Skip to content

පටුනට යන්න

122වෙනි පරිච්ඡේදය

උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව

උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව

යොහන් 17:1-26

  • දෙවියන්ව සහ ඔහුගේ පුත්‍රයාව දැන හඳුනා ගැනීමේ ප්‍රතිඵලය

  • යෙහෝවා දෙවියන්, යේසුස් සහ ගෝලයන් එකට බැඳී සිටියි

යේසුස් නියෝජිතයන්ට හුඟක් ආදරේ නිසා වෙන් වෙලා යන්න කලින් ඔවුන්ව ඒකට සූදානම් කළා. දැන් ස්වර්ගය දිහා බලන යේසුස් පියාණන්ට මෙහෙම යාච්ඤා කරනවා. “මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි. මන්ද ඔබ මුළු මිනිස් වර්ගයාවම ඔහු යටතට පත් කර තිබෙනවා. එමනිසා ඔබේ පුත්‍රයාට ඔබ භාර දුන් සියලුදෙනාටම ඔහු මාර්ගයෙන් සදාකාල ජීවනය ලැබෙයි.”—යොහන් 17:1, 2.

වැදගත්ම දේ දෙවිව ගෞරවයට පත් කරන එකයි කියලා යේසුස් තේරුම් අරන් ඉන්න බව ඒකෙන් පැහැදිලියි. සදහටම ජීවත් වෙන්න ලැබෙනවා කියන බලාපොරොත්තුව ගැනත් යේසුස් කියනවා. “මුළු මිනිස් වර්ගයාවම ඔහු යටතට පත් කර තිබෙන” නිසා තමන්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඔවුන්ට සදාකාල ජීවිතය ලබා දෙන්න ඔහුට පුළුවන්. හැබැයි ඒක ලබාගන්න ඔවුන්ගේ පැත්තෙනුත් යම් දෙයක් කරන්න ඕනේ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

ඔව්, සදාකාල ජීවිතය ලබාගන්න නම් පියාණන්වත් පුත්‍රයාවත් හොඳින් දැන හඳුනා ගෙන ඔවුන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න ඕනේ. කාරණා දිහා ඔවුන් බලන විදිහට බලන්න පුරුදු වෙන්නත් ඕනේ. අනිත් අය එක්ක කටයුතු කරද්දී දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට ගන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ දෙවිව ගෞරවයට පත් කරන එක මිසක් සදාකාල ජීවිතය නෙවෙයි කියලා තේරුම්ගන්නත් ඕනේ.

යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා. දැන් පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ඔබ සමඟ සිටීමටත් ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්නත් මම කැමතියි.” (යොහන් 17:4, 5) යේසුස් ඉල්ලන්නේ ස්වර්ගයේ ඉද්දී තිබුණු තේජස ආපහු ලබා දෙන්න කියලයි.

පොළොවේදී කරපු සේවය ගැනත් යේසුස් මතක් කරනවා. “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා. ඇත්තෙන්ම ඔවුන් අයිති ඔබටයි. නමුත් ඔබ ඔවුන්ව මට භාර දුන්නා. ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා.” (යොහන් 17:6) දෙවිගේ නම යෙහෝවා කියලා උගන්වනවාට වඩා වැඩි දෙයක් යේසුස් කළා. ඔව්, දෙවිගේ ගතිගුණ ගැනත් දෙවිට මිනිසුන් ගැන හැඟෙන විදිහ ගැනත් ඔහු නියෝජිතයන්ට ඉගැන්නුවා.

යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ඉටු කරන කාර්යය සහ ඔහු උගන්වපු දේවල් ගැනත් නියෝජිතයන් මේ වෙද්දී දන්නවා. යේසුස් හරිම නිහතමානීව ඒ ගැන පියාණන්ට කියන්නේ මෙහෙමයි. “ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි. ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.”—යොහන් 17:8.

