Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග

දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග

1, 2. (අ) තෑග්ගක් ඔයාට වටින්නේ මොන හේතු නිසාද? (ආ) යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන් දීපු වටිනාම තෑග්ග කියලා කියන්නේ ඇයි?

ඔයාට ලැබුණු තෑගිවලින් ඔයාට වැඩියෙන්ම වටින්නේ මොන තෑග්ගද? තෑග්ගක් වටිනා එකක් වෙන්න ඒක මිල අධික එකක් වෙන්නම ඕන නැහැ. තෑග්ග නිසා ඔයාට සතුටක් දැනෙනවා නම් ඒක ඔයාට අවශ්‍යම වෙලා තිබුණ දෙයක් නම් ඒ තෑග්ග ඔයාට ගොඩක් වටිනා එකක් වෙයි.

2 දෙවියන් අපිට හුඟක් තෑගි දීලා තියෙනවා. ඒ අතරින් අපිට අවශ්‍යම වෙලා තිබුණු වටිනාම තෑග්ග තමයි යේසුස්ගේ ජීවිත පූජාව. යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් දුන්නේ සදාකාලයටම ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි. (මතෙව් 20:28 කියවන්න.) යේසුස්ගේ ජීවිතය අපි වෙනුවෙන් දීලා යෙහෝවා දෙවියන් පෙන්නුවේ ඔහු අපිට කොච්චර ආදරේද කියලයි.

යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි?

3. මිනිසුන් මැරෙන්නේ ඇයි?

3 උරුම වෙලා තියෙන පාපයෙනුත් මරණයෙනුත් යෙහෝවා දෙවියන් මිනිසුන්ව බේරාගන්නේ යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්. (එෆීස 1:7) ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි කියලා තේරුම්ගන්න නම් අවුරුදු දහස් ගාණකට කලින් ඒදන් උයනේදී වුණු දෙයක් ගැන දැනගන්න වෙනවා. අපේ මුල් දෙමාපියන් වුණු ආදම්, ඒව දෙවියන් එපා කියපු දෙයක් කළා. ඒක පාපයක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාලා මැරුණා. අපි පැවතෙන්නෙත් එයාලගෙන් නිසා ඒ පාපය අපිටත් උරුම වුණා. අපි මැරෙන්නේ ඒ නිසයි.—9වෙනි අමතර සටහන බලන්න.

4. යෙහෝවා දෙවියන් ආදම්ට දුන්නේ මොන වගේ දේවල්ද?

4 යෙහෝවා දෙවියන් ආදම්ට දුන්නේ අඩුවක් නැති පරිපූර්ණ ජීවිතයක්. ඒ කියන්නේ කවදාවත් අසනීප වෙන්නේ නැති, වයසට යන්නේ නැති, මැරෙන්නේ නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්නයි එයාව නිර්මාණය කළේ. එයාව හැදුවේ දෙවියන් නිසා දෙවියන් තමයි එයාගේ තාත්තා වුණේ. (ලූක් 3:38) යෙහෝවා දෙවියන් නිතරම වගේ ආදම් එක්ක කතා කළා. එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඉගැන්නුවා. සතුටින් කරන්න පුළුවන් වැඩත් භාර දුන්නා.—උත්පත්ති 1:28-30; 2:16, 17.

5. දෙවියන් ඔහුගේ “ගතිලක්ෂණ” ඇතුව ආදම්ව නිර්මාණය කළා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

5 තමන්ගේම “ගතිලක්ෂණ” ඇතුවයි දෙවියන් ආදම්ව හැදුවේ. (උත්පත්ති 1:27) ඒ කියන්නේ ආදම්ටත් ආදරය, ප්‍රඥාව, යුක්තිය, බලය වගේ ගතිලක්ෂණ පෙන්වන්න හැකියාව තිබුණා. රොබෝ කෙනෙක් වගේ වැඩ කරනවා වෙනුවට හරි දේ කරනවාද වැරදි දේ කරනවාද කියලා තීරණය කරන්න එයාට නිදහසත් තිබුණා. දිගටම දෙවියන්ට කීකරු වෙන්න ආදම් තීරණය කළා නම් එයාට සදහටම පොළොවේ ජීවත් වෙන්න තිබුණා.

6. ආදම් දෙවියන්ට අකීකරු වුණාම එයා නැති කරගත්තේ මොනවාද? ඒක අපිට බලපාන්නේ කොහොමද?

