Skip to content

පටුනට යන්න

111වෙනි පරිච්ඡේදය

නියෝජිතයන් ලකුණක් ඉල්ලයි

නියෝජිතයන් ලකුණක් ඉල්ලයි

මතෙව් 24:3-51 මාක් 13:3-37 ලූක් 21:7-38

  • ගෝලයන් හතරදෙනෙක් ලකුණක් ඉල්ලයි

  • පළවෙනි සියවසටත් අනාගතයටත් අදාළ අනාවැකි කියයි

  • අපි සෝදිසියෙන් සිටිය යුතුයි

නීසාන් 11වෙනි අඟහරුවාදා දවස ගෙවී යන්න ආසන්නයි. ඒ විතරක් නෙවෙයි යේසුස් පොළොවේදී කරන සේවයත් දැන් අවසන් වේගන යනවා. පහුගිය දවස්වල දවල් කාලයේ දේවමාලිගාවේ උගන්වපු ඔහු රාත්‍රියේ නවාතැන් ගත්තේ නුවරෙන් පිට තැනක. මිනිසුන් හුඟදෙනෙක් “ඔහුට සවන් දීම සඳහා දේවමාලිගාවට උදෑසනින්ම” ආවා. (ලූක් 21:37, 38) දැන් ඒ හැම දෙයක්ම අතීතයට සීමා වෙලා. නියෝජිතයන් හතරදෙනෙක් වුණු පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් එක්ක යේසුස් දැන් ඉන්නේ ඔලීව කන්දේ.

ටිකකට කලින් යේසුස් ඔවුන්ට කිව්වා දේවමාලිගාවේ හැම ගලක්ම බිමට හෙළනු ලබනවා කියලා. යේසුස්ව තනිවම මුණගැහෙන්න ඇවිත් ඉන්න නියෝජිතයන් හතරදෙනා ඒ ගැන කල්පනා කරනවා. හැබැයි ඔවුන් කල්පනා කරන්නේ ඒ ගැන විතරක් නම් නෙවෙයි. කලින් වතාවක යේසුස් මෙහෙම කියලා තිබුණා. “ඔබත් නිතරම සූදානමින් සිටිය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයාත් එන්නේ ඔබ නොසිතන පැයකදීයි.” (ලූක් 12:40) ඒ වගේම ‘මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිත දවස’ ගැනත් යේසුස් කියලා තිබුණා. (ලූක් 17:30) නියෝජිතයන් ඒ හැම දෙයක් ගැනම කල්පනා කරන බවට නම් සැකයක් නැහැ. යේසුස් කියපු ඒ දේවල් සහ ඔහු දේවමාලිගාව ගැන කියපු දේ අතර සම්බන්ධයක් තියෙනවාද? යේසුස් කියපු දේවල් ගැන දැනගන්න ලොකු ආශාවකින් ඉන්න නියෝජිතයන් ඔහුගෙන් මෙහෙම අහනවා. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”—මතෙව් 24:3.

තමන්ට පෙනෙන දුරකින් තියෙන දේවමාලිගාවට වෙන්න යන දේ ගැන නියෝජිතයන් කල්පනා කරනවා ඇති. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලය හඳුනාගන්නේ කොහොමද කියලා ඔවුන් යේසුස්ගෙන් අහනවා. කලින් වතාවක රජකම ලබාගෙන “ආපසු පැමිණීමේ අදහසින් දුර රටකට” ගිය “වංශවත් මිනිසෙක්” ගැන යේසුස් කියපු නිදර්ශනය ඔවුන්ට මතක ඇති. (ලූක් 19:11, 12) ඒ වගේම “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” දැනගන්නේ කොහොමද කියලත් ඔවුන් අහනවා.

ඔවුන් අහපු ප්‍රශ්නයට උත්තර දෙන යේසුස් දේවමාලිගාවේ විනාශය ඇතුළු යුදෙව් සමාජයේ අවසානය හඳුනාගන්න උදව් වෙන තොරතුරු රැසක් ඇතුළත් ලකුණක් ගැන කියනවා. අනාගතයේදී ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තුස් “පැමිණ සිටින කාලය” හඳුනාගන්න වගේම පවතින සමාජයේ අවසානය ළඟා වෙලා කියලා හඳුනාගන්න උදව් වෙන තොරතුරුත් ඒ ලකුණට ඇතුළත්.

