Skip to content

පටුනට යන්න

7වෙනි පරිච්ඡේදය

මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?

මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?

1-3. අපි හැමෝම ඉන්නේ මොන වගේ තත්වයකද? යෙහෝවා දෙවියන් අපිව ඒකෙන් නිදහස් කරන්නේ කොහොමද?

ඔයා කරපු නැති වරදකට ඔයාට මරණ දණ්ඩනය ලැබෙනවා කියලා හිතන්න. ඔයාට නිදහසක් ලැබෙයි කියලා නම් හිතන්න බැහැ. ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේකුත් නැහැ. හැම බලාපොරොත්තුවක්ම අතහැරලා ඉන්න වෙලාවේ ඔයාට දැනගන්න ලැබෙනවා ඔයාව නිදහස් කරන්න බලය තියෙන කෙනෙක් ඔයාට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙනවා කියලා. ඔයාට කොහොම හැඟෙයිද?

2 අපි හැමෝම ඉන්නේ මරණයට නියම වෙලා. අපි මොනවා කළත් ඒකෙන් නිදහස් වෙන්න බැහැ. ඒත් අපිව මරණයෙන් නිදහස් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. ‘අන්තිම සතුරා වන මරණය නැති කරනවා’ කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා.—1 කොරින්ති 15:26.

3 මරණය ගැන බයෙන් ඉන්න ඕන නැති කාලයක ජීවත් වෙන්න ලැබෙද්දී ඒක මොන තරම් සහනයක් වෙයිද! යෙහෝවා දෙවියන් මරණය නැති කරනවා විතරක් නෙවෙයි “මරණ නින්දෙහි සැතපී සිටින” අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 26:19) මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන එක බයිබලයේ හඳුන්වන්නේ නැවත නැඟිටුවීම කියලයි. ඒක කොච්චර ලස්සන බලාපොරොත්තුවක්ද?

අපි ආදරේ කරන කෙනෙක් මැරුණාම

4. (අ) පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි මැරුණාම අපිට සහනයක් වෙන්නේ මොකක්ද? (ආ) යේසුස්ගේ කිට්ටු මිතුරන් වෙලා හිටියේ කවුද?

4 පවුලේ කෙනෙක්, යාළුවෙක් මැරුණාම අපිට දැනෙන්නේ දරාගන්න බැරි දුකක්. පුදුම අසරණකමක්. එයාට ආයෙත් ජීවිතය දෙන්න අපිට බැහැ. ඒත් ඒ වෙලාවට බයිබලයෙන් අපිට සැනසීමක් ලබාගන්න පුළුවන්. (2 කොරින්ති 1:3, 4 කියවන්න.) අපි ආදරය කරන මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා දෙවියනුත් යේසුත් ඉන්නේ ලොකු ආසාවකින්. ඒකට උදාහරණයක් බලමු. යේසුස් ලාසරුස්වයි එයාගේ සහෝදරියන් වුණු මාර්තාවයි මරියාවයි යාළුවන් විදිහට ආශ්‍රය කළා. බයිබලයේ කියන්නේ “යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද බොහෝ සෙයින් ප්‍රේම කළා” කියලයි. දවසක් ලාසරුස් මැරුණා.—යොහන් 11:3-5.

5, 6. (අ) ලාසරුස්ගේ පවුලේ අයත් යාළුවොත් දුක් වෙනවා දැක්කාම යේසුස්ට හැඟුණේ කොහොමද? (ආ) මරණය ගැන යේසුස්ට හැඟෙන විදිහ දැනගන්න එක අපිට සහනයක් වෙන්නේ ඇයි?

