Skip to content

පටුනට යන්න

69වෙනි පරිච්ඡේදය

ඔවුන්ගේ පියා ආබ්‍රහම්ද නැත්නම් යක්ෂයාද?

ඔවුන්ගේ පියා ආබ්‍රහම්ද නැත්නම් යක්ෂයාද?

යොහන් 8:37-59

  • තමන්ගේ පියා ආබ්‍රහම් කියා යුදෙව්වන් පවසයි

  • ආබ්‍රහම්ටත් කලින් තමන් සිටි බව යේසුස් පවසයි

පැල් උත්සවය අතරතුරේදී යේසුස් තවමත් යෙරුසලමේ ඉඳන් උගන්වනවා. සමහර යුදෙව්වන් යේසුස්ට මෙහෙම කිව්වා. “අපි ආබ්‍රහම්ගේ දරුවෝ. අපි කවදාවත් කාටවත් දාසයන් වුණේ නැහැ.” යේසුස් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. “ඔබ ආබ්‍රහම්ගේ දරුවන් බව මම දන්නවා. නමුත් මා උගන්වන දේවල් ඔබ පිළිගන්න අකමැති නිසා ඔබ උත්සාහ කරන්නේ මාව මරා දමන්නයි. මම ඔබට කියා දෙන්නේ මගේ පියාණන් සමඟ මා සිටින විටදී මා දුටු දේවලුයි. ඔබ කරන්නෙත් ඔබේ පියාගෙන් ඇසූ දේවලුයි.”—යොහන් 8:33, 37, 38.

තමන්ගේ පියාට වඩා ඔවුන්ගේ පියා වෙනස් කියලයි යේසුස් පැහැදිලි කරන්නේ. ඒත් ඒක තේරුම්ගන්නේ නැති යුදෙව්වන් “අපේ පියා ආබ්‍රහම්” කියලා ආයෙත් කියනවා. (යොහන් 8:39; යෙසායා 41:8) ඔවුන් එහෙම කියන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන නිසයි. ඒ නිසා දෙවිගේ මිතුරා වුණු ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් තමන්ටත් තියෙනවා කියලයි ඔවුන් හිතන්නේ.

ඒත් යේසුස් කියන්නේ “ඔබ ආබ්‍රහම්ගේ දරුවන් නම් ආබ්‍රහම් ක්‍රියා කළා වගේ ක්‍රියා කරන්න” කියලයි. මොකද ඕනෙම පුතෙක් තාත්තාව අනුගමනය කරනවා. ඒත් යුදෙව්වන් එහෙම කරන්නේ නැති නිසයි යේසුස් මේ දේ කියන්නේ. “ඔබ උත්සාහ කරන්නේ දෙවිගෙන් ඇසූ සත්‍යය ගැන ඔබට කියා දුන් මිනිසෙකු වන මාව මරා දමන්නයි. ආබ්‍රහම් කිසිදාක එලෙස ක්‍රියා කළේ නැහැ. ඔබ කරන්නේ ඔබේ නියම පියා කරන ක්‍රියායි.”—යොහන් 8:39-41.

ඔහු කියන දේ යුදෙව්වන් තාමත් තේරුම් අරන් නැහැ. “අපි අවජාතක දරුවෝ නොවෙයි. අපට සිටින්නේ එක පියෙක්. ඒ අපේ දෙවි පියාණෝ” කියලා ඔවුන් කියන්නේ ඒ නිසයි. එතකොට යේසුස් මෙහෙම කියනවා. “ඔබේ පියා දෙවි නම් ඔබ අනිවාර්යයෙන්ම මට ප්‍රේම කරනවා. මන්ද මම මෙහි ඇවිත් සිටින්නේ දෙවිගෙන් පැමිණි කෙනෙක් හැටියටයි. මම ආවේ මගේම කැමැත්ත නිසා නොවෙයි. ඒ තැනැත්තා මාව එවූ නිසයි. මා කියන දේ ඔබට නොතේරෙන්නේ මා කියා දෙන දේවල් ඔබ පිළිගන්න අකමැති නිසයි.”—යොහන් 8:41-43.

තමාව ප්‍රතික්ෂේප කරන එකේ ප්‍රතිඵල පහදන්න යේසුස් කිහිප සැරයක්ම උත්සාහ කළා. දැන් ඔහු කෙළින්ම මේ දේ කියනවා. “ඔබේ පියා යක්ෂයායි. ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.” ඔවුන්ගේ පියා “මිනී මරුවෙක්” කියලත් ‘ඔහු වංචාවෙන් පිරී ඇති නිසා සත්‍යයට ඇලී සිටියේ නැහැ’ කියලත් කියන යේසුස් දැන් යුදෙව්වන්ට මෙහෙම කියනවා. “දෙවිට පක්ෂව සිටින තැනැත්තා දෙවි පවසන දේවලට සවන් දෙයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවිට පක්ෂව කටයුතු නොකරන නිසයි.”—යොහන් 8:44, 47.

