Skip to content

පටුනට යන්න

100වෙනි පරිච්ඡේදය

මීනා දහය ගැන නිදර්ශනය

මීනා දහය ගැන නිදර්ශනය

ලූක් 19:11-28

  • මීනා දහය ගැන යේසුස් කියපු නිදර්ශනය

යේසුස් සහ ගෝලයන් තාමත් ඉන්නවා ඇත්තේ සකෙවුස්ගේ නිවසේ. ගෝලයන් හිතන් ඉන්නේ යේසුස් යෙරුසලමට ගිය ගමන්ම “දෙවිගේ රාජ්‍යයේ” පාලනය පටන්ගන්නවා කියලයි. (ලූක් 19:11) ඒ නිසා තමයි දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න තව සෑහෙන කල් තියෙනවා කියලා පැහැදිලි කරන්න යේසුස් මේ නිදර්ශනය කියන්නේ.

“එක්තරා වංශවත් මිනිසෙක් සිටියා. ඔහු ආපසු පැමිණීමේ අදහසින් දුර රටකට ගියා. ඔහු එහි ගියේ ඔහුගේ රජකම ලබාගැනීම සඳහායි.” (ලූක් 19:12) සාමාන්‍යයෙන් දුර රටකට යන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා “වංශවත් මිනිසාගෙන්” නියෝජනය වෙන්නේ යේසුස්ව කියලා පැහැදිලියි. මොකද “දුර රටකට” යනවා හා සමානව ඔහු ස්වර්ගයට යනවා. එහෙදී තමයි ඔහුගේ පියා ඔහුට රජකම භාර දෙන්නේ.

“වංශවත් මිනිසා” පිටත් වෙන්න කලින් දාසයන් දහදෙනෙක්ට කතා කරලා ඒ අයට රිදී මීනා එක ගාණේ දෙනවා. ඔහු ඔවුන්ට කියන්නේ “මා එන තුරු මෙයින් වෙළඳාම් කරන්න” කියලයි. (ලූක් 19:13) රිදී මීනා එකක් කියන්නේ කම්කරුවෙකුගේ මාස තුනක වැටුපට සමාන මුදලක්.

යේසුස් මීට කලින් ගෝලයන්ව අස්වැන්න නෙළන වැඩකරුවන් විදිහට හඳුන්වපු නිසා නිදර්ශනයේ ඉන්න දාසයන්ගෙන් නියෝජනය වෙන්නේ තමන්ව කියලා ගෝලයන් තේරුම්ගන්න ඇති. (මතෙව් 9:35-38) යේසුස් ඔවුන්ට ධාන්‍ය අස්වැන්නක් ගේන්න කියලා කිව්වේ නැහැ. ඒ වෙනුවට පුළුවන් තරම් දෙනෙක්ව යේසුස්ගේ අනුගාමිකයන් කරලා ඒ අයට දෙවිගේ රාජ්‍යය උරුම කරගන්න උදව් කරයි කියලයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. ඒ වැඩේ කරන්න ගෝලයන් ඔවුන් ළඟ තියෙන හැම දෙයක්ම පාවිච්චි කරනවා.

නිදර්ශනයේ ඊළඟට වෙන දේ ගැන යේසුස් දැන් පැහැදිලි කරනවා. “රට වැසියන් ඔහුට වෛර කළ නිසා ඔහු ගිය පසු, ‘මොහු අපේ රජ වෙනවාට අපි කැමති නැහැ’ යන පණිවිඩය තානාපතීන් පිරිසක් අත දන්වා යැව්වා.” (ලූක් 19:14) ගෝලයන් හොඳටම දන්නවා සමහර යුදෙව්වන් යේසුස්ව පිළිගන්න කැමති නැති නිසා ඔවුන් ඔහුව මරන්න උත්සාහ කළා කියලා. යේසුස් නැවත නැඟිටලා ස්වර්ගයට ගියාට පස්සේ සමහර යුදෙව්වන් ගෝලයන්ට පීඩා කරන එකෙනුත් පැහැදිලි වෙනවා ඔවුන් යේසුස්ට කැමති නැහැ කියලා. ඒ හැම දේකින්ම ඔප්පු වෙන්නේ ඔවුන් යේසුස්ව රජ විදිහට පිළිගන්න කැමති නැහැ කියන එකයි.—යොහන් 19:15, 16; ක්‍රියා 4:13-18; 5:40.

