Skip to content

පටුනට යන්න

යේසුස්ව ආදර්ශයට ගන්න නම් . . .

යේසුස්ව ආදර්ශයට ගන්න නම් . . .

දයානුකම්පිත වෙන්න

පරිපූර්ණ කෙනෙක් වුණු යේසුස් පව්කාරකම උරුම කරගෙන ඉන්න මිනිසුන් අද්දකින හුඟක් ප්‍රශ්න ගැටලු සහ සිත්තැවුල් අද්දැක්කේ නැහැ. ඒ වුණත් ඔහු මිනිසුන් ගැන සැලකිලිමත් වුණා. වෙහෙස නොබලා කැමැත්තෙන්ම අනිත් අයට උදව් කළා. යේසුස් ඒ හැම දෙයක්ම කරන්න පෙලඹුණේ ඔහු දයානුකම්පිත කෙනෙක් වුණු නිසයි. ඒ ගැන මේ පරිච්ඡේදවල සඳහන් උදාහරණ බලන්න. 32, 37, 57, 99.

ඕනෙම කෙනෙකුට ළං වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න

යේසුස් කිසිම වෙලාවක තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතුවේවත් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න උත්සාහ කළේවත් නැහැ. ඒ නිසා ඕනෙම කෙනෙක්ට යේසුස් ළඟට යන්න පුළුවන් වුණා. ඔහු මිනිසුන් ගැන සැලකිලිමත් කියලා හැමෝටම දැනුණු නිසා ඔහුව ඇසුරු කරන්න මිනිසුන් අදිමදි කළේ නැහැ. මේ පරිච්ඡේදවල සඳහන් උදාහරණ බලන්න. 25, 27, 95.

නොකඩවා යාච්ඤා කරන්න

යේසුස් පෞද්ගලිකවත් ප්‍රසිද්ධියේත් නොකඩවාම පියාණන්ට යාච්ඤා කළා. කෑම කන අවස්ථාවලදී විතරක් නෙවෙයි තවත් අවස්ථාවලදී ඔහු යාච්ඤා කළා. පියාණන්ට ස්තුති ප්‍රශංසා කරන්න වගේම බැරෑරුම් තීරණ ගන්න කලින් මඟ පෙන්වීම් ලබාගන්නත් ඔහු යාච්ඤා කළා. උදාහරණ කිහිපයක් මේ පරිච්ඡේදවලින් බලන්න. 24, 34, 91, 122, 123.

අනිත් අය ගැනත් හිතන්න

යේසුස් වෙහෙසට පත් වෙලා හිටිය අවස්ථාවලදීත් අනිත් අයට උදව් කළා. ඔහු තමා ගැනම විතරක් හිතුවේ නැහැ. ඒ සම්බන්ධයෙනුත් ඔහුව ආදර්ශයට ගන්න පුළුවන්. ඒ ගැන මේ පරිච්ඡේදවලින් දැනගන්න. 19, 41, 52.

සමාව දෙන්න

සමාව දෙන එක ගැන යේසුස් ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි ගෝලයන් සහ අනිත් අය අතින් වැරදි අඩුපාඩුකම් වෙද්දී ඔහු ඔවුන්ට සමාව දුන්නා. මේ පරිච්ඡේදවල සඳහන් උදාහරණ ගැන හිතන්න. 26, 40, 64, 85, 131.

උද්‍යෝගිමත් වෙන්න

යුදෙව්වන් හුඟදෙනෙක් මෙසියස්ව පිළිගන්නේ නැහැ කියලත් ඔහුට සතුරුකම් කරන අය ඔහුව මරනවා කියලත් අනාවැකිවල සඳහන් වුණා. ඒ වුණත් සැබෑ නමස්කාරයට සම්බන්ධ දේවල් ගැන යේසුස් හැමෝටම කියලා දුන්නේ ලොකු උද්‍යෝගයකින්. පීඩා, විරුද්ධවාදිකම් මැද පවා උද්‍යෝගයෙන් දේශනා කරන්න ඔහු අනුගාමිකයන්ට කදිම ආදර්ශයක් තියලා තියෙනවා. මේ පරිච්ඡේද බලන්න. 16, 72, 103.

නිහතමානී වෙන්න

පව්කාරකම උරුම කරගෙන ඉන්න මිනිසුන්ට වඩා යේසුස් හුඟක් පැතිවලින් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා. ඔව්, ඔහු සතුව තිබුණු දැනුම සහ ප්‍රඥාව අතින් ඔහු ශ්‍රේෂ්ඨ වුණා. ඒ වගේම පරිපූර්ණ කෙනෙක් හැටියට කිසිම මිනිසෙකුට වඩා හොඳ ශරීර සෞඛ්‍යයක් වගේම හොඳ බුද්ධියක් ඔහු සතු වුණා. ඒත් අනිත් අය වෙනුවෙන් ඔහු නිහතමානීව සේවය කළා. මේ පරිච්ඡේදවලින් ඔයාට තවත් තොරතුරු දැනගන්න පුළුවන්. 10, 62, 66, 94, 116.

ඉවසිලිවන්ත වෙන්න

ගෝලයන් සහ අනිත් අය තමන්ගේ ආදර්ශය අනුගමනය කළේ නැති අවස්ථාවලදීත් උගන්වපු දේවල් අදාළ කරගත්තේ නැති අවස්ථාවලදීත් යේසුස් ඉවසුවා. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න ඔවුන්ට උදව් වෙන කාරණා යේසුස් හරිම ඉවසිලිවන්තව නැවත නැවතත් කියලා දුන්නා. යේසුස් ඉවසිලිවන්තව කටයුතු කරපු විදිහ මේ පරිච්ඡේදවලින් බලන්න. 74, 98, 118, 135.