5 යේසුස් එයාලගේ ගෙදරට එනවා කියලා ආරංචි වුණාම මාර්තා යේසුස්ව හම්බ වෙන්න මඟට ගියා. යේසුස්ව දැක්කාම එයා කිව්වා “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ” කියලා. මාර්තා හිතුවේ යේසුස් පරක්කු වැඩියි කියලයි. පස්සේ මරියාත් අඬඅඬා එතනට ආවා. එයාලගේ දුක දැක්කාම යේසුස්ගේ ඇස්වලටත් කඳුළු ආවා. (යොහන් 11:21, 33, 35) අපි ආදරේ කරන කෙනෙක් මැරුණාම අපිට දැනෙන දුක යේසුස්ටත් දැනෙනවා කියලා ඒකෙන් පැහැදිලියි.

6 යේසුස්ට අපේ දුක තේරෙන එක අපිට ලොකු සහනයක්. යේසුත් යෙහෝවා දෙවියනුත් මිනිසුන් මැරෙනවා දකින්න පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. (යොහන් 14:9) මරණය සදහටම නැති කරන්න යෙහෝවා දෙවියන්ට බලය තියෙනවා විතරක් නෙවෙයි ඔහු ඒක ළඟදීම කරනවා.

“ලාසරුස්, පිටතට එන්න”

7, 8. ලාසරුස්ව තැන්පත් කරලා තිබුණු ගුහාවේ ගල අයින් කරනවාට මාර්තා අකමැති වුණේ ඇයි? ඒත් යේසුස් කළේ මොනවාද?

7 ලාසරුස්ගේ සිරුර තැන්පත් කරලා තිබුණේ ගුහාවක. ඒක ලොකු ගලකින් වහලයි තිබුණේ. යේසුස් එතනට ගිහින් කිව්වා “ගල අහකට ගන්න” කියලා. ඒත් ලාසරුස්ව එතන තැන්පත් කරලා දවස් හතරක්ම ගත වෙලා තිබුණු නිසා මාර්තා ඒකට කැමති වුණේ නැහැ. (යොහන් 11:39) ඒ යේසුස් කරන්න යන දේ ගැන මාර්තා දැනගෙන හිටියේ නැති නිසයි.

ලාසරුස්ව නැවත නැඟිටෙව්වාම එතන හිටිය අය කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!—යොහන් 11:38-44

8 “ලාසරුස්, පිටතට එන්න” කියලා යේසුස් කිව්වාම වුණු දේ මාර්තාටවත් මරියාටවත් අදහාගන්න බැරි වුණා. ‘මිය ගිහින් හිටිය ඒ මිනිසා පිටතට ආවා.’ (යොහන් 11:43, 44) මැරුණු ලාසරුස්ව යේසුස් නැවත නැඟිටුවලා! පවුලේ අය එක්කත් යාළුවන් එක්කත් ආයෙත් ජීවත් වෙන්න එයාට අවස්ථාව ලැබිලා. එයාව ආදරෙන් බදාගන්න එයා එක්ක කතා කරන්න එයාගේ පවුලේ අයට පුළුවන්. එයාලා කොච්චර සතුටු වෙන්න ඇද්ද!

“දුවේ, දැන් නැඟිටින්න”

