Skip to content

පටුනට යන්න

16වෙනි පරිච්ඡේදය

මුළු හිතින්ම සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න

මුළු හිතින්ම සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න

1, 2. ඔයා හිතන්න ඕනෙ මොන දේ ගැනද, ඒ ගැන හිතන්න ඕන ඇයි?

හුඟක් ආගම්වල ඉන්න අය කරන්නෙත් විශ්වාස කරන්නෙත් දෙවියන් අකමැති දේවල් කියලා බයිබලය ඉගෙනගද්දී ඔයා දැනගත්තා. (2 කොරින්ති 6:17) අසත්‍යය උගන්වන ආගම්වලින් ඉවත් වෙන්න කියලා යෙහෝවා දෙවියන් අපිට කියන්නේ ඒ නිසයි. (එළිදරව් 18:2, 4) එහෙම කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ ඔයායි. ඒ නිසා ඔයාට ඕනෙ දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරන්නද, නැත්නම් ඔයා පුරුදු වෙලා ඉන්න විදිහටම නමස්කාර කරන්නද කියලා හිතන්න.

2 ඔයා දැනටමත් අසත්‍යය උගන්වන ආගමකින් අයින් වෙලා නම් දෙවියන් සතුටු වෙයි. ඒත් හිතින් ඔයා තාමත් ඒ ආගමේ චාරිත්‍රවලට, උත්සවවලට කැමැත්තක් දක්වනවා ඇති. ඒවාවලින් කිහිපයක් ගැනත් ඒවා ගැන යෙහෝවා දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න එක වැදගත් ඇයි කියලත් දැන් බලමු.

රූප නමස්කාරය සහ මැරුණු අය වෙනුවෙන් දේවල් කරන එක

3. (අ) සමහර අයට රූප නමස්කාර කරන එක නවත්වන්න අමාරු ඇයි? (ආ) රූප නමස්කාරය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

3 සමහර අය අවුරුදු ගාණක් තිස්සේ ගෙවල්වල රූප තියාගෙන නමස්කාර කරනවා. ඔයාත් එහෙම කෙනෙක්ද? එහෙනම් රූපයක් නැතුව දෙවියන්ට නමස්කාර කරන්න අමාරුයි, එහෙම කරන එක වැරදියි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ කොහොමද කියලා දෙවියන් පැහැදිලිවම අපිට කියලා තියෙනවා. බයිබලයේ කියන්නේ අපි රූපවලට නමස්කාර කරන එකට යෙහෝවා දෙවියන් කොහොමටවත් කැමති නැහැ කියලයි.—නික්මයාම 20:4, 5 කියවන්න; ගීතාවලිය 115:4-8; යෙසායා 42:8; 1 යොහන් 5:21.

4. (අ) මැරුණු අය වෙනුවෙන් දේවල් කරන එක තේරුමක් නැත්තේ ඇයි? (ආ) මැරුණු අයත් එක්ක කතා කරන්න එපා කියලා දෙවියන් කිව්වේ ඇයි?

4 හුඟක් අය මැරුණු අය වෙනුවෙන් දේවල් කරනවා. ලොකු මුදලක් යට කරලා දාන දෙනවා, පුදපූජා ඔප්පු කරනවා. ඒත් අපිට උදව් කරන්න, හානියක් කරන්න මැරුණු අයට බැහැ කියලා අපි ඉගෙනගත්තා. මොකද එයාලා කොහේවත් ජීවත් වෙන්නේ නැහැ. එයාලා එක්ක කතා කරන්න හදනවා නම් අපි කතා කරන්නේ භූතයන් එක්ක. මැරුණු අය එක්ක කතා කරන්නවත් භූතයන්ට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්නවත් එපා කියලා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඒ නිසයි.—ද්විතීය කතාව 18:10-12; 25, 30 අමතර සටහන් බලන්න.

