Skip to content

පටුනට යන්න

19වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න

යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න

1, 2. අපිට රැකවරණයක් දෙන්න පුළුවන් කාටද?

වැහිබර දවසක ඔයා කොහේ හරි ඇවිදගෙන යද්දී හතරවටින් අහස කලු කරගෙන එනවා කියලා හිතන්න. විදුලි කොටද්දී එන ගිගුරුම් හඬ කන් බීරි කරවන තරම්. ටික වෙලාවකින් මහා වැස්සක් කඩන් වැටෙනවා. ඔයා මොකද කරන්නේ? ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තැනක් හොයලා ඉක්මනටම එතනට දුවගෙන යනවා නේද?

2 අද ලෝකයේ තත්වයත් ඒ වගේ. එන්න එන්නම නරක අතට හැරෙනවා. අපිට ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තැනක් තියෙනවාද? ඒ ගැන බයිබල් ලේඛකයෙක් කිව්වේ මෙහෙමයි. “මම යෙහෝවා දෙවිට මෙසේ කියන්නෙමි. ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය. මා විශ්වාසය තබන මාගේ දෙවිය.” (ගීතාවලිය 91:2) ඔව්, අපිට රැකවරණය දෙන්නත් ලස්සන බලාපොරොත්තුවක් දෙන්නත් යෙහෝවා දෙවියන්ට පුළුවන්.

3. යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබන්න නම් කරන්න ඕනෙ මොනවාද?

3 අපිට රැකවරණයක් වෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කොහොමද? ප්‍රශ්නවලට හොඳට මුහුණ දෙන්න අපිට උදව් කරන්න ඔහුට පුළුවන්. අපිට කරදර කරන්න බලන් ඉන්න කාටවත් වඩා ඔහු බලවත්. ලෝකයේ වෙන දේවල් නිසා අපිට හානියක් වුණත් අනාගතයේදී ඒක හරිගස්වන්න ඔහුට පුළුවන්. “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (යූද් 21) මේ අමාරු කාලේ දෙවියන්ගේ රැකවරණය ලබන්න නම් අපි දිගටම ඔහු එක්ක තියෙන යාළුකම තව වැඩි කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

දෙවියන්ගේ ආදරය අගය කරන්න

4, 5. යෙහෝවා දෙවියන් අපිට ආදරේ පෙන්වලා තියෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා අපි මුලින්ම තේරුම්ගන්න ඕනේ. ඔහු අපිට දීලා තියෙන දේවල් ගැන ටිකක් හිතන්න. අපිට ජීවත් වෙන්න ලස්සන පොළොවක් දීලා තියෙනවා. ඇති තරම් වතුර, රසවත් කෑම දීලා තියෙනවා. දෙවියන්ගේ නම ගැන ඔහුගේ ගුණාංග ගැන බයිබලයෙන් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ හැම එකකටම වඩා වටින ඔහුගේ පුතාවත් ඔහු අපි වෙනුවෙන් දුන්නා. (යොහන් 3:16) ඒ නිසා අපිට ලැබිලා තියෙන්නේ කොච්චර ලස්සන බලාපොරොත්තුවක්ද!

5 ලෝකයේ තියෙන හැම දුක් වේදනාවක්ම නැති කරන්න ඔහු දේවරාජ්‍යය පිහිටුවලා තියෙනවා. ඒ ආණ්ඩුවෙන් පොළොව ලස්සන පාරාදීසයක් කළාම හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන්. (ගීතාවලිය 37:29) දැනුත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා පෙන්වලා දෙන එකත් දෙවියන් ඔහුගේ ආදරේ පෙන්වන තව විදිහක්. යාච්ඤාවෙන් ඔහු එක්ක කතා කරන්න කියලත් ඕනෙම වෙලාවක ඒවාට ඇහුම්කන් දෙන්න කැමතියි කියලත් දෙවියන් අපිට කියනවා. ඒ හැම දේකින්ම පේන්නේ ඔහුගේ හිතේ අපි ගැන තියෙන ආදරේ නෙවෙයිද!

