Skip to content

පටුනට යන්න

103වෙනි පරිච්ඡේදය

දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි

දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි

මතෙව් 21:12, 13, 18, 19 මාක් 11:12-18 ලූක් 19:45-48 යොහන් 12:20-27

  • යේසුස් අත්තික්කා ගසකට ශාප කර පසුව දේවමාලිගාව පවිත්‍ර කරයි

  • බොහෝදෙනෙකුට ජීවිතය දෙන්න නම් යේසුස්ට මිය යන්න සිදු වෙයි

යේසුස් සහ ගෝලයන් යෙරිකෝවේ ඉඳන් බෙතානියට ඇවිත් එහේ දවස් තුනක්ම නතර වෙලා හිටියා. දැන් ඒ කියන්නේ නීසාන් 10වෙනි සඳුදා උදෙන්ම ඔවුන් යෙරුසලමට යනවා. අතරමඟදී යේසුස් අත්තික්කා ගහක් ළඟට ඇවිදන් යන්නේ බඩගින්නක් දැනෙන නිසයි.

සාමාන්‍යයෙන් මාර්තු මාසයේ අත්තික්කා ගස්වල ගෙඩි එන්නේ නැහැ. අත්තික්කා ගස් පල දරන්නේ ජූනි මාසයේ. ඒත් අත්තික්කා ගහේ කොළ තියෙනවා දැකපු යේසුස් ඒකේ ගෙඩි තියෙයි කියලා හිතුවත් එක ගෙඩියක්වත් නැහැ. ඒ නිසා යේසුස් මෙහෙම කියනවා. “මෙතැන් පටන් සදහටම කිසිවෙකු මේ ගසෙන් පල කන්නේ නැහැ.” (මාක් 11:14) ඒ වෙලාවේම ඒ අත්තික්කා ගහ මැලවෙනවා. ඒකෙන් අදහස් වෙන දේ ඊළඟ දවසේ දැනගන්න පුළුවන්.

ටික වෙලාවකින් යේසුස් සහ ගෝලයන් යෙරුසලමට එනවා. යේසුස් කෙළින්ම යන්නේ දේවමාලිගාවට. කලින් දවසේ ඔහු දේවමාලිගාවේ වෙන දේවල් දිහා බලන් හිටියා. ඒත් දැන් ඔහු ඊටත් වඩා දෙයක් කරනවා. “එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි අයව” පිටතට එළවන ඔහු “මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද” පෙරළනවා. (මාක් 11:15) මීට අවුරුදු තුනකට කලින් ක්‍රි.ව. 30 පාස්කු උත්සවයේදීත් යේසුස් ඒ වගේ දෙයක් කළා. (යොහන් 2:14-16) දේවමාලිගාව අතුරු පාරක් කරගෙන ඒ හරහා බඩු එහා මෙහා ගෙනියන්න යේසුස් අවසර දෙන්නේ නැහැ.

දේවමාලිගාවේ හිටිය වෙළෙන්දන්ට යේසුස් ඒ විදිහට සැලකුවේ ඇයි? ඔහු කියන මේ දෙයින් ඒකට හේතුව තේරුම්ගන්න පුළුවන්. “‘මාගේ ගෘහය හඳුන්වනු ලබන්නේ සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක් ලෙසයි’ කියා ලියා තිබෙනවා නොවෙයිද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් බවට පත් කර තිබෙනවා.” (මාක් 11:17) යේසුස් ඔවුන්ව කොල්ලකරුවන් විදිහට හඳුන්වන්නේ පූජා කරන්න සතුන්ව මිල දී ගන්න අයගෙන් ඔවුන් සාමාන්‍යයට වඩා වැඩි මුදලක් අය කරන නිසයි.

යේසුස් කරපු දේ ගැන නායක පූජකයන්ට, නීතිය පිටපත් කරන අයට වගේම වෙනත් ප්‍රධානීන්ට දැනගන්න ලැබෙනවා. ඒ ගැන ඔවුන්ට මොන තරම් කේන්ති යනවාද කියනවා නම් ඔවුන් මේ වතාවෙත් යේසුස්ව මරලා දාන්න උත්සාහ කරනවා. ඒත් යේසුස්ට ඇහුම්කන් දෙන්න කැමති ලොකු සෙනඟක් ඔහු වටේ එකතු වෙන නිසා ඔවුන්ගේ සැලසුම් සාර්ථක වෙන්නේ නැහැ.

