Skip to content

පටුනට යන්න

18වෙනි පරිච්ඡේදය

මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද?

මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද?

1. මේ පොත අධ්‍යයනය කළාට පස්සේ ඔයාට හිතෙන්න පුළුවන් මොනවාද?

සදාකාල ජීවිතය ගැන යෙහෝවා දෙවියන් දීපු පොරොන්දුව, මැරුණු අයගේ තත්වය, නැවත නැඟිටීම වගේ දේවල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද කියලා ඔයා මේ පොතෙන් ඉගෙනගත්තා. (දේශනාකාරයා 9:5; ලූක් 23:43; යොහන් 5:28, 29; එළිදරව් 21:3, 4) සමහරවිට ඔයා මේ වෙන කොට සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යනවා ඇති. දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්නේ ඒ අයයි කියලා තේරුම් අරන් ඇති. (යොහන් 13:35) ඒ වගේම ඔයා යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඔහුට සේවය කරන්න ඕනෙ කියලා තීරණය කරලත් ඇති. ඒ නිසා ‘දෙවියන්ට සේවය කරන්න මං මොනවාද කරන්න ඕනෙ’ කියලා ඔයාට හිතෙන්න පුළුවන්.

2. ඉතියෝපියානු ජාතිකයාට බව්තීස්ම වෙන්න ඕන වුණේ ඇයි?

2 යේසුස්ගේ කාලේ හිටපු ඉතියෝපියානු ජාතිකයෙක්ටත් ඒ විදිහට හිතුණා. යේසුස්ගේ ගෝලයෙක් වුණු ෆිලිප් ගැලවුම්කරු යේසුස් කියලා එයාට පැහැදිලි කරලා දුන්නා. ඒ දේවල් එයාගේ හිතට කොච්චර දැනුණාද කියනවා නම් එයා ෆිලිප්ට මෙහෙම කිව්වා. “මෙන්න වතුර තිබෙන තැනක්! මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව.”—ක්‍රියා 8:26-36.

3. (අ) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කරන්න කිව්වේ මොකක්ද? (ආ) කෙනෙක්ව බව්තීස්ම කරන්න ඕනෙ කොහොමද?

3 යෙහෝවා දෙවියන්ගේ සෙනඟට එකතු වෙලා දෙවියන්ට සේවය කරන්න ඕනෙ නම් ඔයා බව්තීස්ම වෙන්න ඕනේ. යේසුස් ගෝලයන්ට කිව්වේ ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඒ අයව බව්තීස්ම කරන්න’ කියලයි. (මතෙව් 28:19) යේසුත් බව්තීස්ම වුණා. ඔහුව බව්තීස්ම කළේ වතුර ටිකක් ඔළුවට වත් කරලා නෙවෙයි. සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වලයි. (මතෙව් 3:16) අදත් කෙනෙක්ව බව්තීස්ම කරන්න ඕනෙ සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වලයි.

4. ඔයා බව්තීස්ම වෙද්දී පෙන්වන්නේ මොනවාද?

4 බව්තීස්ම වෙද්දී ඒකෙන් ඔයා පෙන්වන්නේ ඔයාට ඇත්තටම ඕනෙ දෙවියන්ගේ යාළුවෙක් වෙලා ඔහුට සේවය කරන්න කියන එකයි. (ගීතාවලිය 40:7, 8) බව්තීස්ම වෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

දැනුම සහ විශ්වාසය ඕනෙමයි

5. (අ) බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕනෙ මොනවාද? (ආ) රැස්වීම්වලට යන එක වැදගත් වෙන්නේ ඇයි?

5 බව්තීස්ම වෙන්න කලින් ඔයා යෙහෝවා දෙවියන්වත් යේසුස්වත් හොඳින් දැන හඳුනා ගන්න ඕනේ. දැනටමත් ඔයා ඒ දේ කරනවා. (යොහන් 17:3 කියවන්න.) ඒත් ඒක විතරක් මදි. ඔයා දෙවියන්ගේ කැමැත්ත ගැන “පූර්ණ හා නිවැරදි දැනුමක්” ලබාගන්නත් ඕනේ. (කොලොස්සි 1:9) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලින් ඒ දැනුම ලබාගෙන දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා. ඒක නිතිපතා රැස්වීම්වලට යන එකෙන් ලැබෙන එක ප්‍රයෝජනයක් විතරයි.—හෙබ්‍රෙව් 10:24, 25.

බව්තීස්ම වෙන්න කලින් ඔයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න ඕනේ

6. බව්තීස්ම වෙන්න බයිබලය ගැන කොයි තරම් දැනුමක් තියෙන්න ඕනෙද?

