Skip to content

පටුනට යන්න

139වෙනි පරිච්ඡේදය

යේසුස් පොළොව පාරාදීසයක් කර තම පැවරුම සම්පූර්ණ කරයි

යේසුස් පොළොව පාරාදීසයක් කර තම පැවරුම සම්පූර්ණ කරයි

1 කොරින්ති 15:24-28

  • බැටළුවන්ට සහ එළුවන්ට අවසානයේදී අද්දකින්න වෙන දේ

  • හුඟදෙනෙක්ට පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ලැබෙයි

  • මාර්ගයත්, සත්‍යයත්, ජීවනයත් තමන් බව යේසුස් ඔප්පු කරයි

යේසුස් බව්තීස්ම වුණු ගමන්ම ඔහුව වරදට පොලඹවන්න යක්ෂයා උත්සාහ කළා. ඔහු එහෙම කළේ යේසුස් සේවය පටන්ගන්න කලින්ම ඔහුව නතර කරන්න හිතාගෙනයි. පස්සේ කාලෙක යේසුස් ඔහු ගැන මෙහෙම කිව්වා. “ලෝකයේ පාලකයා එනවා. නමුත් මාව යටත් කරගන්න ඔහුට කිසි බලයක් නැහැ.”—යොහන් 14:30.

‘මකරාට එනම් යක්ෂයා ලෙසද සාතන් ලෙසද හඳුන්වන මුල් සර්පයාට’ සිද්ධ වෙන දේ යොහන් දර්ශනයකින් දැක්කා. ඔව්, මිනිස් වර්ගයාගේ සතුරා වන යක්ෂයාව පොළොවට හෙළනවා ඔහු දැක්කා. “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා මහත් කෝපයෙන්” කටයුතු කරනවා. (එළිදරව් 12:9, 12) දැන් තමන් ජීවත් වෙන්නේ යක්ෂයාට ඉතුරු වෙලා තියෙන ඒ ‘කෙටි කාලපරිච්ඡේදයේ’ කියලා නිසැක වෙන්න සැබෑ ක්‍රිස්තියානීන්ට ඕන තරම් හේතු තියෙනවා. දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ළඟදීම “මුල් සර්පයා” වන ඒ ‘මකරාව’ අවුරුදු 1,000කට අගාධයට දානවා. (එළිදරව් 20:1, 2) එතකොට ඔහුට කිසිම දෙයක් කරන්න බැහැ.

ඒ කාලයේදී පොළොවේ සිද්ධ වෙන්නේ මොනවාද? පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කාටද? ඔවුන්ට අද්දකින්න ලැබෙන්නේ මොන වගේ තත්වයක්ද? බැටළුවන් සහ එළුවන් ගැන යේසුස් කියපු උපමාවෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. බැටළුවන්ට ඒ කියන්නේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් යේසුස්ගේ සහෝදරයන්ට සහයෝගය දෙන අයට සහ ඒ විදිහට කටයුතු කරන්නේ නැති අයට ඒ කියන්නේ එළුවන්ට අවසානයේදී අද්දකින්න ලැබෙන දේ ගැන යේසුස් ඒ උපමාවෙන් පැහැදිලි කළා. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔවුන්ට [එළුවන්ට] හිමි වන්නේ සදාකාල මරණයයි. නමුත් ධර්මිෂ්ඨයන්ට [බැටළුවන්ට] සදාකාල ජීවනය හිමි වෙයි.”—මතෙව් 25:46.

ඒක අපිට උදව් වෙනවා යේසුස් වධකණුවේ ඉද්දී තමන් ළඟ හිටිය අපරාධකරුට කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න. යේසුස් ඔහුට දුන්නේ තමන් එක්ක රජකම් කරන්න හවුල් වෙන අයට දීපු පොරොන්දුව නෙවෙයි. ඒ වෙනුවට ඔහු කිව්වේ “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලයි. (ලූක් 23:43) ඔව්, පාරාදීස පොළොවක ජීවත් වීමේ බලාපොරොත්තුව ඔහුට ලැබුණා. මේ කාලයේදී ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් “සදාකාල ජීවනය” අත් කරගන්න අයටත් පාරාදීස පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

මේ පොළොව පාරාදීසයක් වුණාට පස්සේ තියෙන්න යන තත්වය ගැන යොහන් කිව්වේ මෙහෙමයි. “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

යේසුස් පොරොන්දු වුණු විදිහට අපරාධකරුට පාරාදීස පොළොවේ ජීවත් වෙන්න නම් ඔහුව නැවත නැඟිටුවන්න සිද්ධ වෙනවා. ඔහුව විතරක් නෙවෙයි තවත් හුඟක් අයවත් නැවත නැඟිටුවනවා. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා.”—යොහන් 5:28, 29.

යේසුස්ගේ නියෝජිතයන් ඇතුළු ස්වර්ගයට යන අනිත් අය ගැන කියන්න පුළුවන් මොනවාද? බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.” (එළිදරව් 20:6) ඒ අවස්ථාව ලැබෙන පුරුෂයන් සහ ස්ත්‍රීන් මේ පොළොවේ ජීවත් වුණු අය නිසා අනාගතයේදී ස්වර්ගයේ ඉඳන් ඔවුන් රජකම් කරද්දී අනිවාර්යයෙන්ම ඔවුන් මිනිසුන්ගේ හැඟීම් හොඳින් තේරුම්ගනියි කියලා නිසැක වෙන්න පුළුවන්.—එළිදරව් 5:10.

තමන්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් යේසුස් මිනිසුන්ට උරුම වෙලා තියෙන පව්කාරකමින් ඔවුන්ව ගලවාගන්නවා. යේසුස් සහ ඔහු එක්ක රජකම් කරන්න එකතු වෙන අය මිනිසුන්ට පරිපූර්ණ අය වෙන්න උදව් කරනවා. මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවියන්ට තිබුණු මුල් අරමුණ ඒ කාලයේදී ඉටු වෙනවා. ඔව්, බෝ වී වැඩි වෙමින් පොළොව පුරාම ව්‍යාප්ත වෙන්න කියලා දෙවියන් ආදම් සහ ඒවට කියපු දේ ඒ කාලයේදී ඉටු වෙනවා. ආදම් නිසා මිනිසුන්ට උරුම වුණු මරණයත් එදාට නැති වෙනවා.

යෙහෝවා දෙවියන් තමන්ට භාර දීපු හැම දෙයක්ම ඒ වෙද්දී යේසුස් අනිවාර්යයෙන්ම ඉටු කරලා තියෙයි. දහස් අවුරුදු පාලනයෙන් පස්සේ තමන් යටතේ තිබුණු රාජ්‍යයත් පාපයෙන් නිදහස් වෙලා පරිපූර්ණව ඉන්න මිනිසුන්වත් යේසුස් පියාණන්ට භාර දෙනවා. යේසුස් හරිම නිහතමානීව කරන්න යන ඒ දේ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “සියල්ල පුත්‍රයාට යටත් කළ පසු පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත. එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.”—1 කොරින්ති 15:28.

යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කරන්න යේසුස් මොන තරම් ලොකු වැඩ කොටසක් කරනවාද කියලා පැහැදිලියි. ඒ අරමුණු සදාකාලයෙන් සදාකාලයටම ඉටු වෙද්දී “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා යේසුස් තමන් ගැනම කියපු දේට එකඟව ඔහු දිගටම ක්‍රියා කරයි.—යොහන් 14:6.