Skip to content

පටුනට යන්න

128වෙනි පරිච්ඡේදය

පිලාත් සහ හෙරොද් යේසුස් නිර්දෝෂ බව පිළිගනියි

පිලාත් සහ හෙරොද් යේසුස් නිර්දෝෂ බව පිළිගනියි

මතෙව් 27:12-14, 18, 19 මාක් 15:2-5 ලූක් 23:4-16 යොහන් 18:36-38

  • පිලාත් සහ හෙරොද් යේසුස්ගෙන් ප්‍රශ්න කරයි

තමන් රජෙක් කියලා යේසුස් පිලාත්ගෙන් සඟවන්නේ නැහැ. කොහොමවුණත් ඔහුගේ රාජ්‍යය රෝම ආණ්ඩුවට තර්ජනයක් නෙවෙයි. යේසුස් කියන්නේ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලයි. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා. “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.” (යොහන් 18:36) ඔව්, යේසුස්ට වෙනම රාජ්‍යයක් තියෙනවා. ඒත් ඒක මේ ලෝකයට සම්බන්ධ නැහැ.

“එසේනම්, ඔබ රජෙක්ද” කියලා පිලාත් දැන් යේසුස්ගෙන් අහනවා. පිලාත් තේරුම්ගත්ත දේ හරියි කියලා අඟවන්න යේසුස් කියන්නේ මෙහෙමයි. “මම රජෙක් කියා ඔබ අසන ප්‍රශ්නයෙන්ම පැහැදිලියි. මා ඉපදුණෙත් මේ ලෝකයේ මිනිසුන් අතරට පැමිණියෙත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි. සත්‍යයට පක්ෂව සිටින සියලුදෙනාම මගේ හඬට සවන් දෙනවා.”—යොහන් 18:37.

“මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා යේසුස් තෝමස්ට කියලා තිබුණා. දැන් පිලාත්ටත් දැනගන්න ලැබෙනවා යේසුස් පොළොවට ආවේ “සත්‍යය” ගැන සාක්ෂි දරන්න කියලා. ඔව්, විශේෂයෙන්ම යේසුස් ආවේ තමන්ගේ රාජ්‍යය ගැන සාක්ෂි දරන්න. ජීවිතයට හානියක් වුණත් ඒ සත්‍යය ගැන ඔහු නොකියා ඉන්නේ නැහැ. පිලාත් යේසුස්ගෙන් අහනවා ‘සත්‍යය, ඒ මොකක්ද’ කියලා. ඒත් ඒකට උත්තරයක් දැනගන්න ඔහුට කිසිම උවමනාවක් නැහැ. විනිශ්චයක් දෙන්න දැන් ලැබිලා තියෙන තොරතුරු හොඳටම ඇති කියලා පිලාත් තේරුම් අරගෙනයි ඉන්නේ.—යොහන් 14:6; 18:38.

එළියේ රැස් වෙලා ඉන්න නායක පූජකයන්ට සහ සෙනඟට පිලාත් කියනවා “මේ මිනිසා අපරාධකාරයෙක් කියා මට නම් පෙනෙන්නේ නැහැ” කියලා. ඒක කියද්දී යේසුස් ඔහු ළඟ ඉන්න ඇති. පිලාත් කියපු දේට කේන්ති ගන්න සෙනඟ කියන්නේ මෙහෙමයි. “ඔහු යූදා දේශය පුරාම නොයෙක් දේවල් උගන්වමින් ජනයාව උසිගන්වනවා. ඔහු පටන්ගත්තේ ගලීලයෙන්. දැන් ඔහු මේ ප්‍රදේශයටත් ඇවිල්ලා.”—ලූක් 23:4, 5.

යුදෙව්වන් කටයුතු කරන විදිහ පිලාත්ට අදහාගන්නවත් බැහැ. නායක පූජකයන් සහ වැඩිමහල්ලන් දිගින් දිගටම කෑගහද්දී පිලාත් යේසුස්ගෙන් අහනවා “ඔබට විරුද්ධව ඔවුන් කොපමණ චෝදනා නඟනවාද කියා ඔබට ඇසෙනවාද” කියලා. (මතෙව් 27:13) ඒත් යේසුස් කිසිම දෙයක් කියන්නේ නැහැ. බොරු චෝදනා මැද ඔහු හරිම සන්සුන්ව ඉන්න එක ගැන පිලාත් පුදුම වෙනවා.