6 බව්තීස්ම වෙන්න නම් ඔයා බයිබලයේ තියෙන හැම දේම දැනගෙන ඉන්න ඕනෙ නැහැ. මොකද, දෙවියන් ඉතියෝපියානු ජාතිකයාගෙනුත් ඒක බලාපොරොත්තු වුණේ නැහැ. (ක්‍රියා 8:30, 31) අනිත් කාරණේ තමයි යෙහෝවා දෙවියන් ගැන අපිට හැමදාටම ඉගෙනගන්න දේවල් තියෙනවා. (දේශනාකාරයා 3:11) හැබැයි බව්තීස්ම වෙන්න කලින් ඔයා බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන දැනගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්න ඕනේ.—හෙබ්‍රෙව් 5:12.

7. බයිබලය අධ්‍යයනය කරපු එක ඔයාට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

7 බව්තීස්ම වෙන්න දැනුම විතරක් මදි, විශ්වාසයත් ඕනේ. ‘යමෙකුට දෙවි ගැන විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කරන්න බැහැ’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 11:6) කොරින්තියේ හිටිය අය ශුභාරංචිය දැනගත්තාට පස්සේ එයාලා තුළ ‘විශ්වාසයක් ඇති වෙලා බව්තීස්ම’ වුණා. (ක්‍රියා 18:8) ඒ වගේ, දෙවියන් දීපු පොරොන්දු ගැන, පාපයෙනුත් මරණයෙනුත් අපිව බේරාගන්න යේසුස්ගේ ජීවිත පූජාවට පුළුවන් කියන දේ ගැන විශ්වාසයක් ඇති කරගන්න බයිබලයේ තොරතුරු ඔයාටත් උදව් වෙලා තියෙනවාද?—යොෂුවා 23:14; ක්‍රියා 4:12; 2 තිමෝති 3:16, 17.

බයිබලයේ තියෙන දේවල් ගැන අනිත් අයට කියන්න

8. ඉගෙනගත්ත දේවල් ගැන අනිත් අයට කියන්න ඔයාව පොලඹවන්නේ මොකක්ද?

8 බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ඔයාට උදව් වෙන විදිහ ගැන හිතද්දී ඔයාගේ විශ්වාසය තවත් වැඩි වෙයි. එතකොට ඒ දේවල් ගැන අනිත් අයට කියන්නත් ඔයාට ලොකු ආසාවක් ඇති වෙයි.—යෙරෙමියා 20:9; 2 කොරින්ති 4:13.

ඉගෙනගත්ත දේවල් ගැන අනිත් අයට කියන්න ඔයා පෙලඹෙන්නේ ඔයාට තියෙන විශ්වාසය නිසයි

9, 10. (අ) ඔයා ඉගෙනගත්ත දේවල් ගැන මුලින්ම කියන්න පුළුවන් කාටද? (ආ) දේශනා සේවයේ හවුල් වෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

9 ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට, අසල්වැසියන්ට, ඔයා එක්ක වැඩ කරන අයට ඉගෙනගත්ත දේවල් ගැන කියන්න ඕනෙ කියලා ඔයාට හිතෙයි. එහෙම කරද්දී එයාලගේ හිත රිදෙන විදිහට ඒක කරන්න එපා. ටික කාලෙකින් සභාවේ අය එක්ක දේශනා සේවයේ යන්නත් ඔයාට ආස හිතෙයි. ඔයා ඒකට ලෑස්ති නම් ඔයාට බයිබලයේ තියෙන දේවල් උගන්වන කෙනාට ඒ ගැන කියන්න. ඔයා ඒකට සුදුසුයි කියලා එයාට තේරෙනවා නම් ඒ වගේම ඔයා බයිබලයේ තියෙන දේවල් පිළිඅරන් ඒ විදිහට ජීවත් වෙනවා කියලා එයාට තේරෙනවා නම් ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න පුළුවන්. ඊටපස්සේ වැඩිමහල්ලන් දෙන්නෙක් ඔය දෙන්නාත් එක්ක ඒ ගැන සාකච්ඡා කරයි.

10 බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන ඔයාට අවබෝධයක්, විශ්වාසයක් තියෙනවාද, ඔයා ඉගෙනගත්ත දේවල් පිළිඅරන් ඒ විදිහට ජීවත් වෙනවාද, ඔයාට ඇත්තටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙද කියලා ඒ සාකච්ඡාවේදී වැඩිමහල්ලන් බලයි. සභාවේ හැමෝම ගැන එයාලා සැලකිලිමත් නිසා එයාලා එක්ක කතා කරන්න බය වෙන්න එපා. (ක්‍රියා 20:28; 1 පේතෘස් 5:2, 3) සාකච්ඡාවෙන් පස්සේ ඔයාට දේශනා සේවේ යන්න පුළුවන්ද කියලා වැඩිමහල්ලන් දැනුම් දෙයි.