6 ඒ තරම් වටිනා ජීවිතයක් ගත කරන්න අවස්ථාව තිබුණත් දෙවියන්ට අකීකරු වුණ නිසා ආදම්ට මරණ දඬුවම උරුම වුණා. දෙවියන් එක්ක තිබුණු බැඳීම, කිසි අඩුවක් නැති ජීවිතය වගේම පාරාදීසයත් එයාට නැති වුණා. (උත්පත්ති 3:17-19) ආදම් කරපු වරද නිසා ‘මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය හිමි වුණා. සියලුදෙනාටම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණයත් සියලුදෙනාටම උරුම වුණා.’ (රෝම 5:12) ආදම් විහින්ම පාපයෙත් මරණයෙත් වහලෙක් වුණා. එයා අපිවත් ඒ තත්වයට ඇදලා දැම්මා. (රෝම 7:14) ඒ කියන්නේ අපිට කවදාවත් ඒ තත්වයෙන් ගොඩ එන්න බැරිද?

7, 8. මිනිසුන්ව ගලවාගන්න ඕනෙ වුණේ මොකක්ද?

7 පාපයටත් මරණයටත් වහල් වෙලා ඉන්න අපිව ඒ තත්වයෙන් බේරාගන්න වන්දියක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඒක නැති කරගත්ත දේට සමාන වටිනාකමක් තියෙන වන්දියක් වෙන්නත් ඕනේ.

8 ආදම් නැති කරගත්ත දේට ගැළපෙන වන්දියක් ගෙවන්න කිසිම මිනිසෙක්ට බැරි වුණා. ඒත් අපිව බේරාගන්න ඕන වන්දිය ගෙවන්න දෙවියන් මාර්ගයක් සැලැස්සුවා. ඒ කොහොමද? ඒකෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

වන්දිය ගෙවන්න දෙවියන් මඟ සැලසුවේ කොහොමද?

9. මිනිසුන්ව ගලවාගන්න ගෙවන්න ඕන වුණේ මොන වගේ වන්දියක්ද?

9 ආදම් නැති කරගත්ත පරිපූර්ණ ජීවිතය ආයෙත් ලබාගන්න වන්දියක් ගෙවන්න අපි කාටවත් බැහැ. මොකද අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙනවා. (ගීතාවලිය 49:7, 8) මිනිස් වර්ගයාව බේරාගන්න අවශ්‍ය වුණේ “නියමිත වන්දියක්.” (1 තිමෝති 2:6) ඒ කියන්නේ ආදම් නැති කරගත්ත පරිපූර්ණ ජීවිතයට හැම අතින්ම සමාන වුණු පරිපූර්ණ ජීවිතයක්.

10. වන්දිය ගෙවන්න දෙවියන් මඟ සැලසුවේ කොහොමද?

10 යෙහෝවා දෙවියන් වන්දිය ගෙවන්න මඟ සැලසුවේ ඔහු වැඩියෙන්ම ආදරය කරන ඔහුගේ පුතාව පොළොවට එවලයි. ඔහු තමයි දෙවියන්ගේ මුල්ම නිර්මාණය වුණු යේසුස්. (1 යොහන් 4:9, 10) යේසුස් පියාවයි ස්වර්ගයේ ජීවිතයයි අතහැරලා පොළොවට එන්න කැමති වුණා. (ෆිලිප්පි 2:7) යෙහෝවා දෙවියන් ස්වර්ගයේ හිටිය තමන්ගේ පුතාව මරියා කියන තරුණියගේ ගර්භාෂයේ වැඩෙන්න සැලැස්සුවා. ඔහු ඉපදුණේ පාපය උරුම කරගත්තේ නැති මිනිසෙක් විදිහට.—ලූක් 1:35.

යෙහෝවා දෙවියන් අපිව ගලවාගන්න ඔහුගේ එකම පුතාව දුන්නා

11. එක මිනිසෙකුගේ ජීවිත පූජාව මිනිසුන් හැමෝවම බේරාගන්න ප්‍රමාණවත් වුණේ ඇයි?

11 මිනිස් වර්ගයාටම පාපයත් මරණයත් උරුම වුණේ එක පරිපූර්ණ මිනිසෙක් වුණු ආදම් දෙවියන්ට අකීකරු වුණු නිසයි. එහෙනම් තව පරිපූර්ණ මිනිසෙක්ට බැරිද මිනිස් වර්ගයාවම නිදහස් කරගන්න ඕන වන්දිය ගෙවන්න? (රෝම 5:19 කියවන්න.) යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතය වන්දියක් විදිහට දුන්නා. (1 කොරින්ති 15:45) ඔහුගේ ජීවිත පූජාව මාර්ගයෙන් ආදම්ගෙන් පැවතෙන හැමෝටම පාපයෙනුත් මරණයෙනුත් බේරෙන්න අවස්ථාව ලැබුණා.—1 කොරින්ති 15:21, 22.