9, 10. (අ) මැරුණු අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය දුන්නේ කවුද? (ආ) නැවත නැඟිටුවපු අය ගැන බයිබලයේ තියෙන වාර්තා අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 යේසුස් ලාසරුස්ට ආයෙත් ජීවිතය දුන්නේ ඔහුගේම බලයෙන්ද? නැහැ. ලාසරුස්ව නැවත නැඟිටුවන්න කලින් යේසුස් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. දෙවියන් ඒක කරන්න යේසුස්ට බලය දුන්නා. (යොහන් 11:41, 42 කියවන්න.) යේසුස් අවුරුදු 12ක් වයස පුංචි දුවෙක්වත් නැවත නැඟිට්ටුවා. ඒ දුව හිටියේ හුඟක් අසනීපෙන්. එයාගේ තාත්තාගේ නම යායිරස්. එයා යේසුස් ළඟට ගිහින් දුකින් කිව්වා එයාගේ දුවව හොඳ කරලා දෙන්න කියලා. එයා තමයි යායිරස්ට හිටිය එකම දරුවා. එයා ඒ ගැන යේසුස්ට කියද්දී කෙනෙක් ඇවිත් කිව්වා “ගුරුතුමාට කරදර කරන්න එපා. ඔබේ දුව මිය ගියා” කියලා. ඒත් යේසුස් යායිරස්ට මෙහෙම කිව්වා. ‘භය වෙන්න එපා. ස්ථිර විශ්වාසයක් ඇතුව ඉන්න. ඇයව බේරාගන්න පුළුවන්.’ ඊටපස්සේ යේසුස් යායිරස්ගේ ගෙදරට ගියා. හුඟක් අය අඬඅඬා ඉන්නවා දැකලා යේසුස් මෙහෙම කිව්වා. ‘කලබල වෙලා අඬන්නේ ඇයි? කුඩා දැරිය මිය ගිහින් නැහැ. ඇය නිදාගෙන ඉන්නවා විතරයි.’ ඒ වෙලාවේ එයාගේ අම්මාටයි තාත්තාටයි යේසුස් කියපු දේ හරියටම තේරුණේ නැතුව ඇති. අනිත් අයට එළියට යන්න කියලා යේසුස් ඒ දෙන්නාව දුව හිටිය තැනට එක්කගෙන ගියා. ඊටපස්සේ දුවගේ අත අල්ලලා යේසුස් මෙහෙම කිව්වා. “දුවේ, දැන් නැඟිටින්න.” එතකොටම දුව නැඟිට්ටා. එයාගේ අම්මාටයි තාත්තාටයි කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද! යේසුස් ඒ දුවට ආයෙත් ජීවිතය දීලා. (මාක් 5:22-24, 35-42; ලූක් 8:49-56) එදා යෙහෝවා දෙවියන් යේසුස් මාර්ගයෙන් කළේ මොන තරම් පුදුම දෙයක්ද කියලා තමන්ගේ දුවව දකින වාරයක් ගාණේ ඒ දෙමාපියන්ට මතක් වෙන්න ඇති. *

10 යේසුස් නැවත නැඟිටුවපු අය කාලෙකට පස්සේ ආයෙත් මැරුණා. ඒත් ඒ සිද්ධීන් ගැන කියවද්දී මැරුණු අයව ආයෙත් දැකගන්න පුළුවන් කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් ලැබෙනවා. යෙහෝවා දෙවියන්ට ඕනෙ මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන්න. ඔහු ඒක අනිවාර්යයෙන්ම කරනවා.

නැවත නැඟිටුවීමේ සිද්ධීන්වලින් ඉගෙනගන්න පුළුවන් දේ

පේතෘස් දොර්කස්ව නැවත නැඟිටෙව්වා.—ක්‍රියා 9:36-42

එලියා වැන්දඹුවකගේ පුතෙක්ව නැවත නැඟිටෙව්වා.—1 රාජාවලිය 17:17-24

11. දේශනාකාරයා 9:5 කියවද්දී ලාසරුස් ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?

11 “මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ” කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 9:5) ලාසරුස්ට වුණෙත් ඒ දේයි. යේසුස් කිව්වා වගේ ලාසරුස් හිටියේ තද නින්දක ඉන්නවා වගෙයි. (යොහන් 11:11) එහෙනම් මැරිලා ඉද්දී ලාසරුස් ‘කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ’ කියලා ඒකෙන් පැහැදිලියි.

12. ලාසරුස්ව ඇත්තටම නැවත නැඟිට්ටුවා කියලා අපි දන්නේ කොහොමද?