කේන්ති ගන්නා යුදෙව්වන් “ඔබ සමරිතානුවරයෙක් කියාත් ඔබට භූතයෙක් වැහී තිබෙනවා කියාත් අපි කියන්නේ නිකමටද” කියලා කියනවා. ඔවුන් යේසුස්ව “සමරිතානුවරයෙක්” විදිහට හැඳින්නුවේ අපහාස කරන්න. ඒත් යේසුස් මෙහෙම කියනවා. “මට භූතයෙක් වැහිලා නැහැ. මම මගේ පියාණන්ට ගෞරව කරනවා. නමුත් ඔබ මට අගෞරව කරනවා.” ඒකේ බරපතළකම යේසුස් කියන මේ දෙයින් පැහැදිලි වෙනවා. ‘කෙනෙක් මා පවසන දේවල් පිළිපදිනවා නම් ඔහු කවදාවත් මරණය අද්දකින්නේ නැහැ.’ ඒකෙන් යේසුස් අදහස් කළේ තමන්ගේ නියෝජිතයන් සහ අනුගාමිකයන් මැරෙන්නේ නැහැ කියලා නෙවෙයි, ඒ වෙනුවට ඔවුන් “දෙවෙනි මරණය” අද්දකින්නේ නැහැ කියලයි. ඒ කියන්නේ ඔවුන් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් නැතුව සදහටම විනාශ වෙන්නේ නැහැ.—යොහන් 8:48-51; එළිදරව් 21:8.

ඒක තේරුම්ගන්නේ නැති යුදෙව්වන් මෙහෙම කියනවා. ‘ඔබට භූතයෙකු වැහී සිටින බව දැන් නම් අපට හොඳටම පැහැදිලියි. ආබ්‍රහම් විතරක් නොවෙයි, සෑම අනාගතවක්තෘවරයෙක්ම මිය ගියා. නමුත් ඔබ කියන්නේ “කෙනෙක් ඔබ පවසන දේවල් පිළිපදිනවා නම් ඔහු කවදාවත් මිය යන්නේ නැහැ” කියායි. මිය ගොස් සිටින අපේ පියා වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් කෙනෙක්ද? ඔබ කවුරුන් කියාද ඔබ සිතාගෙන සිටින්නේ?’—යොහන් 8:52, 53.

යේසුස් උත්සාහ කරන්නේ තමන් මෙසියස් කියලා පැහැදිලි කරන්න. යුදෙව්වන් අහපු දේට උත්තර දෙනවා වෙනුවට ඔහු මෙහෙම කියනවා. “මම මටම ගෞරවය ලබාගන්න උත්සාහ කරනවා නම් ඒ ගෞරවයෙන් ඇති වැඩක් නැහැ. මාව ගෞරවයට පත් කරන්නේ මගේ පියාණන්, ඒ කියන්නේ ඔබ ඔබේ දෙවි කියා හඳුන්වන තැනැත්තායි. ඔබ එසේ පැවසුවත් ඔබ ඔහුව හඳුනාගෙන නැහැ. නමුත් මම ඔහුව හොඳින් හඳුනාගෙන සිටිනවා. මා ඔහුව හඳුනාගෙන නැහැයි කියා පැවසුවොත් මම ඔබ වගේ බොරුකාරයෙක් වෙනවා.”—යොහන් 8:54, 55.

ආබ්‍රහම් ගැන කතා කරමින් යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්. ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!” ඔව්, දෙවිගේ පොරොන්දු ගැන විශ්වාස කළ ආබ්‍රහම් මෙසියස්ගේ පැමිණීම ගැන බලන් හිටියේ පුදුම ආසාවකින්. යුදෙව්වන් දැන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “තවම අවුරුදු පනහක්වත් නැති ඔබ ආබ්‍රහම්ව දැක්කා කියා කියන්නේ කොහොමද?” යේසුස් ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මම ඇත්තෙන්ම ඔබට කියන්නේ, ආබ්‍රහම් ජීවත් වෙන්නත් කලින් මම ජීවත්ව සිටි බවයි.” පොළොවට එන්න කලින් ස්වර්ගයේ බලවත් දේවදූතයෙක් විදිහට ජීවත් වුණු එක ගැන තමයි ඔහු ඒ විදිහට සඳහන් කළේ.—යොහන් 8:56-58.

යේසුස් ආබ්‍රහම්ට කලින් ජීවත් වුණා කියලා කියපු එක ගැන කේන්ති ගන්නා යුදෙව්වන් දැන් සූදානම් වෙන්නේ යේසුස්ට ගල් ගහන්න. ඒත් යේසුස් කිසිම කරදරයක් නැතුව එතැනින් පිටත් වෙනවා.