6. දෙවියන්ගේ ආදරේ අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

6 යෙහෝවා දෙවියන් පෙන්වලා තියෙන ඒ ආදරේ අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඔහු කරපු හැම දේකටම ඔහුට ස්තුතිවන්ත වෙනවා කියලා වචනයෙනුත් ක්‍රියාවෙනුත් පෙන්වන්න. අද ඉන්න හුඟක් අය ඒක කරන්නේ නැහැ. අද විතරක් නෙවෙයි යේසුස්ගේ කාලෙත් එහෙම අය හිටියා. දවසක් යේසුස් ලාදුරු රෝගීන් දහදෙනෙක්ව සුව කළා. ඒත් ඔහුට ස්තුති කළේ එක් කෙනෙක් විතරයි. (ලූක් 17:12-17) ඔයාටත් ඕනෙ ඒ කෙනා වගේ වෙන්න නේද?

7. අපේ හිතේ දෙවියන් ගැන තියෙන්න ඕනෙ මොන වගේ ආදරයක් කියලාද යේසුස් කිව්වේ?

7 ස්තුතිවන්ත වෙනවා වගේම අපේ හිතේ දෙවියන් ගැන තියෙන ආදරේ අපි පෙන්වන්නත් ඕනේ. යේසුස් ගෝලයන්ට කිව්වේ මුළු හදවතින්ම දෙවියන්ට ආදරේ කරන්න කියලයි. ඒ වගේම දෙවියන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න කියලත් මනසේ මුල් තැන ඔහුට දෙන්න කියලත් යේසුස් කිව්වා. (මතෙව් 22:37 කියවන්න.) යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

8, 9. අපි දෙවියන්ට ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

8 යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලා කිව්වාට මදි, අපි ජීවත් වෙන විදිහෙනුත් ඒක පෙන්වන්න ඕනෙ කියලයි යේසුස් කිව්වේ. (මතෙව් 7:16-20) අපි දෙවියන්ට ඇත්තටම ආදරෙයි නම් ඔහුගේ ආඥා කැමැත්තෙන්ම පිළිපදිනවා කියලා බයිබලයේ කියනවා. ‘ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නෙවෙයි.’—1 යොහන් 5:3 කියවන්න.

9 යෙහෝවා දෙවියන්ට කීකරු වෙද්දී අපිට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. (යෙසායා 48:17, 18) ඔහු එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න අපිට උදව් වෙන්නේ වෙන මොනවාද?

දෙවියන් එක්ක තියෙන යාළුකම තවත් වැඩි කරගන්න

10. ඔයා යෙහෝවා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න ඕනෙ ඇයි?

10 ඔයා යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වුණේ කොහොමද? බයිබලයේ තියෙන දේවල් ටිකෙන් ටික ඉගෙනගද්දී ඔයා යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ යාළුවෙක් වුණා. දැන් ඒ යාළුකම තවත් වැඩි කරගන්න ඕනේ. ගින්නකට තව තවත් දර දාද්දී තමයි ඒ ගින්න දිගටම ඇවිළෙන්නේ. ඒ වගේ දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න නම් ඔයා තව තවත් ඔහු ගැන ඉගෙනගන්න ඕනේ.—හිතෝපදේශ 2:1-5.

ගින්නක් දිගටම ඇවිළෙන්න දර ඕන වගේ දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි වෙන්න දිගටම ඔහු ගැන ඉගෙනගන්න ඕනේ

11. බයිබලය ගැන ඉගෙනගද්දී ඔයාට අද්දකින්න පුළුවන් මොනවාද?

11 දිගටම බයිබලේ තියෙන දේවල් ඉගෙනගද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි. ගෝලයන් දෙන්නෙක්ට යේසුස් බයිබලයේ තියෙන අනාවැකි ගැන පැහැදිලි කරලා දුන්නාට පස්සේ එයාලා මෙහෙම කිව්වා. “ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!”—ලූක් 24:32.

12, 13. (අ) දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේට මොනවා වෙන්න පුළුවන්ද? (ආ) දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ දිගටම තියාගන්න පුළුවන් කොහොමද?

12 බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්ත කාලේ ඔයාටත් ලොකු සතුටක් දැනෙන්න ඇති. දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනා ගෙන ඔහු ගැන ඔයාගේ හිතේ ආදරයක් ඇති කරගන්න ඒක ඔයාට උදව් වෙන්න ඇති. ඒත් කාලයක් යද්දී ඒ ආදරේ ටික ටික අඩු වෙන්න පුළුවන්.—මතෙව් 24:12.

13 ඒ ආදරේ දිගටම තියාගන්න ඔයා වෑයම් කරන්න ඕනේ. දෙවියන් ගැන, යේසුස් ගැන දිගටම ඉගෙනගෙන ඒවා ගැන හොඳට හිතන්න. ඒවා ජීවිතයට අදාළ කරගන්න. (යොහන් 17:3) බයිබලයෙන් කොටසක් කියෙව්වාට පස්සේ මෙහෙම හිතන්න. ‘මේ කොටසින් මට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? මං මගේ මුළු හිතින්ම දෙවියන්ට ආදරේ කරන්න ඕනෙ ඇයි?’—1 තිමෝති 4:15.