12 යේසුස් ලාසරුස්ට ආයෙත් ජීවිතය දෙනවා හුඟදෙනෙක් දැක්කා. යේසුස් කරපු ඒ ආශ්චර්යය ගැන ඔහුගේ සතුරනුත් දැනගෙන හිටියා. ලාසරුස් ඇත්තටම ආයෙත් ජීවත් වුණා. ඒකෙන් පැහැදිලියි ඒ නැවත නැඟිටීම ඇත්තටම සිද්ධ වුණු දෙයක් කියලා. (යොහන් 11:47) ඒ වගේම හුඟක් අය ලාසරුස්ව බලන්නත් ගියා. ඒ අය පිළිගත්තා යේසුස්ව එවලා තියෙන්නේ දෙවියන් කියලා. ඒත් යේසුස්ගේ සතුරන් ඒකට කැමති වුණේ නැහැ. එයාලා යේසුස්වයි ලාසරුස්වයි මරන්න සැලසුම් කළා.—යොහන් 11:53; 12:9-11.

13. යෙහෝවා දෙවියන් මැරුණු අයව නැවත නැඟිටුවනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන් ඇයි?

13 ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාවම’ නැවත නැඟිටුවනවා කියලා යේසුස් කිව්වා. (යොහන් 5:28) ඔහු ඒකෙන් අදහස් කළේ මැරුණු අයට යෙහෝවා දෙවියන් ආයෙත් ජීවිතය දෙනවා කියන එකයි. ඒත් මැරුණු කෙනෙක්ට ආයෙත් ජීවිතය දෙන්න නම් එයාගේ හැම පුංචි දෙයක්ම යෙහෝවා දෙවියන් මතක තියාගන්න ඕනේ. ඔහුට ඒක කරන්න පුළුවන්ද? විශ්වයේ තාරකා බිලියන ගාණක් තියෙනවා කියලා ඔයා දන්නවා ඇති. බයිබලයේ කියන්නේ ඒ එක් එක් තාරකාවල නම් යෙහෝවා දෙවියන් දන්නවා කියලයි. (යෙසායා 40:26 කියවන්න.) හැම තරුවකම නම දෙවියන්ට මතකයි නම් නැවත නැඟිටුවන්න ආසාවෙන් ඉන්න අයගේ හැම විස්තරයක්ම ඔහුට මතක තියාගන්නත් පුළුවන් නේද? හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන්. එහෙනම් මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන්නත් ඔහුට බලය තියෙනවා කියලා අපිට ස්ථිරයි.

14, 15. නැවත නැඟිටීම ගැන යෝබ් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ මොකක්ද?

14 යෝබ් කියන්නේ නැවත නැඟිටීම ගැන විශ්වාස කරපු කෙනෙක්. “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද” කියලා අහලා ඊළඟට එයා මෙහෙම කිව්වා. “ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.” මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා කියලා යෝබ් දැනගෙන හිටියා.—යෝබ් 14:13-15.

15 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ඔයාට මොනවාද හිතෙන්නේ? ‘මැරුණු මගේ පවුලේ අයටත් යාළුවන්ටත් දෙවියන් ආයෙත් ජීවිතය දෙයිද’ කියලා ඔයා කල්පනා කරනවාද? මැරුණු අයව නැවත නැඟිටුවන්න යෙහෝවා දෙවියන් ආසාවෙන් ඉන්නවා කියලා දැනගන්න ලැබුණු එක අපිට ලොකු සහනයක්. දෙවියන් නැවත නැඟිටුවන්නේ කාවද කියලත් ඒ අය ජීවත් වෙන්න යන්නේ කොහේද කියලත් අපි බලමු.

“ඔහුගේ හඬ ඇසෙන කාලය”

16. පොළොවේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?

16 අතීතයේදී දෙවියන් මැරුණු කෙනෙක්ව නැඟිටෙව්වාම පවුලේ අය එක්ක යාළුවෝ එක්ක පොළොවෙම ජීවත් වෙන්න එයාට අවස්ථාව ලැබුණා. අනාගතයේදී වෙන්නෙත් ඒකමයි. ඒත් ඒ කාලේදී නැවත නැඟිටුවන අයට ලැබෙන්නේ ඊට වඩා හොඳ ජීවිතයක්. මොකද ඒ අයට ආයෙත් මැරෙන්නේ නැතුව සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලෙදී යුද්ධ, අපරාධ, අසනීප තියෙන්නෙත් නැහැ.