5. රූප නමස්කාරයත් මැරුණු අය වෙනුවෙන් දේවල් කරන එකත් නවත්වන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

5 ඔයා තාමත් රූපවලට නමස්කාර කරනවා නම්, මැරුණු අය වෙනුවෙන් දේවල් කරනවා නම් ඒක නවත්වන්න පුළුවන් කොහොමද? බයිබලය කියවලා ඒ දේවල් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න. ඔහු ඒ දේවල් ‘පිළිකුල්’ කරනවා. (ද්විතීය කතාව 27:15) දෙවියන් හිතන විදිහ තේරුම් අරන් ඔහු පිළිගන්න විදිහට නමස්කාර කරන්න උදව් ඉල්ලලා හැමදාම යාච්ඤා කරන්න. (යෙසායා 55:9) අසත්‍යය ඉගැන්වීම්වලට සම්බන්ධ හැම දෙයක්ම ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න යෙහෝවා දෙවියන් ඔයාට ශක්තිය දෙයි.

නත්තල පවත්වන එකේ වරදක් නැද්ද?

6. දෙසැම්බර් 25වෙනිදා යේසුස්ගේ උපත සමරන්නේ ඇයි?

6 නත්තල ජනප්‍රිය උත්සවයක්. හුඟක් අය ඒක සමරන්නේ යේසුස්ගේ උපත සිහි කරන්න. ඒත් නත්තල අසත්‍යය උගන්වන ආගම්වලින් පටන්ගත්ත උත්සවයක් කියලා ඔයා දන්නවාද? රෝමයේ, හිරුට නමස්කාර කරපු අය දෙසැම්බර් 25 සැලකුවේ හිරුගේ උපත සිදු වුණු දවස විදිහටයි කියලා විශ්වකෝෂයක තියෙනවා. පල්ලිවල පූජකයන්ට ඕන වුණා එයාලවත් ක්‍රිස්තියානීන් කරගන්න. ඒ නිසා යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25 නෙවෙයි කියලා එයාලා දැනන් හිටියත් ඒක යේසුස්ගේ උපත සමරන දවස විදිහට නම් කළා. (ලූක් 2:8-12) යේසුස්ගේ ගෝලයන් නත්තල පැවැත්තුවේ නැහැ. යේසුස් ඉපදිලා අවුරුදු 200කට පස්සෙත් “යේසුස් ඉපදුණු දවස ගැනවත් හුඟක් අය දැනන් හිටියේ නැහැ. ඒක දැනගන්න එයාලට උවමනාවක් තිබුණෙත් නැහැ” කියලා එක පොතක කියනවා. (Sacred Origins of Profound Things) නත්තල සමරන්න පටන්ගත්තේ යේසුස් ඉපදිලා අවුරුදු 300කට විතර පස්සේ.

7. සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය නත්තල සමරන්නේ නැත්තේ ඇයි?

7 නත්තල් දවසේ උත්සව පවත්වන එක, තෑගි දෙන එක වගේ චාරිත්‍ර හැදිලා තියෙන්නේ මිථ්‍යා විශ්වාසයන් නිසයි කියලා හුඟක් අය දන්නවා. එක කාලෙක එංගලන්තෙත් ඇමරිකාවේ සමහර පළාත්වලත් නත්තල සමරන එක තහනම් කළා, ඒක සමරපු අයට දඬුවම් දුන්නා. ඒත් පස්සේ කාලෙක හැමෝම වගේ ආයෙත් නත්තල සමරන්න පටන්ගත්තා. ඒත් සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය නත්තල සමරන්නේ නැහැ. මොකද දෙවියන් අකමැති දේවල් කරන්න එයාලා කැමති නැහැ.

උපන් දිනය සමරන එකේ වරදක් නැද්ද?

8, 9. මුල් ක්‍රිස්තියානීන් උපන් දිනය සැමරුවේ නැත්තේ ඇයි?