14. දෙවියන් එක්ක තියෙන යාළුකම වැඩි කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

14 ඔයාට හොඳ යාළුවෙක් ඉන්නවා නම් එයා එක්ක නිතරම කතා කරනවා නේද? එතකොට තමයි යාළුකම තව වැඩි වෙන්නේ. යෙහෝවා දෙවියන් එක්කත් අපි යාච්ඤාවෙන් නිතරම කතා කරනවා නම් ඔහු එක්ක තියෙන යාළුකම වැඩි වෙනවා. (1 තෙසලෝනික 5:17 කියවන්න.) යාච්ඤාව කියන්නේ දෙවියන් අපිට දීපු තෑග්ගක්. ඒ නිසා අපි මුළු හිතින්ම යාච්ඤා කරන්න ඕනේ. (ගීතාවලිය 62:8) එකම දේ කටපාඩමින් කියන්නේ නැතුව හිතේ තියෙන හැම දේම ඔහුට කියන්න. දිගටම බයිබලය අධ්‍යයනය කරලා දිගටම යාච්ඤා කරනවා නම් යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම තවත් ශක්තිමත් කරගන්න ඔයාට පුළුවන්.

යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියන්න

15, 16. ශුභාරංචිය දේශනා කරන එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

15 දෙවියන් එක්ක තියෙන යාළුකම තව වැඩි කරගන්න නම් අපි අනිත් අයට ඔහු ගැන කියන්නත් ඕනේ. ඔහු ගැන අනිත් අයට කියන්න ලැබිලා තියෙන එක ලොකු වරප්‍රසාදයක්. (ලූක් 1:74) ඒ වගේම ඒක යේසුස් අපි හැමෝටම දීපු වගකීමක්. ඒ නිසා අපි හැමෝම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ. ඔයා දැනටමත් ඒක කරනවාද?—මතෙව් 24:14; 28:19, 20.

16 පාවුල් දේශනා සේවය සැලකුවේ වටිනා ‘වස්තුවක්’ හැටියට. (2 කොරින්ති 4:7) යෙහෝවා දෙවියන් ගැන, ඔහු කරන්න යන දේවල් ගැන අනිත් අයට කියන එක අපේ ජීවිතේ අපිට කරන්න පුළුවන් වැදගත්ම කාර්යයයි. ඒක දෙවියන්ට සේවය කරන එක විදිහක්. ඔයාගේ ඒ සේවය දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 6:10) දේශනා කරද්දී ඔයාට විතරක් නෙවෙයි ඔයා කියන දේට ඇහුම්කන් දෙන කෙනාටත් දෙවියන්ට ළං වෙලා සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. (1 කොරින්ති 15:58 කියවන්න.) දේශනා සේවයෙන් ලැබෙන සතුට තරම් සතුටක් වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ.

17. දේශනා කරන එක හදිසි කාර්යයක් කියන්නේ ඇයි?

17 දේශනා කරන එක හදිසි කාර්යයක්. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න.’ (2 තිමෝති 4:2) ඇයි ඒක හදිසි කාර්යයක් වෙන්නේ? “යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ. ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය” කියලත් ‘එය ප්‍රමාද වෙන්නේ නැහැ’ කියලත් බයිබලයේ කියනවා. (ශෙපනියා 1:14; හබක්කුක් 2:3) යෙහෝවා දෙවියන් තව වැඩි දවසක් යන්න කලින් සාතන්ගේ මේ දුෂ්ට සමාජය විනාශ කරනවා. ඊට කලින් මිනිසුන්ට ඒ ගැන කියන්න ඕනේ. මොකද එතකොටයි දෙවියන්ට සේවය කරනවාද නැද්ද කියලා එයාලට තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ.

18. අපි සැබෑ ක්‍රිස්තියානීන් එක්ක එකතු වෙලා නමස්කාර කරන්න ඕන ඇයි?

18 යෙහෝවා දෙවියන් කැමති අපි සැබෑ ක්‍රිස්තියානීන් එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරනවාටයි. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) හැම රැස්වීමකටම යන්න අපි පුළුවන් හැම උත්සාහයක්ම ගන්න ඕනේ. රැස්වීම්වලදී එකිනෙකාව දිරිගන්වන්නත් අපිට පුළුවන්.

19. අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න උදව් වෙන්නේ මොකක්ද?

19 රැස්වීම්වලට ගියාම දෙවියන්ට නමස්කාර කරන්න කැමති, විවිධ පසුබිම්වලට අයිති යාළුවන් හුඟක් ඔයාට හම්බ වෙයි. එයාලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයාට උදව් කරයි. ඔයා අතින් වෙනවා වගේම එයාලා අතිනුත් අඩුපාඩු වෙයි. එහෙම වෙද්දී එයාලට සමාව දෙන්න. (කොලොස්සි 3:13 කියවන්න.) අඩුපාඩු ගැන හිතනවා වෙනුවට එයාලා කරන හොඳ දේවල් ගැන හිතන්න. එයාලට ආදරේ කරන්නත් දෙවියන් එක්ක තියෙන යාළුකම තව වැඩි කරගන්නත් ඒක ඔයාට උදව් වෙයි.

සැබෑ ජීවිතය

20, 21. “සැබෑ ජීවිතය” මොකක්ද?

20 යෙහෝවා දෙවියන්ට ඕනෙ ඔහුගේ යාළුවන්ට දෙන්න පුළුවන් හොඳම ජීවිතය දෙන්නයි. අනාගතයේදී ඔහු අපිට දෙන්න යන ජීවිතය අද අපි ගත කරන ජීවිතයට වඩා හුඟක් වෙනස්.

යෙහෝවා දෙවියන්ට ඕනෙ ඔයාට “සැබෑ ජීවිතය” දෙන්න. ඒක ලබාගන්න ඔයා උත්සාහ කරනවාද?

21 අවුරුදු 70ක්, 80ක් ජීවත් වෙලා මැරෙනවා වෙනුවට පාරාදීස පොළොවක නිරෝගීව, සාමයෙන්, සතුටින් ‘සදාකාලයටම ජීවත් වෙන්න’ අපිට පුළුවන් වෙනවා. ඒක තමයි “සැබෑ ජීවිතය.” ඒ ජීවිතය දෙන්න යෙහෝවා දෙවියන් අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඒ ජීවිතය අපෙන් ගිලිහී යන්න දෙන්නේ නැතුව ‘තදින් අල්ලාගන්න’ අපි ලොකු වෑයමක් ගන්න ඕනේ.—1 තිමෝති 6:12, 19.

22. (අ) ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්න’ අපිට පුළුවන් කොහොමද? (ආ) සදාකාල ජීවිතය අපේම හැකියාවෙන් ලබාගන්න බැරි ඇයි?

22 ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්න’ නම් අපි ‘යහපත් දේවල් කරන්නත් යහපත් ක්‍රියාවලින් පොහොසත් වෙන්නත්’ උත්සාහ කරන්න ඕනේ. (1 තිමෝති 6:18) ඒ කියන්නේ අපි බයිබලයෙන් ඉගෙනගන්න දේවලට එකඟව ජීවත් වෙන්න ඕනේ. ඒත් සදාකාල ජීවිතය කියන්නේ අපේම උත්සාහයෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දෙවියන්ගේ “මහත් කරුණාව” නිසා ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු දෙන තෑග්ගක්. (රෝම 5:15) දෙවියන් ඒ තෑග්ග අපිට දෙන්න හරිම ආසාවෙන් ඉන්නවා.

23. ඔයා දැන්ම හරි තීරණ ගන්න ඕනෙ ඇයි?

23 ‘මම දෙවියන්ට නමස්කාර කරන්නේ ඔහු පිළිගන්න විදිහටද’ කියලා හොඳට හිතන්න. වෙනස්කම් කරන්න ඕනෙ කියලා තේරුණොත් ඉක්මනින්ම ඒවා කරන්න. දෙවියන්ව විශ්වාස කරලා ඔහුට කීකරු වෙන්න වෑයම් කරනවා නම් ඔහු අපිව රැක බලා ගන්නවා. මේ දුෂ්ට සමාජයේ අවසාන දවස්වලදී ඔහු අපිට රැකවරණය දෙනවා. ඊටපස්සේ ඔහු පොරොන්දු වුණු විදිහටම පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙනවා. ඒ නිසා පරක්කු කරන්නේ නැතුව දැන්මම හරි තීරණ ගන්න. එහෙම කළොත් සදාකාල ජීවිතය ලබාගන්න ඔයාටත් පුළුවන්.