගේ සේවකයන්ට සදාකාල ජීවිතය ලබා දෙනවා.

වැන්දඹුවට තිබුණා හා සමාන විශ්වාසයක් තියෙන්නේ කාටද? දෙවියන් “ඉක්මනින්ම සාධාරණය ඉටු කර දෙන බව” විශ්වාස කරන්නේ කීයෙන් කීදෙනාද? විශ්වාසයෙන් යාච්ඤා කරන අය ගැන යේසුස් දැන් අහන්නේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන විට එවැනි විශ්වාසයක් තිබෙන අයව ඔහුට මේ පොළොවේදී හමු වෙයිද?” (ලූක් 18:8) ඔහු ඒකෙන් අදහස් කළේ මනුෂ්‍ය පුත්‍රයා එද්දී ඒ වගේ විශ්වාසයක් දැකගන්න ලැබෙන්නේ ටිකදෙනෙක් තුළ විතරයි කියන එකයි.

යේසුස්ට සවන් දෙන සමහර අය හිතන්නේ තමන් අනිත් අයට වඩා ධර්මිෂ්ඨ, ශක්තිමත් විශ්වාසයක් තියෙන අය කියලයි. ඒ අය අනිත් අයව පහත් කරලා සලකනවා. යේසුස් දැන් මේ නිදර්ශනය කියන්නේ ඒ අයට.

“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කිරීමට දේවමාලිගාවට ගියා. එක් කෙනෙක් පරිසිවරයෙක්. අනික් පුද්ගලයා බදු එකතු කරන්නෙක්. පරිසිවරයා නැඟිට නිහඬව මෙසේ යාච්ඤා කරන්න පටන්ගත්තා. ‘දෙවියනි, මම ඔබට ස්තුති කරන්න කැමතියි. අන් අය වගේ මම පව්කාරයෙක් නොවෙයි. විශේෂයෙන්ම මෙතැනට ඇවිත් සිටින මේ බදු එකතු කරන්නාට වඩා මම කොයි තරම් වෙනස්ද! මම කවදාවත් අන් අයගේ දේවල් අයුතු ලෙස ගන්නේ නැහැ. මම අධර්මිෂ්ඨකම් කරන්නේ නැහැ. අනාචාරයේ යෙදී නැහැ. ඒ වගේම මම සතියට දෙවතාවක් නිරාහාරව සිටිනවා. උපයන හැම දෙයකින්ම මම දහයෙන් කොටසක් අනිවාර්යයෙන්ම දෙනවා.’”—ලූක් 18:10-12.

තමන් ධර්මිෂ්ඨයි කියලා අනිත් අය ඉදිරියේ මවාපාන්න පරිසිවරුන් දක්ෂයි. ඒ නිසාම තමයි වෙළඳපොළට වැඩියෙන්ම සෙනඟ එන සඳුදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේදී ඔවුන් හැමෝටම පේන්න නිරාහාරව ඉන්නේ. ඔවුන් පලා ගස්වලින් පවා දසයෙන් කොටස දෙනවා. (ලූක් 11:42) මාස කිහිපයකට කලින් ඔවුන් සාමාන්‍ය මිනිසුන් ගැන කිව්වේ “නීතිය ගැන කිසිම අවබෝධයක් නැති මේ සමූහයා දේවශාපයට ලක් විය යුතු පිරිසක්” කියලයි. ඔවුන් සාමාන්‍ය මිනිසුන්ව මොන තරම් පහත් කරලා සලකනවාද කියලා ඒකෙන් පැහැදිලියි.—යොහන් 7:49.

යේසුස් ඊළඟට මෙහෙම කියනවා. “බදු එකතු කරන්නා අහස දෙස බලන්නවත් අකමැතිව තම පපුවට ගසාගනිමින් පැවසුවේ, ‘අනේ දෙවියනි, පව්කාරයෙක් වන මට අනුකම්පා කරන්න’ කියායි.” ඔහු නිහතමානීව තමන්ගේ වැරදි පිළිගත්ත නිසා යේසුස් ඔහු ගැන මෙහෙම කියනවා. “මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”—ලූක් 18:13, 14.

යේසුස්ගේ ගෝලයන් ජීවත් වෙන්නේ බලතල සහ තනතුරුවලට වැඩි තැනක් දෙමින් තමන් ධර්මිෂ්ඨයි කියලා හිතන පරිසිවරු ඉන්න සමාජයක. ඒ නිසා නිහතමානිකම ගැන යේසුස් උගන්වපු ඒ කදිම පාඩම ඔවුන්ට හුඟක් ප්‍රයෝජනවත්. ඔවුන්ට වගේම යේසුස්ගේ අනුගාමිකයන් හැමෝටම ඒකෙන් කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්.