8 හුඟක් අය උපන් දිනය සමරනවා. අපිත් ඒක සැමරුවාට කමක් නැද්ද? බයිබලයේ සඳහන් වෙන්නේ උපන් දින සැමරීම් දෙකක් ගැන විතරයි. ඒ අවස්ථා දෙකම සමරලා තියෙන්නේ දෙවියන්ට නමස්කාර කළේ නැති අය. (උත්පත්ති 40:20; මාක් 6:21) මුල් කාලේ උපන් දින සමරලා තියෙන්නේ බොරු දෙවිවරුන්ට ගෞරවය කරන්න. ඒකයි මුල් ක්‍රිස්තියානීන් “උපන් දිනය සැමරීම අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ දෙයක් විදිහට සැලකුවේ.”—The World Book Encyclopedia.

9 අතීතයේදී රෝමවරුන් වගේම ග්‍රීකවරුන් විශ්වාස කළා කෙනෙක් ඉපදුණු දවසේ ඉඳන් ජීවිත කාලය පුරාවටම දෙවි කෙනෙකුගේ ආරක්ෂාව ලබාගන්න පුළුවන් කියලා. ‘ඒ දෙවියන්ගේ උපන් දිනය වැටිලා තියෙන්නෙත් දරුවා ඉපදුණ දවසේම නිසා ආරක්ෂාව ලබන්න නම් උපන් දිනය සමරන්නම ඕනෙ කියලයි එයාලා හිතුවේ’ කියලා එක පොතක සඳහන් වෙනවා.—The Lore of Birthdays.

10. ක්‍රිස්තියානීන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?

10 අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ සැමරීම්වලට යෙහෝවා දෙවියන් කැමතියි කියලා ඔයා හිතනවාද? (යෙසායා 65:11, 12) කොහොමටවත් නැහැ. ඒ නිසයි උපන් දින ඇතුළු අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ කිසිම උත්සවයක් අපි සමරන්නේ නැත්තේ.

මූලාරම්භය ගැන හිතන්න ඕනද?

11. සමහරු උත්සව සමරන්නේ ඇයි? ඔයාට වැඩියෙන්ම වටින්නේ මොකක්ද?

11 නත්තල වගේම වෙනත් ආගමික උත්සවත් පටන් අරන් තියෙන්නේ මිථ්‍යා ආගම්වලින් කියලා දැනගෙන හිටියත් සමහරු ඒ උත්සව සමරනවා. ඒවා පවුලේ අයට, නෑදෑයන්ට එකට එකතු වෙන්න හොඳ අවස්ථාවන් කියලයි එයාලා හිතන්නේ. ඔයා හිතන්නෙත් එහෙමද? පවුලේ අය එක්ක කාලය ගත කරන එක වැරදි නැහැ. යෙහෝවා දෙවියන්ටත් ඕනෙ ඔයා පවුලේ අයත් එක්ක හොඳ බැඳීමක් තියාගන්නවාටයි. (එෆීස 3:14, 15) ඒත් දෙවියන් අකමැති උත්සව සමරලා නෑදෑයන්ව සතුටු කරනවාට වඩා වැදගත් වෙන්නේ යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියාගන්න එකයි. “ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—එෆීස 5:10.

12. යෙහෝවා දෙවියන් කැමති නැත්තේ මොන වගේ උත්සවවලටද?

12 උත්සවයක මූලාරම්භය ගැන හිතන්න ඕනෙ නැහැ කියලයි හුඟක් අය කියන්නේ. ඒත් අසත්‍යය උගන්වන ආගම්වලින් පටන්ගත්ත උත්සවවලට යෙහෝවා දෙවියන් කැමති නැහැ. පුද්ගලයෙක්ව හරි, රටක් හරි උසස් කරලා සලකන උත්සවවලටත් ඔහු කැමති නැහැ. උදාහරණයක් බලන්න. අතීතයේදී ඊජිප්තු ජාතිකයන් බොරු දෙවිවරුන්ව සම්බන්ධ කරගෙන උත්සව පැවැත්තුවා. ඊජිප්තුවෙන් බේරිලා ආවාට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ටත් ඕන වුණා ඊජිප්තුවරුන්ගේ උත්සවයක් පවත්වන්න. එයාලා කිව්වේ ඒක ‘යෙහෝවා දෙවි වෙනුවෙන් පවත්වන උත්සවයක්’ කියලයි. ඒත් දෙවියන් එයාලට දඬුවම් කළා. (නික්මයාම 32:2-10) ඒ නිසා “කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න” අපි තීරණයක් ගමු.—යෙසායා 52:11 කියවන්න.

