Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්

සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්

1, 2. යෙහෝවා දෙවියන් කැමති පවුලේ අය කොහොම ඉන්නවාටද?

මුල්ම මිනිස් යුවළව පවුලක් විදිහට එකතු කළේ යෙහෝවා දෙවියන්. ඔහු පළවෙනි ස්ත්‍රියව නිර්මාණය කරලා එයාව ආදම් ළඟට ගෙනාවාම ආදම් සතුටින් කිව්වා “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය” කියලා. (උත්පත්ති 2:22, 23) ඒකෙන් පේන්නේ විවාහ වුණු අය සතුටින් ඉන්නවාට යෙහෝවා දෙවියන් කැමතියි කියන එකයි.

2 අද ඉන්න හුඟක් අය ආසයි සතුටින් පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්න. ඒත් ඒ අය අතර හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. සතුටින් පවුල් ජීවිතය ගත කරන්න නම් පවුලේ එක් එක් සාමාජිකයා කරන්න ඕනෙ දේ ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැන් බලමු.—ලූක් 11:28.

හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කොහොමද?

3, 4. (අ) සැමියෙක් බිරිඳට සලකන්න ඕනෙ කොහොමද? (ආ) දෙන්නාට දෙන්නා සමාව දෙන එක වැදගත් ඇයි?

3 බයිබලයේ කියන්නේ සැමියෙක් බිරිඳට හැම වෙලේම ආදරෙන් ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලයි. (එෆීස 5:25-29 කියවන්න.) සැමියා බිරිඳව ආරක්ෂා කරන්න ඕනෙ වගේම එයාට ඕනෙ කරන දේවල් දීලා එයාව බලාගන්නත් ඕනේ. එයාට හිරිහැරයක් වෙන කිසිම දෙයක් කරන්නත් හොඳ නැහැ.

4 ඒත් බිරිඳක් අතින් අඩුපාඩු වෙනවා නම් සැමියා මොනවාද කරන්න ඕනේ? බයිබලයේ කියන්නේ “ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න” කියලයි. (කොලොස්සි 3:19) තමන් අතිනුත් අඩුපාඩු වෙනවා කියලා සැමියෙක් මතක තියාගන්න ඕනේ. ඒවාට දෙවියන්ගෙන් සමාව ගන්න නම් සැමියා බිරිඳට සමාව දෙන්නම ඕනේ. (මතෙව් 6:12, 14, 15) දෙන්නාට දෙන්නා කැමැත්තෙන්ම සමාව දෙනවා නම් පවුල් ජීවිතය සතුටින් පිරුණු එකක් වෙනවා.

5. සැමියෙක් බිරිඳට ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි?

5 සැමියෙක් බිරිඳට ගෞරවයෙන් සලකයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. බිරිඳගේ අවශ්‍යතාවයන් ගැන සැමියා හොයලා බලන්න ඕනේ. එහෙම කළේ නැත්නම් යෙහෝවා දෙවියන් සැමියා කරන යාච්ඤාවලට ඇහුම්කන් නොදී ඉන්න ඉඩ තියෙනවා. (1 පේතෘස් 3:7) ගැහැනු කෙනෙකුට වඩා පිරිමි කෙනෙකුට දෙවියන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔහුට ආදරේ කරන ඕනෙම කෙනෙකුව ඔහුට වටිනවා.

6. සැමියායි බිරිඳයි “එක් කෙනෙක්” වගේ වැඩ කරන්නේ කොහොමද?

6 යේසුස් කිව්වේ දෙන්නෙක් විවාහ වුණාම ඒ දෙන්නා “එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා” කියලයි. (මතෙව් 19:6) ඒ නිසා එයාලා විවාහයෙන් පිට සම්බන්ධයක් ඇති කරගෙන එකිනෙකාට ද්‍රෝහි වෙන්නේ නැහැ. (හිතෝපදේශ 5:15-21; හෙබ්‍රෙව් 13:4) ලිංගික අවශ්‍යතාවලදී තමන්ගේ සතුට ගැන වගේම අනිත් කෙනාගේ සතුට ගැනත් හිතනවා. (1 කොරින්ති 7:3-5) ඒ වගේම සැමියෙක් හැම වෙලේම බිරිඳට ආදරෙන් සලකනවා. මොකද බයිබලයේ කියන්නේ “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි” කියලයි. වෙන කිසිම දේකට වඩා බිරිඳක් කැමති සැමියා එයාට ආදරෙන් සලකනවාටයි.—එෆීස 5:29.

හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කොහොමද?

7. පවුලකට මූලිකයෙක් ඕනෙ ඇයි?

7 හැම පවුලකම මූලිකයෙක් ඉද්දී තමයි පවුලේ දේවල් පිළිවෙළකට වෙන්නේ. ‘සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් කියලත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා කියලත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි කියලත්’ 1 කොරින්ති 11:3 කියන්නේ ඒ නිසයි.

8. සැමියාට ගැඹුරු ගෞරවයක් දක්වන්න බිරිඳට පුළුවන් කොහොමද?