“වංශවත් මිනිසා” “රජකම” ලබාගෙන ආපහු එන කල් ඒ දාසයන් දහදෙනා කළේ මොනවාද? “කලක් ගත වී ඔහු තම රජකම ලබාගෙන නැවත පැමිණියා. පසුව ඔහු රිදී මුදල් භාර දුන් දාසයන්ව කැඳෙව්වා. ඔහු එසේ කළේ තමන් භාර දුන් මුදල්වලින් ඔවුන් ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් උපයාගත් දේ සෝදිසි කර බැලීම සඳහායි. පළමුවෙනි දාසයා ඉදිරියට ඇවිත්, ‘ස්වාමීනි, ඔබ මට දුන් මීනා එකෙන් මට පුළුවන් වුණා මීනා දහයක් උපයන්න’ කියා පැවසුවා. එවිට ඔහු, ‘ඔබ ඉතා යහපත් දාසයෙක්! මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ඉතා සුළු කාරණයකදී විශ්වාසවන්තව කටයුතු කළ නිසා නුවරවල් දහයක් පාලනය කිරීමට මම ඔබව පත් කරනවා’ කියා ඔහුට කිව්වා. ඊළඟට දෙවෙනි දාසයා ඇවිත්, ‘ස්වාමීනි, ඔබ මට දුන් මීනා එකෙන් මට පුළුවන් වුණා මීනා පහක් උපයන්න’ කියා පැවසුවා. එවිට ඔහු, ‘මම ඔබට නුවරවල් පහක් භාර දෙනවා’ කියා ඔහුට කිව්වා.”—ලූක් 19:15-19.

ඒ දාසයන් වගේ ගෝලයනුත් තමන්ට තියෙන හැම දෙයක්ම උපරිමයෙන් පාවිච්චි කරලා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරනවා නම් යේසුස් ඒ ගැන සතුටු වෙයි කියලා ඔවුන්ට නිසැක වෙන්න පුළුවන්. යේසුස් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒ වෙනුවෙන් යමක් දෙයි. ගෝලයන් එකිනෙකාගේ තත්වයන් වෙනස් නිසා ඒ හැමෝටම එකම විදිහට දේවල් කරන්න බැහැ. හැබැයි “රජකම” භාරගන්න යේසුස්, ඒ දේ තේරුම්ගෙන මිනිසුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න ඔවුන් දරපු වෙහෙසට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—මතෙව් 28:19, 20.

නිදර්ශනය අවසානයේදී වෙන දේ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “තවත් දාසයෙක් ඇවිත් මෙසේ පැවසුවා. ‘ස්වාමීනි, මෙන්න ඔබ මට දුන් මීනා එක. මම එය රෙදිකඩක ඔතා තබාගෙන සිටියා. ඔබ සැරපරුෂ කෙනෙක් වන නිසාත් ඔබ වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා මුදල් තැන්පත් නොකරන තැන්වලින් මුදල් ලබාගන්නා කෙනෙක් වන නිසාත් මට ඔබ ගැන බියක් ඇති වුණා.’ එවිට ස්වාමියා ඔහුට මෙසේ කිව්වා. ‘ඔබ ඉතා දුෂ්ට දාසයෙක්! මම ඔබට විනිශ්චයක් දෙන්නේ ඔබේම කටින් පිට වූ වචනවලිනුයි. මම සැරපරුෂ කෙනෙක් බවත් මම මුදල් තැන්පත් නොකරන තැන්වලින් මුදල් ලබාගන්නා කෙනෙක් බවත් වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා කෙනෙක් බවත් ඔබ දැන සිටියා නම්, ඔබ මගේ රිදී මුදල් බැංකුවක තැන්පත් නොකළේ ඇයි? එසේ කළා නම් මට පොලියක් සමඟම ඒ මුදල ආපසු ලබාගන්න තිබුණා.’ ඉන්පසුව ළඟ සිටගෙන සිටි අයට ඔහු මෙසේ පැවසුවා. ‘ඔහුගෙන් මීනා එක ගෙන මීනා දහයක් ඇති තැනැත්තාට දෙන්න.’”—ලූක් 19:20-24.

ඒ දාසයා ස්වාමියා වෙනුවෙන් කිසිම දෙයක් උපයලා තිබුණේ නැති නිසා අන්තිමේදී ඔහුට තිබුණු දේත් නැති වුණා. යේසුස්ගේ නියෝජිතයන් ආසාවෙන් ඉන්නේ දෙවිගේ රාජ්‍යයේ රජකම යේසුස් භාරගන්නවා දකින්න. ඒ නිසා යේසුස් අන්තිම දාසයා ගැන කියපු දෙයින් ඔවුන් තේරුම්ගන්න ඇති වෙහෙස මහන්සි වෙලා උපරිමයෙන් සේවය කළේ නැත්නම් තමන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා.

යේසුස් මෙහෙම කියනවා. “මා දැන් කියන දේට හොඳින් සවන් දෙන්න. යමෙකුට ඇත්නම් ඔහුට තවත් වැඩියෙන් දෙනු ලබයි. නමුත් යමෙකුට කිසිවක් නැත්නම් ඔහුට තිබෙන දේ පවා ඔහුගෙන් ගනු ලබයි.” විශ්වාසවන්ත ගෝලයන්ට ඔවුන්ගේ සේවය වැඩියෙන් කරන්න ඒකෙන් දිරිගැන්වීමක් ලැබෙන්න ඇති. ඊළඟට යේසුස් කියන්නේ තමන් “රජ වෙනවාට අකමැති” අයට අවසානයේදී මරණය අද්දකින්න වෙනවා කියලයි. යේසුස් දැන් යෙරුසලම බලා පිටත් වෙනවා.—ලූක් 19:26-28.