අනිත් අයට කාරුණිකව සලකන්න

13. යම් උත්සවවලට සහභාගි නොවී ඉන්න තීරණයක් ගද්දී ඔයාගේ හිතේ ඇති වෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද?

13 ආගමික උත්සව සමරන්නේ නැහැ කියලත් ඒවාට හවුල් වෙන්නේ නැහැ කියලත් තීරණය කළාට පස්සේ ඔයාට මෙහෙම හිතෙයි. නත්තල සමරන්න එන්න කියලා මාත් එක්ක වැඩ කරන අය කිව්වොත් මං මොනවාද කියන්නේ? කවුරු හරි නත්තලට තෑග්ගක් දුන්නොත්? ආගමික උත්සවවලට සහභාගි වෙයි කියලා මගේ සැමියා, බිරිඳ මගෙන් බලාපොරොත්තු වුණොත්? ආගමික උත්සව, උපන් දින සමරන්නේ නැතිව ඉද්දී මගේ දරුවන්ට අඩුවක් නොදැනෙන්න නම් මම මොනවාද කරන්න ඕනේ?

14, 15. උත්සව දවසකදී කවුරු හරි ඔයාට සුභ පැතුවොත්, තෑග්ගක් දුන්නොත් ඔයා මොකද කරන්නේ?

14 බයිබලයේ මෙහෙම කියනවා. “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.” (කොලොස්සි 4:6) ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද? උත්සව දවසකදී කවුරු හරි ඔයාට සුභ පැතුවොත් එයාව අපහසුතාවයට පත් වෙන විදිහට කිසිම දෙයක් කියන්නවත් කරන්නවත් එපා. ඔයාට පුළුවන් “ස්තූතියි” කියලා එයාට කියන්න. කවුරු හරි ඔයා ඒ උත්සවය සමරන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් එයාට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. ඒත් ඒක කරන්න ඕනෙ එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට. එයාලා එක්ක කාලය ගත කරන්න, තෑගි දෙන්න ඔයා ආස වුණත් ඒ දේවල් ආගමික උත්සවයන් පවත්වන අවස්ථාවලදී කරන්න ඔයා කැමති නැහැ කියලත් එයාලට කියන්න ඔයාට පුළුවන්.

15 කවුරු හරි ඔයාට තෑග්ගක් දුන්නොත්? ඒ ගැන බයිබලයේ නීතියක් දීලා නැහැ. ඒත් ඒක ගත්තාට පස්සේ ඔයාගේ හිත වද දෙයිද කියලා කලින්ම හිතලා බලන්න. (1 තිමෝති 1:18, 19) සමහරවිට ඔයා ඒ උත්සවය සමරන්නේ නැහැ කියලා තෑග්ග දෙන කෙනා දන්නේ නැතුව ඇති. නැත්නම් එයා මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘මං දන්නවා ඔයා මේ උත්සවය සමරන්නේ නැහැ කියලා. ඒත් මං ආසයි ඔයා මේ තෑග්ග ගන්නවා නම්.’ ඒ අවස්ථා දෙකේදීම තෑග්ග ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්. ඔයා මොන තීරණය ගත්තත් ඒ තීරණය ඔයායි යෙහෝවා දෙවියනුයි අතර තියෙන බැඳීමට හානි වෙන්නේ නැති විදිහේ තීරණයක් වෙන්න ඕනේ.