අවුරුදු කිහිපයකට පස්සේ යේසුස් ලකුණක් විදිහට කියපු අනාවැකිය ඉටු වෙන විදිහ නියෝජිතයන් තේරුම්ගන්නවා. ඔව්, යේසුස් කියපු හුඟක් දේවල් ඔවුන්ගේ කාලයේදී ඉටු වෙනවා. අවුරුදු 37කට පස්සේ ඒ කියන්නේ ක්‍රි.ව. 70දී යුදෙව් සමාජයත් දේවමාලිගාවත් විනාශ වෙද්දී සෝදිසියෙන් ඉන්න ක්‍රිස්තියානීන් ඒකෙන් ගැලවෙනවා. කොහොමවුණත් යේසුස් කියපු අනාවැකියට ඇතුළත් හැම දෙයක්ම ක්‍රි.ව. 70ට කලින්වත් ක්‍රි.ව. 70දීවත් ඉටු වෙන්නේ නැහැ. එහෙමනම් යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට පැමිණ සිටින කාලය හඳුනාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?

යේසුස් පැහැදිලි කරන විදිහට ඒ කාලයේදී “යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත්” අහන්න ලැබෙනවා. ‘ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටිනවා.’ (මතෙව් 24:6, 7) ‘මහත් භූමිකම්පාත් ඇති වෙනවා. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙනවා.’ (ලූක් 21:11) යේසුස් ගෝලයන්ට අනතුරු අඟවමින් කියන්නේ ‘මිනිසුන් ඔබව අල්ලාගෙන ඔබට පීඩා කරයි’ කියලයි. (ලූක් 21:12) ඒ විතරක් නෙවෙයි බොරු අනාගතවක්තෘවරුන් හුඟක් අයව නොමඟ යවනවා. අධර්මිෂ්ඨ ක්‍රියාවන් වැඩි වෙනවා. හුඟක් අයගේ ප්‍රේමය අඩු වෙනවා. යේසුස් මේ ගැනත් කියනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

යේසුස් කියපු අනාවැකිය රෝමවරු යෙරුසලම විනාශ කරන්න කලින් සහ ඒ විනාශය අතරතුරේදී යම් ප්‍රමාණයකින් ඉටු වුණා. ඒ අනාවැකිය කියද්දී අනාගතයේදී වෙන්න යන දේවල් ගැනත් යේසුස්ගේ මනසේ තියෙන්න ඇද්ද? එදාට වඩා මේ කාලයේදී ඒ අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා කියලා කියන්න තියෙන සාක්ෂි ඔබට පෙනෙනවාද?

තමන් පැමිණ සිටින කාලය හඳුනාගන්න උදව් වෙන ලකුණ ගැන කියද්දී “විනාශය සිදු කරන පිළිකුල් දෙය” ගැනත් යේසුස් සඳහන් කරනවා. (මතෙව් 24:15) පිළිකුල් දෙය ඒ කියන්නේ රෝම “සේනාවන්” ක්‍රි.ව. 66දී ඔවුන්ගේ ජාතික සහ ආගමික කොඩිත් ලාංඡනත් අරන් ඇවිත් යෙරුසලමේ කඳවුරු බැඳගන්නවා. (ලූක් 21:20) ඊටපස්සේ ඔවුන් දේවමාලිගාවේ පවුර හාරන්න පටන්ගන්නවා. ඒ විදිහට “විනාශය සිදු කරන පිළිකුල් දෙය” නොතිබිය යුතු තැනක ඒ කියන්නේ “ශුද්ධස්ථානයක” තියෙනවා යුදෙව්වන් දකිනවා.