11. දේශනා සේවයේ යන්න කලින් ඔයාගේ ජීවිතේ වෙනස්කම් කරගන්න එක වැදගත් වෙන්නේ ඇයි?

11 දේශනා සේවේ යන්න කලින් ඔයාගේ ජීවිතේ තව වෙනස්කම් කරගන්න ඕනෙ කියලා වැඩිමහල්ලන් ඔයාට කියන්න ඉඩ තියෙනවා. ඔයා ඒ වෙනස්කම් කරගන්න එක වැදගත් ඇයි? අපි යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියද්දී අපි ඔහුව නියෝජනය කරන නිසා ඔහුට අගෞරවයක් වෙන දේවල් අපි අතින් වෙනවා නම් අපි ඉක්මනටම ඒවා වෙනස් කරගන්න ඕනේ.—1 කොරින්ති 6:9, 10; ගලාති 5:19-21.

පසුතැවිලි වෙලා ජීවිතය වෙනස් කරගන්න

12. හැම කෙනෙක්ම පසුතැවිලි වෙන්න ඕනෙ ඇයි?

12 බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕන දෙයක් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “පසුතැවිලි වෙන්න. ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන පව්වලට සමාව ලබාගන්න.” (ක්‍රියා 3:19) පසුතැවිලි වෙනවා කියන්නේ අපි අතින් වුණු වැරදි ගැන අවංකවම දුක් වෙන එකයි. උදාහරණෙකට ඔයා කලින් අනාචාර ජීවිතයක් ගෙවලා තියෙනවා නම් ඒ ගැන පසුතැවිලි වෙන්න ඕනේ. හැබැයි හිතන්න බයිබලය ඉගෙනගන්න කලිනුත් ඔයා හොඳ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරපු කෙනෙක් කියලා. ඒත් ඔයා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මොකද පව්කාර ස්වභාවය අපි හැමෝටම උරුම වෙලා තියෙන නිසා අපි කාගේ අතිනුත් වැරදි වෙනවා.—රෝම 3:23; 5:12.

13. ‘ජීවිතය වෙනස් කරගන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

13 පසුතැවිලි වෙලා විතරක් මදි. ‘ජීවිතය වෙනස් කරගන්නත්’ ඕනේ. ඒ කියන්නේ කලින් කරපු වැරදි අතහැරලා හරි දේ කරන්න පටන්ගන්න ඕනෙ කියන එකයි. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා කවදාවත් ගිහින් නැති තැනකට වාහනයකින් යනවා. ටික දුරක් යද්දී ඔයාට තේරෙනවා ඔයා යන්නේ වැරදි පාරක කියලා. ඔයා මොනවාද කරන්නේ? ඔයා වාහනේ නවත්වලා ආයෙත් හැරෙනවා. ඊටපස්සේ හරි පැත්තට යනවා. ඒ වගේ බයිබලය ඉගෙනගද්දී ඔයා තේරුම්ගනියි ඔයාගේ සමහර පුරුදු වෙනස් කරගන්න ඕනෙ කියලා. එහෙනම් ඔයාගේ ‘ජීවිතය වෙනස් කරගෙන’ හරි දේ කරන්න පටන්ගන්න.

දෙවියන්ට ඔයාගේ ජීවිතය කැප කරන්න

ඔයා යෙහෝවා දෙවියන්ට සේවය කරනවා කියලා පොරොන්දු වුණාද?

14. ඔයාගේ ජීවිතය දෙවියන්ට කැප කරන්න පුළුවන් කොහොමද?

14 බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරන එක. ඒක කරන්න නම් ඔයා යාච්ඤාවක් කරලා ඔහුට පොරොන්දුවක් වෙන්න ඕනේ. ඒ තමයි ඔහුට විතරක් නමස්කාර කරනවා කියලත් ඔහුගේ කැමැත්ත කරන එකට ජීවිතයේ මුල් තැන දෙනවා කියලත් වෙන පොරොන්දුව.—ද්විතීය කතාව 6:15.

15, 16. කෙනෙක් ජීවිතය දෙවියන්ට කැප කරන්න පෙලඹෙන්නේ ඇයි?

