Skip to content

පටුනට යන්න

2වෙනි පාඩම

දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හැදුවා

දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හැදුවා

යෙහෝවා දෙවි ඒදන් කියන තැන ලස්සන උයනක් හැදුවා. ගස්වලින්, මල්වලින් වගේම සත්තුන්ගෙනුත් ඒක පිරිලා තිබුණා. ඊටපස්සේ දෙවි පළවෙනි මිනිසාව දූවිල්ලෙන් හදලා එයාගේ නහයට හුස්ම දැම්මා. දන්නවද මොකද වුණේ කියලා? එයා එකපාරටම හුස්ම ගන්න පටන්ගත්තා. එයා තමයි ආදම්. යෙහෝවා දෙවි හදපු ලස්සන උයන බලාගන්න දුන්නේ ආදම්ට. හැම සතෙක්ටම නම් දාන්න කියලත් දෙවි එයාට කිව්වා.

ඊළඟට යෙහෝවා දෙවි වැදගත් නීතියක් ගැන ආදම්ට කිව්වා. ‘ඔයාට මේ උයනේ තියෙන ඕනම ගහකින් පලතුරු කන්න පුළුවන්. හැබැයි එක ගහකින් කන්න එපා. ඒකෙන් කෑවොත් ඔයා මැරෙනවා.’

පස්සේ යෙහෝවා දෙවි කිව්වා ‘මං දැන් ආදම්ට සහකාරියක්ව හදන්නයි යන්නේ’ කියලා. ඊළඟට දෙවි ආදම්ව තද නින්දකට යවලා ආදම්ගේ ඉළ ඇටයක් අරන් එයාට බිරිඳක් හදලා දුන්නා. එයාගේ නම ඒව. ඒ දෙන්නා තමයි පොළොවේ හිටපු පළවෙනි පවුල. ඒවව දැක්කාම ආදම් හරිම සතුටින් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි මගේ ඉළ ඇටයෙන් එයාව හැදුවේ. එයාත් හරියට මං වගේමයි.’

ඊළඟට යෙහෝවා දෙවි ආදම්ටයි ඒවටයි කිව්වා දරුවන්ව හදලා මුළු පොළොවම මිනිසුන්ගෙන් පුරවන්න කියලා. දෙවිට ඕන වුණේ ඒ දෙන්නා සතුටින් මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන උයනක් කරනවා දකින්නයි. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඒ ඇයි කියලා ඊළඟ පාඩමෙන් බලමු.

“දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.”—මතෙව් 19:4