8 බයිබලයේ භාර්යාවන්ට කියන්නේ ‘තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දක්වන්න’ කියලයි. (එෆීස 5:33) ඕනෙම සැමියෙක් අතින් අඩුපාඩු වෙනවා. ඒත් සැමියා ගන්න තීරණවලට බිරිඳ සහයෝගය දෙනවා නම් මුළු පවුලටම ප්‍රයෝජන ලැබෙනවා. (1 පේතෘස් 3:1-6) සැමියා දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් නොවුණත් බිරිඳ සැමියාට ගෞරවයෙන් සලකන්න ඕනේ. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.” (1 පේතෘස් 3:1, 2) බිරිඳගේ ආදර්ශය දැක්කාම සැමියාත් දෙවියන්ට නමස්කාර කරන එකේ වටිනාකම තේරුම්ගන්න ඉඩ තියෙනවා.

9. (අ) සැමියා ගත්ත තීරණයකට එකඟ වෙන්න බැරි නම් බිරිඳ මොනවාද කරන්න ඕනේ? (ආ) තීතස් 2:4, 5 බිරිඳට දීලා තියෙන උපදෙස මොකක්ද?

9 සැමියා ගත්ත තීරණයකට එකඟ වෙන්න බැරි නම් බිරිඳ මොනවාද කරන්නේ? තමන්ට හැඟෙන විදිහ කාරුණිකව සැමියාට කියන්න ඕනේ. ඒක වැරදි නැහැ කියලා දෙවියන් ආබ්‍රහම්ට කියපු දේකින් පැහැදිලියි. පවුලේ ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක ඒක විසඳන්න සාරා යෝජනාවක් දුන්නත් ආබ්‍රහම් ඒකට කැමති වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කිව්වා “ඇයට සවන් දෙන්න” කියලා. (උත්පත්ති 21:9-12) සැමියා ගන්න තීරණ බයිබලයේ මඟ පෙන්වීම්වලට විරුද්ධ නැත්නම් බිරිඳ ඒවාට කැමැත්තෙන්ම සහයෝගය දෙන්න ඕනේ. (ක්‍රියා 5:29; එෆීස 5:24) ඒ වගේම බිරිඳක් පවුලේ අයව ආදරෙන් රැකබලා ගන්නත් ඕනේ. (තීතස් 2:4, 5 කියවන්න.) එයා පවුල වෙනුවෙන් මහන්සි වෙන විදිහ දැක්කාම දරුවොත් සැමියාත් එයාට තවත් ආදරෙන් සලකයි.—හිතෝපදේශ 31:10, 28.

සාරාව ආදර්ශයට ගන්න බිරිඳකට පුළුවන් කොහොමද?

10. වෙන් වීම සහ දික්කසාදය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

10 සමහරු ඉක්මන් වෙලා වෙන් වෙන්න හරි දික්කසාද වෙන්න හරි තීරණය කරනවා. ඒත් බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි. ස්වාමිපුරුෂයෙක්ද ඔහුගේ භාර්යාවව අත් නොහැරිය යුතුයි.’ (1 කොරින්ති 7:10, 11) ටික කාලයක් වෙන් වෙලා ඉන්න යුවළක් තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒකට අවසර තියෙන්නේ විශේෂ හේතුවක් තියෙනවා නම් විතරයි. ඒක බැරෑරුම් තීරණයක්. දික්කසාදය ගැන බයිබලයේ කියන්නේ මොනවාද? කෙනෙක් ද්‍රෝහි වෙලා වෙන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් විතරයි නිර්දෝෂ කෙනාට අනිත් කෙනාව දික්කසාද කරන්න බයිබලයේ අවසර දීලා තියෙන්නේ.—මතෙව් 19:9.

හොඳ දෙමාපියන් වෙන්නේ කොහොමද?

පවුලේ හැමෝටම යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන්

11. වෙන මොන දේටත් වඩා දරුවන්ට අවශ්‍ය මොනවාද?

11 දෙමාපියෙනි, ඔයාලගේ දරුවන් එක්ක පුළුවන් තරම් කාලේ ගත කරන්න. එයාලට ඔයාලව ඕනේ. වෙන මොන දේටත් වඩා ඔයාලා කරන්න ඕනෙ වැදගත්ම දේ තමයි යෙහෝවා දෙවියන් ගැන එයාලට කියලා දෙන එක.—ද්විතීය කතාව 6:4-9.

12. දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන් කරන්න ඕනෙ මොනවාද?

12 මේ සමාජය දවසින් දවස නරක අතට හැරෙනවා. ඔයාගේ දරුවාට අනතුරක් කරන්න බලාගෙන ඉන්න ළමා අපචාරකයන් හැම තැනම. සමහර දෙමාපියන් ලිංගික කාරණා ගැන දරුවන් එක්ක කතා කරන්න ලැජ්ජයි. ඒත් ලිංගික අතවර කරන අය ගැනත් එයාලා දරුවන්ව රවට්ටගන්නේ කොහොමද කියලත් දරුවන්ට කියලා දෙන්න ඕනේ. දෙමාපියෙනි, දරුවන්ව ආරක්ෂා කරන වගකීම තියෙන්නේ ඔයාලටයි. *1 පේතෘස් 5:8.

13. දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

13 හොඳින් හැසිරෙන්න දරුවන්ට කියලා දෙන එකත් දෙමාපියන්ගේ වගකීමක්. දරුවන්ව හොඳින් පුහුණු කරන එක ඒකට ඇතුළත්. එයාලා වරදක් කළාම ඒක පෙන්වලා දෙන්න වෙයි. ඒත් කේන්තියෙන් ගහලා බැනලා ඒක කරන්න එපා. (යෙරෙමියා 30:11) එහෙම කළොත් දරුවාගේ හිත රිදෙන “කඩුවෙන් අනින්නාක් මෙන් වචන” පිට වෙන්න පුළුවන්. (හිතෝපදේශ 12:18) හික්මවීමක් දෙද්දී එහෙම කරන්නේ ඇයි කියලා දරුවාට තේරුම් කරලා දෙන්න.—එෆීස 6:4; හෙබ්‍රෙව් 12:9-11; 29වෙනි අමතර සටහන බලන්න.

දෙවියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

14, 15. දරුවන් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?

14 අමාරුම අවස්ථාවලදී වුණත් යේසුස් තාත්තාට කීකරු වුණා. (ලූක් 22:42; යොහන් 8:28, 29) දුවේ, පුතේ ඔයාලත් දෙමාපියන්ට කීකරු වෙයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—එෆීස 6:1-3.

15 කීකරු වෙන්න අමාරුයි කියලා හිතෙන වෙලාවලදීත් ඔයා කීකරු වෙනවා නම් දෙමාපියන් වගේම යෙහෝවා දෙවියනුත් හුඟක් සතුටු වෙයි. *හිතෝපදේශ 1:8; 6:20; 23:22-25.

නරක දේවල් කරන්න පෙලඹීම් එද්දී දෙවියන්ට කීකරුව ඉන්න දරුවන්ට උදව් වෙන්නේ මොනවාද?

16. (අ) නරක දේවල් කරන්න සාතන් දරුවන්ව පොලඹවන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව යාළුවන් කරගන්න ඕනෙ ඇයි?

16 නරක දෙයක් කරන්න යාළුවන් ඔයාට බල කරද්දී ඒක නොකර ඉන්න අමාරුයි කියලා සාතන් දන්නවා. ඒ නිසා සාතන් යාළුවන්ව පාවිච්චි කරලා නරක දෙයක් කරන්න ඔයාව පොලඹවගන්න හදයි. යාකොබ්ගේ දුව දීනා යෙහෝවා දෙවියන්ට ආදරේ කරපු නැති අයවත් යාළුවෝ කරගෙන හිටියා. ඒ නිසා එයාටත් පවුලේ අයටත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. (උත්පත්ති 34:1, 2) දෙවියන්ට ආදරේ නැති යාළුවෝ ඔයාටත් ඉන්නවා නම් දෙවියන් අකමැති දෙයක් කරන්න එයාලා ඔයාට බල කරයි. ඒකට අහු වුණොත් ඔයාටත් පවුලේ අයටත් දෙවියන්ටත් ලොකු දුකක් දැනෙයි. (හිතෝපදේශ 17:21, 25) යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව විතරක් යාළුවන් කරගන්න එක කොච්චර වැදගත්ද!—1 කොරින්ති 15:33.

සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්

17. පවුලේ එක් එක් සාමාජිකයන්ට තියෙන්නේ මොන වගකීම්ද?

17 පවුලේ හැමෝම දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපදිනවා නම් ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඔයා සැමියෙක් නම් බිරිඳට ආදරෙන් සලකන්න. ඔයා බිරිඳක් නම් සැමියාට ගෞරව කරන්න, එයාට යටත් වෙන්න. ඒ වගේම හිතෝපදේශ 31:10-31 විස්තර කරලා තියෙන බිරිඳ වගේ වෙන්න උත්සාහ කරන්න. ඔයා දෙමාපියෙක් නම් යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න. (හිතෝපදේශ 22:6) ඔයා තාත්තා කෙනෙක් නම් දෙවියන් කියන විදිහට පවුලේ අයව පුහුණු කරන්න. (1 තිමෝති 3:4, 5; 5:8) දරුවෙනි, දෙමාපියන්ට කීකරු වෙන්න. (කොලොස්සි 3:20) පවුලේ ඕනෙම කෙනෙක් අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ නිසා නිහතමානීව අනිත් අයගෙන් සමාව ගන්න. යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ජීවිතේට එකතු කරගත්තොත් පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන්.

^ 12 ඡේ. දරුවන්ව ආරක්ෂා කරන විදිහ ගැන තවත් විස්තර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොතේ 32වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න.

^ 15 ඡේ. දෙවියන්ගේ නීතියක් කඩ වෙන දෙයක් කරන්න කියලා දෙමාපියන් කිව්වොත් දරුවන් ඒකට කීකරු වෙන්න අවශ්‍ය නැහැ.—ක්‍රියා 5:29.