12. යේසුස්ට ඒ තරම් දුක් විඳින්න සිද්ධ වුණේ ඇයි?

12 මිය යන්න කලින් යේසුස්ට හුඟක් දුක් විඳින්න වුණා. ඔහුට දරුණු විදිහට කසයෙන් ගැහුවා. කණුවක ඇණ ගහලා එල්ලුවා. හුඟක් වේදනාවන් විඳලයි ඔහු මිය ගියේ. (යොහන් 19:1, 16-18, 30) යේසුස්ට ඒ තරම් දුක් විඳින්න වුණේ ඇයි? එහෙම වුණේ දරුණුම පීඩා විඳින්න සිද්ධ වුණොත් දෙවියන්ගේ සේවකයන් ඔහුව අත්හරියි කියලා සාතන් කරපු චෝදනාව නිසයි. ඒත් මොන තරම් දුක් පීඩා වින්දත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පරිපූර්ණ කෙනෙක්ට පුළුවන් කියලා යේසුස් ඔප්පු කරලා පෙන්නුවා. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ට තමන්ගේ පුතා ගැන කොයි තරම් ආඩම්බරයක් දැනෙන්න ඇද්ද!—හිතෝපදේශ 27:11; 15වෙනි අමතර සටහන බලන්න.

13. යේසුස් වන්දිය ගෙව්වේ කොහොමද?

13 ක්‍රි.ව. 33 නීසාන් කියන යුදෙව් මාසයේ 14වෙනිදා දෙවියන් තමන්ගේ පුතාව මරන්න සතුරන්ට ඉඩ දුන්නා. (හෙබ්‍රෙව් 10:10) දවස් 3කට පස්සේ දෙවියන් යේසුස්ට ආයෙත් ජීවිතය දුන්නා. ඒ මිනිසෙක් විදිහට නෙවෙයි. ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට. ඊටපස්සේ යේසුස් ස්වර්ගයට ගිහින් දෙවියන් ඉදිරියේ පෙනී හිටියා. (හෙබ්‍රෙව් 9:24) ඒකෙන් අදහස් කළේ යේසුස් පූජා කරපු මිනිස් ජීවිතය වන්දියක් විදිහට යොදාගන්න ඒ වෙලාවේ ඉඳන් යෙහෝවා දෙවියන්ට පුළුවන් වුණා කියන එකයි. ඒ නිසා පාපයෙනුත් මරණයෙනුත් නිදහස් වෙන්න දැන් අපි හැමෝටම අවස්ථාව ලැබිලා තියෙනවා.—රෝම 3:23, 24 කියවන්න.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන

14, 15. අපේ පව්වලට සමාව ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

14 යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපි දැනටමත් ප්‍රයෝජන ලබනවා. දෙවියන් අපිට දීපු ඒ වටිනා තෑග්ග නිසා අපි දැනුත් අනාගතයේදීත් ලබන ආශීර්වාද කීපයක් ගැන දැන් බලමු.

15 පව්වලට සමාව. හැම වෙලේම හරි දේ කරන එක ලේසි නැහැ. සමහර වෙලාවට අපි වැරදි දේවල් කියනවා. වැරදි දේවල් කරනවා. (කොලොස්සි 1:13, 14) ඒවාට සමාව ගන්න පුළුවන් කොහොමද? ඒ වැරදි ගැන අපි අවංකව පසුතැවිලි වෙන්න ඕනේ. ඊටපස්සේ යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අපේ වැරදිවලට දෙවියන් සමාව දෙන්නේ එතකොටයි.—1 යොහන් 1:8, 9.

16. නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

16 දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක්. අපි අතින් වරදක් වුණාම අපේ හිත දොස් කියනවා, මං වටින්නේ නැහැ කියලා හිතෙනවා. ඒත් කලකිරෙන්න එපා. අපේ වැරදිවලට යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලුවොත් ඔහු සමාව දෙනවා. (හෙබ්‍රෙව් 9:13, 14) අපිට තියෙන ඕනම ප්‍රශ්නයක්, දුර්වලකමක් ගැන දෙවියන්ට කියන්න කියලයි ඔහු අපෙන් ඉල්ලන්නේ. (හෙබ්‍රෙව් 4:14-16) එහෙම කරද්දී යෙහෝවා දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න අපිට පුළුවන්.

17. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

17 සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුව. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.” (රෝම 6:23) යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු නිසා අනාගතයේදී අපිට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. (එළිදරව් 21:3, 4) ඒත් ඒ ආශීර්වාද ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

යේසුස්ගේ ජීවිත පූජාව ඔයා අගය කරනවාද?

18. යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි කියලා අපි දන්නේ කොහොමද?

18 කවුරු හරි වටිනා තෑග්ගක් දුන්නොත් ඔයාට කොච්චර සතුටක් දැනෙනවාද? අපිට ලැබුණු වටිනාම තෑග්ග තමයි යේසුස්ගේ ජීවිත පූජාව. යොහන් 3:16 කියන්නේ “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා” කියලයි. ඔව්, දෙවියන් වැඩියෙන්ම ආදරය කරන ඔහුගේ එකම පුතාව අපි වෙනුවෙන් දුන්නේ ඔහු අපිට ඇත්තටම ආදරය කරන නිසයි. යෙහෝවා දෙවියන් විතරක් නෙවෙයි, යේසුත් අපිට ආදරෙයි. ඒ නිසයි ඔහු කැමැත්තෙන්ම ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් දුන්නේ. (යොහන් 15:13) යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතද්දී යෙහෝවා දෙවියනුත් යේසුත් ඔයාට කොච්චර ආදරේද කියලා තේරුම්ගන්න පුළුවන් නේද?—ගලාති 2:20.

යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගද්දී ඔහු ගැන අපිට තියෙන ආදරය වැඩි වෙනවා, ඔහුව අපේ යාළුවෙක් කරගන්නත් පුළුවන්

19, 20. (අ) යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා ඔයා පෙන්වන්නේ කොහොමද?

19 යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා දැන් ඔයා දන්නවා. ඔහුගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයා දැකලා නැති කෙනෙක්ව යාළුවෙක් කරගන්න ලේසි නැහැ තමයි. ඒත් යොහන් 17:3 කියන්නේ යෙහෝවා දෙවියන්ව හොඳට දැන හඳුනා ගන්න අපිට පුළුවන් කියලයි. එහෙම කරද්දී දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙයි. ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඔයා කැමති වෙයි. එතකොට ඔයාට පුළුවන් දෙවියන්ගේ යාළුවෙක් වෙන්න. ඒ නිසා බයිබලය අධ්‍යයනය කරලා තවත් හොඳින් දෙවියන්ව දැන හඳුනා ගන්න.—1 යොහන් 5:3.

20 යේසුස්ව විශ්වාස කරන්න. බයිබලයේ කියන්නේ “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි” කියලයි. (යොහන් 3:36) යේසුස්ව විශ්වාස කරනවා කියලා අපිට පෙන්වන්න පුළුවන් කොහොමද? නිකම්ම යේසුස් ගැන විශ්වාස කරලා විතරක් මදි. ඒ විශ්වාසය අපි ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. යාකොබ් 2:26 කියන්නේ “ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි” කියලයි. අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන්න පුළුවන් එක විදිහක් තමයි යේසුස් උගන්වපු දේවල් පිළිපදින එක.—යොහන් 13:15.

21, 22. (අ) අපි හැම අවුරුද්දකදීම යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න ඕනෙ ඇයි? (ආ) 6, 7 පරිච්ඡේදවලින් අපි ඉගෙනගන්නේ මොනවාද?

21 යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවට සහභාගි වෙන්න. යේසුස් මිය ගිය දවසේ ඔහු අනුගාමිකයන්ට කිව්වා ඔහුගේ මරණය සිහි කරන්න කියලා. “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” කියලා හඳුන්වන ඒ සැමරීම අපි හැම අවුරුද්දකම පවත්වනවා. (1 කොරින්ති 11:20; මතෙව් 26:26-28) යේසුස් ඔහුගේ වටිනා ජීවිතය අපි වෙනුවෙන් පූජා කළා කියලා අපි මතක තියාගන්නවාටයි ඔහු කැමති. ඒ නිසයි ඔහු කිව්වේ “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා. (ලූක් 22:19 කියවන්න.) යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවට ඔයා සහභාගි වෙද්දී ඔයා ඒකෙන් පෙන්වන්නේ යෙහෝවා දෙවියනුත් යේසුත් ඔයාට පෙන්වපු ආදරේ ඔයා අගය කරනවා කියලයි.—16වෙනි අමතර සටහන බලන්න.

22 අපිට ලැබිලා තියෙන වටිනාම තෑග්ග යේසුස්ගේ ජීවිත පූජාවයි. (2 කොරින්ති 9:14, 15) අපිට විතරක් නෙවෙයි මිය ගිය මිලියන ගාණකටත් ඉදිරියේදී ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා. ඒ කොහොමද කියලා 6, 7 පරිච්ඡේදවලින් බලමු.