Skip to content

පටුනට යන්න

8වෙනි ප්‍රශ්නය

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන මොනවාද?

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන මොනවාද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

හැම අවුරුද්දකම ලිංගික අතවරයට සහ දූෂණයට ලක් වෙන අයගේ ගණන වැඩි වෙනවා. ඒ අයගෙන් වැඩිදෙනෙක් යෞවනයන්.

ඔයා මොකක්ද කරන්නේ?

ඇනට්ව දූෂණය කරපු මිනිහා එයාව බිමට තල්ලු කළා. එයා බේරෙන්න කරන්න පුළුවන් හැම දේම කළා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං කෑගැහුවා. මිනිහාව තල්ලු කෙරුවා. අතින් පයින් ගැහුවා, සීරුවා. එකපාරටම ඒ මිනිහා මට පිහියෙන් ඇන්නා. ඒ වෙලාවේ මගේ මුළු ඇඟම පණ නැතුව ගියා.”

ඇනට්ට වුණ දේ ඔයාට වුණා නම් ඔයා මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

ඔයා කොයි තරම් පරෙස්සම් වුණත් හිතපු නැති විදිහේ භයානක දෙයක් වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.’—දේශනාකාරයා 9:11.

ඇනට්ට වුණා වගේ සමහර යෞවනියන්ව දූෂණය කරලා තියෙන්නේ අඳුරන්නේ නැති අය. තවත් අයට අසල්වැසියන්ගෙන්, පවුලේ අයගෙන් පවා අතවර වෙලා තියෙනවා. නැටලිට අතවර කළේ ගෙවල් ළඟ හිටිය පිරිමි ළමයෙක්. ඒක වෙද්දී එයාට අවුරුදු දහයයි. එයා මෙහෙම කියනවා. “මට ලොකු බයකුත් ලැජ්ජාවකුත් දැනුණා. ඒ ගැන මං කාටවත්ම කිව්වේ නැහැ.”

හිත වධ දෙනවා නම්

ඇනට් හිතන්නේ එයාගේ වරදක් නිසයි මේක වුණේ කියලා. “එදා රෑ වේච්ච දේ මට හැම තිස්සෙම මතක් වෙනවා. මොනා හරි කරලා ගැලවෙන්න තිබුණා කියලා මට හිතෙනවා. ඒත් පිහියෙන් ඇනපු නිසා මං බයටම ගල්ගැහුණා. මුකුත් කරගන්න බැරි වුණා.”

නැටලිගේ හිතත් එයාට වධ දෙනවා. “මගේ අම්මලා කිව්වේ සෙල්ලම් කරද්දී නංගිත් එක්කම ඉන්න කියලා. ඒත් මං එයාලා කිව්ව දේ ඇහුවේ නෑ. වැරැද්ද මගේ අතේ කියලයි මට හිතෙන්නේ. වෙච්ච දේ නිසා මගේ පවුලේ අය හුඟක් දුක් වුණා. එයාලා ඒ වගේ වේදනා විඳින්නේ මං නිසයි. ඒකයි මට දරාගන්න බැරි.”

ඔයාට හැඟෙන්නෙත් ඇනට්ටත් නැටලිටත් හැඟුණු විදිහට නම් මේ දේ මතක තියාගන්න. ලිංගික අතවරයකට මුහුණ දෙන කෙනෙක් ඒ තත්වයට වැටෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. “කොල්ලෝ එහෙම තමයි. ගැහැනු දැනගන්න ඕනෙ පරෙස්සම් වෙන්න” කියලා සමහරු කියනවා. හැබැයි කිසිම කෙනෙක්ට තව කෙනෙක්ව දූෂණය කරන්න කිසිම අයිතියක් නැහැ. ඒක නීති විරෝධී දෙයක්. ඔයාට අතවරයක් වුණා නම් ඒකේ වරද ඔයාගේ අතේ නෙමෙයි.

“වරද ඔයාගේ අතේ නෙමෙයි” කියලා කියන්න ලේසියි. ඒත් ඒක පිළිගන්න අමාරුයි. සමහර අය වෙච්ච දේ හිතේ තද කරගෙන මානසිකව දුක් විඳිනවා. එහෙම ඉන්න එකෙන් වාසියක් වෙන්නේ කාටද? ඔයාටද නැත්නම් ඔයාව දූෂණය කරපු කෙනාටද? එහෙමනම් දුක හිතේ තද කරන් ඉන්නේ නැතුව මේ දේ කරන්න.

සිද්ධිය කාට හරි කියන්න

දරාගන්න බැරි තරම් හිතේ වේදනාවක් ඇති වුණ වෙලාවේ ධර්මිෂ්ඨ මිනිසෙක් වුණ යෝබ් කිව්ව දේ මේ විදිහට බයිබලයේ තියෙනවා. “දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි. හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.” (යෝබ් 10:1) ඔයාත් විශ්වාසවන්ත කෙනෙක්ට දුක කිව්වොත් ඔයාගේ දුක අඩු වෙයි. සහනයකුත් දැනෙයි.