15 යෙහෝවා දෙවියන්ට විතරක් සේවය කරන්න පොරොන්දු වෙන එක හරියට කෙනෙක් එයා ආදරේ කරන කෙනා එක්ක ජීවිත කාලයටම එකට ඉන්නවා කියලා දෙන පොරොන්දුව වගේ. හිතන්න තරුණයෙක් තරුණියකට ආදරේ කරනවා කියලා. ඒ තරුණියව තව තවත් හොඳට දැන හඳුන ගද්දී එයාට තවත් ආදරය කරන්නත් එයාව විවාහ කරගන්නත් ඒ තරුණයාට ඕන වෙනවා. විවාහය කියන්නේ බැරෑරුම් වගකීමක් කියන දේ හොඳටම දැනගෙන හිටියත් ඒ තරුණියට තියෙන ආදරේ නිසා ඒ තීරණය ගන්න එයා අදිමදි කරන්නේ නැහැ.

16 ඔයා යෙහෝවා දෙවියන්ව තව තවත් හඳුනගද්දී ඔහු ගැන ඔයාගේ හිතේ තියෙන ආදරයත් වැඩි වෙනවා. ඔහුට සේවය කරන්නත් ඔයා තුළ ලොකු ආසාවක් ඇති වෙනවා. යාච්ඤා කරලා ඔයාගේ ජීවිතය දෙවියන්ට කැප කරන්න ඒ නිසා ඔයා පෙලඹෙයි. යේසුස්ව අනුගමනය කරන්න කැමති හැමෝම එයාලගේ ‘ජීවිත දෙවි වෙනුවෙන් කැප කරන්න’ ඕනේ. (මාක් 8:34) ඒ කියන්නේ යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එකට ඔයාගේ ජීවිතයේ පළවෙනි තැන දෙනවා කියන එකයි. ඒ වගේම ඔයාගේ ආසාවන්, ඉලක්කවලට වඩා දෙවියන් කැමති දේට මුල් තැන දෙනවා කියන එකයි.—1 පේතෘස් 4:2 කියවන්න.

පොරොන්දුව රකින්න බැරි වෙයි කියලා බය වෙන්න එපා

17. සමහරු එයාලගේ ජීවිත දෙවියන්ට කැප කරන්නේ නැත්තේ ඇයි?

17 පොරොන්දු වුණු විදිහට දෙවියන්ට සේවය කරන්න බැරි වෙයි කියලා බය වෙලා සමහරු එයාලගේ ජීවිත දෙවියන්ට කැප කරන්නේ නැහැ. සමහරු එහෙම නොකරන්නේ දෙවියන්ට දුකක් දෙන්න අකමැති නිසා. එහෙම නැත්නම් එයාලට හිතෙන්න පුළුවන් දෙවියන්ට කැප වුණේ නැත්නම් තමන්ට ඕන විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් කියලා.

18. පොරොන්දුව ඉටු කරන්න බැරි වෙයි කියලා ඇති වෙන බය නැති කරගන්න පුළුවන් කොහොමද?

18 ඔයාටත් එහෙම හිතෙනවා නම් ඒ හැඟීම් නැති කරගන්න දෙවියන් ගැන ඔයාට තියෙන ආදරේ උදව් වෙයි. ඔයා දෙවියන්ට ආදරෙයි නම් ඔහුට වෙන පොරොන්දුව රකින්න පුළුවන් හැම දේම ඔයා කරයි. (දේශනාකාරයා 5:4; කොලොස්සි 1:10) දෙවියන්ගේ කැමැත්ත කරන්න අමාරුයි කියලා එතකොට ඔයා හිතන්නේ නැහැ. බයිබලයේ කියනවා “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ” කියලා.—1 යොහන් 5:3.

19. යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතය කැප කරන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

19 යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතය කැප කරන්න නම් ඔයා කිසිම අඩුපාඩුවක් නැතුව හැම දේම හරියට කරන කෙනෙක් වෙන්න ඕනෙ කියලා හිතන්න එපා. මොකද අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතාවලිය 103:14) හරි දේ කරන්න ඔහු ඔයාට උදව් කරයි. (යෙසායා 41:10) ඒ නිසා යෙහෝවා දෙවියන්ව ඔයාගේ මුළු හදවතින්ම විශ්වාස කරන්න. එතකොට ‘ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දීලා ඔබේ දිවිය සාර්ථක කර දෙයි.’—හිතෝපදේශ 3:5, 6.

කැප වීම ප්‍රසිද්ධියේ පෙන්වන්න

20. යාච්ඤාවෙන් ජීවිතය කැප කළාට පස්සේ කරන්න ඕනෙ මොකක්ද?

