Skip to content

පටුනට යන්න

138වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ

ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ

ක්‍රියා 7:56

  • යේසුස් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගනියි

  • සාවුල් යේසුස්ගේ ගෝලයෙක් වෙයි

  • සතුටු වෙන්න හේතුවක්

යේසුස් ස්වර්ගයට ගිහින් දවස් දහයකට පස්සේ පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලය ගෝලයන්ට ලැබුණා. යේසුස් ස්වර්ගයට ගිය බවට ඒක සහතිකයක්. ඒ දේ සහතික කරන තවත් දෙයක් සිද්ධ වෙනවා. විශ්වාසවන්තව සාක්ෂි දරපු නිසා, තමන්ට ගල් ගහලා මරන්න යද්දී ස්තේපන් කිව්වේ මෙහෙමයි. “මේ බලන්න! අහස විවර වෙලා! මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා මට පේනවා.”—ක්‍රියා 7:56.

පියාණන් එක්ක ස්වර්ගයේ ඉන්න යේසුස්, ඔහුගෙන් නිශ්චිත අණක් ලැබෙන කල් බලාගෙන ඉන්නවා. ඒ ගැන දාවිත් වාර්තා කරලා තියෙන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට [යේසුස්ට] මෙසේ කීවේය. ‘මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න.’” නියමිත කාලය ආවාම යේසුස් “සතුරන්ව යටත් කරගන්න” පියවර ගන්නවා. (ගීතාවලිය 110:1, 2) ඒත් සතුරන්ව යටත් කරන කල් ඔහු මොනවා කරයිද?

ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාම යේසුස් අභිෂේක ලත් අනුගාමිකයන්ගේ නායකයා නැත්නම් පාලකයා විදිහට කටයුතු කරන්න පටන්ගත්තා. (කොලොස්සි 1:13) දේශනා සේවය කරන්න ඕන විදිහ ගැන ඔවුන්ට මඟ පෙන්වීම් දීපු ඔහු අනාගතයේදී කරන්න තියෙන විශේෂ කාර්යයකටත් ඔවුන්ව පුහුණු කළා. අන්තිමය දක්වාම විශ්වාසවන්තව හිටියොත් යේසුස් එක්ක දේවරාජ්‍යයේ රජවරු විදිහට සේවය කරන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

සාවුල් ඒ අවස්ථාව ලැබෙන අය අතරින් කෙනෙක්. හුඟක් අය ඔහුව දන්නේ පාවුල් කියන රෝම නමින්. යුදෙව්වෙක් වුණු ඔහුට දෙවිගේ නීතිය ගැන ලොකු උද්‍යෝගයක් තිබුණා. ඒත් ඔහු ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම්වලට මොන තරම් රැවටුණාද කිව්වොත් ස්තේපන්ට ගල් ගහලා මරන්නත් සහයෝගය දුන්නා. ඔව්, ‘වියරු වැටුණු කෙනෙකු මෙන් සාවුල් ස්වාමීන්ගේ ගෝලයන්ට දිගටම දරුණු ලෙස තර්ජන එල්ල කරමින් සිටියා. ඔහුගේ එකම ඉලක්කය වුණේ ඔවුන්ව මරා දැමීමයි.’ යේසුස්ගේ ගෝලයන්ව අල්ලලා යෙරුසලමට ගේන්න උත්තම පූජක කායෆස්ගෙන් අවසර ලැබිලා තිබුණු නිසා ඒ දේ කරන්න ඔහු දමස්කයට යන්න පිටත් වුණා. (ක්‍රියා 7:58; 9:1) හැබැයි අතරමඟදී අහසින් ලොකු ආලෝකයක් ඔහු වටේ විහිදිලා ඔහු බිම ඇද වැටුණා.

ඒත් එක්කම “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි” කියලා අහන හඬක් ඔහුට ඇහුණා. “ස්වාමීනි, ඔබ කවුද” කියලා ඔහු ඇහුවාම ඒ හඬ කිව්වේ “මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි” කියලයි.—ක්‍රියා 9:4, 5.