17. නැවත නැඟිටුවන්නේ කාවද?

17 දෙවියන් ආයෙත් ජීවිතය දෙන්නේ කාටද? යේසුස් කිව්වේ “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා” කියලයි. (යොහන් 5:28, 29) එළිදරව් 20:13 මෙහෙම කියනවා. “මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය.” ඒකෙන් පැහැදිලි වෙන්නේ මැරුණු බිලියන ගාණක් මිනිසුන්ට ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලයි. බයිබලයේ ඒ ගැන තවදුරටත් කියන්නේ “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත්” නැවත නැඟිටිනවා කියලයි. (ක්‍රියා 24:15 කියවන්න.) ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?

පාරාදීසයේදී නැවත නැඟිටුවන අය එයාලා ආදරේ කරන අය එක්ක සතුටින් ජීවත් වෙනවා

18. නැවත නැඟිටුවන “ධර්මිෂ්ඨ අය” කවුද?

18 යේසුස් පොළොවට එන්න කලින් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අයවත් “ධර්මිෂ්ඨ අය” විදිහට සැලකෙනවා. නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, එස්තර් වගේ අයට ආයෙත් මේ පොළොවෙම ජීවත් වෙන්න දෙවියන් අවස්ථාව දෙනවා. ඒ අයගෙන් කීපදෙනෙක් ගැන හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්. ඒ අයව විතරක් නෙවෙයි අපේ කාලෙදීත් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා මැරුණු අයව දෙවියන් සලකන්නේ “ධර්මිෂ්ඨ” අය විදිහට. එයාලවත් නැවත නැඟිටුවනවා.

19. “අධර්මිෂ්ඨ අය” කවුද? යෙහෝවා දෙවියන් ඒ අයට දෙන්නේ මොන වගේ අවස්ථාවක්ද?

19 යෙහෝවා දෙවියන් ගැන දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව මැරුණු බිලියන ගාණක් ඉන්නවා. ඒ අයටයි “අධර්මිෂ්ඨ අය” කියන්නේ. එයාලවත් දෙවියන්ට අමතක වෙලා නැහැ. නැවත නැඟිටෙව්වාට පස්සේ දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරන්න එයාලට අවස්ථාව ලැබෙනවා.

20. නැවත නැඟිටුවන්නේ නැත්තේ කාවද?

20 මැරුණු හැම කෙනෙක්ටම ආයෙත් ජීවිතය ලැබෙනවාද? නැහැ. යේසුස් කිව්වා සමහර අයට ආයෙත් ජීවිතය ලැබෙන්නේ නැහැ කියලා. (ලූක් 12:5) කෙනෙක්ව නැවත නැඟිටුවනවාද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? “ජීවත් වන අයගේ හා මිය ගිය අයගේ විනිශ්චයකරු” විදිහට යෙහෝවා දෙවියන් යේසුස්ව පත් කරලා තියෙනවා. (ක්‍රියා 10:42) හැබැයි අවසන් තීරණය ගන්නේ යෙහෝවා දෙවියන්. කෙනෙක් තමන් කරන වැරදි ගැන පසුතැවෙන්නේ නැත්නම් එයා නැවත නැඟිටුවන්න සුදුසු නැති කෙනෙක් විදිහට විනිශ්චය ලබනවා.—18වෙනි අමතර සටහන බලන්න.

ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන අය

21, 22. (අ) ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන අයට ලැබෙන්නේ මොන වගේ ශරීරයක්ද? (ආ) ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවපු පළවෙනි කෙනා කවුද?

21 ස්වර්ගයේ ජීවත් වෙන්න පිරිසක්ව නැවත නැඟිටුවනවා කියලා බයිබලයේ කියනවා. ඒ අයව නැවත නැඟිටුවන්නේ මිනිසුන්ට තියෙනවා වගේ ශරීරයක් ඇතුව නෙවෙයි. ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ ශරීරයක් ඇතුවයි.