20 ජීවිතය දෙවියන්ට කැප කරන්න ලෑස්තියි කියලා ඔයාට හිතෙනවාද? යාච්ඤාවෙන් ඔයාගේ ජීවිතය කැප කළාට පස්සේ ඔයා බව්තීස්ම වෙලා ඒ කැප වීම ප්‍රසිද්ධියේ පෙන්වන්න ඕනේ.

21, 22. ඔයාගේ විශ්වාසය ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න’ පුළුවන් කොහොමද?

21 ඔයාගේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කළා කියලත් බව්තීස්ම වෙන්න ඔයා කැමතියි කියලත් ඔයාගේ සභාවේ සම්බන්ධීකාරක සහෝදරයාට කියන්න. ඊටපස්සේ බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන ඔයා එක්ක කතා කරන්න වැඩිමහල්ලන් කීපදෙනෙක්ව එයා ලෑස්ති කරයි. ඔයා බව්තීස්ම වෙන්න සුදුසුයි කියලා ඒ වැඩිමහල්ලන්ට තේරුණොත් ඊළඟ සමුළුවේ බව්තීස්ම වෙන්න ඔයාට පුළුවන් කියලා එයාලා ඔයාට කියයි. ඒ සමුළුවේදී බව්තීස්මය ගැන දේශනයක් තියෙයි. ඒ දේශනය දෙන සහෝදරයා බව්තීස්ම වෙන්න ඉන්න අයගෙන් සරල ප්‍රශ්න දෙකක් අහනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර දීලා ඔයාගේ විශ්වාසය ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න’ ඔයාට පුළුවන්.—රෝම 10:10.

22 ඊටපස්සේ ඔයාව බව්තීස්ම කරයි. ඔයාව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වලා ආයෙත් උඩට ගනියි. ඔයාගේ ජීවිතය දෙවියන්ට කැප කරලා කියලත් ඔයා දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලත් හැමෝම දැනගන්නේ ඔයා බව්තීස්ම වෙන වෙලාවේදියි.

බව්තීස්මයෙන් අදහස් කරන දේ

23. “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව” බව්තීස්ම කරන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

23 “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව” බව්තීස්ම කරන්න කියලා යේසුස් කිව්වා. (මතෙව් 28:19 කියවන්න.) ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවියන්ට තියෙන අධිකාරියත් දෙවියන්ගේ කැමැත්ත කරන්න යේසුස්ට පැවරිලා තියෙන කාර්යභාරයත් දෙවියන් තමන්ගේ කැමැත්ත කරන්න ඔහුගේ බලය යොදාගන්න විදිහත් ඔයා පිළිගන්නවා කියන එකයි.—ගීතාවලිය 83:18; මතෙව් 28:18; ගලාති 5:22, 23; 2 පේතෘස් 1:21.

බව්තීස්ම වෙන එකෙන් පෙන්වන්නේ දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයා ආසාවෙන් ඉන්නවා කියලයි

24, 25. (අ) බව්තීස්මයෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) අන්තිම පරිච්ඡේදයෙන් ඉගෙනගන්නේ මොකක්ද?

24 බව්තීස්මයෙන් වැදගත් දෙයක් අදහස් වෙනවා. ඔයාව වතුරේ ගිල්වන එකෙන් පෙන්වන්නේ ඔයා කලින් ගත කරපු ජීවිතය එතනින් ඉවර වෙනවා කියලයි. ඔයාව වතුරෙන් උඩට ගන්න එකෙන් පෙන්වන්නේ දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයා අලුත් ජීවිතයක් පටන්ගත්තා කියන එකයි. එදා ඉඳන් ඔයා සේවය කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියලා ඒකෙන් පැහැදිලියි. ඔයා කැප වෙන්නේ මිනිසෙකුටවත් සංවිධානයකටවත් යම් කාර්යයකටවත් නෙවෙයි, යෙහෝවා දෙවියන්ට.

25 ඔයාගේ ජීවිතය දෙවියන්ට කැප කරද්දී ඔහු එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. (ගීතාවලිය 25:14) හැබැයි කෙනෙක් බව්තීස්ම වෙනවා කියන්නේ එයා ගැලවෙනවා කියන එක නෙවෙයි. බයිබලයේ කියන්නේ “දේවගරුබියක් ඇතුව ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න” කියලයි. (ෆිලිප්පි 2:12) බව්තීස්මය කියන්නේ දෙවියන්ට කරන සේවයේ පටන්ගැන්ම විතරයි. දෙවියන් එක්ක තියෙන බැඳීම දිගටම තියාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? මේ පොතේ අන්තිම පරිච්ඡේදයෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ බලමු.