තම අනුගාමිකයන් සහ අනිත් මිනිසුන් අතර තියෙන වෙනස ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. ‘මම කන්නලව් කරන්නේ මේ ලෝකයේ සිටින අය ගැන නොවෙයි. ඔබ මට භාර දුන් ඒ අය ගැනයි. මන්ද ඔවුන් අයිති වන්නේ ඔබටයි. ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න. ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි. මම ඔවුන්ව රැකබලා ගත්තා. විනාශ වන තැනැත්තා [යේසුස්ව පාවා දෙන යූදස් ඉස්කාරියොත්] හැර ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් හානියක් වුණේ නැහැ.’—යොහන් 17:9-12.

යේසුස් තවදුරටත් දෙවිට මෙහෙම කියනවා. ‘ලෝකය ඔවුන්ට වෛර කරනවා. මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි. මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.’ (යොහන් 17:14-16) යේසුස්ගේ නියෝජිතයන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් ජීවත් වෙන්නේ සාතන් යටතේ තියෙන මේ ලෝකයේ වුණත් ඔවුන් ලෝකයේ බලපෑමට හසු නොවී ඉන්න ඕනේ.

ඔවුන් යේසුස් උගන්වපු දේවල් සහ හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දේවල් අදාළ කරගෙන දෙවිට අයිති සෙනඟක් විදිහට ශුද්ධව ඉන්න ඕනේ. යේසුස් ඔහුගේ යාච්ඤාවට ඒ දේත් ඇතුළත් කරනවා. “ඔබ පවසන දේ සත්‍යයයි. ඒ සත්‍යය මගින් ඔවුන්ව ශුද්ධව තබාගන්න.” (යොහන් 17:17) කාලයක් යද්දී සමහර නියෝජිතයනුත් “සත්‍යය” අඩංගු ලියවිල්ලට ඇතුළත් පොත් ලියයි. දෙවිගේ මඟ පෙන්වීමෙන් ඔවුන් ලියන ඒ තොරතුරුත් කෙනෙක්ට ශුද්ධව ඉන්න උදව් වෙනවා.

“සත්‍යය” පිළිගන්න අලුත් අය ගැනත් යේසුස් කියනවා. “මම ඔබට කන්නලව් කරන්නේ ඔවුන් ගැන පමණක් නොවෙයි. නමුත් ඔවුන් පවසන දේවල් නිසා මා කෙරෙහි විශ්වාසය තබන අය ගැනත් ඔබට කන්නලව් කරනවා.” ඒ හැමෝම වෙනුවෙන් යේසුස් මේ ඉල්ලීම කරනවා. “පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි. ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.” (යොහන් 17:20, 21) පියාණන් එක්ක තමන් එකට බැඳී ඉන්නවා කියලා යේසුස් කිව්වේ ඔවුන් දෙන්නා හැම කාරණයකදීම එකඟතාවකින් කටයුතු කරන නිසයි. ඒ හා සමාන එකඟතාවක් ගෝලයන් අතරත් ඇති කරන්න කියලයි ඔහු ඉල්ලන්නේ.

ටිකකට කලින් යේසුස් පේතෘස්ට සහ අනිත් නියෝජිතයන්ට කියලා තිබුණා ඔවුන්ට ස්වර්ගයේ තැනක් සූදානම් කරනවා කියලා. (යොහන් 14:2, 3) ඔහු දැන් යාච්ඤා කරන්නේ ඒ ගැනයි. “පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි. පොළොවේ දරුවන් බිහි වීමට කලින් ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි.” (යොහන් 17:24) යේසුස් කියන්නේ ආදම් සහ ඒව දරුවන්ව බිහි කරන්නත් කලින් ඉඳලාම දෙවියන් ඔහුගේ එකම පුත්‍රයාට හුඟක් ආදරේ කළා කියලයි.

යේසුස් යාච්ඤාව අවසන් කරන්නේ දෙවිගේ නාමය ගැනත් නියෝජිතයන්ට සහ “සත්‍යය” පිළිගන්න හැමෝටම දෙවියන් කොයි තරම් ආදරෙයිද කියලත් මතක් කරමිනුයි. “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත් මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”—යොහන් 17:26.