යුදෙව්වන් වගේම යුදෙව් ආගමට හැරුණු අයත් පාස්කුව සමරන්න ඇවිත්. ඒ අය අතරේ ඉන්න ග්‍රීකවරුන් කිහිපදෙනෙක් ෆිලිප්ට කියනවා ඔවුන්ට යේසුස්ව මුණගැහෙන්න ඕනෙ කියලා. සමහරවිට ඔවුන් ෆිලිප් එක්ක කතා කළේ ඔහුට ග්‍රීක නමක් තියෙන නිසා වෙන්න ඇති. ෆිලිප් ඒ ගැන අන්දෘගෙන් අහනවා. මේ වෙලාවේ යේසුස්ව මුණගැහෙන එක සුදුසුද කියන එක ගැන ෆිලිප්ට සැකයක් ඇති. දැන් ඔවුන් දෙන්නාම යේසුස් ළඟට යනවා. පෙනෙන විදිහට යේසුස් තවමත් ඉන්නේ දේවමාලිගාවේ.

තව ටික දවසකින් තමන්ට මැරෙන්න සිද්ධ වෙනවා කියලා යේසුස් දන්නවා. ඒ නිසා මිනිසුන් කුතුහලයෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නවත් ඔවුන්ගේ පිළිගැනීම ලබන්නවත් කාලය මේක නෙවෙයි. ඔහු නියෝජිතයන් දෙන්නාට මේ නිදර්ශනය කියනවා. “මනුෂ්‍ය පුත්‍රයාව තේජසට පත් කරන්න නියමිත වේලාව දැන් ඇවිත් තිබෙනවා. ඇත්තෙන්ම මම ඔබට කියන මේ දේට සවන් දෙන්න. තිරිඟු බීජයක් පැළ වෙන්න නම් එය පසට දමන්න අවශ්‍යයි. එවිට බීජය මැරී එයින් පැළයක් හටගෙන මහත් පලදාවක් ලැබෙයි. ඒ දේ සිදු වන්නේ නැත්නම් තිබෙන්නේ බීජයක් පමණයි.”—යොහන් 12:23, 24.

තිරිඟු බීජයක් ලොකු වටිනාකමක් තියෙන දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. හැබැයි ඒක පසට දැම්මාට පස්සේ ඒ බීජය ‘මැරිලා’ ඒකෙන් පැළයක් හටගත්තාම ලොකු පලදාවක් ලබාගන්න පුළුවන්. පරිපූර්ණ මිනිසෙක් වන යේසුස්ටත් වෙන්නේ ඒ හා සමාන දෙයක්. මොකද අන්තිමය දක්වාම ඔහු දෙවිට විශ්වාසවන්තව ඉඳලා මැරුණාම තමන්ගේ ඕනෑ එපාකම්වලට වඩා දෙවියන්ට මුල් තැන දීලා වැඩ කරන අයට සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා තමයි යේසුස් මෙහෙම කියන්නේ. “තමාගේ ජීවිතයට තිබෙන ආශාව නිසා එය රැකගන්න උත්සාහ කරන අයට එය නැති වෙයි. නමුත් මේ ලෝකයේ තමන් ගත කරන ජීවිතයට තිබෙන ආශාව අත්හරින්න වුණත් සූදානම් අයට තම ජීවිතය රැකගත හැකියි. ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙයි.”—යොහන් 12:25.

ඔහු මෙහෙමත් කියනවා. “කෙනෙක් මට සේවය කරන්න කැමති නම් ඔහු මාව අනුගමනය කළ යුතුයි. මා සිටින තැන මගේ සේවකයාත් සිටියි. කෙනෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන්ගෙන් ඔහුට ගෞරවය ලැබෙයි.” (යොහන් 12:26) ඔව්, පියාගෙන් ගෞරවය ලැබෙන අයට ක්‍රිස්තුස් එක්ක දේවරාජ්‍යයේ පාලකයන් වෙන්න පුළුවන්. ඒක මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!

ළඟදීම තමන්ට කුරිරු මරණයක් අද්දකින්න වෙනවා කියලා දන්න යේසුස් මෙහෙම කියනවා. “මගේ සිත දැන් කැලඹිලා. ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින් මාව ගලවන්න කියා කියන්නද?” ඒත් දෙවිගේ කැමැත්ත ඉටු වෙනවා දකින්න යේසුස්ට තියෙන්නේ පුදුම උවමනාවක්. “මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි” කියලා ඔහු කියන්නේ ඒ නිසයි. (යොහන් 12:27) දෙවිගේ අරමුණ ඉටු වීම වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්න යේසුස් කැමැත්තෙන් ඉන්නවා.