22 ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවපු පළවෙනි කෙනා යේසුස්. (යොහන් 3:13) යේසුස් මැරිලා දවස් තුනකින් යෙහෝවා දෙවියන් ඔහුට ආයෙත් ජීවිතය දුන්නා. (ගීතාවලිය 16:10; ක්‍රියා 13:34, 35) ඒත් ඒ මිනිසෙක් විදිහට නෙවෙයි. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය. නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙසය.” (1 පේතෘස් 3:18) යෙහෝවා දෙවියන් යේසුස්ව නැවත නැඟිටෙව්වේ බලවත් පුද්ගලයෙක් විදිහට. (1 කොරින්ති 15:3-6) ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවපු එකම කෙනා යේසුස් විතරක් නෙවෙයි.

23, 24. කුඩා රැළ කවුද? ඒ අයට කීදෙනෙක් ඇතුළත් වෙනවාද?

23 මැරෙන්න කලින් යේසුස් ගෝලයන්ට කිව්වා ‘මම ඔබ සඳහා ස්ථානයක් සූදානම් කරන්න යනවා’ කියලා. (යොහන් 14:2) ඒකෙන් අදහස් කළේ ඔහුගේ ගෝලයන්ගෙන් සමහරුන්ට ඔහුත් එක්කම ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලයි. ඒ අවස්ථාව ලැබෙන්නේ කීදෙනෙක්ටද? යේසුස් ඒ අයව හැඳින්නුවේ “කුඩා රැළ” කියලා. (ලූක් 12:32) ඒ අයට ඇතුළත් වෙන්නේ කුඩා පිරිසක් කියලා ඒකෙන් පැහැදිලියි. ඒ අයගේ ගණන “එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක්” කියලා බයිබලයේ කියනවා.—එළිදරව් 14:1.

24 ඒ අයට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කවදාද? ඒක වෙන්නේ යේසුස් ස්වර්ගයේ පාලනය පටන්ගත්තාට පස්සෙයි කියලා බයිබලයේ කියනවා. (1 කොරින්ති 15:23) අපි ජීවත් වෙන්නේ ඒ කාලයේ. දැනටමත් 1,44,000දෙනාගෙන් වැඩිදෙනෙක්ව ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවලා ඉවරයි. ඉතුරු වෙලා ඉන්නේ ටිකදෙනයි. ඒ අය මැරෙන මොහොතේම දෙවියන් එයාලව ස්වර්ගයට ගන්නවා. ඒත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක්ව නැවත නැඟිටුවන්නේ පාරාදීස පොළොවේ ජීවත් වෙන්නයි.

25. ඊළඟ පරිච්ඡේදයෙන් ඉගෙනගන්නේ මොනවාද?

25 වැඩි දවසක් යන්න කලින් යෙහෝවා දෙවියන් හැම කෙනෙක්වම මරණයෙන් නිදහස් කරනවා. ආයේ කවදාවත් මිනිසුන් මැරෙන්නේ නැහැ. (යෙසායා 25:8 කියවන්න.) ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන අය එහෙදී කරන්නේ මොනවාද? ඒ අය ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ආණ්ඩුවේ යේසුස් එක්ක රජකම් කරනවා කියලා බයිබලයේ කියනවා. ඒ ආණ්ඩුව මොන වගේ එකක්ද කියලා අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

^ 9 ඡේ. විවිධ වයස්වල හිටිය තවත් ඊශ්‍රායෙල්වරුන්වත් ඊශ්‍රායෙල් නොවන අයවත් නැවත නැඟිටෙව්වා කියලා බයිබලයේ වාර්තා වෙලා තියෙනවා. මේ බයිබල් පදවලින් ඒ ගැන දැනගන්න පුළුවන්. 1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:32-37; 13:20, 21; මතෙව් 28:5-7; ලූක් 7:11-17; 8:40-56; ක්‍රියා 9:36-42; 20:7-12.