යේසුස් තවදුරටත් කියන්නේ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක් එදාට පැමිණෙයි” කියලයි. ක්‍රි.ව. 70දී රෝමවරුන් දේවමාලිගාව ඇතුළු “ශුද්ධ නුවර” විනාශ කරද්දී ඒක මහත් පීඩාවක් වෙනවා. (මතෙව් 4:5; 24:21) ඔව්, ඒ විනාශයෙන් දහස් ගණන් දෙනෙක් මිය යනවා. ඒ වගේ විනාශයක් යුදෙව්වන් කවදාවත් අද්දැකලා නැහැ. ඒ විනාශයත් එක්කම යුදෙව්වන් සියවස් ගණනාවක් තිස්සේ කරගෙන ආපු නමස්කාර ක්‍රමය නතර වෙනවා. යේසුස් කියපු ඒ අනාවැකිය වඩාත් පුළුල් විදිහට අනාගතයේ ඉටු වෙද්දී ඒක හරිම භයානක, දරුණු කාලයක් වෙයි.

අනාවැකි ඉටු වෙන කාලයේදී විශ්වාසය ශක්තිමත්ව තබාගැනීම

යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට පැමිණ සිටින කාලය ගැනත් පවතින සමාජයේ අවසානය ගැනත් කෙරෙන සාකච්ඡාව තවමත් ඉවර නැහැ. දැන් ඔහු නියෝජිතයන්ට අනතුරු අඟවන්නේ “බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද” ගැනයි. ඔවුන් ‘තෝරාගත් අයව පවා නොමඟ යැවීමට’ උත්සාහ කරනවා කියලා ඔහු කියනවා. (මතෙව් 24:24) ඒත් තෝරාගත් අය නම් කවදාවත් නොමඟ යන්නේ නැහැ. බොරු ක්‍රිස්තුස්වරුන්ව හැමෝටම දැකගන්න ලැබුණත් දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට යේසුස් පැමිණ සිටින එක කාටවත් දැකගන්න ලැබෙන්නේ නැහැ.

පවතින සමාජයේ අවසානයේදී පටන්ගන්නා මහත් පීඩාව ගැන යේසුස් මෙහෙම කියනවා. “හිරු අඳුරු වී යයි. සඳෙන් කිසි එළියක් නොලැබෙයි. තාරකා අහසින් වැටෙයි. අහසේ සියලු බලයන්ද සොලවනු ලබයි.” (මතෙව් 24:29) යේසුස් කියන ඒ දේවල් අහගෙන ඉන්න නියෝජිතයන්ට ඒ දේ සිද්ධ වෙන විදිහ තේරුම්ගන්න බැහැ. කොහොමවුණත් ඒක සිද්ධ වෙද්දී හැමෝටම ඒක ලොකු කම්පනයක් වෙයි කියලා නම් නිසැකයි.

ඒ පීඩාව මිනිසුන්ට බලපාන විදිහ ගැන යේසුස් මෙහෙම කියනවා. “ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි. මන්ද අහසේ තිබෙන සියලු බලයන් සොලවනු ලබයි.” (ලූක් 21:26) යේසුස් ඒ විදිහට පැහැදිලි කරන්නේ මිනිසාගේ පැවැත්මේ ඉඳන් කිසිදාක සිද්ධ වෙලා නැති දරුණුම, භයානකම කාලය ගැනයි.

‘බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව’ දකිද්දී ඒ ගැන ශෝක වෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා කියලා යේසුස් දැන් නියෝජිතයන්ට පැහැදිලි කරනවා. (මතෙව් 24:30) “තෝරාගත් අය” වෙනුවෙන් දෙවියන් මැදිහත් වෙනවා කියලා ඔහු මේ වෙද්දීත් පැහැදිලි කරලයි තියෙන්නේ. (මතෙව් 24:22) යේසුස් කියපු ඒ භයානක දේවල් වෙද්දී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔහුගේ සේවකයන් ක්‍රියා කරන්න ඕනෙ කොහොමද? ඒ ගැන යේසුස් තම අනුගාමිකයන්ට මෙහෙම කියනවා. “ඒ දේ සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි.”—ලූක් 21:28.