ඔයාගේ පවුලේ අය

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අය ඉන්නේ සතුටින්

16. ඔයාගේ පවුලේ අයට ආගමික උත්සවයක් සමරන්න ඕනෙ නම් ඔයා මොකද කරන්නේ?

16 ඔයාගේ පවුලේ අයට ආගමික උත්සවයක් සමරන්න ඕනෙ නම් ඔයා මොකද කරන්නේ? ඒ ගැන වාද කරන්න එපා. ඒ ගැන තීරණයක් ගන්න එයාලටත් අයිතියක් තියෙනවා. ඔයා ගන්න තීරණවලට එයාලා ගරු කරයි කියලා ඔයා බලාපොරොත්තු වෙනවා වගේ ඔයාත් එයාලගේ තීරණවලට ගරු කරන්න. (මතෙව් 7:12 කියවන්න.) ඒත් ඒ උත්සවයට ඔයාත් එන්න ඕනා කියලා එයාලා කිව්වොත් මොකද කරන්නේ? හරි තීරණයක් ගන්න උදව් ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. ඒ උත්සවය ගැන හොඳට තොරතුරු හොයලා බලන්න. ඊටපස්සේ යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න.

17. අනිත් අය උත්සව පවත්වද්දී ඔයාගේ දරුවන්ට දුකක් දැනෙන්නේ නැති වෙන්න නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

17 අනිත් අය උත්සව සමරද්දී ‘අපිට ඒවා නැහැනේ’ කියලා ඔයාගේ දරුවන්ට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ නැති වෙන්න නම් එයාලා වෙනුවෙන්ම පොඩි සාදයක් සැලසුම් කරන්න. එයාලා හිතන්නේ නැති වෙලාවක තෑගි දීලා එයාලව සතුටින් තියන්නත් පුළුවන්. ඔයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි ඔයාගේ කාලය, ආදරය එයාලට දෙන එක.

සැබෑ නමස්කාරයේ හවුල් වෙන්න

18. අපි රැස්වීම්වලට සහභාගි වෙන්න ඕන ඇයි?

18 යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් අපි අසත්‍යය උගන්වන ආගම් අත්හැරලා ඒවාට සම්බන්ධ චාරිත්‍ර, උත්සව පවත්වන එකත් නවත්වන්න ඕනේ. ඒ විතරක් මදි. සැබෑ දෙවියන්ට නමස්කාර කරනවා කියලා පැහැදිලිව පෙන්වන්නත් ඕනේ. ඒක කරන්න පුළුවන් විදිහක් තමයි නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන එක. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) රැස්වීම් අපේ නමස්කාරයේ වැදගත් අංගයක්. (ගීතාවලිය 22:22; 122:1) රැස්වීම්වලදී එකිනෙකාව දිරිගන්වන්නත් පුළුවන්.—රෝම 1:12.

19. බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අනිත් අයට කියන එක වැදගත් ඇයි?

19 සැබෑ දෙවියන්ට නමස්කාර කරනවා කියලා පෙන්වන්න පුළුවන් තව විදිහක් තමයි බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ගැන අනිත් අයට කියන එක. අද ලෝකේ වෙන දුෂ්ටකම් ගැන හුඟක් අය ඉන්නේ දුකින්. ඒ වගේ අය ගැන ඔයා දන්නවත් ඇති. ඔයාට තියෙන බලාපොරොත්තුව ගැන එයාලට කියන්න. රැස්වීම්වලට යද්දී, අනිත් අයට බයිබලයේ තියෙන දේවල් ගැන කියද්දී අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ චාරිත්‍ර, උත්සව පවත්වන්න ඔයාට තියෙන ආසාවත් නැති වෙලා යයි. යෙහෝවා දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න ඔයා උත්සාහ කරද්දී දෙවියන් ආශීර්වාද කරයි. එතකොට ඔයාට හැමදාමත් සතුටින් ඉන්න පුළුවන්.—මලාකි 3:10.