යේසුස් උගන්වන්න ‘පටන්ගත්තේ ගලීලයෙන්’ කියලා යුදෙව්වන් කියපු නිසා පිලාත් තේරුම්ගන්නවා යේසුස් ගලීලයේ කෙනෙක් කියලා. ඒ නිසා යේසුස්ට විනිශ්චයක් දෙන වගකීම ගලීලයේ පාලකයා වන හෙරොද් අන්තිපස්ට (මහා හෙරොද්ගේ පුතාට) පවරන්න පුළුවන් කියලා ඔහු හිතනවා. පාස්කුව සමරන්න ඔහුත් දැන් යෙරුසලමට ඇවිත් ඉන්න නිසා පිලාත් යේසුස්ව ඔහු වෙතට යවනවා. ඔහු තමයි යොහන් බව්තීස්තගේ හිස ගසා දාන්න අවසර දුන්නේ. යේසුස් කරන ආශ්චර්යයන් ගැන හෙරොද්ට දැනගන්න ලැබුණාම ඔහු හිතුවේ යොහන් මළවුන්ගෙන් නැඟිටලා කියලයි.—ලූක් 9:7-9.

යේසුස්ව දැකගන්න ලැබෙන එක ගැන හෙරොද් දැන් ඉන්නේ පුදුම සතුටකින්. ඒ යේසුස්ට උදව් කරන්නවත් ඔහුට විරුද්ධව නඟලා තියෙන චෝදනාවන් ඇත්තද කියලා විභාග කරන්නවත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු ආසාවෙන් ඉන්නේ “යම් හාස්කමක් දැකගැනීමටයි.” (ලූක් 23:8) හැබැයි ඔහුගේ බලාපොරොත්තු සුන් වෙනවා. අඩුම තරමින් ඔහු අහන ප්‍රශ්නවලටවත් යේසුස් උත්තර දෙන්නේ නැහැ. දැන් හෙරොද් සහ ඔහුගේ සෙබළුන් යේසුස්ට “අවමන් කරනවා.” (ලූක් 23:11) ඔවුන් යේසුස්ට දිදුලන වස්ත්‍රයක් අන්දලා ඔහුට සමච්චල් කරනවා. අන්තිමේදී හෙරොද් ආයෙත් ඔහුව පිලාත් ළඟට යවනවා. මේ සිද්ධිය වෙන්න කලින් සෑහෙන කාලයක් තිස්සේ හෙරොද් සහ පිලාත් අතරේ ලොකු සතුරුකමක් තිබුණා. හැබැයි දැන් නම් ඔවුන් හොඳ මිතුරන් වෙනවා.

යේසුස් ආවාම පිලාත් නායක පූජකයන්ව, පාලකයන්ව සහ ජනයාව කැඳවලා මෙහෙම කියනවා. “ඔබ මේ මිනිසා මා ළඟට ගෙනාවේ ඔහු ජනයාව කැරැල්ලකට උසිගන්වන කෙනෙක් කියා මට පවසමිනුයි. හැබැයි, ඔබ සියලුදෙනා ඉදිරියෙහිම මම ඔහුව සෝදිසි කර බැලුවත් මම කියන්නේ ඔහුට විරුද්ධව ඔබ එල්ල කරන චෝදනාවලට කිසිම පදනමක් නැති බවයි. ඇත්තෙන්ම හෙරොද්ටත් බැරි වුණා ඔහුගේ යම් වරදක් සොයාගන්න. මොහුව ආපසු අප ළඟට එවා තිබෙන්නේ ඒ නිසයි. ඇත්තෙන්ම මේ මිනිසා මරණ දඬුවම ලබන්න තරම් කිසිම දෙයක් කර නැහැ. ඒ නිසා මම ඔහුට දඬුවමක් දී නිදහස් කරන්න කැමතියි.”—ලූක් 23:14-16.

පූජකයන් යේසුස්ව තමන් අතට භාර දෙන්නේ ඔහු ගැන තියෙන ඊර්ෂ්‍යාව නිසයි කියලා පිලාත් තේරුම්ගන්නවා. ඒ නිසා තමයි ඔහු යේසුස්ව නිදහස් කරන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි පිලාත් විනිශ්චයාසනයේ ඉද්දී ඔහුගේ බිරිඳ මේ පණිවිඩය ඔහුට එවනවා. “ඒ ධර්මිෂ්ඨ මිනිසා සම්බන්ධ කාරණයට කොහොමටවත් හවුල් වෙන්න එපා. මම මේ දේ කියන්නේ මා සිහිනයක් දුටු නිසයි. එය මගේ හිතට හුඟක් වධ දෙනවා.”—මතෙව් 27:19.

නිර්දෝෂ කෙනෙක් වන යේසුස්ව නිදහස් කරන්න පිලාත්ට පුළුවන් වෙයිද?