යේසුස් කියපු අනාවැකිය ඉටු වෙන කාලයේ ජීවත් වෙන අයට අන්තිමය ළං වෙලා කියලා තේරුම්ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක තේරුම් කරන්න යේසුස් අත්තික්කා ගහක් ගැන නිදර්ශනයක් කියනවා. “එහි අලුතින් වැඩුණු අත්තේ දලු ලියලන විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා. එලෙසම ඔබ මේ සියල්ල දකින විට ඔහු දොරකඩ අසලම සිටින බව දැනගන්න. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසි ලෙසකින්වත් පහව යන්නේ නැති බවයි.”—මතෙව් 24:32-34.

යේසුස් ලකුණක් විදිහට කියපු දේවල් සිද්ධ වෙද්දී අවසානය ළඟා වෙලා කියලා ගෝලයන් තේරුම්ගන්න ඕනේ. යේසුස් කියපු අනාවැකිය ඉටු වෙන කාලයේ ජීවත් වෙන අයට ඔහු මේ අනතුරු ඇඟවීම දෙනවා.

“පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි. ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි.” (මතෙව් 24:36-39) ඔව්, මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදී සිද්ධ වෙන දේවල් යේසුස් සමාන කරන්නේ මුළු ලෝකයටම බලපාපු සිදුවීමකටයි.

සෝදිසියෙන් ඉන්න එක මොන තරම් වැදගත්ද කියලා ඔලීව කන්දේ ඉඳන් යේසුස් කියන දේවලට ඇහුම්කන් දෙන නියෝජිතයන් අනිවාර්යයෙන්ම තේරුම්ගන්න ඇති. දැන් යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි. පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි. එමනිසා අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”—ලූක් 21:34-36.

යේසුස් කියන අනාවැකිය තව දශක කිහිපයකින් යෙරුසලමට සහ යුදෙව් ජාතියට සිද්ධ වෙන්න යන දේවලට විතරක් සීමා වෙන්නේ නැහැ. මොකද ඔහු කියන්නේ ඒ කාලයේදී සිද්ධ වෙන දේවලට ‘පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම මුහුණ දෙන්න’ වෙනවා කියලයි.

ගෝලයන් අවදිව, සෝදිසියෙන් වගේම සූදානමින් ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා කාවද්දන්න යේසුස් දැන් නිදර්ශනයක් කියනවා. “මේ දේ දැනගන්න. එනම් සොරා කොයි රැකවල් යාමයේ එනවාද කියා ගෙහිමියා දැන සිටියා නම් ඔහු අවදිව සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙයින් ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.”—මතෙව් 24:43, 44.

ගෝලයන්ට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් දෙයක් ගැන පවසමින් යේසුස් කියන්නේ අනාවැකිය ඉටු වෙන කාලයේදී හරිම කාර්යක්ෂමව වැඩ කරන ‘දාසයෙක්’ ඉන්නවා කියලයි. ඒ ගැන ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද? ඔහුගේ ස්වාමියා පැමිණි විට ඔහු එසේ කරනවා දකී නම් ඒ දාසයා සන්තෝෂවත්ය! ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමන් සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.” හැබැයි ඒ “දාසයා” දුෂ්ට විදිහට හැසිරුණොත් ස්වාමියා ‘ඔහුට ඉතා තදින් දඬුවම් කරනවා.’—මතෙව් 24:45-51; ලූක් 12:45, 46.

ඒ නිදර්ශනයෙන් යේසුස් පැහැදිලි කරන්නේ තමන්ගේ අනුගාමිකයන් අතරේ ඉන්න කණ්ඩායමක් දුෂ්ට විදිහට වැඩ කරනවා කියලා නම් නෙවෙයි. ඒ වෙනුවට ඔහු කාවද්දන්නේ සෝදිසියෙන් වගේම උද්‍යෝගයෙන් සේවය කරන එක කොයි තරම් වැදගත්ද කියන කාරණයයි. ඒක හොඳින් පැහැදිලි කරන්න ඔහු තවත් නිදර්ශනයක් කියනවා.