දමස්කයට ගිහින් තව මඟ පෙන්වීම් ලැබෙන කල් එහෙට වෙලා ඉන්න කියලත් යේසුස් ඔහුට කිව්වා. ඒත් ඔහු වටේ විහිදුණු ආලෝකයෙන් ඔහු අන්ධ වුණු නිසා ඒ නගරෙට ඔහුව එක්කගෙන යන්න වුණා. ඊටපස්සේ දමස්කයේ ඉන්න අනනියස්ට දර්ශනය වුණු යේසුස් සාවුල්ව මුණගැහෙන්න කියලා ඔහුට කිව්වා. එතැනට යන්න ඕන විදිහත් ඔහු කියලා දුන්නා. ඒත් අනනියස් ඒ දේ කරන්න ඒ තරම් කැමති වුණේ නැහැ. ඒ නිසා යේසුස් ඔහුට මෙහෙම කිව්වා. “මේ මිනිසාව විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඔහු මගේ නාමය ගැන ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත් ප්‍රකාශ කරයි.” අන්තිමේදී සාවුල්ට පෙනීම ලැබුණාම “යේසුස් දෙවිගේ පුත්‍රයා බව” ඔහු දමස්කයේදී ‘දේශනා කරන්න පටන්ගත්තා.’—ක්‍රියා 9:15, 20.

යේසුස්ගේ සහයෝගය ලැබෙන නිසා ඔහු ආරම්භ කරපු දේශනා සේවය පාවුල් සහ තවත් අය දිගටම කරගෙන ගියා. ඒ සේවයට දෙවිගේ ආශීර්වාදය ලැබුණු නිසා හුඟක් හොඳ ප්‍රතිඵලත් ලැබුණා. දමස්කයේදී යේසුස් දර්ශනය වෙලා අවුරුදු 25කට විතර පස්සේ ශුභාරංචිය “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර” දේශනා කළා කියලා පාවුල්ට කියන්න පුළුවන් වුණේ ඒ නිසයි.—කොලොස්සි 1:23.

අවුරුදු ගණනාවකට පස්සේ යේසුස් තමන් වැඩියෙන්ම ආදරය කරපු යොහන්ට දර්ශන රැසක්ම දකින්න සැලැස්සුවා. ඒවා එළිදරව් පොතේ සඳහන් වෙනවා. ඒ දර්ශනයන් දැකගන්න අවස්ථාව ලැබුණු නිසා යේසුස් රාජ්‍යයේ බලයෙන් පැමිණෙන කල් ඔහු ජීවත් වුණා කියලා කියන්න පුළුවන්. (යොහන් 21:22) ඔව්, ‘දෙවිගේ බලයේ උපකාරයෙන් ස්වාමීන්ගේ දවසෙහි සිටීමට යොහන්ට අවස්ථාව ලැබුණා.’ (එළිදරව් 1:10) ඇත්තටම ඒ දවස පැමිණෙන්නේ කවදාද?

බයිබලයේ සඳහන් අනාවැකි හොඳින් අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙනවා ‘ස්වාමීන්ගේ දවස’ ආරම්භ වුණේ මෑත කාලයේ කියලා. 1914දී පළවෙනි ලෝක මහා යුද්ධය ඇරඹුණා. එදා ඉඳන් යුද්ධ, සාගත, වසංගත සහ භූමිකම්පා වැඩි වැඩියෙන් සිද්ධ වෙද්දී යේසුස් “පැමිණ සිටින කාලය” සහ “අවසානය” හඳුනාගන්න දීපු ‘ලකුණ’ ඉටු වෙන බව පැහැදිලිව දැකගන්න පුළුවන් වුණා. මේ වෙද්දී රෝම අධිරාජ්‍යයේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරනවා.—මතෙව් 24:3, 7, 8, 14.

ඒ හැම දෙයක්ම ඉටු වෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? යොහන් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “අපගේ දෙවි මිනිසුන්ට ගැලවීම ලබා දී ඇත. ඔහුගේ බලය තහවුරු වී ඇත. ඔහුගේ රාජ්‍යයද පිහිටුවා හමාරය. ඔහුගේ ක්‍රිස්තුස්ගේ බලය මෙතැන් සිට ක්‍රියාත්මක වේ.” (එළිදරව් 12:10) ඔව්, ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් දේශනා කරපු දේ දැන් ඇත්තක් වෙලා තියෙනවා.

යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන්ට ඒ ගැන මොන තරම් සතුටු වෙන්න පුළුවන්ද! ඔව්, යොහන් කියලා තියෙන මේ දෙයින් ඇත්තටම ඔවුන්ට සහනයක් ලබන්න පුළුවන්. “ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න! නමුත් පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”—එළිදරව් 12:12.

මේ වෙද්දී යේසුස් පියාණන්ගේ දකුණු පැත්තට වෙලා බලාගෙන ඉන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු රජ විදිහට කටයුතු කරනවා. ළඟදීම ඔහු තමන්ගේ සතුරන්ව විනාශ කරන්න නියමිතයි. (හෙබ්‍රෙව් 10:12, 13) ඉදිරියේදී මොන වගේ දේවල් ගැන අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන්ද?