ඔයාගේ දුක හිතේ තද කරන් ඉන්නේ නැතුව ඒක තව කෙනෙක්ට කියන්න

ඇනට් ඒ සහනය අද්දැක්කා. “වෙච්ච දේ මං යාළුවෙක්ට කිව්වා. එයා කිව්වා සභාවේ වැඩිමහල්ලන්ට කියන්න කියලා. මං ඒ දේ කිව්ව එක ගැන අද සතුටු වෙනවා. ඒක මගේ වරදක් නෙමෙයි කියලා වැඩිමහල්ලෝ මට කිව්වා. එයාලා කීප සැරයක්ම මාත් එක්ක ඒ ගැන කතා කළා.”

වෙච්ච දේ ගැන අම්මලාට කිව්වාට පස්සේ අද්දැක්ක සහනය ගැන නැටලි මෙහෙම කියනවා. “අම්මලා මාව තේරුම්ගත්තා. මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න කියලා එයාලා කිව්වා. ඕනාවට වඩා දුක් වෙන්නේ නැතුව ඉන්නත් කේන්තිය හිතෙන් අයින් කරගන්නත් ඒකෙන් මට පුළුවන් වුණා.”

නැටලි යාච්ඤා කරලත් සහනයක් අද්දැක්කා. එයා මෙහෙම කියනවා. “හිතේ තියෙන දුක දෙවිට කිව්වාම ලොකු සහනයක් ලැබුණා. කාටවත් කියාගන්න බැරි දේවල් මම දෙවිට කිව්වා. ඒකෙන් මගේ හිතේ තිබුණ බර අඩු වුණා.”

කාලයත් එක්කම ඔයා දැන් අද්දකින දේවලින් ‘සුවය’ ලැබෙයි. (දේශනාකාරයා 3:3) ඔයාගේ සෞඛ්‍යය ගැනත් ඔයාගේ මානසික සුවය ගැනත් සැලකිලිමත් වෙන්න. විවේක ගන්න. ඒ හැම දේටම වඩා සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවාව විශ්වාස කරන්න.—2 කොරින්ති 1:3, 4.

ඔයා කාත් එක්ක හරි යාළු වෙලා නම් ඉන්නේ

ඔයා යාළු වෙලා ඉන්න කෙනා වැරදි දෙයක් කරන්න ඔයාව පොලඹවන්න හදනවා නම් කතා කරන්න බය වෙන්න එපා. “එපා” කියලා හරි “අත අහකට ගන්න” කියලා හරි කෙළින්ම කියන්න. ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාව අත්හරියි කියන බයට කට වහගෙන ඉන්න එපා. ඒ වගේ දෙයක් නිසා එයා ඔයාව අත්හැරලා යනවා නම් ඒ ගැන දුක් වෙන්න එපා. ඔයාටවත් ඔයාගේ ප්‍රතිපත්තිවලටවත් ගරු කරන්නේ නැති කෙනෙක්ව ඔයාට ගැළපෙයි කියලා හිතන්න පුළුවන්ද?

ලිංගික හිරිහැරයක් කියන්නේ මොකක්ද?

“ඉස්කෝලේදී කොල්ලෝ මගේ බ්‍රා එකේ පටියෙන් අදිනවා. ඒ මදිවට ජරා කතාත් කියනවා. ‘එයාලාත් එක්ක එක පාරක් හරි එකට ඉඳලා ෆන් එකක් අරන් බලන්න’ කියලත් කියනවා.”—කොරේටා.

මේ පිරිමි ළමයි කොරේටාට කළේ මොකක්ද?

  1. 1. විහිළුවක්ද?

  2. 2. ආල හැඟුම් පෑමක්ද?

  3. 3. ලිංගික හිරිහැරයක්ද?

“මම ස්කූල් බස් එකේ යද්දී කොල්ලෙක් නරක දේවල් කියලා මගේ අතිනුත් ඇද්දා. මං එයාගේ අතට හොඳ පාරක් දුන්නා. කොල්ලා බය වෙලා මං දිහා බලාගෙන හිටියා.”—කැන්ඩීස්.

මේ පිරිමි ළමයා කැන්ඩීස්ට කළේ මොකක්ද?

  1. 1. විහිළුවක්ද?

  2. 2. ආල හැඟුම් පෑමක්ද?

  3. 3. ලිංගික හිරිහැරයක්ද?

“ගිය අවුරුද්දේ එක කොල්ලෙක් යාළු වෙන්න මගේ පස්සෙන් ආවා. මං කැමති වුණේ නැහැ. වෙලාවකට එයා මගේ ඇඟේ ගෑවෙන්න එනවා. නවත්තන්න කිව්වාත් එයා ඒක ගණන් ගත්තේ නැහැ. දවසක් මං සපත්තුවේ ලේස් එක ගැට ගගහා ඉද්දී මගේ පස්සටත් පාරක් ගහලා ගියා.”—බෙතනි.

මේ පිරිමි ළමයා කළේ මොකක්ද?

  1. 1. විහිළුවක්ද?

  2. 2. ආල හැඟුම් පෑමක්ද?

  3. 3. ලිංගික හිරිහැරයක්ද?

මේ ප්‍රශ්න තුනටම හරි උත්තරේ, 3වෙනි එකයි.

ආල හැඟුම් පෑමකට සහ විහිළුවට කරන දේකට වඩා ලිංගික හිරිහැරයක් වෙනස් වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැරයකින් වින්දනයක් ලබන්නේ එක් කෙනායි.

ලිංගික හිරිහැරයක් සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක ලිංගික අපරාධයකට වුණත් මඟ පාදන්න පුළුවන්.